Monday, September 29, 2014

ලෝකෙට වඩා ලොකු රටක්!

ලෝකෙන් උතුම් රට ලංකාවයැයි අප ඇසූවේ කුඩා කලදීමය. මිනුම් නැතිවම අපි එකල දී ඒ මතය ගත්තෙමු. ලොකුවට නොදනිතත් දන්නා මිනුම් තුළද අදද මා නම් මගේ රට ලෝකෙන් උතුම් රටක් යැයි සිතමි. තැනෙක විචාරයක් වූවාට එය සිංහලෙන් ම වන්නේත් මගේ රට මට උතුම් නිසාය. කැඩිච්චි දෙමළෙන් හෝ ඉංගිරි‍සියෙන්වත් මා නම් රට හෙළා දකින්නට කැමති නැත. කියන දෙයක් අපේ බහුතරයාට තේරෙන සිංහලෙනි. ඒ ලෝකෙන් උතුම් රට අපේ රට යැයි සිතන නිසාමය. මා පමණක් නොව තවත් අපට වඩා මිනුම් කිරුම් දන්නා උදවියද එසේ සිතන බවට අමුතු සාක්කි උවමනා නැත. අප බහුතරයා එසේ කියන්නේ භෞතික මිනුමට වඩා හිතේ මිනුම අපට ලොකු නිසාය. තවත් රටවල ජනයාද ඔවුන්ගේ රටවල් ගැන එසේ කියත්.. අපට වටින්නේ අප රටය. එනිසා මේ රට ලෝකෙට වඩා ලොකුවට අපට හැගෙන්නේ ලෝක සිතියම් දැක නැති නිසා නොවේ. රට ගැන හිතෙන ලොකු සංකල්පයේ හැටි එහෙමය.

(පුංචි වුවත්, ලොකු වුවත් අහල පහළ ගෙවල් වලට වඩා අපට‍ ලොකු අපේ ගෙදරය. මොන පහසුකම් නැතත් අපට අපේ ගම ලොකුය. ඊළගට අප අයත් නගරය අපට ලොකුම නගරයකි. අපේ පළාත වටිනාම පළාතය අවසානයට රට.. එතැනින් එයාට ලෝකයම එකම යායකි, අපට දැනෙන්නේ...)

ඉතින් ලෝකෙට වඩා ලොකුවට රට ගැන අපට දැනෙනවානම් ලෝකෙට වඩා ලොකුවට අපේ දෙයක් හදා ගන්නට අප තවමත් අපොහොසත් ඇයි?

සාමාන්‍යයෙන් අපේ රටේ අය මෙසේ කියති. 

අර ක්‍රියාවට නම් හපනා ජපනාය.

අර දේත් මේ දේත් ඉදිකට්ටත් හදන්නේ චීනාය.

මහලොකුම ඉන්දියානුවාත් උන්ගේ රියෙන් ලොකුම සභාවටත් යන්නේ ආඩම්බරයෙනි.

ඔයටික ඇතිය. ආසියා කරයේ අපි නිතර කියන්නේ ඔය නම්ය. වරදක් නැත. ඒවා අපට වඩා ලොකු නම් මෙන්ම ලොකු කම් ද ඇති රටවල්ය. නමුත් අපි තවමත් අපි ගැන උදාන වාක්‍යක් හදාගන්නට සූදානමක් නැත. තිස් අවුරුද්දකට දිග ඇදුනු යුද්ධයේ සාපයෙන් කාලයක් ප්‍රචලිත වූ අප අද ඒ යුද්ධයේ නිමාවටත් දේශපාලන ලකුණු දමා ගෙන හමාරය. දැන් ඒ යුද්ධයේ එක් පිළක් නිසා රටට ‍ලැබුනු එකක් සේ අර්ථ දැක්වෙද්දී අපේ රටට උදාන වාක්‍ය තැනීම දේශපාලන පිල් හා මහජනයා ගේ පිල් හරහා තවත් කල් යන්නේය. ආශ්චර්යයක් කරා යන ගමනකට කැපවීම ඉහළ සිටම විශම භාග බොරුවක් බව සාමාන්‍ය ජනයා වන අපට නම් පෙනෙන්නේ වටපිටාවේ සමාජයේ දෙපයින් රස්තියාදු වන්නන් නිසාය. ඒ සදහා ගැඹුරට යන චින්තනයකට සැබෑ කැපවීමකින් නිලය බලය ඇති ලොක්කන් පය තබා ඇතිද? ලොක්කෝ ඒ ගැන තමන්ගේ නොවන දුවා දරුවන්ගේ නෙත් දෙස බලාගෙන පපුවට ගසාගෙන කල්පනා කර බලත්වා!

තවමත් අපි අපේ රටපුර පෝෂණය කරන්නේ ඇහින්වත් නොදුටු පෙරදිග ධාන්‍යාගාර හා අපේ පිහිටීමත් සමග බැදි ඉන්දියන් සයුරේ මුතු ඇටය සංකල්පයෙනි. නමුත් දැන් දැන් සාහිත්‍යමය සංකල්පනාවට කැමති නැති පරපුරට ඒ ආකල්පය පමණක් දීම හුදකලාවට අත වැනීමකි. මොකක්දෝ චිත්‍රපටයක දුටු පරිදි බුරුමය ලෝකෙන් ලොකු රටක් ලෙස පෙන්වීමට ලෝක සිතියමේ බුරුමය ලොකුවට ඇන්දා සේ වර්තමානයේ අපේ රට සිතියමේ ලොකුවට ඇදීමෙන්ද ඵලක් නොවනු ඇත. එක්කෝ ආශ්චර්යයේ උදාන වාක්‍යයට සැබෑ අර්ථයක් දීමට ලොක්කන් බොක්කෙන්ම කැපවිය යුතුය. නැත්නම් අපේ උදාන වාක්‍ය ජනයා විසින් හෙළිදරව් කර පාලකයා වෙත එන්නත් කළ යුතුය. ඒ එන්නත් කටුව ඡන්දයකටම ලඝු කර ගන්නට උවමනාද නැත. එතැනින් මෙහා ගේ ඇතුළේ දරුවන්ගේ චින්තනය තුළට ඔබ රට ගැන දෙන උදාන වාක්‍ය හදන්න.. ඉන් තොරව කිසිවකින් ඵලක් නොවනු ඇත. රටට හෙන ගැහුවත් උඹ උඹේ ලෝකය තනා ගනින් කියා සිතන්නට පුරුදු කළොත් දරුවා දිනෙක සිය රට උගස් තබා හෝ ලෝකය අනුභවයට ගන්නට සැරසේවි. අවසානයේ ලෝකයේ ආහාරයක්‍ වේවි. හිතන්න උදාන වාක්‍ය අපි කැමති පරිදි හෝ ගෙයින් ගේ , දොරින් දොර පටන් ගනිමු. 

කවදා හරි අපි ලෝකය ඉස්සරහින් යමු. ලෝකය අපි පස්සෙන් ඒවි.. හැබැයි ඒ හොදන් හරි නරකින් හරි නොවෙයි. හොදින් විතරමයි, ජයවේවා.. අපට ජයවේවා රටට :)

Friday, September 26, 2014

නවකතා, කෙටිකතා හා අපේ කතා..

පාසලේ පන්තියේ ඩෙස්කුව අස්සේ පොත් ඔබාගෙන කියවූ කාලයක් අපට තිබිණි. විශේෂයෙන් මට තිබිණි. පන්තියේ වෙන පාඩමක් ඉගැන්වෙන අතර නවකතාවක් හෝ කෙටිකතා සංග්‍රහයක් හෝ වෙනත් සිත්ගන්නා සුළු පොතක් ඩෙස්කුව යට තබාගෙන කියවීම නිවැරදි ක්‍රියාවක් නොවේ. එය විශේෂයෙන් පන්තියේ ඒ මොහොතේ උගන්වන ගුරුවරයාට කරන නිගරුවකි. කෙසේ නමුත් අධිවේගී කියවීමේ හුරුවක් තිබූ මට බස්රථයේ මෙන්ම පාරේ පවා කියවීමේ පුරුද්දක් තිබුනේ එතරම් හොද විදිහකට නම් නොවේ. ඇබ්බැහියකට අනුවයි. ඒ ඇබ්බැහිය අවුරුදු දහයේ දොළහේ සිට පහළව දාසය වෙනකම් තදින්ම තිබුණි. පොතක් අතට ගත් විට එය කියවා නිම කරන තෙක් ඉස්පාසුවක් නොවීය. අපේ ඇබ්බැහිය නිසාම පොත් කියවීම සදහා රුචිවූ මිතුරු පිරිසක්ද එවකට පන්තියේ සිටියා මතකය. පොත් පත් හුවමාරු වුනා මෙන්ම මිලදී ගැනීමටත් අලුත් පොත් ගැන සොයා බැලීමට මිතුරන් සමග හෝ තනිවම පොත් සාප්පු වල කරක් ගැහීමේ පුරුද්දක්ද තිබුනි. නවමු කතා ලිවීම ඇරඹුන හැටිද ඒ කතා කියවීමට දෙතුන් දෙනෙකුගේ පිරිසක් සිටි බවද තවදුරටත් මතකය. එහෙත් ඒ කතන්දර කීමට ගියොත් කතාව වඩාත් දිග්ගැස්සෙන බැවින් ඒ කතා නවතා මේ කතාව කියන්නට අර අදිමි.

එනම්  අපි නවකතා තුළින් ජීවිතය කියවූ හැටිය. කෙටිකතා තුළින් මිනිස් මනස දුටු හැටිය. යොවුන් කතා තුළ වීරත්වයත් ළමා කතා තුළින් සුන්දරත්වයත් දුටු බවය. චරිත කතා මෙන්ම පරිවර්තනත් එලෙසින්ම අනුවර්තනත් අපේ ජීවිත වලට අපූර්වත්වයක් ගෙන ආවේය. සැබවින්ම පොත් අපට ගෙන දුන් මිහිර සහ තෘප්තිය කියා නිම කළ නොහැකි තරම්ය. පොත් අපේ මිතුරන් විය. ඒවා අපේ කුහුල් සිතට විවිධ සංකල්පනා ගෙන ආවේය. විවිධ චරිත ගෙන ආවේය.  විවිධ චරිත සමාජයේ දකින්නට පෙර අප කියවූයේ පොත් තුළිනි. දුටුයේ නවකතා, කෙටිකතා තුළ එළිදුටු සමාජවලිනි. ඇත්තෙන්ම කලකට පසු ඒ චරිත අපේ කතා තුළ අද අපි දකින්නෙමු.  ඒ ගනුදෙනු නවකතා කෙටිකතා බවට පත් කළ හැකි වුවත් නොකළා වුවත් ජීවිතය එතුළ කියවෙන්නේය. එපරිදි ජීවිත ගතවන්නේය, ගලා යන්නේය. නිර්මාණ යනු හුදු සංකල්පනා ලෝකයක් නොව භාවිත ලෝකයේම පිළිබිඹුවක් බව අපි එවිට වටහා ගත්තෙමු. ඒ වටහා ගැනීමට තරම් වත් ඉඩ කඩක් අපට ඉතිරි කළේ පොතපතේ අතීත මෙහෙවරයි. අතීත මෙහෙවරයැයි කීවේ අද එහි ස්වරූපය තරමක් වෙනස් වී අැති බව හැගෙන නිසාය. එය කාලයේ තාලයදැයි අපි නොදන්නෙමු.

විෂය ‍නිර්දේශයට පොත පත කියවන්නෝත් රසවිදීමට වඩා පාඩම් කරන්නෝත් අද අපට බොහෝ සේ මුණ ගැසෙති. නවකතා, කෙටිකතා කියවීමට වඩා පාඩම් කිරීම අපට නම් අමුතුම අද්දැකීමකි. ඒ පාඩම් කරන්නේ විභාග වලට උත්තර ලිවීමටය. එය තවත් අපූරු නාටකයකි. කියවීමට පත පොත නොමැති කමද, වේලාව නොමැති කමද, වෙනත් සන්නිවේදන මාර්ග නිසා පොත පතේ සන්නිවේදනය දුර්වල වී අැති දැයි අප නොදන්නෙමු. නමුත් මෙහේ සාමාන්‍ය ජනයා අතර සාමාන්‍ය වෙසින් හිදින අපට නම් ඒ අඩුව හොදින් දැනෙන්නේය. කොළඹින් බැහැර පළාත් වල දුවා දරුවන් කවදත් මෙහිදී අසරණය. හොද පුස්තකාලයක් මෙන්ම හොද අවස්ථාත් ඔවුන්ට සුලභව තවමත් ලැබෙන්නේ නැත. කියවන්නට කියනවා විනා නිරවුල් පැහැදිලි රසවින්දනයට අවස්ථා ඔවුන්ට හිගය. ගමෙන් බිහිවන අංකුර ලේඛක දරුවන් එතැනම වැළලී යන්නේ ලේඛකයා කියා රස්සාවකට මෙහි ඉඩක් නොහැදෙන නිසාමය. ඔවුන් බැරි විෂයන් වල රස්තියාදුවන්නේ එනිසාය. එකකට හැකියාවක් අැතිව වෙනකක් කරන්නේ එනිසාය. 

උපාධිය එකකින් ලබා කාලයක් තිස්සේම වෙනතක නිෂ්ප්‍රයෝජන රස්සා කරන මෙහි උදවිය කරබාගෙන ඒවා කරන්නේ පඩිය පමණක් සළකාම නොවෙද? ඔවුන්ගේ දරුවන්වත් තමන්ගේ තැනටම දක්කන්නට ඔවුන් සුදානම්ද? එක එකා ගොඩයන්නට හිතන අපේ චින්තනයෙන් මෙයට නම් පිළියම් සොයාගත නොහැකිය. අපි කෙටිකතා වල දුටු, නවකතා වල කියවූවාටත් වඩා හොදින් තවම රටේ එබදු කෙරුම් නම් එයාකාරමය. ඉතින්  ලේඛකයෝ පමණක් නොව කොයි ක්ෂේත්‍රයේ වුවත් නිර්මාණ කරුවන් බිහි කරන්නට තවමත් මෙහි පසුබිමක් නැත. ඇත්තේ කා යටතේ හරි රස්සා කරන්නවුන් පමණක් බිහි කිරීමේ පසුබිමකි. 

අද නැතත් හෙට මේ වැරදි ගමන අප නිවැරදි කර ගත යුතුව ඇත. නිවැරදි දිශාවන් ඔස්සේ විවිධ ක්ෂේත්‍ර වල නිර්මාණකරුවන් බිහිවන්නට පසුබිමක් රටෙහි හැදිය යුතුව ඇත. තමන්ගේ බසින් තමන්ගේ මගින් තමන්ගේ ක්‍රමයට ලොව දිනන වෙනත් ජාතීන් මෙලොව සිටිත් නම් අපේ භාෂාවෙන් අපේ නිර්මාණ මතින් අපේ විද්‍යාවකින් ලෝකය ජය ගන්නා මාර්ගයක් අපට ඇත්තේ නැද්ද? අපේ කතාව නිර්මාණය විය යුත්තේ ඒ මගකින් නොවේද? බුද්ධියත් විශ්වාසයත් නොව අපට තවමත් මද පසු නොබසින වීර්යයෙන් ඉලක්කය වෙත යන්නට පැහැදිලි ගමන් මගකුයි. එ් ගමන් මග දිගු වන්නටත් පිළිවන. කටුක වන්නටත් පිළිවන. එහෙත් පැහැදිලිව දිගටම ඒ මගේ නිවැරදිව යන්නේ නම් දිනෙක අපටද ජය නියත වනු ඇත.

ඉලක්කය අපේ පූර්ණ බවයි. නිවැරදි සංවර්ධනයයි.  රට ගොඩනැගීමයි.

ප්‍රශ්නය, කොහේද ඒ ඉලක්ක වෙත යන පැහැදිලි ගමන් මගක්, කරුණාකර එය නිරවුල්ව අපට පෙන්වන්න. 

අපේ අලුත්ම කතා ලියවෙන්නට ඕනෑ ඒ ඔස්සේය. කෙටිකතා, නවකතා මෙන්ම නවමු කතා ඒ ඔස්සේ ලියවෙන්නට ඕනෑය. මත්තේ ඒ මත්තේ අනාගතයක් නිමවෙන්නට ඕනෑ නම් පවතින්න ගැන විචාරාත්මක සංකල්පනා කලඑලි බැසිය යුතුමය. 

අතීතයේ අපි කියවූ චරිත අනාගතයට වලංගු භාවයක් සහිතව බිහිවන්නට උවමනාය. එසේනම් අලුත් චරිත බිහිවිය යුතුය. නිවැරදි මගක අලුත් චරිත බිහි කරන්නට නිර්මාණය කරන්නට අපි සමත් විය යුතුය. අපේ ක්‍රමයේ අපේ චරිත සමාජයේ රජ කරන්නට නම් අපි ගැන අපට හැගීමක් තිබිය යුතුය, ලැබිය යුතුය. අපේ වටිනාකම් අනන්‍යතා අපි වටහා ගත යුතුය. අනාගතයට වලංගු අතීතයක් අැති චරිත අවසන අපේ කතා තුළ අපි බිහිකළ යුතුව ඇත. 

විවිධ චරිත අලුත් සමාජයට නිවැරදි ලෙස විවර කළ යුතු කාලයයි මේ. එය ලේඛනයෙන්, දේශනයෙන් හෝ රංගනයෙන් වන්නට පිළිවන. කොටින්ම නවකතා, කෙටිකතා තුළ ඇති අපේ කතා නිවැරදි ඇසකින් සමාජය වෙත සජීවීකරණය විය යුතු කාලය නොවෙද මේ.

Sunday, September 21, 2014

අනුන්ගේ ප්‍රශ්න, මගේ ප්‍රශ්න හා අපේ ප්‍රශ්න.

'එය ඔබේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නොවේ' - සමහර අවස්ථාවල අපි භාවිත කරන යෙදුමකි. ඇත්තටම මතුපිටින් නම් එය සම්පූර්ණ සත්‍යයකි. මගේ ප්‍රශ්නය මගේය. ඔබේ ප්‍රශ්නය ඔබේය. එබැවින් එකිනෙක නොබැදෙන විට ඔබේ ප්‍රශ්නය මට ප්‍රශ්නයක් නොවන්නා සේම මගේ ප්‍රශ්නය ඔබටද ප්‍රශ්නයක් විය නොහැකිය. ඉතිං අප එකිනෙකාගේ ප්‍රශ්න වෙත ඇගිලි ගැසිය යුතුද නොවේ. එය තවත් ආකාරයකින් ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වයයි. අපේ පුද්ගලභාවයයි.

නමුත් හැම ප්‍රශ්නයක් ගැනම එසේ වනවාද? එහෙනම් අපේ ප්‍රශ්න කියන්නේ මොනවාද? ඉන් කියවෙන්නේ ඔබටත් මටත් දෙදෙනාටම බලපාන පොදු ප්‍රශ්නත් තිබෙන බව නොවේද? සමහර විට එබදු තැනකදීත් එය ඔබේ ප්‍රශ්නයක් පමණක් ලෙස මට දැනෙන්නේ නම්, මගේ ප්‍රශ්නයක් ලෙස පමණක් ඔබට දැනෙන්නේ නම්.. අපි යන එකතුව තව දුරටත් රදා පවතිද්ද? නැත. එවිට සිටින්නේ් ඔබත් මමත් යන දෙදෙනෙක් ම පමණි. එය තවත් ප්‍රශ්නයක් විය හැකිය.

එකක් දෙකක් තුනක් , සීමාවක් නැත. විවිධාකාරයේ ප්‍රශ්නය.

අරයාගේ මෙයාගේ කීවත් සමස්ථ වශයෙන් විමසූ විට ලොව තුළ ඇත්තේ එකම ආකාරයේ ප්‍රශ්න නොවන්නේද? දුක මුල් කොට ගත් ප්‍රශ්න, සැප මුල් කොට ගත් ප්‍රශ්න, කීර්තිය මුල්‍ කොට ගත් ප්‍රශ්න, අපකීර්තිය මුල් කොට ගත් ප්‍රශ්න, ලාබ මුල් කොට ගත් ප්‍රශ්න, අලාබ මුල් කොට ගත් ප්‍රශ්න, නින්දා මුල් කොට ගත් ප්‍රශ්න, ප්‍රශංසා මුල් කොට ගත් ප්‍රශ්න... කැරකෙන අෂ්ට ලෝක ධර්මය.  සියලු ප්‍රශ්න ඔය අට ලෝ දම් මූලයන් මත නොරැදෙනවා යැයි කිව හැකිද? නොහැකිය. කියනවා නම් ප්‍රශ්නයක මූලය සොයා ගැනීමට අපට ඇති නොහැකියාව මිස අන් කවරක්ද?

එනයින් බැලූ විට මගේ ප්‍රශ්නයත් ඔබේ ප්‍රශ්නයත් එතැනින් එහා අනුන්ගේ යැයි කියන ප්‍රථම පුරුෂ දෘෂ්ටියෙන් දකින ප්‍රශ්නත් සියල්ල එකම මූලයන්ගෙන් නැගෙන ඒවාය. එසේ කියා අනෙකාගේ ප්‍රශ්නය තමන්ගේ කරගන්නට කවුරුන් හෝ ඉදිරිපත් වන්නට උවමනා නැත. නමුත් කවදා හෝ අපි අපේ කියා මගේ කියා මුහුණ දෙන ප්‍රශ්නයත් දිනෙක අනුන්ගේ ප්‍රශ්නයක් වූ එකක් බව පමණක් මතකයේ රදවා ගැනීම බුද්ධිගෝචරය. එය තවත් බොහෝ දේ ගැන ගැඹුරු වැටහීමක් ලබා ගැනීමට දිනෙක ඔබට උපකාරී වනු ඇත.

 

පහත ප්‍රශ්න - සමහරෙකුට ප්‍රශ්න වූ නිසා අපට වාසි වූ ඒවාය. ඒ විග්‍රහයන්ගෙන් සමහරෙකුට සතුට නැත්නම් සැපය මෙන්ම කෙනෙකුට අසතුට නැත්නම් දුක ඇතිවිය හැකියි. එය මගේ ප්‍රශ්නයක් නොව ඔබේ ප්‍රශ්නයකි. මට මොකද, අනුන්ගේ ප්‍රශ්න :)

ඔලුවට ඇපල් ගෙඩියක් වැටීම ප්‍රශ්නයක්ද?  තිත්බටු ගෙඩියකට වඩා ඇපල් ගොඩිය විශාල බැවින් හිසට වැටුනු විට රිදීමක් දැනේ. රීදීම දුක ඇතිකරයි. ගෙඩිය බිමටම වැටුනේ ඇයි දැයි හිතෙයි. එය ඔලුවට වැටුනේ බිමටම වැටුනු හෙයිනි.

දිය පිරුනු නාන බේසමට බැස්ස පසු බේසමෙන් පිටට ජලය උතුරා යාම ප්‍රශ්නයක්ද? ජලය ප්‍රමාණාත්මකව මෙන්ම ස්ථානීයවද අැති  කරන ගැටළු විවිධාකාරය. වැඩිවූ විට මෙන්ම හිග වූ විටද සැප මෙන්ම දුකද ඇතිවේ. නාන බේසමට දිය පිරවිය යුත්තේ එකක්මද?  භාගයක්ද යන්න හිතා බැලීමට සිදුවෙයි. කටටම පුරවා එය තුළට බැස්ස විට බේසම උතුරා ජලය ගලන නිසාය ඒ.

ජීවිතය ප්‍රශ්නයක්ද? ඇතිවන ප්‍රශ්න නිසාම ප්‍රශ්නයක් වේ. විසදුම් නැති විට බරපතළ ප්‍රශ්නයක්වේ. අටලෝ දහමම මෙතැනය.

මරණය ප්‍රශ්නයක්ද? අමර වෙන්නට හිතුණු විට, එසේ වන්නට නොහැකි හෙයින්ම ප්‍රශ්නයක් වේ. මරණයට බිය දැනෙන විටද, කල් දා ගැනීමට නොහැකි තැන විටෙක ඇතිවන ප්‍රශ්න නිසාමද ප්‍රශ්නයක් වේ. වැඩියෙන්ම දුකය.

තවත් ප්‍රශ්න මෙලෙසින් විග්‍රහ කර බලන්න. ඔබට කාලය, විවේකය තිබෙනවාද යන්න මට නම් ප්‍රශ්නයක් නොවේ:)

Thursday, September 18, 2014

ජීවිතයේ මානය හා ලයිෆ් එකේ මිනුම?

හැමදේටම මිම්මක් තිබෙනවාට අප කැමතිය. ගාණට මිම්මට එක එක දේවල් ගැන කතා කරන්නටත් පාරම්බාන්නටත් එවිට අපට හැකිය. නවය පන්තියට වඩා එකොළහේදී අප ලොකුවට හිතන්නට පෙළඹෙන්නේ සමහර දේවල් වැඩියෙන් මනින්නට අප දන්නවා කියා හිතාය. උසස් පෙළට ආ පසු හිතන්නේ සා පෙළ දී නම් අපි මැට්ටන් ගානට සිතූ බවකි. එහි අදහස උසස් පෙළදී දැන උගෙන ගන්නා මිනුම් වඩාත් වැඩිහිටි සමාජ පරිමාණයේ ඒවායි හිතෙන නිසාය. අනික එතැනින් එහා පාසලේ පන්තිත් නැත. එබැවින් ලොක්කන් අපය.

 හැබැයි මේ සියල්ල ඉගෙන තවත් ඉහළටත් ඔය ලෙසින්ම වසරින් වසර ගොස් තවත් වසර ගාණකට පසු බැලුවාමත් වැඩි දෙනෙකුට හිතෙන්නේ අපි දන්නා මැනුම් ප්‍රමාණවත් නොවන බවකි. උගත් දෙයින් මිනුම් හදා ගන්නා බොහෝදෙනා සිටියත් බොහෝ දෙනා ඒ මිනුම් වලින් සෑහීමකට පත් වන ලෙස මැන ගැනීමට නොහැකිවත් සිටිති. ඉතින් ගාණට මිම්මට එක එක දේ ගැන මිනුම් දෙන්නට බැරි වුනාම හිතට එන්නේ අසම්පූර්ණ හැගීමක්ය. 

සමහරු නම් හරි හතැරැස් දේත් රවුම් මිනුමටම හිර කර දමති. තවත් අය රවුම් දේත් හතරැස් මිනුමේ දමති. සමහරු අටපට්ටම් මිනුම් ද භාවිත කරති. එතැනදී අෂ්ඨ ලෝක ධර්මයක් ගැනත් සිහිපත් කරති. 

කොහොම වුනත් අවසන මානය නොදැන මිනුම ගැනීමට යාමෙන් බොහෝ දෙනා අසරණ වන බව නම් සහතිකය. ඒ සහතික බොහෝ තැන්වලින් බොහෝ දේවලින් දකින්නට, පෙනෙන්නට ඇත.

චරිත තුළින්, භූමිකා තුළින් ලයිෆ් එක මනින්නට කලින් ජීවිතයේ මානය සොයා ලයිෆ් ‍එකේ මිනුම ගන්නට හිතුවොත් ... 

කල්පනා කර බලන්න අපට වැරදුනු තැන් හොයාගන්න, හදාගන්න.. චරිතය හැදේවි, භූමිකා ලැබේවි. ඔබේ ප්‍රේහේළිකාව? එවිට විසදේවි.

Wednesday, September 17, 2014

ඇතුළත් පිටත් අතර ගමන දොරටුවකිනි.

දිනක් තරමක දුර බැහැර වෙසෙන අප සගයෙකුගේ නිවසට යම් කාරණයක් සදහා ගිය අපට ඒ මොහොතේම අපූරු රාජකාරියක් පැවරුණි. රාජකාරියක් කීවාට එය ඇත්තටම පුංචි උදව්වකි. ඒ උදව්ව නම් අලුතෙන්ම සාදවා ගෙනවිත් තිබූ අල්මාරියක් නිවස තුළට ඇතුළු කිරීමයි. බඩු ප්‍රවාහනය සදහා පැමිණි කීප දෙනෙකු සිටියත් ප්‍රධානම ගැටළුව වී තිබ‍ුණේ නිවසේ දොරෙන් අල්මාරිය ඇතුළු කිරීමයි. සගයාගේ හා පවුලේ අයගේ වාසනාවට නගරාසන්න නිවසක් වූ එහි දොර අල්මාරියේ පළලට වඩා අගල් බාගයකින් වැඩිවිය. එබැවින් නිවසේ දොර ගැලවීමේ උවමනාවක් ඇති නොවිණි. දශමයෙන් අල්මාරිය නිවස තුළට රිංගවන්නට හැකිවිය. 

නිවසකට දොරවල් තිබෙන්නේ අපට එන්නට යන්නට පමණක්ද? නැත. ජනෙල් තිබෙන්නේ ආල‍ෝකය ලබා ගන්නට පමණක්ද? නැත. ධර්මයේ අසා ඇති පරිදි අප ශරීරයේත් දොරවල් නවයකි. අප විසින් ඒවා ඉච්ඡානුගව මෙන්ම අනිච්ඡානුගවත් භාවිතයට ගැනෙන්නේ එකම කාර්යයන් සදහාද? මූලික වශයෙන් අතිශය සමාන වුවත් ද්විතියික වශයෙන් සමහර දොරක කාර්ය සමාන වන්නේ නැත. එනම් එහි අදහස විවිධ දොරටුවලින් අප ගන්නා ඵලයන් එකක් ම වන්නේ නැති බවය. 

දොර මුල්ලක හැංගී හැංගිමුත්තන්ද කළ හැකි බව හැබෑය. අල්මාරි දමන්නට නොහැකිව උළුඅස්ස පිටින්ම දොරපියන ගලවා ආපහු දොර සවිකරන්නන් සිටින බව ද සැබෑය. එහෙයින්ම දොරක් දැමීමට පෙර කල්පනා කළ යුතු දෑ එකක් නොවන බව පැහැදිලිය. දැම්මොත් දැම්මා මිස වරින් වර පියන මිස ගෙඩිය පිටින් දොර ගැලවීමට යාම නුවණක්කාර දෙයක් වන්නේ නැත. එහෙයින් මෝඩයෙක් නොවන්නට නම් ගෙදරට හරියටම හරියන සේ දොර මඩලම දමා ගත යුතුය.

ඇත්ත වශයෙන්ම ගත් කළ මුදල් නැත්තෝ කෙසේ වෙතත් ඇත්තෝ නම් දොරවල් උවමනාවටත් වඩා පළල් ‍කර ගෙදර කීප අතකින්ම දමා ගනිති. මුදල් නැත්තෝද පියන දොරටම අල්ලන්නට නොහැකි නම් හේත්තු කරන්නට හෝ ‍දොරක් නම් හදා ගනිති.

අපේ ශරීරයේ දොරටු නවයක් ගැන කතාකළත් බුද්ධියේත් හදවතේත් දොරටු ගැනනම් ගොඩක් දෙනා වෙහෙසනවාදැයි අපට ඇත්තේ සැකයකි. ඔලුවට දමාගන්නා දේත් හදවතට දමාගන්නා දේත් ආපසු ඔලුවෙන් බැර කරන දේත් හදවතින් බැර කරන දේත් අතරද දොරවල් පිළිබද ප්‍රශ්නයක් නැතැයි අපට කියන්නේ කොහොමද? 

තෙල් වැඩිවූ විට නහරයක් හිරවේය, කැටියක් හිරවූ විට කපාටයක රුධිර සැපයුමක් අවහිර වේය යන්නට වඩා වැඩි දෙයකි, බුද්ධියට හා හදවතට තනා ගන්නා මනසේ දොරටු. ඒවා අරින්නට බැරිද, වහන්නට බැරිද, සීල් වැටිලාද, අගුලු කැඩිලාද.. ඒ ගැන අපගේ උනන්දුව ශරීරය ගැන දක්වන උනන්දුව සේම වැදගත් බවට ටීකා ටිප්පණි වලින් වැඩි දුරටත් කිව යුතුද? නැත.

සියල්ල එක දොරකින් ගන්නට හැකිද සිතන්නා සේම. ඇතුළට ගන්නේ කුමක්ද යන්නත් එළියට දමන්නේ කුමක්ද යන්නත් අවබෝධයකින් කළ යුතු නොවෙද. අධ්‍යාපනය වේවා, කලාව වේවා, දේශපාලනයක් වේවා, වෙළහෙලදාමක් වේවා, රෝගාබාධයක් ගැන වේවා..මෙකී එකී නොකී හැමදේ ගැනම අප එකිනෙකා හා ගනුදෙනු කරන්නේ ඒ ඒ දේ ගැන බුද්ධිය හා හදවත නැතිනම් දැනුම හා හැගීම මත පදනම්ව නිසා අප‍ට අපේ දොරමඩලේ යහපත් ක්‍රියාකාරී භාවිතය කොතරම් නම් ප්‍රයෝජනවත් වනවාද.  සැබවින්ම මනසේ ඇති දොරමඩලේ දොරටු වලට තෙල් ග්‍රීස් වැටෙන්නේ නැතිනම් ඒවා මළ කනු ඇත. කෑ මළ සුද්ද කර දමන්නේ නැතිනම් ඒවා කලකදි දිරා ගොස් දොරටු කඩා වැටෙනු ඇත. එවිට අපි අවිඥානිකව ක්‍රියා කරන මිනිසුන් මිස තවදුරටත් සවිඥානිකව ක්‍රියා කළ හැකි අය බවට පත් කරගත නොහැකි වනු ඇත. 

එබැවින් තම තමන්ගේ දොරටු මණ්ඩලයම හදා ගැනීමට අප ක්‍රියාකළ යුතුව ඇත. ඒ සදහා ශ්‍රමයක් වැය කළ යුතුව ඇත. ශාරීරික ශ්‍රමයට වඩා මානසික ශ්‍රමය එහිදී ප්‍රමුඛතාවයේ තිබෙනු ඇත. ශරීරයේ දොරටු නවයෙන් යමක් යම්ලෙස අප පාලනයේ යම්තාක් පවතීද, ඊට වඩා වැඩි ගුණයකින් අපේ මානසික දොරටු අපි ශක්තිමත් කරගත යුතුව ඇත. ශාරීරික තත්වයන්ට වඩා එය අපේ ආධිපත්‍යට නතුය. දොරටු පාලකයන් වන්නේ අපිම නම් ඒ දොරමඩලාවේ සැබෑ ප්‍රයෝජනය ගන්නට අපිට හැකිවෙනු අැත. හැබැයි ඒ අවංකව දියුණු වන්නට අවංකව උත්සාහකරන ස්වභාවයෙන් නැත්නම් සද්භාවයෙන්ම විය යුතුය.

Tuesday, September 16, 2014

නැගපු ඉණිමගට පයින් අනින්නෝ දිනන්නෝ නොවෙති.

ජීවිතේ විදවන්නෙ නැතිව විදින්න ඕන කියල හිතන සමහරු තමන් නැගපු ඉණිමගට පයින් ගහන්නෙ ආයෙ කවදාවත් පහළට බහින්න වෙන්නෙ නැතිවෙයි කියල හිතාගෙන. හේතු සාධක ගැඹුරට නොවිමසා අතමන්ට අත හිත වගේම නොහිතන, නොදැනෙන ලෙසින් උපකාර වුන දේවල් සියල්ල පුංචිම කාරණයක් නිසා අමතක කරන්න පෙළඹෙන අය අද සුලබයි. සියලු ගනුදෙනු මුදල් අගයකින් හිතන්න ගත්තම කළගුණයත් සළකන්නෙ මුල්‍ය වටිනාකමෙන් තක්සේරු කරල. අන්න එතනදි අපි නොහිතන විදිහට අපේ පයෙන් පහර වදින්නෙ අර නැගෙන්න උදව් දුන්න හිණිමං වලට. 

හිතන්න කාලයත්, උවමනාවත් දෙකම නැතිවුන තැන පහසුවෙන් හිතල, මුදලින් තක්සේරු කරල අර පරණ ගනුදෙනු ඔක්කොම එක චෙක් එකෙන් ඉවර කරන එක අපිට හරි ලේසියි. නමුත් ඒක මනුස්ස කමට තරම් දෙයක් නොවෙයි. එක වතාවක් නොවෙයි, දෙවතාවකුත් නොවෙයි, තුන් වතාවකට වැඩියෙන් එක වතාවක් උනත් ඒ ගනුදෙනු මනුස්සයො හැටියට මුදලට එහා ගිය මනුස්ස කමෙන් මැනල බේරගන්න එක වටිනව. හැබැයි ඔය අතරෙ අනුන්ගෙ මනුස්සකම තමන්ගෙ කපටිකමට උදව්වක් හැටියට භාවිත කරන අයත් ඉන්න බව අපි මතක තබා ගන්න ඕනමයි. එහෙම අයට ටිකක් හොදින් සළකන විදිහක් ගැනත් අපි බුද්ධිමත්ව කල්පනාවට ගන්න ඕනමයි. මොකද මනුස්ස කමත් රැවටීමත් දෙකක් නිසා.

සමහර විට අපට ඉස්සරහට යන්න තල්ලුව ලැබුනෙ කොතනින්ද කියල අපට මතක නැහැ. මොකද ඒ වැඩිපුර අපි හිතන්නෙ අපෙන් අනුන්ට වුන දේවල් මිස අනුන් ගෙන් අපිට වුන දේවල් නොවන නිසා. ඒ නිසාම අපෙන් පරිත්‍යාග වුන කෙන්ද අනුන්ගෙන් ලැබුනු කන්දට වඩා අපි අගය කරගන්නවා. ලොකුවට හිතනවා. කියනවා. නමුත් ඇත්තෙන්ම බැලුවොත් අර අනුන්ගෙන් අපට ලැබුනු කන්ද හමුවේ අපෙන් පරිත්‍යාග වුන කෙන්ද තඹයක් වටින්නේ නෑ. හැබැයි මේ වටිනාකම් ගැන කියන්නේ මුදලින්ම නොවෙයි. මුදලට වඩා වටින තවත් දේ තියෙන බව ඔබත් මමත් හොදින්ම දන්නවා. සමහර විට ඒ පුංචි අවවාදයක් ම වුනත් වෙන්න පුළුවන්. වඩා වටින්නේ බොරුවක් වෙනුවෙන් දෙන කෝටියකට වඩා හොදට හැදෙන්න දෙන පුංචි තරවටුවක් වෙන්න පුළුවන්. අපේ කාලයේ එහෙම ගුරුවරු එක්කෙනෙක් හෝ දෙන්නෙක් අපටත් හිටීම ඒ ගැන තේරුම් ගන්න අපට ආදර්ශයක් වුනා.

නමුත් අද ඒ සියල්ල අහවර නිසා, අවවාදයක් කියන එක දැනෙන්නේ ජීවිතේ විදවන්න කියන එකක් වගේ. අවවාද දෙන විදිහ වගේම ගන්න විදිහත් ප්‍රශ්නයක් වෙලා. ජීවිතේ විදවන්න තියෙන දේ ගැන නොදැන ජීවිතේ විදින්න ගියොත්  ලොකු අමාරුවක වැටෙන බව බොහෝ දෙනාට වැටහෙන්නෙ නෑ.

කොහොම උනත් දියුණුවේ රන් දොරටු ඇරගන්න පුළුවන් අතීතෙ අමතක කරලවත් මුදල් හයියෙන් අතීතෙ දොරටු වහලවත් නොවෙයි. ඒ අද්දැකීම්, අත්විදීම් නිවැරදි විග්‍රයකට ගෙනත්. අපි අවබෝධකරගත් ධර්මයත් උදව්වට අරන්. සාධාරණ මිනිස්සු වීමෙන්. එතනදි අපට අවංකවම ජීවිතේ විදින්න පුළුවන් වෙයි. ඇත්තටම විදවීම කියන්නෙ මොකද්ද කියන එකත් එතනදි තේරුම් ගන්න පුළුවන් වෙයි. 

විදීමත් විදවීමත් පටලවා ගත් ලෝකෙක ජීවිතේ විදීම කියන්නෙ තනිකරම මාකට් එකක් හා බැදුනු දෙයක්. ඒ විදීම තුළ ගියොත් අපි කාටත් හොද මිලකට අලෙවි වෙන්න නම් පුළුවන්, තමන්ගෙ හැකි කම අනුව. හැබැයි ටිකකින් හරි ඒ අලෙවි වීම තුළට අැතුළත් නොවී ජීවත් වෙන්න අපට බැරි වුනත් ඒක තුළත් සාධරණයක් යුක්තියක් තියා ගැනීමයි වැදගත්. එතනදි ඉණිමගේ නැගපු හැටි ගැන මතක තිබීම අතිශයින් වැදගත්.

Monday, September 15, 2014

කොහොඹ පොතු හරි පැණි රහයි.

කොහොඔ පොතු තම්බා බීම කොත්තමල්ලි බීමට වඩා දුලබ වුවත් ඇගට ගුණදායකයැයි අපි අසා ඇත්තෙමු. අසා ඇතිවා පමණක් නොවේ, අම්මා තම්බා දෙන කොහොඹ පොතු පානය අදටත් බොන්නෙමු. කොහොඹ පොතු වල රසය දරා ගත නොහැකි නිසා කුඩා කළ බීවේ සීනි ස්වල්පයක් අල්ලට හලා එහි රසයත් දිව ගාමිනි. නමුත් තරුණ වියට එළඹෙත්ම ක්‍රමයෙන් පුරුද්දක් හදා ගත් මම අද කොහොඹ පොතු බොන්නේ රසය පිළිබදව කිසිම බාහිර උත්ප්‍රේරකයක උදව්වක් නොගෙනය. කොහොඹ පොතු හරි පැණි රහක් වී ඇත්තේ එබැවිනි. නමුත් රසය නොමරා ඉව්වොත් තවමත් කරවිල කන්නේ නම් බෙහෙත් කන ගානටය. අගුණද අගුණ නැතත් ටිකක් බෙහෙත් ගානට කන්නෙමි. ලංකාවේ ජීවත් වන අපට මේ රසය ඇත්තටම සිහිකරන්නේත් උගන්වන්නේත් රටේ ජීවත් විය යුතු ආකාරයමයි. 

කිසිවෙක් කිසිදු ලාබයක් නොලබා යහපතකට අත ගසන්නට අකමැති වෙමින් යන යුගයක, තමන්ගේ කැපිටල් අයි හයම(බුද්ධියේ ජාන අගය පිළිබද සරල දැක්වීම) වුව වෙනත් දේශයන්වල තමන්ගේ අභිමතයන් වෙනුවෙන් දියකරන්නට ලොල්වෙමින් යන යුගයක, සත්‍ය ගැන බිංදු මාත්‍රයක අවබෝධයක් ඇත්තවුන්ගේ දේශයක, දහසකුත් නන් දොඩවන්නන් අතර හිද, සත්‍ය වෙනුවෙන් වදවෙන මිනිසුන් ස්වල්පය හා එක්ව හිද, පවතින ක්‍රමයේ අනේක පීඩාව හා අයුක්තියද විදිමින් වුව, හිස කෙළින් කොටගෙන  ජීවත් විය හැක්කේ- අර කොහොඹ පොතු වල ගුණය සළකා එය පැණිරහක් කොට ගත හැක්කවුන්ටම පමණි. ඒ කියන්නේ බුද්ධියක් පමණක් නොව හොද දරාගැන්මේ ‍හදවතක්ද ඇත්තන්ට බවයි. 

නිවට නොවන ගති ඇත්තාක් මෙන්ම හොද ඉවසීමකුත් ඇති, හදවතකුත් ඇති බුද්ධිමත් ජනයා  අද මෙරටට අවශ්‍ය වී තිබේ. එකක් තිබෙද්දී අනෙක නැති ජනයාත් සමග රට ඇදෙන්නේ රස්තියාදුවකටය. ඒ රස්තියාදු ගමන හරියටම වට රවුමක ගමන වගේය. මගේ ශක්තිය අනෙකාගේ ශක්තිය හා එකතු කරන ක්‍රමයක් මෙහේ තිබුණි. අත්තම කියා කිව්වේ එක්තරා විදිහකට එහෙම ක්‍රමයකටය. අද එ් අත්තම් අහෝසිය. අත්තම් සහාය වෙනුවට මුදල් දීමෙන් ගෞරවය ලබන්නට හදන්නෝ එමටය. මුදල් යනු මිනිහෙක්ගේ ඉදිරිපත් වීම තරම් වටිනා දෙයක් නොවේ. එය භාණ්ඩ හා සේවා වටිනාකම් සදහා භාවිතා කරන ඒකකයක් පමණි. 

දේශපාලනයේ අැත්තේ අතිශය දුර්ජන හීනෝන්මාදයකි. එක්කෝ මමය, නැත්නම් අනෙකාය. දෙතුන් දෙනා එකම වැඩකට කර ගහන්නට එකා මෙන් එක් නොවන්නේ කීර්තිය, ගෞරවය බෙදී යන නිසාද? බලය බෙදී යන නිසාද? යහපත් වැඩක් වුවත් කීර්තිය, බලය නැත්නම් අත ගසන්නට බැරිද? එසේ සිතනතාක් අපි අනුන්ගෙන් යැපෙන නිවට නියාලු රටක් පමණය. 

අවසානයේ තෙවැනි ඇසකින් බැලූවිට පෙනෙන්නේ සියල්ලෙහි සත්‍ය අවබෝධකරගත හැකි තරමේ මානසික තත්වයකින් යුත් ජනතාවක් තුට්ටුවක් නොවටිනා වරදාන මත නොමග යවනා බවය. නොමග යන බවය. දේශපාලකයෝ ජනතාව නොමග යවන ලෙසින්ම පෙරළා ජනතාවද ‍ඔවුන්ට නොමග යන්නට රුකුල් දෙති. පෙරමං තනති. අවසානයට එකා පස්සේ එකා අල්ලන්නට වටරවුමක දුවති. ඉන් ඇරඹෙන සුලියේ කැරකෙන රටේ සියලු දෙනා ඔහේ සුළිය ඔස්සේ ඇදෙති. 

අධ්‍යාපනයට මගක් නැත. කලාව අයාලේය. විධිමත් රැකියා අවස්ථා බිහි කරන ක්‍රමෝපායන් හෝ ඒ සදහා ඵලදායී මෙහෙවරක් කිරීමට හෝ ලබා ගැනීමට මගක් නැත. අාගමික, ජාතික සහජීවනයට දිගුකාලීන ප්‍රතිපත්තිමය වටිනාකම් හදන්නේ නැත. නීතිය හෝ යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් සැකසෙන අපේම වූ ක්‍රමයක නිසි වැඩපිළිවෙලක් නැත. පරණ රෝම හෝ ලන්දේසි රෙගුලාසි අස්සේ සුද්දාගෙන් අල්ලා ගත් ආර්ථික මාර්ග හා මහා මාර්ග තුළ අපි තවමත් යන්නෙමු. ණයට මුදල් ගෙන, ආධාර ගෙන අසරණ අපේ ගොඩනැගිලි, මාර්ග තනා ගෙන ඒවා තනා දුන් උදවියට ගෞරවය, ආදරය මෙන්ම පිං ද දී වන්දනාමාන කරන්නෙමු.  එහෙත්...

මේ සියල්ල වෙනුවෙන් හොදම පිළිතුරු කතා මෙහේ ඇත, ඒ කතා තුළ අධ්‍යාපනයේ සිට ලෝකයේම ආශ්චර්ය කරා යන සැළසුම් අප සතුව ඇත. ඉතිහාසයේ මෙන්ම අදද අප කරන වීරකම් වල කෙළවරක් නැත. නමුත්...

‍රටේ, ජාතියේ හැබෑ උන්නතියක් ගැන හිතන මහ ජනයා හා ජන නායකයින් තැන තැන කරන කතා අහන්නට වගකිවයුතු කෙනෙක් නැත. ඒ වෙනුවෙන් නැගිටන කෙනෙක් නැත. එපමණකට ඔතෑනි කම ඉහ මුදුනෙන් දෙපතුළටම බේරෙමින් ඇත. නිවට ‍කම තුළ ගව් ගානක් ගිලී ඇත. මට බාර් එකක් නොවෙයි, අපේ පවුලම හොද බාර් කාරයෝ කියා සමහර දේශපාලන නායකයන් කියන අයගේ කටින් කියවෙන්නේ එනිසාය. බාර්ද,  බුකිද, ගණිකා නිවාසද කරගෙන යන්නට සමහරුන් මෙහේ නිල වශයෙනුත් නොනිලවත් අයිතිය හදාගෙන ඇත. ප්‍රශ්නය බුකිය කාගේද යන්නම නොවේ, ඒ අයිතීන් ලබා ගන්නේ කෙලෙසකද යන්නමත් නොවේ. ඒ ප්‍රශ්න අතරින් අපට ප්‍රමුඛ වන්නේ ඒ දේවල් පොදි බැදගෙන අප යන්නේ කොහාටද යන්නයි. දේශපාලනය වමේද, දකුණේද යන්නට වඩා ඔවුන් කරන්නේ මොකක්ද යන්න තේරුම් ගැනීම වඩා වැදගත් වන්නේ එහෙයින්.

බටහිර ක්‍රමයට කැමතිව හිතන අයට වඩා පෙරදිග ක්‍රමය තුළ සැකසුණු රටක් වන අප මේ ගහණ කණපිට ගැහීම නැවතෙන්නේ අම්මා, අප්පා ගැනත් අපේ තිබූ චින්තනය- මමී ඩැඩීටත් එහා යන්නට පාරක් හදමින් නම්- කිව යුත්තේ කැමැත්තෙන් එතැනට ගියත් එය නිවැරදි ක්‍රමය නොවේ යන්නයි. සමහර දේ වල් සිදුකිරීමට විවිධ ක්‍රම ඇතත්, නිවැරදි ක්‍රමයට එය සිදු නොකිරීමෙන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල භයානක විය හැක. ඒ බව වටහා ගන්නටවත් හැකිනම් කාලයේ හැටියට එයත් ලොකු දෙයක් වනු ඇත.

දැන හෝ නොදැන වැරදි කරගත් මිනිසෙකුට වුව එකවර සියල්ලෙන් නිවැරදි විය නොහෙන බව අපි දනිමු. නමුත් නිර්භීතව නිවැරදි වීමට ගන්නා උත්සාහය සියල්ලට වඩා වටින්නේ එය අවංකවම සිදු කෙරෙන්නේ නම්ය.‍ සුද්දාට බනින්නට ගත් තැන සිටන්වත් අප නිවැරදිව ඒ උත්සාහය කරාද? ‍එසේ නම් අපට වැරදුනේ කොතැනද? ඒ වැරදීම් තේරුම් ගෙන අදටත් අපි තවදුරටත් නිවැරදි බව උදෙසා සටන් වදින්නේද? වගකිව යුත්තෝ මේ ප්‍රශ්න විමසිය යුත්තේ තමන්ගෙන්මය. බුද්ධිමත් ජනයා මේ ගැන සෙවිය යුත්තේ තමන්ගෙන් පටන් ගෙනමය. ඒ තාක් අපි එකතැනමය.

කොහොඹ පොතු පැණිරහක් නැතත් අමිරහක් නැතිව බොන්නට පුළුවන් එතැනදීය. වැරදි තුළින් නැගිටගත් ජපානය ගැන උපන්දා සිට අපේ නායකයෝ කතා කරනු අපි අසා ඇත්තෙමු. එහෙව් අපි සිංගප්පූරු සිහින තුළ ඉදිමින් අපේ වල්ගයවත් හොල්ලා ගත්තාද? ඔය අසික්කිත සිහින තුළ හිතුවොත් වල්ගය කෙසේ‍වෙතත් කාලයකදී අපේ ජාතිය උත්පාදනය කප්පාදු කරගත් සේ කරඅඹා ගැනීමක් පමණක් නම් අනාගතයේ කරගනු ඇත. එවිට ජාතියත් ජන්මයත් ආගමත් සියල්ලම අහවරය. 

එබැවින් නොදැනම  දකින දහවල හීනයෙන් අප අවදිවිය යුත්තේ අදය, දැන්ය, මේ මොහොතේය. නැතිව ඇදෙන් බිමට වැටුනු පසු නොවේ. දිනයක මේ රටේ ඔබට රටේ එලා වැතිරීමට පන් පැදුරක් තියා ප්ලාස්ටීක් පැදුරක්වත් නැතිවන්නට පුළුවන. අදම සිහියෙන් හිතන්න, දේශපාලන වෙනසකට පෙර මිනිහාගේ වෙනසක් රටට අවැසිය. මිනිහා වෙනස් නොවී පක්ෂයක් පාටක් වෙනස් වූ පමණට රටක් නැගේවිද? වෙනස් වෙන්න හිතන්න බිදකින්වත් අයහපතින් යහපත වෙත... රටේ හාස්කම් සිද්දවෙන්නෙ ඔබේ හිතේ හාස්කමෙන් පමණයි.

Thursday, September 4, 2014

මුහුණට මුහුණ - කලකට පසු හලෝව් රස්ටාව ප්‍රශ්න කළෙමි.

මිනිස්සු මෙසේ කළ යුතුයැයි මෙසේ හිතිය යුතුයැයි ඔබ කියන්නේ කෙසේද?

මම එසේ  නොකියමි. මා කියන්නේ මෙසේ සිතුවොත් මෙසේ වනු ඇත. මේ අවස්ථාවේ දී සිතිය යුත්තේ මෙසේ නොවේදැයි වශයෙනි. උදාහරණයක් ගනිතොත්, තැටි දෙකේ තුලාවක බර මනින්නේ එක් අතකට භාණ්ඩය හා අනෙක් අතට පඩි දමමින් නම් මා කියන්නේ භාණ්ඩයත් පඩියත් සමබර නොවන තැන වඩා වැදගත් නොවන අංශයෙන් බර අඩුකර හෝ වැඩිකර තුලාවේ සමබර බව රැකගත යුතු බවය. නමුත් සමාජයේදී බහුතර වශයෙන් සිද්ද වන්නේ වඩා වැදගත් බව පිළිබද කල්පනා නොකොට හිතුමතේ හෝ හොර හිතින් හෝ යම් පැත්තක බර අඩු කිරීම හෝ ගල්කැටයක් හෝ දමා තුලාව සමබර කර පෙන්වීමයි.

ඉතිං ගල් කැටයක් දමා තුලාව සමබර කිරීමේ වැරැද්ද කුමක්ද?

ගල් කැටයක් දැමූ බව මිනිසුන්ට නොකීවොත් එය වරදකි. එමෙන්ම පඩියේ බර නිශ්චිත වුවත් ගල් කැටයේ බර තක්සේරු කළ නොහැකි නිසා සමබරතාවයේ වටිනාකමක් නොලැබේ. වඩා වැදගත් සමබරතාව හරි වටිනාකමින් ලබා ගැනීම නොවේද? 

මා මුලින් ම ඇසූ පැනය ඔබ මගහැරිය බව මට දැනෙනවා. මා ඇසූයේ තවකෙකු වෙනුවෙන් තීරක බලයක් තවත් කිසිවෙකු වෙත නැති බවයි. ඔබ ඔවුන්ගේ මතයට බලපෑම් කරනවා නේද?

කිසි කෙනෙකුට තව කෙනෙකු වෙත මතයකින් බලපෑම් කරන්නට නොහැකියි. ඒ මතය තමා තුළට ගන්නවාද, එසේ ගන්නට හේතු තිබෙනවාද.. යන්න තීරණය කිරීම ඒ ඒ පුද්ගලයා සතුයි. කිසිවෙකුට මරණීය තර්ජනයකින් මිස එලෙසින් තීරණ ගැනීමට මතයකින් බලපෑම් කළ හැකිද? නොහැකී. නමුත් ඔබ සදහන් කළ කරුණෙහි සත්‍යතාවයක් තිබෙන අවස්ථා තිබෙනවා. ඒ එක් එක් පුද්ගලයාගේ අන්‍ය මත දරා ගැනීමේ ශක්තිය අනුව, එහිදී යම් ක්‍රමයකින් තවෙකෙකුගේ මතයක් බිදවැටී තවත් මතයක් ස්ථාපිත විය හැකී. එයට තර්කය, බුද්ධිය මෙන්ම අවබෝධයද බලපානවා. එමෙන්ම වාසිය තකා එකහෙලා තවෙකෙකුගේ මතයක් ගැනීමද ඔබට කළ හැකී. එ් වාසිය මුදල් හෝ වෙනත් විදිහක භාණ්ඩ හෝ සේවාවක් හෝ ජීවිතය හෝ විය හැකියි. මම කිසිවෙකුට එසේ බලපෑම් කරන්නේ නැහැ. එසේ කිරීමට උවමනාවක්ද නැහැ. නමුත් මගේ අදහසකට කිසිවෙකු කැමති වේ නම් එය මට සතුටක්, නමුත් ඉන් අදහස් වන්නේ මගේ අදහසේ කුමන කොටසට ඔහු කැමති වූවාද යන්න මා දන්නා බව නොවේ. නමුත් මා කියූ දෙය ඒ ආකාරයෙන්ම කෙනෙකු වටහා ගැනීමට සමත් වී නම් සැබවින්ම මා අදහස් කරන දෙය ඉටුවී තිබෙනවා විය හැකියි.

ඔබේ සමහර අදහස් සැබවින්ම වැල් වටාරම් බදුයි, එබදු අදහස් ලියන්නේ රස්තියාදුව යන්න උලුප්පා පෙන්වීමටද?

සැබවින්ම, රස්තියාදුව යන්න මා යොදා ගන්නේ ඉංග්‍රීසියෙන් වචන ගෙන සිංහලයට දමා අර්ථකතන හොයන ක්‍රමයකට නොවේ. උවමනාවටත් වඩා කාලය හා අවකාශය පිළිබද හැගීමකින් තොරව අපට මෙරටේ කටයුතු කරන්නට සිදුවන නිසා. අපේ හැම ගමනක්ම හැම වැඩක්ම රස්තියාදුවකින් තොරව කරගන්නට මෙහි පිළිවන්ද? හරියටම විග්‍රහ කළොත් බැහැ කියන පිළිතුරට එන්නට ඔබටත් සිදුවේවි. ඉතිං එබදු වූ රටක අද අපි සිතිවිලි වලිනුත් රස්තියාදු ගහන්නේ නැතැයි ඔබට කිව හැකිද? අපි හිතිවිලි වලිනුත් රස්තියාදු ගහන්නෝ.  ඉතිං ලියන දේ එන්නේ මනසින්. එය රස්තියාදුවක් වන්නේ අපේ ක්‍රියාකාරී ස්වභාවයේ පිළිබිඹුවක් විදිහට. ඉතිං එනිසයි මා පවසන්නේ අපේ රස්තියාදුව ශුද්ධ නැත්නම් පිරිසිදු එකක් කරගත යුතු බවත්, කාලය හා අවකාශය පිළිබද අවබෝධයක් ලබාගෙන දිවි ගෙවිය යුතු බවත්.

ඔබ සමහර දේ ගැන පවසද්දි මෙරටේ කියන‍්නේ ඔබ පිටරටවල ගොස් තිබෙන කෙනෙක් හැටියටද? මා කීවොත් ඔබ දන්නේ මෙරටේ හතර මායිමේ යම් ප්‍රමාණයක් පමණක් බව?

මිනිහෙකු පිටරටකට යන්නම අවශ්‍ය නැහැ. අපේ ආගමික ශාස්තෲන් සියල්ලන්ගේ සිට, දාර්ශනිකයින් වේවා, බුද්ධිමතුන් වේවා, ඔවුන් ලෝකයේ බොහෝ තැන්වල කරක් ගැසූ අය නොවෙයි. නමුත් මිනිසුන් ඔවුන්ට ගරු කරන්නේ සවාරිය හෝ සංචාරය දැනුමට හෝ අවබෝධයට මග කියා හිතලාද? ඔබ ඇසූ ප්‍රශ්නය එන්නේ එහෙම හිතන කෙනෙකුට. එදාටත් වඩා එකතැන ඉදන් ගොඩක් දේ හොයාගන්න අද විවෘත මාර්ග තියෙන බව ඔබත් මමත් ‍දන්නවා. ඉතිං පි‍ටරට සංචාරය හෝ ගිහින් තිබීම සමහරවිට අමතර වාසියක් පමණයි. එය ජීවිත අවබෝධය හොයා ගැනීමට උපකාරයක් නොවේ.

ඔබ සමහර දේ පවසන්නේ ඒකාධිපති ස්වරූපයෙන්?

හැම මිනිහා තුළම අධිපති බවක් තිබෙනවා. පළමුව එය තමන්ට තමන් වලංගු බවකින් එළි දැකිය යුතුයි. තමන්ට තමන් වලංගු නැතිනම් එතැනින් එහාට කතාව ඵලක් නැහැ. එයින් මා අදහස් කරන්නේ තමන්ගේ සියලු හැගීම් දැනීම් හෝ ශාරීරික ස්වභාවයන් මිනිහෙකුට පාලනය කළ හැකි බව නොවේ. සාමාන්‍ය මිනිසෙකු හැටියට තමාගේ ශරීරය මෙන්ම හිතත් හැගීමුත් පාලනයට උගත යුතු බව. එවිට මිනිහෙක් තුළ අධිපති බවක් ගොඩනැගෙනවා. එය මාන්නයක් ලෙසින් ගත යුතු දෙයක් නොවෙයි. එය සමාජයේදී නිවට නොවී සිටීමට භාවිත කළ යුතු පලිහක් පමණයි. එය කිසිවිටකත් ඒකාධිපති ස්වරූපයක් හෝ අනෙකාගේ සීමාව බලහත්කාරයෙන් ආක්‍රමණය කිරීමක් වන්නේ නෑ. නමුත් ඔහු හෝ ඇය අනියමින් මගේ සීමාවට රිංගනවා නම් එතැනදි මගේ අධිපතිත්වය භාවිත කළ යුතුමයි. එයින් තොරව මිහිපිට සාමාන්‍ය මිනිහෙකුට ජීවත් විය නොහැකියි.

හොද ආර්ථිකයකින් තොරව පුද්ගලයෙකුට සමාජයේ ජීවත් විය නොහැකියි. ආර්ථිකය යනුවෙන් මා අදහස් කරන්නේ මුදල්, ඔබ මුදල් ගැන දරන්නේ මෝඩ ආකල්පයක් යැයි මා කීවොත්?

මා කිසිවිටකත් මුදල් අවශ්‍ය නැති බවක් හෝ මුදල් නොමැතිව සාමාන්‍ය මිනිහෙකු ලෙස ජීවත්වන්නට හැකිබව කියා නෑ. එය මෝඩ සිතිවිල්ලක් බව අමුතුවෙන් කිව යුතුත් නෑ. නමුත් මුදල යනු දිය මත රැදීමට අවශ්‍ය සර්ෆ්බෝඩ් එකක් පමණයි. කෙනෙකුට ඒ බෝඩ් එකක් සෑහෙන බව පමණයි මගේ අදහස. අවශ්‍ය නම් තවත් අයට කුලියට දීමටත් කෙනෙකු සතුව බෝඩ් තබා ගත හැකියි. නමුත් තමන්ට අවශ්‍ය පමණට ගැලපෙන පමණට සර්ෆ්බෝඩ් එකක් පමණක් තිබීම වරදක්ද? එය තමන්ට නොසෑහේද? පවුල් ජීවිතය ගෙවන කෙනෙකුට නම් බිරිද හා දරුවන්ට මෙන්ම අනෙක් අයටද මවට පියාට ආදී වශයෙන් එකිනෙකාට වෙන් කළ සර්ෆ්බෝඩ් තිබීමේ වරදක් නැහැ. එය පුංචි උදාහරණයක් පමණයි. නමුත් අදහස් කලේ ජීවත් වීමට ප්‍රමාණවත් මුදල් පුද්ගලයෙකුට සෑහෙන බව පමණයි. අවශ්‍ය නම් කෙනෙකුට ජීවිත කාලයේම හෝ ලෝකයේ ලොකුම ධනවතා බවට පත්වන තුරු හෝ හම්බ කළ හැකියි. සල්ලි ගොඩ ගැසිය හැකියි. 

කෙනෙකුට ජීවත්වීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය මේ යැයි අපට කියන්නට බැහැ, ඒක ඒ පුද්ගලයා තීරණය කළ යුතු දෙයක්?

ඔව්. කෙනෙකු උදේට, දවල්ට, රෑට ආහාරගෙන ජීවත් වද්දී තවත් කෙනෙක් වේල් දෙකකින් දවස ගෙවනවා විය හැකියි. තවත් කෙනෙක් උදේ සිට රෑ වෙන තුරුත් අහාර ගනිමින්ම දිවි ගෙවනවා විය හැකියි. ඉතිං ජීවත් වෙන්න පුළුවන්නම් කොහොම කළත් ගැටළුවක් නැහැ. ආරෝග්‍ය පරම ලාබය බව මගේ හැගීම නිසා කෑම බීම වුවත් යම් පාලනයක් තිබීම අවශ්‍ය බවයි මගේ අදහස. ඉතිං තමන් කන බොන ලෙඩවෙන විදිහට කෙනෙකුගේ මුදල් වියදම් වෙනවා. අනෙකුත් අවශ්‍යතාත් ඔය වගේමයි. මූලික අවශ්‍යතා හැරුනාම එක එක මිනිස්සු එක එක විදිහට ජීවත් වෙනවා. ඉතිං ඒක කාටවත් වැඩක් ඇති දෙයක් නෙවෙයි. කතාකරන්න දේකුත් නැහැ. වැදගත් හැටියට මම දකින්නෙ සිර ගෙට වැටුනත් අසතුටු නොවී ජීවත් වෙන්න පුළුවන් සරල කමයි. 

ඔබ ප්‍රශ්න වලට රවුම් ගහනවා වැඩියි. කෙටියෙන් පිළිතුරු දෙන්න කියා මා කියනවා. 

ඔබ එකයි එකයි කීයද අහන්න, එවිට මා කෙටියෙන් පිළිතුරු දෙන්නම් :)

බහුවිධ බුද්ධීන් ගැන ඔබේ දැනීම කොයි වගේද?

දැනීම නම් මට තිබෙන බුද්ධිය ගැන පමණයි. ඒක කොයි විදිහෙද කියල හැගීමක් තිබෙනවා මිස අනිත් බුද්ධීන් කොයි විදිහද කියල අදහසක් මිස දැනීමක් නැහැ.

 මා අදහස් කළේ විවිධ බුද්ධිමය හැකියා ගැන අද අපරටේත් අවධානය යොමු කර තිබීම ගැන. අන්තර් පුද්ගල බුද්ධිය, අන්ත: පුද්ගල බුද්ධිය, ශාරීරික බුද්ධි කුසලතාව ආදී වශයෙන් කතාකරනවා අප දකිනවා?

තවත් බුද්ධි විධි ගැන ඉස්සරහට කතා නොකරාවිද? මිලි දේ මයික්‍රො හා ඉන් ඔබ්බට ගිය සේම, අද බහු විධ බව හෙට එකක්ම හෝ එක් එක් ‍අය වශයෙන් වෙනම අනන්‍ය බුද්ධි ඇති බව නොපවසාවිද? විද්‍යාවෙ හැටි එහෙමයි. ඒ විද්‍යාව විශ්වාස කරන අපේ තර්කත් ඒ මතම පමණයිනේ. ඒ නිසා ඒ ගැන එතරම් කතා කිරීම ඒ ගැන සොයන අයටම බාර කරමු.

ඔබ අන්වර්තයකින් මිස සැබෑ ලෙසින් එලිබසින්නේ නැත්තේ අැයි?

මට වැදගත් වන්නේ මා අදහස් කරන දෙය සන්නිවේදනයට උත්සාහ කිරීම මිස මා ගැන සන්නිවේදනය කිරීමට නොවේ.

ඉතිං ඔබ අදහස් කරන දෙය යනු ඔබ ගැන සන්නිවේදනයක් නොවන්නේද?

එයින් වියුක්ත වීමට කාටත් බැහැ. මා අදහස් කරන දේ තුළ මා සිටිනවා. නමුත් සමහර විට මා අදහස් කරන දේ මා තුළත් මා ඇතිකරගන්නට උත්සාහ කරනවා. එහි අදහස මාද පරිපූර්ණයෙකු නොවන බව සේම අදහස්ද දියුණු කරගැනීමට උත්සාහ කරන බවයි. හැබැයි, එතනට යාමේදි පුද්ගලයෙකු වශයෙන් මා කව්ද යන්න වැදගත් නැහැ. වැදගත් කමක් අතවශ්‍ය ලෙස ඉදිරිපත්වේ නම් එතැනදී පෙනී සිටින්නට මා පසුබාන්නේත් නැහැ. මා හිතන්නේ එය බොහෝ දුරට අවශ්‍යතාව මත පසෙකට කළ යුතු කරුණක්. අදහස් ශුද්ධ කර ගැනීම තුළ වඩා දියුණු අදහස් නැතිනම් සිතිවිලි වෙත එළැඹීම මගේ උත්සාහයයි. ඒ උත්සාහය පැතිරවීම මිස ඒ තුළ වෙනත් අරමුණු නැහැ.

හොදයි, දැනට අවසන් ප්‍රශ්නය හැටියට ඔබේ අනාගත අපේක්ෂා ගැන අහන්නම්. ඔබ තවම අවිවාහකයි නේද?

ඒ ඔබට ප්‍රශ්නයක්ද :) සුදුසු අවස්ථාවක් උදා වුනොත් විවාහ වේවි. අපි වැන්නන් හට අවස්ථා නැත්තේත් නැහැ:) අපි වෙනත් අපේක්ෂාවක් ගැන කියමු. මම කැමතියි මිනිසෙකු ලෙස මා ලැබූ අත්විදීම ‍තුල අවබෝධකරගත් හොදම මිනිසුන්ගේ ක්‍රමයට දිවි ගෙවීමට, ඔබ මට සුබ පතනවාද :)

විශ්ව විද්‍යාලයේ දී සමාජ වාදී දේශපාලනයේ පාතාක යෝධයන්ව හිද ඉන් නික්මුණු පසු ඔවුන්ම හැදින්වූ ධනපති පන්තියේ මහප්පලාගෙන් වරදාන ගන්නා පිරිස් වගේ, විවාහයකින් පසු ඔබේ අදහස් වෙනස් වේවි කියා මා කීවොත්?

මා කැමති පමණින් විවාහ නොවී මට හා මගේ අදහස්වලට කැමති කෙනෙක් හා විවාහ වූවොත් ඔය ප්‍රශ්නය පැන නොනගීවි නේද

හරි. ඔබ කොතරම් කතා කීවත් තවම ඔබ පැමිණ ඇත්තේ ජීවිතේ තුනෙන් එකක් පමණ කොටසක්. ඉතින් ඉදිරියේදී තනිවම වුවත් ඔබ ඔබේම මගක යන්නේ කෙසේද? සමාජයෙන් ඔබ ප්‍රතික්ෂේප වේවි, ඔබට හුදෙකලාවට යන්නට වේවි?

මං ඕකට මෙහෙම උත්තර දෙන්නම්, ඔලුව හදා ගැනීමත් හිත හදා ගැනීමත් දෙකෙන් මිනිස්සුන්ට අමාරුම හිත හදා ගන්න එක. නිවැරදි සංකල්ප ඉගෙන ගන්න පුළුවන්. ඒත් නිවැරදි පරාසයකට හිත ගන්න ගොඩක් දෙනාට අමාරුයි. ගොඩක් දෙනා රස්තියාදු ගහන්නෙත් ඒ නිසා බවයි මගේ අදහස. මන්දනයටමත් ඉඩ නොදී ත්රවරණයටත් ඉඩ නොදී අතරමැද්දේ ඒකාකාර ප්‍රවේගයකින් යන්න හිත හදාගත්තම ඔලුව හදා ගන්න අමාරු නෑ. ජීවිතේ තුනෙන් එකකදි හරිදේ තේරුම් අරං හිත හදා ගත්තනම් හරි පරාසයක, ජීවිතේ ඉතිරි තුනෙන් දෙක ඔලුව පාවිච්චි කරල ගෙනියන්න අමුතුවෙන් ඉගෙන ගන්න ඕන නැහැ කියන එකයි මගේ විශ්වාසය.

ඔබේ ත්වරණ මන්දන කතාව මට ඇත්තටම තේරුනේ නැහැ. 

විද්‍යාව පොඩ්ඩක් ඉගෙන ගන්න :) සරලව කීවොත් වේගේ එන්න එන්න වැඩි කරගෙන යන්නෙත් නැතිව, වේගේ අඩුකරගෙන අඩුකරගෙන යන්නෙත් නැතිව ඒ දෙක අතරමැදි වේගයකින් හිතත් ගතත් ගෙනියන්නයි මගේ කල්පනාව. ඒ උත්තරය ප්‍රමාණවත් මං හිතන්නෙ. කාටවත් ගැතිවෙන්නෙත් නැතිව, මාන්නයෙන් පිම්බෙන්නෙත් නැතිව, අතරමැදින් ගමනක් යන්න. මොනව කීවත් අන්තිමට අපි සාමාන්‍ය මිනිස්සුනේ :)

මං මේක අහන්න හිටියත් අමතක වුනා, ඒ නිසා මේක අහලම අවසන් කරන්නම්. කව්ද ඔබ නිතර මේ කියන සාමාන්‍ය මිනිහා.

රටවල් අනුව වෙනස් වෙන්නෙ නැති, ජාතිය, ආගම, ‍කුලය, ගෝත්‍රය, මිල මුදල් හා සමාජ තත්වය අතහැරියම ඇස් ඉස් මස් ලේ හදවත හා හිත ඇති එකම විදිහේ මිනිහා ගැනයි කියන්නේ, අසාමාන්‍ය අයට එහෙම තත්වයක් ඇති බව තේරෙන්නේ නැහැ. ඒකයි එහෙම තත්වය තේරුම් ගන්න හැකි හා එහෙම තත්වය සාමාන්‍ය මිනිහා හැටියට කීවේ.

මුහුණට මුහුණ දුන් සහයෝගයට ඔබට ස්තූතියි.

මමයි ඔබට ස්තූති කළ යුත්තේ, මේ ප්‍රශ්න ඇසුවාට. මමත් මං ගැන ගොඩක් දේ දැනගත්තා. නැවතත් ස්තූතියි ඔබට.

Wednesday, September 3, 2014

අර්ථ කථන වලංගු නොවේ... දික් කරන ඇගිලි වක් කළ යුතු බව!

ගොඩක් දේවල් ගැන නිවැරදි අර්ථ කථන අපේ මිනිස්සු නොදන්නවාද? නැත.‍ වචනයෙන් ආපිට කිව නොහැකි වුවත් බොහෝ දේ ගැන නිවැරදි අවබෝධයක් හා විග්‍රහයක් අප සමාජයේ ඇත. නමුත් එළිපිට ඒ ඇත්ත කතා කරන්නටත් ඒ අනුව ක්‍රියා කරන්නටත් අපේ මිනිස්සු බිය වෙති. ඒ මරණ බිය නිසාමද යන්න වෙනමම සොයා බැලිය යුත්තකි. නැත්නම් බටහිරින් ආ මහත්මා වෙස පලුදු වේයැයි යන බිය නිසා වන්නටත් පිළිවන්. තවත් සරල ආකාරයක් නම් ගලන අතටම ගසා ගෙන යන්නට හැරීම ආයාසකර නැති ලෙහෙසි මගක් වීමයි. නමුත් ප්‍රශ්නය ඇත්තේ ඇල්ලේදී ඇද වැටී සුනුවිසුනු වන්නට සිදුවන බව තේරුම් ගැනීමට නොහැකි වීමයි.

කෙසේ හෝ ප්‍රජාතන්ත්‍ර වාදය ගැන මෙන්ම විශේෂයෙන් ඡන්ද ළං වද්දී පවත්වන දේශපාලන කතා වලදීත් දැන් බොහෝ දෙනා තරගයට ඇගිලි උරුක් කරනු පෙනේ.  ඉස්සර කතා පැවැත්වුවේත් එහෙමද, දැන් මෙහෙමද යන කාරණයක් ගැන වාදයක් නොවේ මේ. කාතාවෙන් කියවෙන සම්පප්‍රලාප මෙන්ම තම විරුද්ධ පාක්ෂිකයන් ගැන කතා කරන විටදී මුහුණෙහි ඇතිවන බිහිසුණු පෙනුම මෙන්ම මුග්ධ ගතිය ගැනත් පාදඩ කම ගැනත් කතාවකි. 

දේශපාලුවෝ වෙනුවෙන් කඩේ යාම බඩ රස්සාව කරගත් මාධ්‍ය වේදියෝ කියා ගන්නෝත් බිස්නස් එකක් ලෙස ජයටම දේසය පාලු කරන්නෝත් මෙහිදී විශේෂය. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය මෙන්ම දේශපාලනේ ගැන කතාකරන්නේ පාදඩ ගතියෙන් ඇගිලි දිගු කරමිනි. එතරම් ආවේගශීලී බවකින් හා ජඩ විලසින් මේ දේවල් කතාකරන්නට තරම් ඔවුන් සුදුස්සෝ කළේ කවුරුන්ද? සාධාරණත්වය, යුක්තිය ගැන නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට තරම් වන මහජන නියෝජිතයෝද මොවුන්, එ් ගැන ඔවුන්ට ඡන්දය දෙන ජනයා තේරුම් ගෙන ඇත්ද. රටේ පාලනය වෙනුවෙන් අපේ නියෝජිතයන් පත් කරනවා කියන්නේ තවත් බිස්නස් එකක කොටස් මිලදී ගෙන කොටස් වෙළදපළ හරහා ආදයම් හොයන වැඩක්ද?

 ලෝකය රගමඩලක්, ලෝකය තනි යායක් කියනවාට වඩා ලෝකයම වෙළදපොළක් යැයි හිතන චින්තනය නම් එ් හා ගැලපෙනු ඇත. ලෝකයම වෙළදපොළක්, අපි එහි ගනුදෙනු කරුවන්, ඉතිං රටත්, අනෙකුත් ජනයාත්, සියලු බැදියාවන් හා හැදියාවනුත් ආදයම් මාර්ගම පමණයි. මිතුදම පමණක් නොවේ. සහෝදර කම, නෑදෑ කම මෙන්ම දෙමාපිය සබදතාව පවා අදායම් මගක්.. විකුණාගෙන කෑ හැකි හැමදේ විකුණා කන්නට හැකිනම්, මිනිස්සු සනසන්නට අරුතක් නැති රස්සා හැදීමත් ණයට කවා දේශපාල‍නයෙන් හම්බ කිරීමත් මහජනයා ගොනාට අන්දවා  සැප සෙවීමත් යෙහෙකි.

ඉදින් එහෙව් බූරු දේශපාලුවන් ඇගිලි උරුක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනු අසා රජයේ මෙන්ම රජයේ නොවන සේවකයන්ද, ඡන්ද දායකයන්ද උඩ පැන පැන අත්පොඩි තැළිය යුතුය. එවිට හැමදා මෙලෙස අපහට ජීවත් විය හැකිය.

විලි ලජ්ජාව කියන එකට දැන් වලංගුතාවයක් නැත. වලංගුතාවය ඇත්තේ මර බියට ආසන්න බියකටම පමණි. අර්ථ කථන විහිළුවකි. හොදම විනාශකාරයන් හොදින්ම අර්ථකථන දන්නන්ය. දන්නා කම වැඩිවීම නිසාම උන් කට්ට කපටියන් වී ඇත. දැනුම තිබුනාට ආත්ම ශක්තියක් එන්නේ නැත. එවිට ප්‍රතිපත්තියක් නැති නම් හැම අතටම දිව නැමෙන්නේය. නිවට ගතිය, බිය දොරේ ගලන්නේය. ඉදින් තැන තැන අල්ලාප සල්ලාප සම්පප්‍රලාප මිස වෙන මොනවාද? සංවාදයට නම් ධර්මයම පමණයි. එහෙත් එයට බොහෝ දෙනාගේ කැමැත්තක් නැත. කෑම, බීම හා ජොලිය එහිදී කතා නොවීම ප්‍රධාන හේතුවයි. එබදු දේ ඒ යටතේ කතා කළ නොහැකි බව සිතීම ඊලග හේතුවයි. තුන් වන හේතුව නම් එබදු දේ ධර්මය හා ගලපා එ්වායේ අනුකූලතාවයන් කිරා මැන බැලීමට ඇති අකමැත්තයි, නොදන්නාකමයි. දැන ගැනීමට උවමනාවක් නොමැති කමයි. කෙසේ නමුත් එය අමතර කතාවකි. 

ඉතිං  මහ ලොකු ඔලුබක්කන් බදු සාඩම්බර මහජන නියෝජිතයින් විසින් ඔය එහෙට මෙහෙට දික්කෙරෙන ඇගිලි වක් කරන්නට සමත් මහජන ශක්තියක් ඇති වූ දාට රටක් හැදේවි. එතකන් කිසිත් සිදුවන්නේ නැත. එබදු මහජන ශක්තියක් ඇතිවන්නට මහජනයා ප්‍රතිපත්ති ගරුක වන්නේ කවදාද? තමන්ගේ බිය හා නිවට ගතිය හදුනාගත් දිනකදි එය සිදුවේවි, සමහර විට ඊට මං කපන්නට තරම් සමාජය උස්සා පොළොවේ ගසන සිදුවීමක් මෑතක නොවුනා විය හැකිය. හැබැයි එය කොයි මොහොතේ හෝ සිදුවනු ඇත. සුනාමියත් දෙවැනි වන්නා වූ මහා පිපුරුමකින් හෝ නිවටව බිහිරි වූ හා අන්ධ වූ උන්ගේත් ගොළු වූ උන්ගේත් කන්, ඇස්, හා කටවල් ඇරේවා.. තවදුරටත් දෙසන්නට අර්ථ කතන දෙන්නට නොව ක්‍රියාත්මක වන්නට...  

අන්තනෝමතිකව අසාධාරණව අයුක්තිසහගත ලෙස සිය බලය හෝ පාදඩ කම පෙන්වීම උදෙසා දික්කෙරෙන ‍ඇගිලි සාධාරණය හා යුක්තිය උදෙසා වක් කිරීම පිණිස සමාජයේ කිසිවකුත් සිටිය නොයුතුද? නීතිය ඉදිරියට නොඑන තැන කැලෑ නීතිය නැතත් ශක්තිමත් දෑත්, හිස් හා හදවත් තිබෙන මිනිසුන් ඒ වෙනුවෙන් සිටිය යුතුය.

Tuesday, September 2, 2014

මම නම් ආසයි අහන්න නයනා :)

මම නම් ආසයි 

අහන්න නයනා

මම කීවෙමි

නයනා මා දෙස බැලුවාය

කතා බැහැ 

ඇය කීවාය

හේතුවක් ඇති

මම කීවෙමි

අපි යමු හංසි, ඇය යෙහෙළිය වෙතට හැරුණි

මා කුමක් කරන්නද

නයනා සමග සල්ලාපයට මා රුචිය

නයනා සමග සංවාදයට මා බෙහෙවින් රුචිය

එහෙත් නයනා 

මොහොතක් පමණක් මා වෙත දෙ නයන රදවා

ආපසු හැරිණි

මා කුමක් කරන්නද

ඇයට නොරිසිය

කිසිදු කතාවක් මා සමග

එතැන්හි මම ඇරඹුවෙමි

ආත්ම භාෂණයක්

ප්‍රිය සම්භාෂණයක් 

තනියම 

තට්ට තනියම

Monday, September 1, 2014

කලකදි සතුටු තැන කලකදි දුක දුටුවෙමි...

සතුට -බ්ලොග් එක ඇරඹුමෙන් පසු තුන්වෙනුවට ලියූ ලිපිය. ඊට අවුරුදු දෙක තුනකට පස්සේ එ් සතුටට සමාන අමුතුම දුකක් එතැනදිම මෝදුවුනා. ඊට හේතු වුනු සිදුවීමක් තිබෙනවා. පූර්ව රූපගත කිරීම්ද සිදුකර මංගල්‍ය සිනමා සිත්තම් ලෙසින් ගෙත්තම් කරන්නට හදන මෙහේ අඩු වියදමෙන් මංගල්ල පොටෝ ගත්තු හැටි එදා අපි දුටුවා. ඊට පස්සෙත් අපි නිතර යන එන එ් එළිමහන් පරිශ්‍රයේ විවිධ දර්ශන දුටුවා. තවත් මංගල දර්ශන වගේම පෙම්වතුනුත් මෙතනට සාමාන්‍යයයි. ඊට අමතරව තව මෙතනට යන එන ක්‍රීඩාශීලී වගේම විවේකය, ‍විනෝදය සොයන විවිධ උදවිය, වෙනස් වුනත් එක වාගෙයි බොහෝවිට.

අද පහක් හයක් වූ අපේ පිරිසක් මෙතනට රැස් වෙන්න නියමිත වුනේ අපි කරන්න යන අලුත්ම වේදිකා නිර්මාණයක් ගැන හා ගීතයක් සදහා කරන්නට යන රූප රචනාවක් ගැන කතාවක් දමන්න. කොහොමත් අපේ ර‍ටේ අනිකුත් බොහෝ දෙනාට මෙන් අපේ උදවියටත් වෙලාවට වැඩක් ඇරඹීමේ හීන මානය තියෙනවා. විශේෂයෙන් අපේ-අපේ වැඩ වලදි, මොකද මේවගෙදි අපි තකන්නේ මුදලට වඩා කැපවීමනේ. 

ඔන්න ඉතිං අපේ සගයෙක් මම එතනට එන්න කලින්ම ඇවිත් මට ඇමතුමක් දුන්න. පරිගණක මුද්‍රිත පිටපත් කීපයක් ලබා ගන්නට වෙළදහලක ප්‍රමාද වුන මම නියමිත වෙලාවට මිනිත්තු දහයක් පහලවක් ප්‍රමාද වුනේ අද මෙහේ පාසල් වාරේ අලුතින් ඇරඹෙන නිසා වගේම අමතර පන්ති යන ළමයින්ගෙන් වෙළදහල තදබද වී තිබූ නිසා.  

ඔන්න මම එළිමහන් පරිශ්‍රයට එනකොට සගයා එතන. අපි කතා බහ කරමින් ඉන්න අතරේ දුරකථන ඇමතුමක් දුන් තවත් සගයෙක් මිනිත්තු ගණනක් ඇතුළත එතනට පැමි‍ණියේ මොහොතකින් එතනට එකතු වීමට නියමිත අනෙක් සගයන් වෙනුවෙන් කෙටි කෑම හා මෙගා පැණි බීමක්ද රැගෙන. මේ අතර අපට මදක් එහායින් පෙම් යුවලක් යැයි කියා සිතිය හැකි අපට වඩා තරමක් ළාබාල ‍ජෝඩුවක් ඉදගෙන හිටිය. ඉතිං අපි කතා බහ කර කර හිටියෙ අපේ වැඩකටයුතු ගැන, ඒ අතර ප්‍රමාද වෙන අපේ අනෙකුත් සගයන්ගෙ ප්‍රමාදයට වන්දි වශයෙන් ඔවුන් වෙනුවෙන් වුනු ආහාර ප්‍රමාණයක්ද ගිල දමන්නට අපි අමතක කළේ නෑ. මොකද ප්‍රමාදය පසු තැවීමට හේතුවක් බව ඔවුන්ට වටහා දෙන්නටත් ඕන නිසා. කොහොම වුනත් කාලෙ ගතවුනා. ටිකෙන් ටික අපේ සගයො එකා දෙන්නා පැය කීපයක් ඇතුළත අසනීපයි කිව්ව අන්තිම කෙනත් ඇවිත්. ඔන්න ඉතිං අපි අපේ සාකච්ඡාව ගැඹුරින්ම අරඹන්න හැදුවයි කියමුකෝ. මතක තියාගන්න මේ පැය කීපයේම අර කලින් කිව්ව ජෝ‍ඩුව ඔවුන් මුලින් හිටි තැනම හිටි බව, ඒ දිහා නොබැලුවත් අැස් වලට අංශක එකසිය අසූවක් පේනවනේ. 

ඔන්න අපි කතාව පටන් ගන්න හදනකොටම එක පාරටම දඩස් බඩස් ගාල සද්ද ඇහෙන්න ගත්ත. අපි යමක් හිතන්නත් කලින් අපේ සගයෙක් අත දිගු කරල කීව අන්න කොල්ලට ගහනවා කියල. වැරදිවට තේරුම් ගන්න එපා...සිද්ධිය කියනකම් ඉන්න. සිද්ද වුනේ ඔයාල හිතපු සිද්දියක් නෙවෙයි.

අපි බැලුව ඒ දිහාවෙ, අර ගෑනු ළමය හිටි තැනින් නැගිටල සමීපයෙ හිටි පිරිමි ළමය පේන්න හිටියෙ නෑ. ඒ වෙනුවට කොල්ලො දෙන්නෙක් තමන්ට යටවෙලා ඉන්න අපිට නොපෙනෙන කෙනෙකුට හොදින්ම තලනවා. ‍තත්පරයෙන් තේරුනා යටවෙලා ඉන්නෙ එතන හිටි කොල්ල බව. සිද්දිය විග්‍රහ කරගන්නට අපි කාලෙ ගත්තෙ නෑ. කෙළින්ම හිටි තැන්වලින් නැගිට්ට අපි සද්ද බද්දයක් දාගෙන එතන්ට ගියේ පහර තැළීම නවත්වන්න. පහර තැළීම නැවතුව කොල්ලො අපිට කීවෙ අර ගුටි කාපු කොල්ල ගෑනු හොරෙක් කියල. එහෙම කියල ආයෙ ගහන්න ගත්ත. අපි ටිකක් වැඩියෙන් සද්දෙ පාවිච්චි කරල වැඩේ සම්පූර්ණයෙන්ම නැවැත්තුව. මේක මිනී මරා ගන්න තැනක් නොවන බවත් අපිට ඒ වෙනුවෙන් ඉඩදිය නොහැකි බවත් තව වග උත්තර බැදීමට සාක්කි කරුවන් විය නොහැකි බවත් දැඩි ස්වරයකින් දැම්මෙ අවස්ථාවෙ විදිහට. ඒ කතාවට සාක්කි වශයෙන් මට පෙන්නන්න කට්ටියකුත් රැස්වෙල හිටිය. ඒ යාබද නගර සබා ගොඩනැගිල්ලෙ කාර්යාලීය සේවක පිරිස, උඩ තට්ටුවෙ සදලුතලයෙ වගේම පාත කෙළවරටත් ඇවිල්ල සද්‍ද බද්ද නිසාම. ඒ උදවිය ගොඩනැල්ල සීමාවෙ ඉදන් සිද්දිය නරඹනව. අපේ පිරිස්බලය හා දැඩි ස්වරයට මට්ටු වුනත් පහර දෙන්න ආපු කොල්ලන්ගෙ ආවෙගෙනම් තවම සන්සිදිල නෑ. ඉන් ‍කෙනෙක් කිව්වෙ තමන් සමග අවුරුදු හතක් යාළුවෙලා හිටපු ගෑනු ළමය අද උදෙත් ගෙදර ඉන්නව කියල තමන්ට බොරු කියල තමන්ගෙම හොදම යාලුවෙක් එක්ක රවුම් ගහන්න ඇවිත්ලු. (එ් වෙලාවෙ මටනම් ඔවුන් ඒ කිව් දේවල් එතරම් මතකෙ රැදුනෙ නෑ, නමුත් අපේ සගයෙක් කිව්වෙ ඒ විදිහට) කොල්ලන්ගෙ වයසෙ හැටියට ආවේගෙ සාධාරණ වුනත් මේ කතාවෙ අගමුල දන්නෙ නැති අපිට නොනිල වශයෙන්වත් මේවට අතදැමීමට අයිතියක්වත් හැකියාවක් නැති නිසා අපේ යුතුකම එපමණකින් අපි නැවතුවා. වෙන්න ගිය මිනිමරා ගැනීමක් එ් අවධානමෙන් ඉවත් කළා. පස්සෙ මේ ස්ථානයෙ යම් වගකීම් දරණ කීප දෙනෙක් මේ ගැන විමසන්න එතනට ආවත් එතකොට බොහෝ වැඩ ඉවරයි. මේ සිදුවීම මෙතනින් එහාට කොතැන නවතීවිදැයි අපි දන්නෙ නෑ. ඉතින් ඒ උදවිය එතනින් පිට වෙද්දි අපි ආයෙත් අපේ වැඩේට අත ගැහුවා. 

අපේ වැඩේ ධනාත්මක කොමාවක් යොදල ගෙදර ආවට පස්සෙ මතකෙට අ‍ාවෙ කලකදි අමුතු සතුටක් දැකපු තැන අද අමුතුම දුකක් දැක්ක බව. නමුත් ඒ තරුණගැටයන්ගෙ ආවේගය ඉන් එහා එතනදි පිට නොවෙන්න නොදුන්නනම් (වෙන්න දුන්නනම්) තවත් දුක් වෙන්න දෙයක් එතන දකින්න සිදුවෙන්නත් තිබුන. 

එතනදි උන්ට කියූ විදිහටම ආවේගයෙන් මරා ගන්නෙ නැතිව කතා කරල දේවල් විසදගන්න මොන වයසෙ තරුණ අයත් පුරුදු වෙන්න ඕන නේද. සේරම නින්දාවට පත්වෙලා. තවත් දුරදිග යන ප්‍රශ්න නිර්මාණය කරගෙන. මොකද ඔය විදිහට පටලවාගත්ත ආදරයක් නිසා ඔහොම මැරෙන්න හැදීමෙන් ප්‍රතිඵලයක් ලැබෙනවද? එහෙම දෙයක් නැති සේම දුරදිග ගියාම පොලිසි උසාවි ගානෙ තමන්ගෙ වටිනාම ජීවිත කාලෙ රස්තියාදු වෙන්නත් සිද්ද වෙන නිසා. ජීවිතය කියන්නෙ චිත්‍රපටියක්වත් අපි එහි රගපාන න‍ළුවොවත් නොවෙයි. කතාවට අපි වේදිකාවක රගපාන නළුවො වගේ කීවත්, ඒක ටිකක් ගැඹුරෙන් ගන්න ඕන ‍එකක්. මොකද කතාව අනුවම වුනත් වේදිකාව කියන්නෙත් චිත්‍රපටිය කියන්නෙත් දෙකක්නේ. 

වාණිජ චිත්‍රපටයක තියෙන සරල බොළද බවට වඩා වේදිකාවක රංගනයක ගැඹුරක් හොයාගන්න පුළුවන්. ඉතිං ඒ අර්ථයෙන් ජීවිත රංගනය ගැන හොයාගන්න රස්තියාදු ගහනව මිසක, තරුණ ජීවිතය කෙල්ලක් හෝ කොල්ලෙක් වෙනුවෙන් විනාශ කර ගන්න පාර හදා ගැනීම සතුටු කලකදි දුකක් හොයාගන්න හදාගන්න උල්පතක් විතරයි. පුළුවන්නම් හොයා යන්න ජීවිත‍‍ේ ගැඹුර, ඒක කවදා හරි තමන්ට නොවැටී ඉන්නට උදව් වේවි. 

ඒකෙ අනික් කතාව තරුණ වයසෙ ආදරේ කරන්න එපා කියන එක නොවේ. ආදරේ කියන හුදු සංකල්පයක් වෙනුවෙන් රැවටිලා තමනුත් අනුනුත් විනාශ කරගන්න හදන්න එපා කියන එක.  

ඉතිං අද දවසෙ මගේ රස්තියාදුව සුද්ද වෙන්නෙ ඔන්න ඔය හිතිවිල්ල එලියට දැමීමත් එක්ක.