Wednesday, July 30, 2014
ශුද්ධ සිංහලයෙන් ගැයෙන අපේ උන්ගේ ගුණය නොහොත් කෙළගනිල්ලා
අපේ උන් බර උස්සන්න හරිම දස්සයෝ
හැබැයි පල්ම පල් ගොබ්බයෝ
එක එකා රවට්ටගෙන යන රගේ කෙළවර
දොස්තරලාත් කෙළගන්නවා, වින්නඹුවොත් හෙදියොත් මරා ගන්නවා
පොලීසිය මිදිලා අයිස් වගේ, එතකොට හමුදාවට අපේ උත්තමාචාරය
ගොටු අැල්ලීමේ වෘත්තීය කාරයෝ හැමතැනම
වැඩ නොකර පඩි ගන්න මෙහේ ඇවිත් උගනින්න
හොට් නිවුස්, හොටු නිවුල්, උස්සපුවා, ගල්කරපුවා සහ ගොන්පාට් ප්‍රවෘත්ති වල
පින් කරනවා ඡන්දෙට, සේල් දානවා ඡන්දෙට
මුන්ට රට ජාතිය වගේම
තව බොහොම ටික කාලයකට අම්මා තාත්තා මතක තියේවි...
මගුලකුත් නෑ බෙරේ පලුවකුත් නෑ
ආඩිහතේ කතන්දරෙන් හැමදාම ජයට මගුල්
කෙළගනිල්ලා එක එකා
රවට්ට ගනිල්ලා එක එකා
අනික් උන් දිනන තැන හූල්ලපල්ලා
කරුමයම කියපල්ලා
බණම දෙසපල්ලා
බොරුම කියාපල්ලා
අවසිහියෙන් ජීවත් වෙයල්ලා
අතීතයත් ජාතකයත් කියවමින් අනාගතයත් අවජාතක කර ගනිල්ලා
උඹලා දන්නේ ත් උඹලාට හැක්කේත් ඔපමණයි
මාලෙ දූපත් වලට පසු අපි ගිලෙන කාලෙක
ඔක්කොම පනිමු රට
එතකන් ගමු
පට්ට ආතල්
ඔපරිම ෆන්....
මොනව හරි කර කර කිය කිය
ඔහේ ඉමු බං
Tuesday, July 29, 2014
සියල්ල කර්මය අනුව සිදුවන දහම කුමක්ද? එය අප පිළිගන්නා දහම නම් නොවේ.
උදෑසණට කියන බණක හරි අපූරු කතාවක් කියවුණි. ඉන් කියවුනේ ළමයෙකු ගණිත විෂය අසමත් වූ කාරණයක් පිළිබදවයි. එම අසමත්කම පෙර අකුසලයක් නිසා සිදුවන්නට ඇති බව උපකල්පනය කොට ඒ අකුසලය මැකෙන්නට කියා දිළිදු දරුවන්ට පත පොත ලබා දීම ආදී ක්‍රියා සිදුකරමින් පාසැල්ද පංතිද ගිය අතර දෙවන වතාවේ දරුවා විභාගය සමත් වූ බව ඉන් කියවිණි. ඒ අනුව අර අකුසලය නිසා ගණිතය අසමත් බවට කළ උපකල්පනය නිවැරදි යන්න එහි අදහස විය. තවදුරටත් එහි කියවුනේ මෙවැනි බොහෝ දේ සිදු වන්නේ හා නොවන්නේ අපේ පූර්ව කර්මයට අනුව බවයි. එය ඇත්තක්ද?
පොත පත ලබා දීම හොදය. දිළිදු දරුවන්ට නම් වඩාත් වටින්නේ ඔවුන්ට පත පොත මිලදී ගැනීමට හැකියාව අඩු නිසාය. එය වෙනම කරුණකි. මගේ විෂය අවබෝධය නිසි ලෙස නොවුනේ පූර්ව අකුසලය නිසාමද? සියල්ල දන්නා නුවණක් නැති අප කර්මයද තවරා ගෙන එවැනි කරුණු පිළිබද විග්‍රයන්ට යා යුතුද? ගණිතය අසමත් වීම, විභාග අසමත් වීම පූර්ව කර්මයක් පළදීමක්මද? උණ හෙම්බිරිස්සාව හැදෙන්නේ පෙර කරුමයක් නිසා නොවන බව දහය පන්තියේ දහම් පොතේත් තිබුනා මතකය. එය අපේ සරලම නුවණින් තේරුම් ගැනීමට තරම් සරල මදිද? අප දන්නා දහමේ නම් කියවෙන්නේ කර්මය යනු උතු , බීජ , කම්ම , ධම්ම , චිත්ත යන පංච නියාම දහම් වලින් එකක් හැටියටයි.
අප දහම ගැන දන්නේ අල්පයකි. එනිසා අප දහම ගැන ගැඹුරින් දේශනාවට යන්නේ නැත. නමුත් දන්නා දේ මේ දේශනාවල ළාමක බව තේරුම් ගැනීමට තරම් ප්‍රමාණවත්ය. මෙබදු ළාමක දේශනාවන් ප්‍රචලිත වන්නට පටන් ගන්නා තැන අමූලික ශ්‍රද්ධාවන්තයන් තුළ ජනිත වන්නේ මුළාවයි.
විවිධ කරුණු ගැන අපේ උපකල්පන කීම එකකි. මෝඩකමට හෝ වේවා එය අපේය. නමුත් ඒ උපකල්පන දේශනාවක් මිස ධර්ම දේශනාවක් නොවේ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය - කියා බණ ගැන වුවද කියන්නට සිදුවීම එක්තරා ඛේදයක් වුවත් යුගයේ සත්‍ය නම් එයයි. මේ කිසිවකු හෙළා තලා දැකීමක් නොව අපේ රස්තියාදුව තවත් මුළාවකින් ශුද්ධ කර ගැනීමක්මය.
එනිසා අපට කියන්නට ඇත්තේ අප පිළිගන්නා දහමේ නම් සියල්ල සිදුවන්නේ පෙර කරන ලද කර්මය මතම පමණක් නොවේ යන්නයි.
Thursday, July 24, 2014
හදේ හාවා හා සත්‍ය සෙවීම * සිහියෙන් ජීවත් වීම.
හදේ හාවා සිටිත්ද
තරු ගැනීම මගේ ජීවිතයේ සතුටය!
සත්‍ය අවබෝධ කරගන්න
සතුට හොයාගන්න!
ගණිතය +_ = විද්‍යාව -_
0
සිහියෙන් ජීවත් වන්න.Sunday, July 20, 2014
පුරුද්ද, ඇබ්බැහිය සමග ඉදිරිය
බස්රථයේ කොන්දොස්තර ගමන් ගාස්තුවක ඉතිරි රුපියල දෙක තමා සන්තකයට ගැනීම හරි අපූරු පුරුද්දකි. හේතුව මාරු නොමැති කමය. ඒ පුරුද්ද වර්ධනය වූවාට පසු මාරු සල්ලි තිබුණද මගියාගේ පරීක්ෂාවක් නොමැති නම් කොන්දොස්තරගේ අර පුරුද්ද ඇබ්බැහියකටම යන්නේය. සමහර තැන ඉතිරි රුපියල දෙක නොව සම්පූර්ණම ඉතිරිය වුව නොදී යා හැකි තරමට ඇබ්බැහිකම බලවත් වන්නේය. බස්රථයේ පමණක් නොව මෙහේ බොහෝ තැන් වල අගතියට යන පුරුදු අපමණකට වැඩෙන්නට අපමණ නිදහස ඇත්තේය.
අපටද පුරුදු තිබුණි. හොද හා නරක වශයෙන් මේ පුරුදු වැඩිදියුණු කිරීමට සමාජයෙන් අසීමිත පිටුබලයක් සැපයුණි. ඛේදය හොදට මෙන්ම නරකටත් වැඩෙන්නට අපූරු නිදහසක් අපට ලැබී තිබීමය. නරකයට වඩා වැඩි නිදහසක් ලැබී තිබීමය. තනිවම නන්නත්තාරවෙමින් හෝ හදාගත් හයියෙන් අයහපතේ දොරට තට්ටු දමන්නට යෙදුනත් ඉන් ඇතුළු නොවී එන්නට අපට ශක්තියක් තිබුණි. කල්පනාවක් තිබුණි. එ් රැලි අස්සේ පීනූ ලොකු රස්තියාදුවක් ශුද්ධ කරමින් ලබා ගත් පන්නරයකිනි. නමුත් බොහෝ දෙනාට සිදු වූයේ මෙහි අනෙක් පැත්තය. අයහපතට ලැජ්ජාවෙන් හෝ බියෙන් හැංගී සිටි මිනිස්සු ඒ දෙක නැසුනු තැන කරළියට විත් අලුත්ම පෙරළි නොහොත් සමාජයකටම වල කපන්නවුන් බවට පත්වීමය. වැරද්ද ඔවුන්ගේ පමණක් නොවේ. දුටු තැන වැරැද්ද ලොප් කළ හැකි යුරු පෙන්වා දෙන්නාක් මෙන්ම හොද වීමට දිරිදෙන ප්‍රායෝගික සමාජ සංසිද්දීන්ගෙන් බැහැර වන අපේ වටපිටාවයි. නරකයෙන් බැහැර වීමට හදුන්වාදෙන හොද විකල්පයන්ගේ හිග කමයි.
සමාජයකට හොද පුරුදු අවැසිය. ඒ හොද පුරුදු තුළ නිර්මාණය වන ජනයාගෙන් සමාජයට යහපතක්ම වන්නේය. වැරදි පුරුදු වලින් මිදීම සමාජයකට අවැසිය. එතුළින් වඩා යහපත් දිශාවක් වෙත ජනසමාජයට ගමන් කළ හැකිය. නමුත් හොද ගැන කියමින් නරක පූර්වාදර්ශ සැපයීම අපේ සමාජයේ කාලීන ස්වභාවයයි. කටින් කෙසේ කීවත් ක්‍රියාවෙන් යමක් පෙන්වන්නට අසමත් කොට එතැන ඇත්තේ අඩුවකි. ඉන් ඔබ්බට ගොස් කටින් හොද යමක් කියා ක්‍රියාවෙන් නරක යමක් කරයි නම්... එතැන ඇත්තේ නරක පූර්වාදර්ශයකි. මෙවැනි දෙනෝදාහක් අාටක නාටක මැද්දේ හැදෙන පරපුරට අපි යහපත ගැන දෙසන්නෙමු.
සමහරුන්ට අනුව හොද නරක පිළිබද කතිකාව යනු සරල තත්වයන් ඉක්මවා ගිය පුද්ගලානුබද්ධ ස්වභාවයක් ඇති ගැඹුරු සංකීර්ණ මාතෘකාය. මා කතා කරන්නේ එවැනි ගැඹුරු තත්වයකට මෙපිටින්ය. ලොකු සංකීර්ණතා තුළ හිරවෙන අයගෙන් මගහැරෙන ඇස් කණ්නාඩිය හිසේ රදවාගෙන එය සොයමින් ගේ පුරා දිවීමේ කතාවක් ගැනය.
හැගීම් දැනීම් හා බුද්ධිය පිනවීම ගැන බොහෝ ලෙස කතා කරන අප සමාජයේ ඒවායේ ගැඹුරක්, පිළිවෙලක් මෙන්ම දිශානතියක් පිළිබද කතාකරනවා බොහෝ දුලබය. ඇතොත් එක් ධාරාවක්ම පමණය. ඉන් ඔබ්බට සමාජයක ඉදිරි ගමන හා මේ හැගීමේ දැනීමේ මෙන්ම බුද්ධියේ අැති බද්ධතාව තඹකට ගණන් ගන්නේ නැත. ගණන් ගන්නවා ලෙසින් පෙන්වන වැඩි අවස්ථා ගණනක ඇත්තේ බොරුව හා මුළාවය. දැන් බොහෝ තැන කලාවක් වී ඇත්තේ ඒ මුළාවය.
වෙලාවකට වැඩ කිරීම, කලාවකට වැඩ කිරීම, විශ්වාසවන්ත බව, ගනුදෙනුවලට අවංක වීම, කෙළෙහි ගුණය , ඇහුම්කන් දීම, පොදු කටයුතු වලදී බොරු නොකිරීම ආදිය සරල තැනක ඇති සමාජයකට ශක්තියක් සපයන කාරණාය. නමුත් ඉන් විරුද්ධාභාසය ඇති පුරුදු හා ඇබ්බැහි ගණනාවක් අපේ සාමාන්‍ය භාවිතාවේ එයි. එනම් වෙලාවට වැඩ නොකිරීම, කිසි පිළිවෙලක් නැතිකම, විශ්වාසවන්ත වචනයක් නොමැතිව බොරු කීම, ගනුදෙනුවලදී වංචාව, කෙළෙහිගුණයක් නැති කපටිකම, ඇහුම්කන් නොදීමේ උද්දච්ඡභාවය, පොදු කටයුතුවලදී බොරුකිරීම නොහොත් අයිස් ගැහීම අාදී දේයි. පිටත පෙනුමට නම් අපි හැම දෙනාම බොහෝ සද්ගුණවත්ය. නමුත් භාවිතාව බලාගැනීමට නම් තරමක් විමසිලිමත් විය යුතුය. එවිට මේ මගඩි හා ජඩ ගති එලියට පනින්නේය. හැම දෙනාම මෙසේ නැත. නමුත් සමාජයේ කරළියේ නිතර රගන බොහෝ දෙනාගෙන් සමාජය වෙත ගලන්නේ දුගද පුරුදු වල ඕජාවේ අවාදර්ශයයි. එය බාල පරපුරට කරනා බලවත් හානියකි. ඒ නිසා සුගන්ධවත් සමාජයක් ගැන කතාව නිකන් අපි අපිම වරද්දාගෙන, රවට්ටාගෙන රගපාන නාටකයක් ගානට යන්නේය. හෑල්ලුවට ඇද වැටෙන්නේය.
පළමුව තමන්ගේ සද්භාවය උදෙසා කැපවීම පෙන්වන පුරුද්දක් ආවොත් ඒ පුරුද්ද ඇබ්බැහියක් වූවොත් සමාජයක් ගොඩ නැගෙන්නට පටන් ගනීවී යහපත්ව, නැතිනම් බොරුවම තමා. ඉතිරි වන්නේ ලෙඩට පෙති ගැනීමේ සංස්කෘතියක් පමණයි. දැන් අපි අත් පොත් තබා සිටින්නේත් ලෙඩ රෝග වළක්වම සංස්කෘතියකට වඩා ලෙඩට පෙත්ත සංස්කෘතියට නොවේද! ඉන් මිදෙන්නට අප පටන් ගත යුත්තේ කළ වැරදි වුණු වැරදි සාධාරණීකරනයෙන්ම නොව එ්වා නිවැරදි කරගන්නට අවංකව වෙහෙසෙන තැනකිනි. මේ නිවැරදි අවංකභාවය හදුනා ගැනීමට නොහැකි වීමෙනුත් සමාජයක්ම පීඩාවේ හිදින්නේය. ඇතුළත් ගැට පිටත් ගැට , ගැට පිට ගැට වැටෙන සමයක හැබෑවට හොද දේ පුරුදු වීමත් ඒ පුරුදු ඇබ්බැහියකට ගැනීමත් දැලි පිහියෙන් කිරිකෑමකට සමව ඇත. නමුත් සුලබ ලාබ සංස්කෘතියේ ගැඹුරට අක් මුල් නොඅදින පොෂ් පුරුදු වලින් පොෂ් වීමනම් එතරම් අපහසු නැත. නමුත් සමාජයකට ඉන් පොෂ් බවක් මිස ශක්තියක් ලැබෙන්නේ නම් නැත. ඒ නිසා අප හදා ගත යුත්තේ හැබෑ ශක්තිමත් සමාජයක්ද, මතුපිටට පිම්බුනු සෝබමාන සමාජයක්ද යන්න හැමදෙන සිතිය යුතුය. එය ඔබේ මෙන්ම මගේද වගකීමකි. යුතුකමකි.
එබැවින් පුරුදු විය යුතු දේත් ඇබ්බැහි විය යුතු දේත් පිළිබද අප නැවත නැවතත් සිතා බැලිය යුතුය. ඒ උත්සාහයේදී වැරදි දිශාවට හැරී සිටින්නන් නිවැරදි තැනට දක්කන්නේ කෙලෙසද යන්න ගැනත් ඒ උදෙසා කටයුතු කිරීමටත් හැමටම සාමාජීය වගකීමක්ද ඇත. වගකීම් යුතුකම් හරියාකාරව වටහාගෙන හැකි පමණ ඒවා ඉටු කිරීම මතු භවයට පිං තකා දෙන සකළ දාන මාන සියල්ලට වඩා වටිනා පිං කමක් බව නම් අප හැගීමයි. එසේ කරන්නාවූ ගුණවන්තයින් කිහිප දෙනා බැගින් හෝ මෙරටේ සිටිත්.. ඔවුන්ට දිරි වේවා. තවත් බොහෝ දෙනා ඒ පුරුද්දටත් එ් ඇබ්බැහිටයත් පත් වේවා. අපටද හැකි පමණ ඒ පුරුද්දට යොමු වන්නට හැකි වේවා...
Friday, July 11, 2014
වෙස්වලාගෙන රිංගන්න රජතුමනි හද්දා බැදිවල
හැබෑම ප්‍රශ්න ගැටලු හොයාගන්නට වෙස්වලාගෙන බැදි වල රිංගූ ඉස්සර රජවරු ගැන අසා ඇත්තෙමි. මාධ්‍ය සාකච්ඡා තියා සජීවීව මහජනයා හා කතා කිරීමට වඩා හැබෑවටම මහජනයා ගැන සිතන මහ රජවරු කළ යුතුදෑ ඒවාය. රාජ තේජසින් ඔද වැඩෙන අප ජනයාට මහරජතුමා හමුවේ දෙපයින් හිටගෙන තම අවංක අදහස කියන්නට පෙර අමූළික ශ්‍රද්ධාවෙන් පිරීයන හදවතින් මතුවන දේ කටට එන්නේය. එවිට මහ රජවරු මුළාවේ වැටෙන තරමේ දෑ කටින් පිටවන්නේය. එය හැබෑවක් කොට සිතූ කළට රටත් රජත් දෙකම මුළාවේය. ඊලගට මැති ඇමති හා වන්දිභට්ටයින්ය. ඔවුන් ඒ මුළාව වගාවක් කොට ඉන් අස්වැන්න නෙළන්නේය. අනේ අපොයි.. අපි වලක වැටෙන තුරුම දන්නේ නැත.
මිනිසුන් ගේ මනසට චරිතයක් ලෙස කිදා බැස්ස පමණින් රජා මරු වුවත් රටට මරේ මරු වෙන්නේ නැත. රජා වෙස්වලාගෙන මහජනයා අතරට ගොස් ජනයාගේත් රටේත් හැබෑම පොළොවේ පය ගහන්නේ නම් එදාට රජා රටකට රටක් වටීවි. මහරජවරු පොළොවේ පය ගසා මිනිසුන් හා දෑත් බැද වැඩට බහින්නේ නම් ක්‍රමය මොකක් වුව මහ පොළොවේ යමක් ගොඩනැගෙනවා සත්තයි. රජා වැඩට බහින්නේ නම් මැති ඇමතිවරුන්ටත් බිමට බහින්නටම වන්නේය. නැතුව නිකං මහා වප් මගුල සමරන්නට වාගේ අමුඩය ගසා අලි පිටින් ආවත් , එදාට පමණක් හී හෑවත් වැඩක් නැත. අපේ රටේ අද මිනිහාට හැබෑවට මහ පොළොවත් , කරුමාන්තත් සමග හැප්පෙන්නට බැරි ඇයි? මොනයම් ක්‍රමේකට හරි, වැඩි ලේසි ඊසි පිළිවෙත් වල පිහිට පතා ගොස් මහරජාත් මැති ඇමති සේම අනෙකුත් බත්බැලයනුත් ඇතුළු සියල්ලෝ මහ පත කම්මැළියන් වී ඇති නිසාද? එක්කෝ ඒසී නැතුව වැඩ බැරිය. නැත්නම් වැඩ නැතුවම හරි බිසීය. දැන් මෙහේ මීටර් සියය යන්නටත් ටැක්සියක් නැතුවම බැරිය. පාපැදියට වඩා තිබේ නම් මීටර් එක හමාරටත් කාර්කටුවක සරණය. අනේ ඉල්ලං කකා පම්පෝරි ගහන රටකට ගිය කලක්... විලිලජ්ජාවම හුරු වී දැන් අපි හැමෝම කම්මලේ බල්ලන් ගානය.
රට තොටේ ගොස් එහෙන් මෙහෙන් පොලිෂ් වූ බොහෝ දෙනා පාරම් බාන්නේ රට රටවල් හා සංසන්දනය කරමිනි. සාපේක්ෂතාවාදය පසෙක තිබේවා හැබෑවට දියුණුවක් ගැන තේරුම්ගන්නට සංසන්දනද උවමනා නැත. තමන්ගේ මගක හරියට යන්නට අනුන්ගේ පාරවල්වල දිග පළල මැන බැලිය යුතු නැත. තමන්ගේ වැඩේ ඉටියෙන් හරි මැටියෙන් හරි කොරගෙන බණ දෙසන බණ අහන උදේ හවා සම්මාදන් වෙන්නේ කුමක්දැයි නොදන සම්මාදන් වෙන අපහට ගිය කලක්....
නාස්තිකාර කමේ ඉමක් නැත. පරිසරය ගැන හැගීමක් නැත. හදාගත්තු දේ දිගටම පවත්වන්නට වැඩ පිළිවෙලවල් බොහෝ තැන්වල නැත. හැබැයි පම්පෝරිය නම් තියෙනවාය. ඉතිං ගැඹුරෙන් හිතුවොත් මේ පම්පෝරි වන්දිභට්ටකම් නවතා කටවල් වසාගෙන වැඩකළ යුතු කාලයකි. වැඩ ඇරඹිය යුතු කාලයකි. ඒත් වැඩේ නම් එක එකට වැඩ දෙනවා මිසක එක එකා කළ යුතු වැඩ තවම හරිහැටි හදුනාගෙන නැති කමය. තෝරාගෙන නැති කමය. වට රවුමේ දිවුවා වාගේ එකම තැන ඉන්නේ එකෙක්වත් රවුම කඩාගන්නට කැමති නැති හෙයිනි. එක එක දේවල් කඩාගත යුතු විදි ඇත. පෙට්ටියක් කැඩිය යුත්තේ පියන ඇරීමෙනි. ලියුම් කවරයක් විවර කළ යුතු පිළිවෙලක් ඇත. හැමදා එකම තැන කැරකෙන සංවර්ධන චක්කරේ රජයේ සූදුව මෙන් ජනයා රවටන ලොතරැයියක් නොවී එකෙකුට දෙන්නෙකුට පමණක් හෝ සුළු දෙනෙකුට පමණක් ජයක් ගෙනන එකක් නොවී හැමදෙනාට දිනුම ගෙනෙන තැනකින් වටරවුමෙන් පාරකට අවතීරණ විය යුතුය. මිනිසුන්ට හැගීම් තිබේ. යුද්ධය දිනුවේ ඒ හැබෑ හැගීමෙන් යුද්ධ කිරීමෙනි. ඒ හැගීම් වලට නිසි වටිනාකම් අවස්ථා නොලැබ අයාලේ යන්නට හැරි කල හැගීම් අපතේ යන්නේය. සංවර්ධනය කළ යුත්තේ හැබෑවට නිසිලෙස නිසිවිට හැමදෙන වෙහෙසීමෙනි. එය ජනයාගේ රැවටෙන මනසට නොව ගැඹුරේ විඥානයටම දැනිය යුතුය. කතාවට විඥානයක් නෑ යයි කීවාට හැබෑවට සවිඥානික ජනයා කොතෙකුත් වෙත්. අහේතුව ඔවුන්ට හැමදෙන තමන් රවටන බව දැනීමයි. ඇත්ත ඇති හැටියට ගැනෙන තැනදී ඔවුන් කරළියට එන්නේය. උරය නොව දෙවුරම දෙන්නේය. නැතුව බොරුවට නැති වෙහෙසක් මවා පෙන්වන සංවර්ධන රැළි වලින් ඔවුන් මුළා කළ හැකි නොවේ. හැමදෙන ටයිල් නැති හැබෑ පොළොවට හරි අරමුණකින් බැසීමෙන් පමණකි මෙහේ ජනයා කවදා හෝ නැගී සිටින්නේ නම්... මා කීවත් කවරකු කීවත් කතාව නම් එයමය. අපට හරියන්නේ අපේ ඇගේ ඇති දැනෙන හැගෙන පිළිවෙලය. එය රවටා ගෙන බොරු පොෂ් ගති පෙන්නන්නට ගියහොත් කවදා හරි අපට ඉතිරිවන්නේ ඇට පෑදුණු පස්සක් පමණකි.
Thursday, July 10, 2014
මහරජ මමයි
මහරජ මමයි මහරජ මමමයි කියලා
ඉන්නට හැකියාව ඇත්නම් කල් බලලා
රටටම හොදයි හැමදෙන වේ රජගොල්ලා
ඉහළින් ඉන්න හැකි වේ දසතම හොල්ලා
සෝදා ගත් කලට මඩ ගොවි රජ වේලු
එහෙව් ගොවි පුතුන් අද දින නැති වීලු
රාජ සබේ වට පිට නම් මඩ වීලු
මෝඩ කමේ දුගදක් ඉන් හැමුවාලු
අහවල් රටේ අච්චර ධනපති සිටියේ
තවත් රටක මහාරාජා වරු සිටියේ
අපි හැමදෙනයි මහරජ නම්බුව ගත්තේ
වැඩකට අතගසන්නට නොම බිම බැස්සේ
ඉන්නට කැමතිනම් මහරජ සේ සුද්දෙන්
කාටත් හිස නොදී දන්ගෙඩියට සද්දෙන්
පිදුවොත් සවිය හැම විදිහට නිසි පැත්තෙන්
උඹ මෙන් මටත් ගමනක් ඇත රජ වංසෙන්
යන්නට තිබේ හදලා ගෙන බැදි පාර
හයිවේ නොවේ යන්නට ඇති එක පාර
සුදුස්සාට නියමිත තැන දෙන පාර
හැමෙකා වේය මහරජ දිරියෙන් සාර
Subscribe to:
Posts (Atom)