Friday, August 29, 2014
Thursday, August 28, 2014
කණේ පහර සැර වැඩී, බලුවැඩ දහක් වටී....ද? අපේ පිරිමිකම් හා ගෑනුන්ගේ පිරිමිකම්...!
අපි ජීවත් වෙන්නෙ නිවටයො පිනුම් ගහන රටක, වාරියපොළ කණේ පාර සැර වැඩිද බලන්න නොයෙකුත් පරීක්ෂන කෙරෙන අතරේ අදාළ තරුණියගෙ මානසික තත්වයත් පරීක්ෂා කරාලු. ඒක සාමාන්‍යයිලු.
එ් සිදුවීම පසෙක තියද්දි රටටම අමු පිස්සු තොරොම්බල් පෙන්නපු මර්වින්ලට කණේ පාරක් දෙන්න යම් සිදුවීම් වලට බදුන් වුනු තැන් වල පිරිමි නොහිටීමත් ප්‍රශ්නයක්. ඒ වගේම අදටත් පිස්සු නටන මර්වින් ඇතුලු තව දාහක් දෙනාගෙ මනස පරීක්ෂා කරන්න මේ රටේ මොන පරීක්ෂනයක් වත් නැති එක විදේශයෙන් ගෙන්වල හරි තවත් පරීක්ෂනයක් කරන්න වෙන තරම් ප්‍රශ්නයක්.
එතරමට අපි හැමෝම සුපිරි ගෙවල් වල කුක්කො ගානට වැටිල. කන්ඩ බොන්ඩ සැප නම් බල්ලෙක් වුනාම මොකද නේද?
අනේ මෙහෙව් රටක්! ජනතාවක්! බලු නොවටින මහජනයා හා තොපේ මතය :) යැයි කීවොත්...
සාමාජයක් හැටියට විග්රහ කරගන්න ඕන දේකුත් එතන තියෙනව. මනසත් අවුල් නැත්නම් අච්චර කණට ගැහුවෙ විනෝදෙටද? කියල හිතල බලනව වගේම මර්වින්ල වගේ බොරු නම් ගත්ත තවත් දාහක් පාදඩයො බලු වැඩ කරනකොට උන්ට කණට ගහන්න පෙළඹෙන්නෙ නැත්තෙ මරණ බයටමද? කියල හිතල බලන්නත් වෙනව.
මර්වින් හමුවෙ මරණ බයට ඇකිළෙන අපේ ඈයො කෙල්ලක් හමුවෙ වීරයෝ වෙන්න හදනව. යම් කතාවක් කියල ඒ වෙනුවෙන් ලැබුනු ගුටි ප්‍රමාණය සාධාරණයි කියල කොල්ලෙක් හිතපු එකත් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ අර කණේ පාරවල් වලින් කීපයක් අපේ පිරිමිකමටත් වැදුන කියල දැනුනම තමයි, කණේ පාරට හා ඒ සිද්ධියට වඩා පිරිමි ගැහැනු පෞරෂ ගැන කතාකරන්න කාලෙ ඇවිත් කියල හිතෙන්නෙ එතකොට. නමුත් මර්වින්ල හමුවෙ බලු වීම අපේ පිරිමිකමට තරම්.. ඔන්න අපේ තරම.
පැය භාගයක් විතර ගෑනුන්ගෙන් කණේ පාරවල් කන්න තරම් පිරිමි බල්ලට වැටිලනම් ඒක ගෑනුන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඇගේ පතේ හයියට එහා හිතන්න කාරණයක්. එක දේ හැමදේ නොවුනත් හැමදේ එක තැනකට ගලපන්න වෙන්නෙ ඒ හිතිවිල්ලත් එක්ක. නැතුව ඒ කෙල්ලට කණේ පාර ගැහීමෙන්ම නෙවෙයි. මේක පිරිමින්ගෙ පිරිමිකම පිළිබද ප්‍රශ්නයක් මිස ගෑනුන්ගේ පිරිමිකම් පිළිබද ප්‍රශ්නයක් නොවෙයි.
මර්වින්ල හමුවෙ ගෑනු වෙන පිරිමිකම මතුවෙන්නෙ ගෑනු ඉස්සරහ විතරනම් සිග්නල් දාල ප්‍රධාන පාරෙන් හරහට පිරිමිකම කපා ගන්නැතුව මැරුණත් ඉස්සරහටම යන්න හිතන්න වෙනව. එ් ප්‍රධාන පාරෙමයි, නියම පිරිමිකම එතැන නිසා. හරියට ප්‍රධාන මාර්ගයෙ හරහට වැටුණු බාධකය අයින් කරන්න හයිය ඇති නැති කොයි පිරිමිත් පිරිමිකමේ හයියෙන් කරගහනව වගේ, මග අරින්නෙ නැතුව.
ඔන්න වැඩ නම්....පිරිමි කම කියන දේ දෙකයි පනහට දා ගන්නෙත් උඹල අපේ සමහර වැඩමයි. භය නම් පිරිමි නොවුනට කාරි නෑ. හැබැයි ඒ බය නැති කම ගෑනු ඉස්සරහ විතරක් නෙවෙයි. මොන ජඩකම ඉස්සරහත් ඒ විදිහට තියෙන්න ඕන.
වන්දනාවේ යමු පේ වීලා
ඉස්සර අපි ගියේ වෙහෙර වදින්නට. සුදුවතින් සැරසී පොහොයට පන්සල් යාම අපට රටට අරුමයක් නොවේ. එතැනදී අපට පන්සල යනු හුදු ගොඩනැගිල්ලක් නොවේ. අධ්‍යාත්මික ස්මාරයක්. කොහොම ඇදන් ගියත් පල්ලියත් එහෙමමයි.
ඊයේ රෑ සුළු මොහොතක් කොටුව පිට පුද්ගල බස් නැවතුම පසෙක පාවෙන - නමකින් හැදින්වුනු වෙළද හල් සංකීරණය මතින් මදක් ගොස් ආව. මට හිතුනේ දැන් අර කලින් වන්දනාවට වඩා අප මේ වන්දනාවට රුචි වෙමින් ඇති බව. මිතුරකු සමග මෙතන ගැසූ රස්තියාදු මිනිත්තු කීපයේ දුටු සේම, මීට පෙර ද විවිධ තැන්වල දී ගොඩනැගිලි වට කොට බොහෝ දෙනෙක් වන්දනාවේ යෙදුනා මතකයි.
පන්සල්ද පල්ලිද අධ්‍යාත්මික මුහුණකින් තොරව පෙනෙන්නට පටන් ගෙන ඇති නිසාදෝ ගොඩනැගිලි වන්දනාව දැන් ජනප්‍රිය වෙමින් යනු පෙනෙන්නේ, පල්ලි පන්සලුත් ලස්සන ගොඩනැගිලි, කඩ සාප්පුත් ලස්සන ගොඩනැගිලි. හරි අපූරු සාප්පු වන්දනා.
රට සංවර්ධනයට මේ වන්දනාව වැදගත්ලු, වන්දනාව වැඩි වූ තරමට මඩි තරවේලු. අධ්‍යාත්මික සුවය සොයා පල්ලි පන්සල් ගිය අයට දැන් මානසික අවපීඩනයෙන් මිදෙන්න ගොඩනැගිලි වන්දනාවත් අපූරු දෙයක්. සාධු සාධු නොකියන නිසාම දැන් ගොඩක් දෙනා ගොඩනැගිලි වදින්න යන්නේ කන්න බොන්න හොදට පේ වෙලා. හරිම අපූරුයි. තව හොද හොද සෙල්ලං ඉස්සරහට තියේවි. ඒව එළිවෙන ජාමෙට කියනවනේ.
ඔය අස්සෙ බැදිවල, ගම්මාන වල එහෙමත් කරක් ගහල ඒ පැතිවලට පුරුදු පුහුණු කරන්න ඕන දේවලුත් මොනවද කියල හොයල බලන්න පුළුවන් වුනානම්, කාට කාටත් පේවිලා ම වට වන්දනාවේ යන්න හැකි වෙයි, කොයි කොයි ප්‍ර දේසෙත්.
දේසේ හැටියට බාසේ කියනවනේ. දැන් අලුත්වෙන දේසෙට සිංහලත් නොගැලපෙන තරම් ද කියලත් හිතෙනවා. අපි දැන් හදන්නෙ රෑටත් ඇහැ ඇරලම ඉන්ඩලුනේ. බලන්ඩ ඒකෙත් හැටි, ගස් ගල් වලට වැද වැද ඉදල, අර්ථයක් ඇතිව වදින්න පුදන්න පුරුදු වුනු අපි දැන් ගොඩනැගිලි වන්දනාවට පුරුදු වෙලා. ලොකු ලොකු ගොඩනැගිලි, පාරවල් දැක්කම ඇතිවන සද්දාව හරිම වැඩී. භක්තියත් හරිම වැඩී. සමහරුන්ගෙ ඇගේ මවිල් කෙළින් වෙනව සද්දාවට, හරියට රජතුමා ගමට වැඩිය වගේ ඇහැට පේන කොන්ක්‍රීට් කදු සජීවීකරණය.
ඉතින් මෙහෙම යනකොට මං වැඩකරන ගොඩනැගිල්ල වගේම විවිධ අවශ්‍යතා සදහා යන එන හැම ගොඩනැගිල්ලක්මත් එ් වගේම, අහස උසට නැතත් හිතේ භක්තිය ඇති කරන හැම ගොඩනැගිල්ලක් ගැනමත් හිතල ඒව සරණං ගච්ඡාමී කියමින්ම ජීවිතේ ගෙවන්නත් වැඩි ඈතක් නැතිවම අපි පුරුදු වේවි. එදාට වට වන්දනාවේ නෑවිත්ම හැමදාම ගොඩනැගිලි වන්දනාව කරන්න අපි පුරුදු වෙයි. එහෙම වුන රටක පල්ලි පන්සල් නිවාඩු නිකේතන වගේ ගොඩනැගිලි වේවි. ඔන්න ඔහොමලු ලෝකයේ දිහාට රට යන අත. අපි යන අත.
අපි මොන විදිහට හිතුවත් අද උපදින දරුවන්ට ඉතිරි භෞතික ලෝකයම විතරයි. එ්ක ඇතුළෙ අධ්‍යාත්මික නටඹුන්වත් නැහැ. කෑම, බීම හා ජොලිය-තව වෙන මොනවද? ජීවිතය කියන්නෙ එච්චරයිද? එහෙමනම් ඒක හිස් දෙයක් විතරයි... හිස් ලෝකෙක ගොඩනැගිලි, පාරවල්, යාන වාහනත් එක්ක පිළිවෙලකට ජීවත් වෙන සත්තු ගොඩක් විතරක් වෙයි අපි හැමෝම.
මට හිතෙන්නෙ අපි යන්නෙ එහෙම ගමනක්, ලෝකෙත් යන්නෙ එහෙම ගමනක්. කෙළින්ම ඉස්සරහට යන මහ පාර එහෙමනම් දකුණට හරි වමට හරි සිග්නල් දාල මම ගන්නව අතුරු පාරක්. සමහර විට ඒ පාරෙත් දකුණට වමට අතුරු පාරවල් තියේවි. ඉස්සරහ අනතුරක් නම් ඒ තැන්වලිනුත් හැරෙන්න වේවි. මම හැරෙනව, හැබැයි යන්නෙ ඉස්සරහටමයි.
Thursday, August 21, 2014
මගේ ඉදිරි දැක්ම - ඔබට ස්තූතියි.
හැමදේම එකය. නමුත් එකක් හැමදේ නොවන නිසා එක එක වෙන් වශයෙන් විස්තර කෙරේ. නමුත් අවසන සියල්ල එකය. ඔබත් මමත් ගණනින් දෙදෙනෙකි. ඔබ පිරිමියෙක් නම් මමත් පිරිමියෙක් නම් එතැන ගණය පිරිමිය. ඔබ ගැහැනියක් නම් මම පිරිමියෙක් වුවත් එතැන අප මිනිස් ගණයේය. ඔබද මිය යනු ඇත. මමද මිය යනු ඇත. එතෙක් අප දෙදෙනාම ආහාර ගන්නෙමු. ඒ දෙතැනක හිදය. ගන්නා ආහාර වර්ගද විවිධය. එහෙත් අප දෙදෙනාම එකලෙස ආහාර දිරවා එක ලෙස බැහැර කරන්නෙමු. ඔබේ දේශගුණය සෞම්‍ය කළාපික වනු ඇත. මා උෂ්ණ කළාපයක වනු ඇත. ඔබේ පැහැය එකක් වද්දී මගේ පැහැය තවකක් වනු ඇත. එහෙත් අප ව්‍යුහාත්මක වශයෙන් එකම විශේෂයක වන්නෙමු. ඔබ මුහුණ දෙන අද්දැකීම් විවිධය. ඔබේ වයස මට වැඩි හෝ අඩුය. මගේ අවශ්‍යතා එකක් වද්දී ඔබේ අවශ්‍යතා තවකකි. එහෙත් අප දෙදෙනාම නින්දත් නොනින්දත් දෙකම ලැබ දිවි ගෙවන්නෝය. ඔබේ පවුලේ සාමාජිකයින් ගණනින් බොහෝ වන්නට පිළිවන. නැත්නම් පවුලේ එකම දරුවා ඔබ වන්නටත් පිළිවන. මගේ තතු ඊට ඉදුරාම වෙනස් විය හැකිය. එහෙත් අප දෙදෙනාම එකම මූලයකින් බිහිවූවන්ය. ඔබට දරුවන් ද සිටිනවා විය හැකිය. මා විවාහකයෙකු නොවන්නට ද පිළිවන. එහෙත් පුද්ගල භූමිකා වලින් තොරව ගත්විට අප දෙදෙනාම ලෝක වාසී මනුෂ්‍යන්ය. අපට ලැබෙන සැලකීම් පිළිගැනීම් විවිධ වන්නට පිළිවන. එහෙත් අප දෙදෙනාම උපතත් විපතත් අතර දිවියකට හිමිකම් කියන්නන් පමණය. ඔබ මට ඔබේ අදහස් නොකීවා වන්නට පිළිවන. මා මගේ අදහස් ඔබට කීවා වන්නට පිළිවන. මම ඔබ නොදන්නවා වන්නට පිළිවන. ඔබ මා නොදන්නවා වන්නට පිළිවන. එහෙත් අප ලෝකයේ කොහේ හෝ දිවි ගෙවන්නන් බව අපට විශ්වාසය. එනම් අප ජීවින් බව අපට විශ්වාසය. එයිනුත් මනුෂ්‍යන් බව තව දුරටත් විශ්වාසය. සිංහලය දන්නා බවට ඉදුරාම පැහැදිලිය. ඒ එකම සිංහලය දන්නා නිසා ඔබත් මමත් අතර මනුස්සයා යන්න හැර සියල්ල වෙනස් වුවත් තවත් එක දෙයක් සමාන විය යුතුමය. එනම් සිංහලය දන්නා එකය. දන්නා සිංහලය අප එකි නෙකා වටහා ගන්නා අකාරය විවිධ වන්නට පුළුවන. ඔබ හරි යැයි සිතන දේ මම වැරදි යයි සිතනු ඇත. සමහරවිට එකම දේ අප දෙදෙනාම සිතනු නැත්ද? මම මා ගැන බොහෝ කොට තේරුම් ගෙන ඇත. ඔබ ඔබ ගැන බොහෝ කොට තේරුම් ගෙන තිබෙනවා විය හැකිය. ඔබෙන් මට ඵලක් නැතිද? මගෙන් ඔබට ඵලක් නැතිද? මිනිසෙකුට තවත් මිනිසෙකු ගෙන් ඵලක් තිබෙන්නේ ගනුදෙනුවකදී පමණක්ද? මම පරිගණකය ඉදිරියේ හිදින්නෙමි. ඔබත් පරිගණකය ඉදිරියේ හිදින්නෙහිය. ඒ එකම වේලාවේක නොවනු ඇත. ඔබ යමක් කියවනු ඇත. ලියනු ඇත. බලනු ඇත. මමද යමක් කියවමි ලියමි බලමි. ඒ එකක්ද නොවනු ඇත. එහෙත් දෙකක්ද නොවේ. ඔබටත් මටත් බලන්නට ඇති දේ වල එකම වෙනස රට රට වල තහනම් කොට ඇති දේ පමණි. ඔබත් ලෝකය දකින්නෙහිය. මමද ලෝකය දකින්නෙමි. ඒ එකම ලෝකයකි. නමුත් එකම ආකාරයෙන් නොවේ. කිසිසේත්ම එකම ආකාරයෙන් නොවේ. එ්ත් අප දෙදෙනාම ජීවත් වන්නේ දෙරටක වුවත් එකම රටක දෙතැනක වුවත් එකම ලෝකයේය. ඔබේ පැවැත්ම මමය, මම කියමි. මගේ පැවැත්ම ඔබය, ඔබ නොකිව්වත් මම කියමි. තවත් මිනිසෙකු නැති ලෝකයක ඔබට පැවතිය හැකිද? මට පැවතිය හැකිද? උත්තරයක් මෙතන ලිවීමට අවැසි තරම් ඔබ හෝ මා බුද්ධියෙන් මන්ද නොවෙමු. එබැවින් මට සහය දුන් ඔබට ස්තූතියි. මගේ ඉදිරි දැක්ම හැදෙන්නේ සියල්ල එකක් බව වටහා ගැනීමෙනුත් එකක් යනු සියල්ල නොවන බව තේරුම් ගැනීම තුළත්ය. ඒ අවබෝධය ලබා දෙන්නට මට පිටිවහල් වූයේ ඔබය. එබැවින් නැවතත් ඔබට ස්තූතිය. දිනෙක අප හමුවන්නටත් කෙදිනකවත් මේ අවකාශයෙන් පිට අප හමු නොවන්නටත් පිළිවන. එහෙත් යහපත පතන ඔබට පිං...සිංහලය තේරෙන අපට එකිනෙකා කෙරෙහි මෙත් සිතින් දිය හැකි එකම තුතියෙන් මම ඔබට සංග්‍රහ කරමි.
අවසන් වශයෙන් කියමි, මගේ ඉදිරි දැක්ම ඔබයි. ඔබ දෙස බලා මම ශක්තියක් ලබමි. ඒ ශක්තියෙන් මගේ ඉදිරි දැක්ම නිරන්තරයෙන් පෝෂනය වනු ඇත. ඔබට ජය.
ශුද්ධ වූ රස්තියාදුව ජීවිතය ඇතිතෙක් නිමි නොවේ. හිතට එකගව වැරද්දෙන් තොරව ජීවිතය දිනන්නට අප හැමට ශක්තිය...වේවා.
මිනිසුන් හැටියට ඉපදී යහපත් මිනිසුන් හැටියට මියයමු.
Tuesday, August 19, 2014
දැනගෙනම ඉඩ දෙනවාද? පාදඩ මර්වින් ප්‍රතිරූපකයන්ගේ කණ පළනවාද? දරුවන්ටත් තරුණයන්ටත් ආතල් ගන්නට කියා දෙන වැඩිහිටි ගොබ්බරාළලා විසින් සමාජය වනසා තමන්ද වැනසෙන හැටි
මර්වින් ප්‍රතිරූපයාගේ සිට ගත්කළ ගොබ්බ ගොමකල බදු වැඩිහිටියන්ට අතුල් පහර දෙන්නට සුදුසු පිරිසක් පහළවේවා. එ් පහළ වන පිරිසත් අපම මිස වෙන කව්ද? එසේ සිතෙන්නේ සමාජයේ යන්තමින් හෝ ඉතිරිවී ඇති වටිනාකම් එළිපිට කෙළසන මර්වින් ප්‍රතිරූපකය වැන්නන්ට එ් ජඩකම්වලට බදුන්වන තැන්වලදීම නිසි ප්‍රතිචාර දැක්වීමට නොතරම් තරමට අප මහජනයා මරණබිය ඇතිවුන් වීම සමාජයේ අද කුඩා දරුවා හෙට පාදඩයෙක් කරන්නට දෙන ලයිසමක් වීම වැනියැයි වැටහෙන නිසා. හරි හෝ වැරදි මහනායකටත් බණ දෙසන මර්වින් ප්රතිරූපකයන් අපට අත එසෙව්වොත් නම් හෙට මැරුවත් එතැනම කණපලනවා සත්තයි. හැකි තරම් ප්‍රසිද්ධියේම එවැනි පුහු පාදඩ ප්රතිරූප බිදිය යුතුය. තිරශ්චීන වැඩිහිටි ප්‍රතිරූපයන්ට එබදු ලෙසින් සැළකීමට අපට හිමිකමක් ඇත. අප යනු මා වැන්නන්ය. මා යනු ශුද්ධ රස්තියාදුවන්ය. බලපුලුවන්කාර හෝ දූ දරු ඥාතී හයිය හෝ පරම්පරාව හෝ රටේ කෙරුමෝ යන්න අපට බිය ඇතිකරන්නක් නොවේ. අප ඒවාට බිය වන්නේද නොවේ. නීර්භීත කම යනු උස මහත හෝ ප්රභූත්වයද නොවේ. කපටි කමෙන් තොර සද්භාවයයි. අවස්ථානෝචතියයි. නමුත් ගරු කළයුතු වැඩිහිටියන්ට අපි දොහොත් මුදුන් තබා වන්දනා මාන කරමු. ඔවුන් අපේ ශක්තිය සේම මතු පරපුරේ ආලෝකයයි.
සමාජයකට ගුරුහරුකම් ගන්නට අප සියල්ලක් නිතර හැරෙන්නේ අප වැඩිහිටියන් වෙතයි. ඒ වැඩිහිටියෝ අපට කියාදෙන්නේ ආතල් ගන්න හැටි ගැනනම් එහෙව් උන්දලාගෙන් තැනෙන සමාජයක් වින කටින්නේ උන් උන්ට පමණක් නොව තවත් බොහෝ දෙනාටයි. උදාහරණ කප්පරක් ඇතත් නුවණ ඇත්තන්ට සෑහෙන ලෙසින් එක් උදාහරණයක් පමණක් කියමි. මෙසේ කියන්නේ රටේ ධනය මෙන්ම අනාගතය වෙනුවෙන් තැනෙන දහසකුත් අවස්ථා තම පුද්ගලිකත්වය මතින් විනාශ කරන පාපතරයන්ට අප කෙළින් කටින්ම එරෙහි විය යුතු නිසාය. එ් තැන්වල බඩගෝස්තරය වෙනුවෙන් නිවට නොවිය යුතු නිසාය. එවැනි දේ මෝඩ කම් යැයි හිතනවානම් ඔබත් මොළේ පමණක් ඇති හදේ පනක් නැති නිකම් ගොබ්බ මිනිහෙක් පමණි. වහාම මෙතනින් ඉවත්වී ඔබේ මහත්මා තිරිසන් දිවියටම යන්න.
මීට අවුරුදු කීපයකට පෙර එක්තරා රාජ්‍ය ගුවන් විදුලි නාළිකාවක් අප ප්‍රදේශයේ ඇරඹුනි. එහි පාලනය භාර ගන්නට පැමිණියේ රජයේ ප්‍රධානම ගුවන් විදුලි නාළිකාවක සිංහල අංශයේ ප්‍රධානියායැයි ගර්වයෙන් කියමින් පැමිණියෙකි. තරුණයන් වූ අපද ඒ වෙත බලාපොරොත්තු සහිත වූයේ හදවත අතට ගෙන ඔහු කතා කරනු අසාය. නාළිකාව විකාශන කටයුතු ආරම්භ කරන්නට ආසන්නයේ සම්මුඛ පරීක්ෂන සදහා පැමිණි පිරිස පාරවල් දිගේ පෝලිම් තැනෙන තරමට විය. ටික දිනකින් මේ පෝලිම් නිමා වූයේය. අලුත් පිරිසක්ද එතැනට බදවා ගැනුනි. නාළිකාවේ විකාශනය පරීක්ෂනාත්මක තත්වයෙන් මිදී සාමාන්‍ය තත්වයට ආවේය. ගත වූයේ ටික කලකි. තමන්ගේ ස්ත්‍රී ධූර්ත කමත්, සුරා ලෝලීත්වයත් කර පින්නා ගත් ප්‍රධානියා සමහර අවස්ථාවලදී තමන්ගේ පුද්ගලික භාවයද ආයතනයේ කටයුතු තුළට ගෙන ආ බවට එහි මුල්ම කණ්ඩායම ඇතුළත් වූ මා මිතුරා සාක්ෂි දරනු ඇත. විටින් විට යම් අවස්ථානුකූල දායත්වයන් දැක්වීමට ගිය අපවද ඔහු සාදරයෙන් පිළිගත්තේය. මෙසේ ටික කලක් ගත විය. ලාබ හෝ පාඩු හෝ සාර්ථක හෝ අසාර්ථකත්වය තුළ රාජ්‍ය ප්‍රාදේශීය නාළිකාවක ලේබලය පමණක් සහිතව මෙම නාළිකාව ටික කාලයක් ගත කළේය.
දිනක් බොහෝ සේ රස්තියාදුකාර වූද ඒ ආයතනයෙන්ම මෙහෙයවනු ලැබූ කටයුත්තක් සදහා මමද එහි ගොස් සිටියෙමි. තතු නොදන්නා අපේ පිරිසක් හමුවේ තම ගුණ යපහත්කම පෙන්වීමට ආයතන ප්‍රධානියා එතැනදී බොරු රංගනයක් ඉදිරිපත් කරනු සෑහෙන වේලාවක් ඉවසා බලා සිටියෙමි. අප වෙතද බලපෑම් සහගත වූ එ් රංගයේ සීමාව ඔහු විසින් අතික්‍රමණය කරන්නට යෙදුන තැන ඔහුගේ අවසරය රැගෙනම මම ඔහු හමුවේ කෙළින් සත්‍ය වචන කීපයක් කතා කළෙමි. ඔහු අපහසුවට පත් විය. අනතුරුව මම එතැනින් ඉවත්ව ආවේ මගේම කැමැත්තෙනි. අප වැඩසටහන් ප්‍රධානියා නැවත පැමිණෙන ලෙස ඇමතුමක් දුන් නමුත් මම එය කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමි. ඉන් බොහෝ දවසකට පසු හදුනන්නෙකු පැවසූයේ ආයතනයේ ප්‍රධානියා එහිදී ඉතිරි වූවන්ට කියා තිබුනේ මාව සම්මුඛ පරීක්ෂනයකින් නොතේරුනු නිසා එ් හැගීමෙන් මා ඔහුට නිකරුනේ චෝදනා කළ බවක්ලු. එය ඇසූ මට ඔහුගේ නිවට ගතිය ගැන සිනා පහළ විය. අදාළ සිදුවීමේදී සම්මුඛ පරීක්ෂනය පිළිබද වගක් මට නොවීය. මා ඔහුට පැවසූයේ අපට කෙළින් කතා නොකොට වක්‍රාකාරව අපව මුළා කරන්නට ඔහු කළ තැත අපට වැටහෙන බවය. නමුත් ඔහුගේ වැඩිහිටි කමට මම කාරුණික වීමි. ඒ සිදුවීමෙන් පසු ඔහු තවත් තැනකදී මට හමුවිය. එහිදී ඔහු මා ඇගයූවේය. මගේ මිතුරාව ආදරණීය ලෙස විවේචනය කළේය. ඔහු අප මුණගැසුනු එ් සාකච්ඡාවේදී යම් ඉදිරිපත් වීමක් කරන අයෙක් වෙතොත් ඔහු හෝ ඇය තම ආයතනයට බදවා ගන්නටත් පොරොන්දු විය. කුහක වැඩිහිටියන් ගැන හදුනාගෙන සිටි මම හැකියාව තිබියදීත් ඉවසා නිහඩවූයේ වැරදි ලෙස අවස්ථා දිනා ගැනීම අපහට තරම් නොවන නිසාය. ඔහු එහිදී අපේ ඉදිරි දැක්ම විමසුවේය. මම දුන් පිළිතුර වර්තමානයේ සම්මත එකක් නොවීම පිළිබද ඔහු විචාර කළේය. මේ වැඩසටහනේ ප්‍රධානියාද ඔහුද මිතුරන් වූ නිසා ඔවුන්ගේ අන්‍යෝන්‍ය පිට කසා ගැනීම් හා දේසපාලුවන්ගේ පිට කසා ගැනීම් මේ වැඩසටහන් තුළද අන්තර්ගත විය. එ් වැඩසටහනේ තවත් තැනෙක ඔහුගේ අතින් සහතික පත්‍රයක් ලබන්නටද අවස්ථාවක් මට විය. අකමැත්තෙන් වුවත් මම ඒ අවස්ථාව ඉවසීමි. තවත් විටෙක මුණ ගැසුනු තැන අත වනා සමාචාර කිරීමටත් ඔහු ක්‍රියාකළේ අපගේ හිත පදහවන්නටය. මමත් ඔහුට එලෙසින්ම ප්‍රතිචාර පෑමි. නමුත් මේ සියල්ල තුළ මා එකක් වටහා ගතිමි. කපන්ට බැරි අත සිම්ඹත් මේ වැඩිහිටියාට අප වැනි තරුණයන් ගැටලු සහගත වූ බවයි. ගැහැනුන් ගැන නන් දොඩා, දේසපාලන මුසා පවසා, ඔහුත් සමග අඩියක් ගැසුවේ නම් අපත් ඔහුට ගැලපෙනු ඇත. නමුත් අඩි ගහන්නට ඕනෑ නම් ගහන්නට හැකි වුවත් අපට නුවමනා නිසා අපි අඩි ගහන්නේ නැත. ගැහැනුන් ගැනද එසේමය. කළ යුත්ත හා නොකළ යුත්තත් විය යුත්තත් සොයායමින් සිටි අවධියක වුව අපට හිතේ හයියත් ඇගේ හයියත් දෙකම අවුරුදු කීපයකට පෙරත් තිබුණේය. ශුද්ධ වන්තයන් නොවුනත් අපි පිරිසුදු කම අගය කළෙමු. පිරිසිදු කම හොයා ගියෙමු.
නමුත් අර විදිහට තම ජඩකම් පුද්ගලික පටිපදා ලෙස ආයතන තුළ අනුමත කරගෙන හිටි මිනිසුන්ට වූයේ කුමක්ද? ටික කලකින්ම සිදු වූයේ තමාගේ අදූරදර්ශී අහංකාර වැඩපිළිවෙල නිසා ආයතනයේ ඇතිවූ කඩාවැටීම හේතුවෙන් එතැනින් යන්නට සිදුවීමයි. ඉන් කියවෙන්නේ ඉන් පසු ආයතනයේ තත්වය යපහත් කරන්නට කිසිවෙකු සමත් වූ බවද නොවේ. තවමත් ආයතනය බංකොලොත්ය. බැහැර සබදකම් පවත්වමින් සිට වුව ඉන් පිටවූ දා පටන් තවම එ් ස්ථානයට පය නොතැබූවත් ඒ බව දකින්නට ගුවන් විදුලියක් වූ එහි යා යුතුද නැත. කෙසේ නමුත්රජයේ මහජනයාගේ මුදලට වැඩවන්නේ එලෙසින්ය.
මේ අවුරුදු පහ හයකට පෙර සිදුවීමකි. කතාවට විෂය කොටගත් ප්‍රධාන උන්දෑ සමග මගේ හිතේ කිසිදු කෝන්තරක්ද නැත. නමුත් තමන්ගේ අයපහත් දුර්ගුණ හුවා දක්වමින්, පටු මාන්නයටත්, වාසියටත් දැන නොදැන අන්යන් විනාශ කරන්නට මෙබන්දන්ට බලය ලබා දෙන්නේ කව්ද? එය අපට ප්රශ්නයකි. ජඩ දේශපාලුවෝ නොවේද එ්? උන්ට බලය ලබා දෙන්නේ කව්ද? අප නොවේද? මම නම් එලෙස ලබාදී නැති නිසා, නිර්භයව එබදු මහත්මා ප්රතිරූප ජඩයින් පත් කරන්නට ඡන්දය දෙන උන්දලාට අැඹුල් පොල් පිති පහර දිය යුතු බව කියනවාට විරුද්ධ නොවෙමි. තමන්ට වැඩ කළා කියා එක එකාට සළකත් නම් ජඩයින්ට ඡන්දය නොදෙන අවංක මිනිසුන්ට සළකන්නේ කව්ද? ඔවුන් මුහුදට දැමිය යුතුද? මේක ඒ ජඩයින්ටම ගිය රටද?
තරුණයන් හෝ වැඩිහිටියන් හැටියට මුල් දින කීපයේ ඒ ගුවන් විදුලිය වටා රොද බැදුනු ප්‍රාදේශීය මිනිසුන්ගෙන් ඵලක් ගන්නට එ් ප්‍රධානියාට නොහැකි වුනේ ඇයි? හදවත අතට ගෙන කතාකරත් තමන්ගේ ජඩ ගති තමන්ටම පාලනය කරගන්නට නොහැකි වූ නිසාය. එහෙව් ජඩ වැඩිහිටියන් කෙරෙහි අප දැක්විය යුත්තේ කෙබදු ආකල්පයක්ද? ඒ ඒ ප්‍රදේශයේ හැකියා දක්ෂතා ඇති මිනිසුන්ට ආණ්ඩුවෙන් ලැබෙන අවස්ථා බොහොමයක් මෙහේ කළමණාකරණය වන්නේ එබදු ලෙසකින් නොවන බවට ඔය රූප පෙට්ටිවල සද්දදාන එක ගොබ්බ කෛරාට දේසපාලුවෙකුට ඔප්පු කළ හැකිද? නොහැකිය. පොඩි කොන්ත්‍රාත්තුවේ සිට මහා පරිමාණ ව්‍යාපෘති දක්වා මේ විෂබීජය පැතිර තිබෙනු අප කොතෙකුත් දකින්නෙමු. ඒ ජඩයෝත් උන්ට ඡන්දය දෙන බුබ්බඩයෝත්ම පමණි, රටේ බහුතරයත්. ඉන් මිදීමට තරම් හිතේ වීර්යයක් ඇත්තේ කී දෙනාටද? බොහෝ දෙනා ඒවාට එරෙහි වීමට වඩා බඩ ගෝස්තරයට නිවට වීම යපහතියයි අදහති.
සමහර වැඩිහිටියෝ අපට කියා දෙන්නට හදන්නේ කෙල්ලන්ගෙන් ආශ්වාදය ගන්නා හැටිය. සුරාවෙන් ගත ප්‍රබෝධමත් කරගන්නා හැටිය. මෙහෙව් වූ ගොබ්බ නිවටයෝ සමාජයත් කා ඉන් චුත වන්නේ අපටද පව් ගොඩ ගසාය.
උන් දෙසන ආකාරයට මේ යන රැල්ලේ ආශ්වාදය ගැනීම මහලොකු දෙයක්ද? ඒ පට්ට ආතල් ගන්නා හැටි ගැනත් අපි හොදින්ම දන්නෙමු. නමුත් දැනගන්නට දැනගන්නට අප හදන්නේ සියල්ලක් විනාශ කරන එ් ගොබ්බ මාර්ග වලින් ශුද්ධව ජීවතයක සැනසුමක් දකින්නටය. ඒ ගැන කියන්නටය. එහෙත් තමන්ගේ ජීවිතවලටත් හැබෑ අරුතක් දිනා ගන්නට අසමත් වූ හැකියාවක් පමණක් ඇති වුන් සමාජයකට දැන දැන ම වල කපන්නේ නම් ඒ හුදෙක් තමන් වලට වැටුනු වෛරයෙන්ම පමණි. ඉන් මිදීමට නොහැකි මායාගත හීන වීර්යයෙන්ම පමණි.
ඔය ආකාරයෙන්ම හැමදා කතා කරන තවත් ප්‍රශ්නයක ආකාරය ත්‍රස්ත වාදයක් දක්වා ගියේද මෙතනින් යැයි සිතමි. දැන් සමහර රතු පක්ෂ වල ඉතිහාසගත කැරළි වලට දෙස් තබන වම් දකුණු ප්‍රධාන පක්ෂ, ඒ එදා රතු පක්ෂ හේතු යුක්ති ඇතිව හෝ නැතිව යම් කෙටි කාලයක වැගුරෑ ලෙය හෝ විනාශ කළ නිශ්චල චංචල දේපළ මතක් කරමින්ම ජනතාවගේ හිස අතගා අවුරුදු දහය විස්ස තිස්සේ සූරා කෑම හොදද? එබදු ලෙසකින් කොපමණ මුන් සූරා කා ඇත්ද? ගුණ මකු කම නම් දෙකම එකය. නමුත් දෙපයින් හිට යුක්තිය පිළිගැනීමට කොන්ද ඇති මිනිසුන් අද ඔතැන නැත. බහුතර වශයෙන් මහත්මා ජඩයෝ පමණක් හිදිති. අපි කළොත් හොදය. අනෙකා කළොත් නරකය.
එහෙව් මෙහෙව් වශයෙන් ගෑනුද, මත්පැනද, තවත් නොයෙකුත් වරදානද වෙනුවෙන් කෙළ හළන ගොබ්බර වැඩිහිටි ප්‍රජාවක් මේ රටේ වෙසෙති. උන්ගේ ක්‍රියා කළාප අප හොදින්ම දැක ඇත. නූතනයේ දරුවා ගේ සිට තරුණයා දක්වා වනසන මුන් වෙත අපේ අසිපත් අවදියෙනි. ඒ අයෝමය අසිපත්ම නොව බුද්ධියේ හා ප්‍රඥාවේ අසිපත්ය. අයෝමය අසිපතකට වඩා දහසකුත් වැඩ එයින් කළ හැකිය. පණ ඇති තුරු අප නවත්වන්නට සමත් ජගතෙකුද නැත. අවසන් පණ කෙන්දෙදීද වැලිකැටය හෝ අප විසි කරන්නේ සාධාරණය හා යුක්තිය සදහාම පමණි.
කුඩා කළ සිට මෙහෙව් ජනයාගේ පර වැඩ දකිමින්ම විටෙක එ්වා තුළ වැටෙමින් වුව දෙපයින් හිද ජීවිත රස්තියාදුව ශුද්ධ කරගත්තවුන්ය අප. එ් ලෙහෙසි පහසු ලෙස දෙමාපිය උරුමයක් ලෙසින් නොවේ. දෙමාපියන්ගේ මෙන්ම අපේද අසීමිත කැපවීමකිනි. එබැවින් පරයින්ගේ දෙපා මුලින් අල්ලා උන් පර සක්වල ගැසීමට අප ගතත් සිතත් ශක්තිමත්ය. නියමින් හෝ අනියමින් අප කරන්නේ එයයි. කළ යුත්ත එයයි. එසේ නැතිව දුර්වල මනසින් ගණිකා වෘත්තියේ යෙදෙමින් හිතට හදට දැනෙන ඇත්ත යුක්තිය අනාගත පරපුරට නොදී සමාජ විග්රහ කර කර හිදීමම නොවේ. එ්ක එක විෂයක් මේක තව විෂයක් ලෙසින් අප දැනුමෙන් පොහොසත් වෙද්දී හදවතටත් හිතටත් ගතු කියන අර ජඩයින් කී ගුණයකින් නම් ළමා තරුණ පිරිස් ඩැහැ ගන්නේද? මුළාවේ හෙළන්නේද? නියමින් හෝ අනියමින් විරුද්ධ විය හැකි කොපමණ ජඩ කම් ප්‍රමාණයක් හමුවේ අප නිවට වී ඇතිද?
එහෙව් වූ පාපතර වැඩිහිටි ගොබ්බයින්ට එරෙහිව හිස එසවිය යුතු කාලයයි මේ.
එබැවින් මතක තබා ගන්න, තමන්ගේ හිත දුර්වල හෝ රස්තියාදු වූ පමණට හැමකාම එ් රස්තියාදුවේම විනාශය දක්වා කලතන්නට කිසිවෙකුට අයිතියක් නැති බව. විය යුත්තේ, කළ යුත්තේ ඒ රස්තියාදුවෙන් මිදීමට උන්ට අතහිත දීමය. දෙපයින් නැගී හිදින්නට දිරි දීමය. නැතිව මේ සමාජයේ හෙට විකසිත වන්නට පිපෙන කැකුළු වලට ආතල් ගන්න හැටි කියා දීම නොවේ. එ් අති ගොබ්බ විනාශකාරී ආතල් කඩා ගන්නා හැටිත් දෙපයින් කොදු කෙළින් කොට ජීවත්වන්නටත් කියා දීමය. අපට වඩා වැඩිහිටියනි, මේ සදහා මං හෙවීමට තොපට යුතුකමක් නැතිද?
ගොබ්බ මොළ වලට වධදී මේ ලෝකයේ විනෝදය අතර හිතේ සැනසුමත් ගතේ සැනසුමත් දෙන සද්ධර්මය හොයන්නටත් යහමග යන්නටත් හැමට වීරිය වේවා. ප්‍රඥාව පහළ වේවා. මෛත්‍රිය වැඩෙත්වා.
Monday, August 11, 2014
යහමගට ඇරඹුමක් - මෛත්‍රියෙන් යුත් ශුද්ධ වූ යුද්ධයක්
අනෙකාගේ බෙල්ලට පිහිය තබා "උඹේ ජීවිතය මෙපරිද්දෙන් ගෙවිය යුතුය" තර්ජනයට, ගර්ජනයට හෝ අත්අඩංගුවට ගැන්මට අපට අයිතියක් නැත. එබැවින් අපි අනෙකා වෙත යපහත පතුරවන්නේ ඒ පිළිබද අප වටහා ගන්නා දෑ ප්‍රකාශ කිරීමෙනි. ඒ ප්‍රකාශ කිරීමද සිදුවන්නේ අයහපතට එරෙහිව මිස තවත් යහපත් මතයකට එදිරිව නොවේ. වාණිජවාදී සංකල්ප තුළ හැමදේම මුල්‍ය වටිනාකමින් තක්සේරු කරද්දී යහපත අපට ඒ වටිනාකමින් මැනීමට ඉඩදිය හැකි නොවේ. මිනිසාත් මානව සමාජයේත් විනාශය ඇරඹෙන්නේ එතැනිනි. කොතැන කොයි ලෙසකින් ඒ තත්වය ඇරඹී තිබුනත් අප සමාජයේ ඒ මත පතුරවන්නන් සිටියත් මේ සමාජය ඒ වෙත ගොදුරුවීමට එරෙහිව අපට විසි කළ හැකි වැලිකැටය පවා නිවැරදි ලෙස විසිකරන්නට අප උනන්දු විය යුතුය. තීරණාත්මක පනහට පනහ බල තුලනයේදී වැලි කැටයටත් දශමයකින් වුව මහ විශාල බලයකට දායක විය හැකිය.
ත්රස්තයන් සමග යුධයකදී අපේ මානුෂවාදී බවේ වගපල හේවූ අය තවත් මහ යුධයකදී දත කට පූට්ටු කර ගෙන සිටිති. ලෝකයාගේ හැටි එහෙමය. බලවතාට ලැබෙන තැන දුබලයාට නොලැබෙයි. බලවතා පැහැරුවත් සුවද යැයි කියන මිනිස්සු දුබලයා පැහැරූ තැන දුබලයාට අසූචි කවන්නට හදන්නේ "කැත කළා" යයි කියමිනි. ඒ ලෝකයාට ලොකුකම් පෑවත් අභ්‍යන්තරයෙන් දුබල මිනිසුන්ගේ හැටිය. සමාජ, දේශපාලනික ලොකු කතා අස්සේ යටිතල පහසුකමක් බදු යහමගක් හැම ගමක් ගමක් පසා හැදෙන්නේ නැතිතාක්, ගෙයක් ගෙයක් ගානේ හැදෙන්නේ නැතිතාක් මිනිසා කොච්චර උගත්තත් රටක් පොහොසත් වන්නේ නැත. මහා විශාල ඉතිහාසයක් අනන්‍ය සංස්කෘතියක් ගැන කතා කරන හිතන අප වැනි රටවලට එහි බලපෑම විශාලය. බුද්ධියත්, ශරීරයත් වෙහෙසීම සමග බැදුනු මිනිසුන්ට වඩා හදවතත් හිතත් වෙහෙසෙන මිනිසුන් අප රටවල සිටීම එයට හේතුව නොවේද? එය ප්‍රධාන හේතුවකි. බුද්ධියත් තර්කයත් සමග ගැටලු විසදීම පහසු වුව හදවතත් හිතත් සමග ගැටලු විසදීම පහසු නොවේ. නමුත් මෙහදී අපට උගන්වන පහසු ක්‍රමය නම් හදවත පොම්පයක් බවත් හිතේ හිතලු බොහෝ බවත් බුද්ධියෙන් තේරුම් ගෙන සංස්කෘතික හා ආගමික බැදීමෙන් පහසුවෙන් මිදී පොෂ් ලෝකයට පියමැනිය යුතු බවයි. " අද යන ක්‍රමය ඕකයි " බොහෝ දෙනා යන අතට බෝට්ටු පදින්නයැයි අපට කියන්නේ ඔය සම්මතයට අනුවයි. එහි බලපු ගමන් ඇත්තේ බුද්ධියට ගෝචර හොද ඇත්තකි. ඒ නිසාම බොහෝ දෙනා ඒ අනුව යති. නමුත් ගැඹුරේ ඇති ගැටළු නොදැක යන නිසාම ඒ ගැටලු සමාජ දේශපාලනික ප්‍රශ්න ලෙස මතුවන තැන්වලදී තවත් ප්‍රයෝග තෝරා ගන්නා අතර සියල්ල වාණිජත්වයට යටපත් කරන විසදුම් වලට පිවිස සමාජයම විනාශ කර ගනිති.
අපට අපේ ජාන වලින් උරුම හැකියා දක්ෂතා බාහිර පරිසරයේ ලබා දෙන සම්මත අධ්‍යාපනයෙන් ඔප නගන ක්‍රමයක් අප රටේ වෙත්ද? බහුවිධ බුද්ධියක් ගැන කියන අතර අපි අපේ ජාන අනන්යතාවයන්වත් හදුනා ගෙන ඇතිද? අපේ දෙයක් ලෝකයාට දෙන්නට බැරි තරම් අපි අනාථද? තරගකාරීත්වයට අපේ මනස සකස් කළ යුත්තේ අර පෙර කියූ ලෙසින් හදවතත් හිතත් අයාලේ යවමින්ද? එය දහමකට අනූකූල කළ යුතු නැතිද? එසේ නොකොට ඔලුවත් ඇගත් පමණක් හැදූ පසු ඒ අඩුව නිසාම නිර්මාණය වන ප්‍රශ්න වලට විසදුම් හොයන්නේ තව දුරටත් විනාශ වෙමින්ද?
දේශපාලුවෝ බොරු කියති. මහජනයාගෙන් බහුතරය ඔවුන්ගේ පිට කසති. ඒ පවතින ක්‍රමයෙන් ඔවුන්ට හරි හෝ වැරදි ලෙසින් ලබා දෙන වරදාන නිසාය. ඉතින් මේ අන්‍යෝන්‍ය පිට කසා ගැනීම එක් පාර්ශ්වයකට ප්‍රමාණවත් නොවන තැනදී ඔවුහු සමාජයේ විරෝධතා ඇති කරති. බලය ඇති දේශපාලකයෝ තමන්ගේ බලය එවිට පෙන්වති. බලය නැති මහජනයා එය ලබාගත හැකි තවත් පිරිසකට හිතවත් වෙති. සමාජයේ රටේ ගමන ගැන හෝ සමස්ථය ඉදිරිය බලනවා වෙනුවට එක එකාගේ බඩ වියත හෝ බඩ ගෙඩිය තරවීමක් පමණක් සිදුවේ. බඩ ගෙඩි වැඩි ප්‍රමාණයක් තර කළ පමණින් රටක් නිවැරදි ගමනකට අවතීරණ වෙත්ද? අප ජීවිතය යනු බඩ පමණක්ද? ඉතිහාසය භූගෝලය ගැන නන් දොඩවමින් අප කොහේ ගාටාවිද? තවත් රටකට කොකු ගසා ඇදෙන්නේ නැතිව තමන්ගේ රුවලක් නංවාගෙන හුලං සැරේ යොදා ගෙන තමන්ට අවැසි දිශාවට අප දැක්කෙන්නේ කවදාද?
එතැන දී අපේ පළමු අනන්‍යතාවය සිහියයි. බුද්ධියෙන් තර්කයෙන් තම වාසියට කල්පනා කරන රටවලට වඩා හොද සිහියෙන් කල්පනා කරන්නට හැකිනම් අපේ රටේ ශක්තිය අවදිවන්නේ එතැනයි. අපේ ජාන අනන්‍යතාව අවදි වන්නේ එතැනයි. කලක් තිස්සේ ගැඹුරු දහමක රසයෙන් මත්වුනු අපේ හිත් වල හදවත් වල ශක්තිය අවදිවන්නේ එතැනයි. ඉතින් ඒ දහමත් සිහියත් හැරපියා අප යන ගමනේ නිවට ගතියක් මිස අපේ ගතියක් එන්නේ නැත. ඒ ගතිය ගන්නට කලිසමෙන් සරමට බහින්නටම ඕනෑ නැත. ඕනෑ නම් බැස්සත් කමක් නැත. නමුත් ඔය ගතිය ගත යුත්තේ හොද පිළිවෙතකින් මිස සරමෙන්ම හෝ කලිසමෙන් ඔය ගතිය සපුරා එන්නේ නැත. එබැවින් සරම ඇන්ද පමණින් අපේ ගතිය ඇගට ආවට ක්‍රියාවට එන්නේ නැත. ඒත් අදින්නට පුලුවන් නම් සරම හොදය. ඒත් සමග ගැටුමට නැති සිහිය අවැසිය. කලිසම වුව කම් නැත. ඇති කර ගත යුත්තේ නිවැරදි අවබෝධයය. මේ කියන්නට යන්නේ ශුද්ධ වූ ජාතියක් ගැන නොවේ. යහපත් ජාතියක් ගැනය. රටක් ගැනය. සුද්දෝ හෝ කලු සුද්දෝ හෝ ලක්ෂ ගණනින් ගෙන්වා රටට ආදයම ගැනීම එකකි. ඒ ඔස්සේම හීන බැලීම නිවට කමකි. එතැනින් මිදීමට මේ කාලයයි. හැබැයි එතනදී වැඩි කැපවීමත් යහපිළිවෙතත් එක්කරන යහමගක් මිස අන් මගක් ගත්තොත් අපට නැගිටීමක් නම් ඇත කියා හිතෙන්නේ නැත. නැගිටීමක් වෙතොත් අශුද්ධ කිළිටි පාපබර විලසකින් මිස ශුද්ධ ලෙසකින් නම් නොවේ.
එබැවින් ඒ යහමග සරි කිරීම සදහා අපට ඇති යුතුකම තනි තනි අප යහමගට එළැඹුමයි. එය ශුද්ධ වූ යුද්ධයක්මයි. බෙල්ලට පිහිය තියන්නැති, අපේ හිත් ශක්තිමත් කරගෙන හරි විදිහට වැඩ කරන්නට ගැනීමයි ඒ ශුද්ධ වූ යුද්ධය. අනිවාරතේ රස්තියාදු හිතිවිලි වලටත් ගමන්වලටත් හුරු අපේ රස්තියාදු ශුද්ධ කරන්නට පටන් ගැනීමයි ඒ ශුද්ධ වූ යුද්දේ. ඒ යහමගට අැරඹුමක් හදා ගත්තොත් දිනක අපත් රටත් ගොඩ යාවි. ලෝක විනාශ දිනකදි තවත් දහමක පුරාණයේ කියවෙන පරදි මෙන් කදු ඉස්මත්තක නැවක ඉතිරිවන ජාතියක් වන්නට අපට හැකිවේවි. අලුත් ලොවක් ගොඩ නැගීමට යහපිරිසක් අපෙන් ඉතිරිවේවි. ඒ මනස්කාර උපකල්පිත කෙසේ වෙතත්... මේ දිවියේ කෙළවරකවත් අපි සැනසුමක් ලබාවි.
අයහපතට උඩගෙඩි හැදෙන ලෝකයක රගමින් හෝ යහපත උදෙසා ම ක්‍රියා කරමු. ඒ වෙනුවෙන් ශුද්ධ වූ යුද්ධයක් කරමු. අපි තුළ නොමිනිසා මරා මිනිසා රැක ගමු. තමාට මෛත්‍රිය වඩමු, අන්යනටත් එතැනින් උපදෙන මෛත්‍රියෙන් සංග්‍රහ කරමු.
ලේබල් කළා:
යහමග
Sri Lanka
Sri Lanka
Thursday, August 7, 2014
සද්ධර්මය ම පමණයි පිළිසරණ
ඔබ මගේ පිට කසන තාක් මට කාංසියක් නොදැනේ. ඔබේ පිට මා කසන තාක් ඔබට කාන්සියක් නොදැනේ. එහෙත් දිනෙක ඔබත් මාත් සදාකාලිකව තනි වන්නෙමු. ඒ අන්‍යෝන්‍ය පිට කසා ගැනීම් නොමැති දිනයේ අප පිළිසරණට හිදින්නේ කව්ද? සද්ධර්මය නොදන්නා එතැන අසරණය. ලෝකය දිනූ අධිරාජ්‍යන් වේවා, මහ මග යදින සිගන්නෙකු වේවා එදිනට වෙනසක් නැත. කුඩා කල කාගෙවත් පිට නොකසන අපගේ පිට කසන්නට බොහෝ දෙනා සිටිති. එහෙත් ක්‍රමයෙන් වැඩෙන විට ඒ උදවිට අපෙන් ඈත් වෙති. ඒ මිනිසාගේ සොබා සංස්කෘතියේ හැටියකි. ඒ ඈත්වීම රටින් රටට ගමින් ගමට වෙනස් වූවාට ඔය කොයි පෙදෙසෙත් එදාට වඩා අද වැඩිය. එය කාලයේ හැටිය. ඉතින් මහ මිනිසුන් වූවාට පසු යාළුවෙකු, සොහොයුරෙකු හැර දෙමාපියන්ගෙන් තොරව නම් බොහෝ දෙනා අපේ පිට කසන්නට එන්නේ නැත. යාළුවා හෝ සොහොයුරා හෝ බොහෝවිට එන්නේත් අප ඔහුගේ හෝ ඇයගේ පිට කසන තරමටය. ස්වාමි භාර්යා සබදතාව ගැන මා කතාකරන්නට යන්නේ නැත. සමහරවිට එය සොදුරු අන්‍යොන්‍ය පිට කසා ගැනීමක් වන්නට පුළුවන. කෙසේ හෝ ලෝකයේ ඇත්තේ මේ පිට කසාගැනීම්ම පමණකි. මේ පිට කසා ගැනීම් නොවන්නේ සද් ධර්මයක් ඇති තැනක පමණකි. තමන්ගේත් අනුන්ගේත් පිට කැසීමෙන් තොර නිරාමිස සතුටක් භුක්ති විදිය හැක්කේ, සැනසුමක් අත්විදිය හැක්කේ එතැන පමණකි. එබැනින් තතු දන්නෝ තමන් වටා ඇති කුණු කසළ මඩිමින් ඉදිරියට එන්නේ එබදු වූ සද්ධර්මය සොයාය.
මේ සත්ධර්මය යනු සමාජ සම්මතයක් නොවේ. එලෙසින්ම අසම්මතයක්ද නොවේ. සම්මතය කලකින් කලකට වෙනස් වනවා සේම ඊට විරුද්ධාභාස ඇති අසම්මතයද සම්මතයේ තරමට වෙනස්වේ. ඒ අන්ත දෙකක් පමණි. විටෙක සම්මතයේ පැත්තක සිටිනා සද්ධර්මය විටෙක අසම්මතයේ පැත්තක ද සිටී. එවිට සම්මතයින්ද අසම්මතයින්ද ඒ කොන් අල්වා ගෙන තර්ක මවති. නමුත් සද්ධර්මය යනු එබදු අන්ත දෙකක් නොවේ. සම්මතයෙන් පහර කෑවෝ අසම්මතයට නැඹුරු වෙති. අසම්මතය පිළිකුල් කරන්නෝ සම්මතය වැළදගනිති. එහෙත් මේ දෙකම හුදු මත පමණකි. සද්ධර්මය යනු හුදු මතයක් නොවේ. එය ජීවනය තුළ යථාර්තයයි. ජීවිතය තුළ යථාර්තයයි. ලෝකය හා විශ්වය තුළද අපට ගෝචර කර ගත හැකි එකම සත්‍ය සද්ධර්මය පමණි.
දාඩිය පිළිකුල් කර සුවදවිලවුන් තවරා ගත් පමණින්. සැපදායක ඇදුම් පැළදුම් ඇගට දා ගත් පමණින් අපට මැඩිය හැක්කේ කවර ධර්මයක්ද? එයින් අදහස් කරන්නේ දාඩිය පෙරමින් ගද ගසමින් සිටිය යුතු බවද? නැත. යථාර්තය නම් සත්වයා සම්බන්ධ කිසිදු ධර්මතාවක් අපට මැඩිය නොහැකි බවය. එබැවින් සුවද විලවුන් තවරා ගෙන දාඩිය පිළිකුල් කිරීමවත් නැත්නම් දාඩිය පෙරාගෙන ගද ගසමින් හිදීමවත් සැනසීමට මගක් නොවේ. දහදියට එහා ගිය මරණයක්ද අප ශරීරයට ඇති බව වටහා ගනිමින් දහදියෙන් ආතතිය ගැනීමත් ගලා යන දහදිය පිස නොදැමීම යන අන්ත දෙකෙන්ම මිදී එ් මොහොතේ දහදිය පිස දමා ගැනීමෙන් එ් මොහොතේ සැනසීමය. වටහා ගත යුතු සත්‍ය නම් සත්ව ශරීරය සම්බන්ධ සමහර දේ කල් දමා ගැනීමට අපට හැකත් සදාකාලික ජීවනය මේ ශරීරයේ අපට ලැබිය නොහැකි බවය.
යථාර්තය සගවා සතුටුවෙන්නට ජීවිතය අරඹන අවදියේ සිට අපි උගනිමු. අපට උගන්වන්නේද එය හරියට කරගන්නා හැටිය. නමුත් යම් දිනක අපි කව්රුත් වටහා ගන්නා දෙයක් නම් මේ යථාර්තය ජීවිතයේ යම් යම් තැන එලිබහින බවය. කදුළු තද කොට හිනැහුනාට අපට හිත විදවන දුකෙන් මිදිය හැකිද? ඉන් මිදිය හැකි එක මගක් ඇත. ඒ සද්ධර්මය දැන ගැනීමයි. ජීවිතය යනු සැපය පමණක් ලැබෙන දෙයක් නොවන බව අප වටහා ගතහොත් පමණක් නොවේද අපට දුකෙහිදී සැනසීමක් ලැබිය හැක්කේ. පහසුවෙන්ම ජීවිතයේ යථාර්තය පසක් වෙන පරිසරයක, එය කියාදෙන සද්ධර්මයත් දැක දැකම අපි අපේ රටක ඒ හරය ඉවත ලමින් සිටින්නෙමු. අපරදිග ක්‍රමයට ජීවිතය විචාරමින් රස්තියාදු ගසන්නෙමු. බුද්ධිය ම මුල් කොට එහි අක්මුල් තුළ පමණක් සත්‍ය සොයන්නෙමු. එය හරියට ලොව දියුණුම පරිගණක වලින් විදුලිය නැතිව වැඩ ගැනීමකට සමානය. එසේ කියන්නේ පද්ධතිය කොතරම් දියුණු වුවත් ඊට ශක්තිය සැපයෙන හිත හෝ පද්ධතිය නිසා හට ගන්නා චිත්තය පද්ධති සමාන වූ පමණින් ක්ලෝන නොවන බව අපට තේරුම් යන නිසාය. එබැවින් භෞතිකව ඒකාකාර පදනමක යන සත්ත්ව ශරීරයම වුව ජානමය වශයෙන් කොතරම් සු විශේෂී වෙත්ද, නොපෙනෙන චිත්තය ඒ පදනමෙන් වුව මැනීම කොපමණ අයුරකින් ප්‍රමාණවත් වෙත්ද? එය ඵලදායී නැති නිශ්ඵල ක්‍රියාවකි. ශරීර සුවය හැදුනත් එදිනෙදා දිවිය බෙහෙත් සමග කොපමණ අවුල්වේද, චිත්ත හෝ හිත කම්පන සංඛ්‍යාත හෝ තරංග ආයාම අතරින් නිරවුල් කිරීම පිස්සු නැත්නම් පමණක් හොදය.
එබැවින් සද්ධර්මය හමුවේ ගණිතය හෝ විද්‍යාව තවත් එක් විෂයන්ම පමණි. එබැවින් පැවැත්ම උදෙසා ගණිතය විද්‍යාව උගත්තත් වටහාගත යුත්තේ සද්ධර්මයි. එබැවින් පැවැත්ම උදෙසා රංගනය කළත් සැනසුම ඇත්තේ සද්ධර්මයේ බව ස්ථිරයි. එබැවින් හොයාගත යුත්තේත් උඩගු කමින් අප රැස් කරන කුණු කසළින් අප තුළම වැළලෙන සද්ධර්මයයි.
Subscribe to:
Posts (Atom)