Thursday, February 6, 2014
Monday, February 3, 2014
තරුණ කටයුතු බාර සභාපති වෙමි.. ආදරයෙන් ඔබ අමතමි
මට පළමුවත් තරුණ පිරිසය, දෙවනුවත් තරුණ පිරිසය, තෙවනුවත් තරුණ පිරිසය. මම ඔබට ඇහුම්කන් දෙන්නෙමි. ඔබේ ප්‍රශ්න පුද්ගලිකවම මට කියන්න, එතරමට මා ඔබ වෙත අවධානයෙනි.
අප නිරන්තරයෙන් ඔබව ලෝකයා වෙත ඔසවා තබන්නට සැරසෙන සැටි ඔබ දන්නා බව මම දනිමි. අප ඔබට පෙන්වන පාරේ ඔබ දිවයන සැටි දකිද්දී අපට ඇතිවන්නේ නිහතමානී සතුටකි. මෙතරම් ජව සම්පන්න, සුපින්වත් තාරුණ්‍යක් වෙන කෙබදු රටක වෙත්ද? ඔබ අපගේ කීකරු දරුවෝය. ඔබේ යහපත තකා අප කියන්නක් ඔබ කරන්නේ අප යමක් කියන්නේ ඔබගේ යහපතට ම බව ඔබ හොදින්ම දන්නා නිසාය. ඒ හැර ඔබ බියසුල්ලෝ නොවෙති. කොතැනකවත් නිවට නොවන්නෝය. ජානයෙන්ම නීර්භීත වූ ඔබ කිසිවිටකත් කිසිවෙකුට ගැතිව ගොඩනැගෙන්නට සිතත්ද? නැත. උදාහරණයකට දේශපාලක තරුණ මහතෙක් ගනිමු. ඔබ ඔහු වෙනුවෙන් තැන නොතැන වෙලාව අවේලාව නොබලා කඩේ යාවිද? කිසිලෙසකින් නැත. මෙවැනි ප්‍රශ්න නැගුවොත් ඔබ සිනහ නගනු ඇත. දේශපාලන කැරට් අල වෙනුවෙන් අපිත් කවර බලකා නම් තනමුද? එය කුමන විහිළුවක් දැයි ඔබ කියනු ඇත. රට වෙනුවෙන් ජීවිතය පිදුවත් අපි බලය ධනය නිසාම කිසිවෙකුටත් අනිසි ගරුසරුවක් නොදක්වන්නෙමුයි ඔබ එකහෙලා කියන බව අපි දන්නෙමු. අපි ඔබට දී ඇති ආදර්ශයත් එබදුය. ඔබ උතුම් පිරිසකි. ශ්‍රේෂ්ඨ පිරිසකි. ඔබ එලෙස සිතනතාක් අපට දැනෙන්නේ ප්රිතියක්මය. ඔබේ ඒ නිදහස් නිවහල් චින්තනය අපත් රටත් ඉදිරියටම ඔසවන්නේය.
මම ඔබට ගරු කරන්නේ එනිසාය. ඔබ මට ගරු කරන්නේ යම් සේද එපමණකට මා පෙළඹෙන්නේ ඔබ වෙනුවෙන් වෙහෙසීමටයි. එය මාගේ පරම යුතුකම බව අප රටේ කවරෙකුත් ලෙස මමද යුතුකමට ගරු කරමින් අදහන්නෙමි. තව දුරටත් මා ඔබ වෙනුවෙන් කතා කිරීමට නොවෙහෙසෙන්නේ ඔබ අපට හදවතින්ම ආදරය කරනා බව මා දන්නා නිසාවෙනි. එබැවින් මා ඔබ වෙනුවෙන් පසුපස නොබලා ඉදිරිය බලමි. අපි අත්වැල් අල්ලා සිටින තරමට බැදීමෙන්ද ශක්තියෙන්ද අප සුරක්ෂිතය. එනිසා අප සමගම බැදී ඉන්න, මමද ඔබ සමග බැදී ඉන්නෙමි, දිනන තෙක්ම අප.
Sunday, February 2, 2014
හෘද සාක්ෂිය
ඔබට නෑසෙන මට ඇසෙන හඩකි. මට නෑසෙන ඔබට ඇසෙන හඩකි. ඒ හෘද සාක්ෂියේ හඩයි. ඔබේ හෘද සාක්ෂිය ඔබට ඇසෙන මට නෑසෙන ලෙසින්ම මගේ හෘද සාක්ෂියද මට ඇසෙන ලෙසින්ම ඔබට නෑසේ. එහෙත් අපි දෙදෙනාම පැමිණිලි කරුවන් මෙන්ම විත්ති කරුවන්ද ජූරියද නඩුකාරයාද වන්නෙමු.
ප්‍රශ්න පත්රයකට පිළිතුරු ලිවීමට අපට ඇත. අපට ඒ සදහා ලැබෙන කාලයන්ද එකක්ම නොවේ. ඒ කාලයට අපි ජීවිතය යැයි කියමු. ජීවිත කාලයම ගියත් පිළිතුරු සම්පූර්ණ කරන්නට බැරි අවස්ථා මෙන්ම පුද්ගලයෝද වෙසෙති. කෙටි කලකින්ම ලැබෙන ලැබෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්නෝද සිටිති. ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්නට ඉඩ ලැබෙන අතරේ තව ප්‍රශ්නයක් ප්‍රශ්න පත්‍රයේ ලියවෙන්නේය. ඒ ජීවිතේ හැටියකි.
සතුට උපදින්නේ කොතනින්ද යන්න මම නොසිතමි. නමුත් එය හදවතට දැනෙනා බව දන්නෙමි. සතුට හදවතට දැනෙනවා නම් දුක දැනෙනවාදැයි අමුතුවෙන් කිය යුතු නොවේ. ඒ සතුට දුක මැද හදවතේ ශක්තිය එහි රෝග නිවාරණයද වන්නේය.
හදවතේ ශක්තිය කොතැනද? හෘද සාක්ෂිය ඒ කොතැන හෝ තිබෙන බව මට සිතෙන්නේය. හදවතේ නාළ තෙල් වලින් හෝ රුධිර කැටියකින් අවහිර වී හදවත නැවතුනොත් අප ජීවිතය නවතීවි, ඒත් හෘද සාක්ෂිය කොතැන මුත් අපට කරදර නොකරාවිද, අපව සතුටු නොකරාවිද..
අකමැති නිසා මකා දැමිය නොහැකි
ජීවිතයට සමුදී පලා යා නො හැකි
ස්පර්ශයක් නොවූ මුත්
මිදී යාමට නොහැකි
මගේ උසාවියේ
දෙපසටම ඇති
එකම සාක්ෂිය
Subscribe to:
Posts (Atom)