අපෙ අප්පා හොද පොලිස් කාරයෙක් අප්පා. අතටම ගෙනත් පගාව දෙද්දී ජරාව නොකෑ නිසා ඒ ලේවල හයිය අපට තියෙනවා. දෙකයි පනහේ පොලීසියට ගහන පයින් පාරවල් එ් නිසා අපට වදින්නේ නෑ , අපි ඉන්නෙ ඒවාට ගොඩක් ඉහළින්. අප්පා දැන් විශ්‍රාම නිසාම දැන් ඔය පණත් නැති පව් කියා හිතෙන පොලිසියා දිහා බල බලා අනේ පව් කියන ගමන් වැරදි වැරදි හරි හොද අරමුණෙන් බණ කියන අය දිහාත් සානුකම්පිතව නීති අධිකරණයත් ධර්ම අධිකරණයත් සංසන්දනේ කරන්න හිතෙනවා.
නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේලු කියා මා අසා තිබෙනවා. නමුත් කවුරුත් ධර්මය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවෙනවා කියා කියනවා මා අසා නෑ.
ඇත්තටම දඩුවම් ලැබෙන නීතිය ඉදිරියේ සීරුවෙන් ඉන්නා අප මොහොතක් පසා නීතියද ඇතුළු සබ්බ සකළ මනාවම යටත් ධර්මය ඉදිරියේ සීරුවෙන්ද? නීතියෙන් රිංගා ගියත් ධර්මයෙන් අපට රිංගා ගිය හැකිද?
නීතිය නිර්මාණයක්, ධර්මය නිර්මාණයක්ද? නිර්මාණවාදී කතා ආශ්රයෙන් ඉගැන්වෙන දහම් තිබුනත් ඒවායේ කියන්නෙත් කවුරු විසින් හරි නිර්මාණය කරන ලද ධර්මයට හෝ අපි අඩංගු බව. හැබැයි නිදහස හොයා ගෙන යන අති උත්තම බුද්ධි පරපුර කිසිම දේකට යටත් වෙන්නට සූදානම් නැති හැඩයි.
විදුලිය හොයාගත්තා, විදුලිය නිර්මාණය කරන විදිය හොයාගත්තා, ඒකෙන් කරන්න පුළුවන් වැඩ හදුනා ගත්තා මිස ඇත්තෙන්ම විදුලිය ස්වභාවයේ නොතිබූ දෙයක්ද? සරල උත්තරය අකුණ, නැත්නම් හෙණේ, තව විදුලි කෙටීම.
ගුරුත්වාකර්ෂනය කියන්නේ නිව්ටන්ගේ නියමයට අනුකූල දෙයක්ද, නැත්නම් ස්වභාව ධර්මයේ ඒ ආකාර්ශනය නිව්ටන් නියමයකින් පෙන්නුවාද? අර අපේ රටේ ඇතැම්මු ගරහන මුත් ඇත්ත ඇද නැතිව කෙළින්ම කියන නිසාම වැඩියකට නොතේරෙන බුද්ධිමතා කියනවා වගේ මේ සේරම කතන්දර. ගොඩක් දේ සුද්දා හැදුවාලු. කවුරු හැදුවත් කොයි තියරියත් ස්වභාව ධර්මයේ තියරියට වලංගුයි.
හැබැයි ඔය සුද්දා දන්නවාට වඩා ස්වභාව ධර්මයේ හැමදේ විනිවිද ගිය ධර්මයක් අපට කාලයකට ඉහත ලැබුනා. අපි තවත් මහිමය කිය කියා ඉන්නවා මිස එයින් වැඩ ගන්නේ දශම ගණනකට. අර නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේ කියල ඒක දැනගන්න දතකන නීතිගරුක පොෂ් මිනිස්සු කී දෙනෙක් ඔය නීතිය කිසි ලෙසකින් කඩ නොවෙන ඊට එහා ගිය ධර්මය එය දැන නොසිටීම නිදහසට කරුණක් නොවේ කියල දැනකියාගන්න හදනවද? ධර්මාධිකරණයට ඔය අපි කාටත් යන්න වෙනව ජීවිත කාලෙටම උසාවියකට පය නොතිබ්බත්.
කර්මය කියන්නෙ ක්‍රියාවටයි කියනවනේ. එතකොට පූර්ව කර්ම කියන්නේ පෙර කරන ලද ක්‍රියා, වර්තමාන විද්‍යාවෙ කියන හැටියටත් අපේ සාමාන්‍ය දැනීමේ හැටියටත් ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියනව. අඩු තරමෙ දූවිල්ලට, මිරිස් සැරට අහුවුනාම කිඹුහුමක්වත් යනවනේ. අනික් අතට කව්රු හරි ඉස්සරහින් තල්ලු කළොත් අපේ පස්ස බිම ඇනෙන්න පුළුවන් වගේම පිටිපස්සෙන් තල්ලු කරොත් මූන බිම ඇනෙන්නත් පුළුවන්. ප්‍රතික්‍රියාවෙ විදිය ඒ විදිහයි. නමුත් ප්‍රතික්‍රියාව සිද්ද වෙන්නෙ ක්‍රියාවට ප්‍රතිචාර වශයෙන් නම් වඩා වැදගත් බලපෑම් කළ හැකිදේ ක්‍රියාව නේද? යාළුවෙක්ව විහිළුවකට හරි තල්ලු කරන්න කලින් පොඩ්ඩක් හිතුවොත් නේද වටපිටාව යාළුව ඉන්න ඉරියව්ව හරියට පෙනෙන්නෙ. නැතුව අර සමහරු විහිළුකරන විදිහට එක පාරට ඉස්සරහින් හරි පස්සෙන් හරි තල්ලු කරොත් එයා ඉන්න විදිහට වැටෙන්නත් පුළුවන්, නොවැටෙන්නත් පුළුවන්. නමුත් තල්ලු කරාට පස්සෙ ඒ ගැන හිතල වැඩක් නෑ. නමුත් කරන්න කලින් හිතුවොත් විහිළුවක් කරන අතරම අඩු නොකඩා ගන්නත් පුළුවන්. සරල තැනින් හිතන්න පුළුවන් ක්‍රියාව මයික්‍රො හෝ නැනෝ නැත්නම් ඊටත් එහා නොපෙනෙන සුළු මට්ටමට යනවා. ඒ හිතත් එක්ක. හිත අපිට පේන්නෙ නෑ, නමුත් ඒ නොපෙනෙන හිතේ ඇති වන දේවල් වලට ශක්තියක් නැද්ද? ඒක ඔබත් මමත් හොදටම අත්විදල තියෙනව. හිරකාරයො සියල්ලෝ මනුෂ්‍යයෝය කියල ගහල තියෙන තාප්ප ඉස්සරහින් යද්දි ඔය හිතේ ශක්තිය එක විදිහටක මුදා හැරපු අයගැනත් අපිට සිහිපත් වෙනව. කොහොම වුනත් ඔය ධර්මාධිකරණයේදි වඩාත්ම තැනක් ලැබෙන්නෙ ඔය හිතත් එක්ක බැදුනු දේට කියනවනේ.. ඉතින් ඒක නිසා ධර්මය ගැන ටිකක් හොයන්න වෙයි, හිතන්න වෙයි. අනූකූලව ඉන්නත් වෙයි. මොකද එ්කෙන් බේරෙන්න බැරි නිසා. ඊට පස්සෙ බේරෙන විදිහක් හිතන්නත් පුලුවන් අර නීතිය දැනගෙන ඒකෙන් බේරෙන්න කරන වැරදි දේට වඩා හරි විදිහට, මොකද නීතියට කරන බොරු ධර්මයට කරන්න බැරි නිසා.
කොහොම වුනත් මේ දේවල් එක්ක කියන්න තියෙන්නෙ ධර්මය නොදැන සිටීම නිදහසට කාරණාවක් නොවේ කියන දේ පමණයි. ඒ නිසා වහ වහා උගනින්න ධර්මය. සද්ධර්මය.
1 comment:
පොලිස් තොප්පියේ බැජ් එකේ ගහලා තියෙනවාලු ධර්මය රකින්නා ධර්මය විසින් සුරැකේ කියන තේරුම දෙන පාඪයක්. අපේ අප්පලා හැකි පමණින් එය කළ නිසා සල්ලි නැතත් අපට සැනසීමක් ලැබුනා. ඔය මොන මොන රාජකාරි කරන අයත් වලිකාගෙන ඔට්ටුවෙන දේ වලට වඩා ඔය රජාකාරිය දේවකාරියක් ලෙසින් කරන්න ඔට්ටු වෙනව නම් ඔය තොප්පි වල බැජ් වල කොටා ගෙන තියෙන වැකි වලට තමන්ගෙන් අර්ථයක් එක් කරන්න හිතනවනම් මේක සුරපුරයක් නොවේවිද? එතෙන්ට හිතන්න ශක්තිය හයිය ලැබේවා..
Post a Comment