දිනක් තරමක දුර බැහැර වෙසෙන අප සගයෙකුගේ නිවසට යම් කාරණයක් සදහා ගිය අපට ඒ මොහොතේම අපූරු රාජකාරියක් පැවරුණි. රාජකාරියක් කීවාට එය ඇත්තටම පුංචි උදව්වකි. ඒ උදව්ව නම් අලුතෙන්ම සාදවා ගෙනවිත් තිබූ අල්මාරියක් නිවස තුළට ඇතුළු කිරීමයි. බඩු ප්‍රවාහනය සදහා පැමිණි කීප දෙනෙකු සිටියත් ප්‍රධානම ගැටළුව වී තිබුණේ නිවසේ දොරෙන් අල්මාරිය ඇතුළු කිරීමයි. සගයාගේ හා පවුලේ අයගේ වාසනාවට නගරාසන්න නිවසක් වූ එහි දොර අල්මාරියේ පළලට වඩා අගල් බාගයකින් වැඩිවිය. එබැවින් නිවසේ දොර ගැලවීමේ උවමනාවක් ඇති නොවිණි. දශමයෙන් අල්මාරිය නිවස තුළට රිංගවන්නට හැකිවිය.
නිවසකට දොරවල් තිබෙන්නේ අපට එන්නට යන්නට පමණක්ද? නැත. ජනෙල් තිබෙන්නේ ආලෝකය ලබා ගන්නට පමණක්ද? නැත. ධර්මයේ අසා ඇති පරිදි අප ශරීරයේත් දොරවල් නවයකි. අප විසින් ඒවා ඉච්ඡානුගව මෙන්ම අනිච්ඡානුගවත් භාවිතයට ගැනෙන්නේ එකම කාර්යයන් සදහාද? මූලික වශයෙන් අතිශය සමාන වුවත් ද්විතියික වශයෙන් සමහර දොරක කාර්ය සමාන වන්නේ නැත. එනම් එහි අදහස විවිධ දොරටුවලින් අප ගන්නා ඵලයන් එකක් ම වන්නේ නැති බවය.
දොර මුල්ලක හැංගී හැංගිමුත්තන්ද කළ හැකි බව හැබෑය. අල්මාරි දමන්නට නොහැකිව උළුඅස්ස පිටින්ම දොරපියන ගලවා ආපහු දොර සවිකරන්නන් සිටින බව ද සැබෑය. එහෙයින්ම දොරක් දැමීමට පෙර කල්පනා කළ යුතු දෑ එකක් නොවන බව පැහැදිලිය. දැම්මොත් දැම්මා මිස වරින් වර පියන මිස ගෙඩිය පිටින් දොර ගැලවීමට යාම නුවණක්කාර දෙයක් වන්නේ නැත. එහෙයින් මෝඩයෙක් නොවන්නට නම් ගෙදරට හරියටම හරියන සේ දොර මඩලම දමා ගත යුතුය.
ඇත්ත වශයෙන්ම ගත් කළ මුදල් නැත්තෝ කෙසේ වෙතත් ඇත්තෝ නම් දොරවල් උවමනාවටත් වඩා පළල් කර ගෙදර කීප අතකින්ම දමා ගනිති. මුදල් නැත්තෝද පියන දොරටම අල්ලන්නට නොහැකි නම් හේත්තු කරන්නට හෝ දොරක් නම් හදා ගනිති.
අපේ ශරීරයේ දොරටු නවයක් ගැන කතාකළත් බුද්ධියේත් හදවතේත් දොරටු ගැනනම් ගොඩක් දෙනා වෙහෙසනවාදැයි අපට ඇත්තේ සැකයකි. ඔලුවට දමාගන්නා දේත් හදවතට දමාගන්නා දේත් ආපසු ඔලුවෙන් බැර කරන දේත් හදවතින් බැර කරන දේත් අතරද දොරවල් පිළිබද ප්‍රශ්නයක් නැතැයි අපට කියන්නේ කොහොමද?
තෙල් වැඩිවූ විට නහරයක් හිරවේය, කැටියක් හිරවූ විට කපාටයක රුධිර සැපයුමක් අවහිර වේය යන්නට වඩා වැඩි දෙයකි, බුද්ධියට හා හදවතට තනා ගන්නා මනසේ දොරටු. ඒවා අරින්නට බැරිද, වහන්නට බැරිද, සීල් වැටිලාද, අගුලු කැඩිලාද.. ඒ ගැන අපගේ උනන්දුව ශරීරය ගැන දක්වන උනන්දුව සේම වැදගත් බවට ටීකා ටිප්පණි වලින් වැඩි දුරටත් කිව යුතුද? නැත.
සියල්ල එක දොරකින් ගන්නට හැකිද සිතන්නා සේම. ඇතුළට ගන්නේ කුමක්ද යන්නත් එළියට දමන්නේ කුමක්ද යන්නත් අවබෝධයකින් කළ යුතු නොවෙද. අධ්‍යාපනය වේවා, කලාව වේවා, දේශපාලනයක් වේවා, වෙළහෙලදාමක් වේවා, රෝගාබාධයක් ගැන වේවා..මෙකී එකී නොකී හැමදේ ගැනම අප එකිනෙකා හා ගනුදෙනු කරන්නේ ඒ ඒ දේ ගැන බුද්ධිය හා හදවත නැතිනම් දැනුම හා හැගීම මත පදනම්ව නිසා අපට අපේ දොරමඩලේ යහපත් ක්‍රියාකාරී භාවිතය කොතරම් නම් ප්‍රයෝජනවත් වනවාද. සැබවින්ම මනසේ ඇති දොරමඩලේ දොරටු වලට තෙල් ග්‍රීස් වැටෙන්නේ නැතිනම් ඒවා මළ කනු ඇත. කෑ මළ සුද්ද කර දමන්නේ නැතිනම් ඒවා කලකදි දිරා ගොස් දොරටු කඩා වැටෙනු ඇත. එවිට අපි අවිඥානිකව ක්‍රියා කරන මිනිසුන් මිස තවදුරටත් සවිඥානිකව ක්‍රියා කළ හැකි අය බවට පත් කරගත නොහැකි වනු ඇත.
එබැවින් තම තමන්ගේ දොරටු මණ්ඩලයම හදා ගැනීමට අප ක්‍රියාකළ යුතුව ඇත. ඒ සදහා ශ්‍රමයක් වැය කළ යුතුව ඇත. ශාරීරික ශ්රමයට වඩා මානසික ශ්‍රමය එහිදී ප්‍රමුඛතාවයේ තිබෙනු ඇත. ශරීරයේ දොරටු නවයෙන් යමක් යම්ලෙස අප පාලනයේ යම්තාක් පවතීද, ඊට වඩා වැඩි ගුණයකින් අපේ මානසික දොරටු අපි ශක්තිමත් කරගත යුතුව ඇත. ශාරීරික තත්වයන්ට වඩා එය අපේ ආධිපත්‍යට නතුය. දොරටු පාලකයන් වන්නේ අපිම නම් ඒ දොරමඩලාවේ සැබෑ ප්‍රයෝජනය ගන්නට අපිට හැකිවෙනු අැත. හැබැයි ඒ අවංකව දියුණු වන්නට අවංකව උත්සාහකරන ස්වභාවයෙන් නැත්නම් සද්භාවයෙන්ම විය යුතුය.
No comments:
Post a Comment