මෙය බියකරු සිහිනයකි.
සාතිශය ආශ්වාදජනකය.
හැබහින්ම ගොස් බලන්නට තරම් ආස හිතෙනවාය.
මන්ද මෙහෙම හීනයක් හැමදා පෙනෙන්නේ නැත.
ඒත් ඇහැරුණොත්!!
නින්දෙන්ම ඇවිද ගොස් හෝ සෙල්ලිපියක් සේ සමරු සේයාවක් ගත යුතුමය.
'නායා විත් වෝටර් රිං'
"ක්ලික්"
කොටසක්ම වතුරෙන් වටවෙලාය.
තවත් අය යටවෙලාය.
නමුත් හීනෙට මිස හැබෑවට අපේ ඇස් ඇරෙන්නේ නැත.
ඒ උත්ප්‍රාසය, සංත්‍රාසය නිසාය.
තදින්ම සෙලවුණත් ඇස් ඇරගන්නටම බැරිය.
අම්මේ වතුර.. කියා කෑ ගැසූ විට අවසාන වශයෙන් ත්‍රිවිද හමුදාවෙන් හෝ කිසිවෙකු පැමිණ හිස අතගා යනු දැනෙන හෙයින් ඇස් අරින්නට හිතෙන්නේද නැත.
යුද්ධය නැමති වීරත්වය කිරුළු පළන් සිහිනයේදීවත් අප දෑස් නෑරියෙමු.
සුනාමි සිහිනයෙන් ඇස නොහැරුණු අපි ගංවතුරක් නිසා අවදිවිය යුතුද?
දෑස වසාගෙන ජීවත්වීම අපහසුද?
සැබවින්ම පහසුම ක්‍රමය එයම තමා.
එවිට පෙනෙන්නේ සිහින, දකින්නේ සිහින පමණයි.
කොතරම් වේදනාකාරී වුවත් කොනිති පහරක් හෝ නොදැනෙන තරමේ මර නින්ද අති ආස්වාදනීයයි.
සදාකාලික නින්දට ප්‍රවිෂ්ඨය ලබන තෙක්ම මර නින්දෙන් ජීවත්වීම ජීවිතය දිගුකාලීන වීමට හේතුවෙයි.
එකිනෙකා කලබල වී අවදිවන්නට යන මොහොතේ අපි හිස අතගා ඔහු/ඇය ආපසු නිදිකරවමු.
රටක් හැටියට එකට බදා වැළඳගන මර නින්දේ පසුවීම තරම් සුවයක් තවත් කොයින්ද?
හිටිවනම නින්දෙන් අවදි වී පොඩි කලබලයක් ඇති කිරීම වෙනසකි, එය හොඳය.
එහෙත් දිගටම අවදියෙන් සිටීම ස්වස්ථතාවයට හොඳ නැත.
නින්දෙන් ගෙරවීම හෝ ගෙරවීමක් නොමැතිකම අයිතිවාසිකම් පිළිබඳ සිහිනයකට අගනා මාතෘකාවකි.
විවිධාකාර මාතෘකා පිළිබඳ සිහිනෙන් දෙඩවීමත්, නින්දෙන් ඇවිදීමත් අගනා අරගලයකි.
එලෙසම ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ලෙස ඕනෑම සිහිනයක් බලන්නට හෝ නොබලන්නට ඔබට අයිතියක් තිබිය යුතුය.
එනමුත් ඇස් ඇරීම තහනම් ය.
එනිසා "ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ" යැයි කිසිවිට නොකියන්න.
කුමන හෝ දිනයක සදාකාලික නින්ද ඔබව අධිකතර ප්‍රේමයෙන් වැළඳගන්නා තෙක් දෑස් නම් නොමරින්න.
හොඳින් කලරින්න.
හෙට ගැන නොසිතා දෑස් පියා හොඳින් සැතපෙන්න.
රිසි සේ ජීවිතය විඳින්න.
ශ්‍රී ලංකා සංවර්ධනාත්මක නිදහස් චින්තනයේ එළඹෙන හැත්තෑවියට ආසිරි පතන්න.
ඒත් ඇස් අරින්න එපා!