බස්රථයේ කොන්දොස්තර ගමන් ගාස්තුවක ඉතිරි රුපියල දෙක තමා සන්තකයට ගැනීම හරි අපූරු පුරුද්දකි. හේතුව මාරු නොමැති කමය. ඒ පුරුද්ද වර්ධනය වූවාට පසු මාරු සල්ලි තිබුණද මගියාගේ පරීක්ෂාවක් නොමැති නම් කොන්දොස්තරගේ අර පුරුද්ද ඇබ්බැහියකටම යන්නේය. සමහර තැන ඉතිරි රුපියල දෙක නොව සම්පූර්ණම ඉතිරිය වුව නොදී යා හැකි තරමට ඇබ්බැහිකම බලවත් වන්නේය. බස්රථයේ පමණක් නොව මෙහේ බොහෝ තැන් වල අගතියට යන පුරුදු අපමණකට වැඩෙන්නට අපමණ නිදහස ඇත්තේය.
අපටද පුරුදු තිබුණි. හොද හා නරක වශයෙන් මේ පුරුදු වැඩිදියුණු කිරීමට සමාජයෙන් අසීමිත පිටුබලයක් සැපයුණි. ඛේදය හොදට මෙන්ම නරකටත් වැඩෙන්නට අපූරු නිදහසක් අපට ලැබී තිබීමය. නරකයට වඩා වැඩි නිදහසක් ලැබී තිබීමය. තනිවම නන්නත්තාරවෙමින් හෝ හදාගත් හයියෙන් අයහපතේ දොරට තට්ටු දමන්නට යෙදුනත් ඉන් ඇතුළු නොවී එන්නට අපට ශක්තියක් තිබුණි. කල්පනාවක් තිබුණි. එ් රැලි අස්සේ පීනූ ලොකු රස්තියාදුවක් ශුද්ධ කරමින් ලබා ගත් පන්නරයකිනි. නමුත් බොහෝ දෙනාට සිදු වූයේ මෙහි අනෙක් පැත්තය. අයහපතට ලැජ්ජාවෙන් හෝ බියෙන් හැංගී සිටි මිනිස්සු ඒ දෙක නැසුනු තැන කරළියට විත් අලුත්ම පෙරළි නොහොත් සමාජයකටම වල කපන්නවුන් බවට පත්වීමය. වැරද්ද ඔවුන්ගේ පමණක් නොවේ. දුටු තැන වැරැද්ද ලොප් කළ හැකි යුරු පෙන්වා දෙන්නාක් මෙන්ම හොද වීමට දිරිදෙන ප්‍රායෝගික සමාජ සංසිද්දීන්ගෙන් බැහැර වන අපේ වටපිටාවයි. නරකයෙන් බැහැර වීමට හදුන්වාදෙන හොද විකල්පයන්ගේ හිග කමයි.
සමාජයකට හොද පුරුදු අවැසිය. ඒ හොද පුරුදු තුළ නිර්මාණය වන ජනයාගෙන් සමාජයට යහපතක්ම වන්නේය. වැරදි පුරුදු වලින් මිදීම සමාජයකට අවැසිය. එතුළින් වඩා යහපත් දිශාවක් වෙත ජනසමාජයට ගමන් කළ හැකිය. නමුත් හොද ගැන කියමින් නරක පූර්වාදර්ශ සැපයීම අපේ සමාජයේ කාලීන ස්වභාවයයි. කටින් කෙසේ කීවත් ක්‍රියාවෙන් යමක් පෙන්වන්නට අසමත් කොට එතැන ඇත්තේ අඩුවකි. ඉන් ඔබ්බට ගොස් කටින් හොද යමක් කියා ක්‍රියාවෙන් නරක යමක් කරයි නම්... එතැන ඇත්තේ නරක පූර්වාදර්ශයකි. මෙවැනි දෙනෝදාහක් අාටක නාටක මැද්දේ හැදෙන පරපුරට අපි යහපත ගැන දෙසන්නෙමු.
සමහරුන්ට අනුව හොද නරක පිළිබද කතිකාව යනු සරල තත්වයන් ඉක්මවා ගිය පුද්ගලානුබද්ධ ස්වභාවයක් ඇති ගැඹුරු සංකීර්ණ මාතෘකාය. මා කතා කරන්නේ එවැනි ගැඹුරු තත්වයකට මෙපිටින්ය. ලොකු සංකීර්ණතා තුළ හිරවෙන අයගෙන් මගහැරෙන ඇස් කණ්නාඩිය හිසේ රදවාගෙන එය සොයමින් ගේ පුරා දිවීමේ කතාවක් ගැනය.
හැගීම් දැනීම් හා බුද්ධිය පිනවීම ගැන බොහෝ ලෙස කතා කරන අප සමාජයේ ඒවායේ ගැඹුරක්, පිළිවෙලක් මෙන්ම දිශානතියක් පිළිබද කතාකරනවා බොහෝ දුලබය. ඇතොත් එක් ධාරාවක්ම පමණය. ඉන් ඔබ්බට සමාජයක ඉදිරි ගමන හා මේ හැගීමේ දැනීමේ මෙන්ම බුද්ධියේ අැති බද්ධතාව තඹකට ගණන් ගන්නේ නැත. ගණන් ගන්නවා ලෙසින් පෙන්වන වැඩි අවස්ථා ගණනක ඇත්තේ බොරුව හා මුළාවය. දැන් බොහෝ තැන කලාවක් වී ඇත්තේ ඒ මුළාවය.
වෙලාවකට වැඩ කිරීම, කලාවකට වැඩ කිරීම, විශ්වාසවන්ත බව, ගනුදෙනුවලට අවංක වීම, කෙළෙහි ගුණය , ඇහුම්කන් දීම, පොදු කටයුතු වලදී බොරු නොකිරීම ආදිය සරල තැනක ඇති සමාජයකට ශක්තියක් සපයන කාරණාය. නමුත් ඉන් විරුද්ධාභාසය ඇති පුරුදු හා ඇබ්බැහි ගණනාවක් අපේ සාමාන්‍ය භාවිතාවේ එයි. එනම් වෙලාවට වැඩ නොකිරීම, කිසි පිළිවෙලක් නැතිකම, විශ්වාසවන්ත වචනයක් නොමැතිව බොරු කීම, ගනුදෙනුවලදී වංචාව, කෙළෙහිගුණයක් නැති කපටිකම, ඇහුම්කන් නොදීමේ උද්දච්ඡභාවය, පොදු කටයුතුවලදී බොරුකිරීම නොහොත් අයිස් ගැහීම අාදී දේයි. පිටත පෙනුමට නම් අපි හැම දෙනාම බොහෝ සද්ගුණවත්ය. නමුත් භාවිතාව බලාගැනීමට නම් තරමක් විමසිලිමත් විය යුතුය. එවිට මේ මගඩි හා ජඩ ගති එලියට පනින්නේය. හැම දෙනාම මෙසේ නැත. නමුත් සමාජයේ කරළියේ නිතර රගන බොහෝ දෙනාගෙන් සමාජය වෙත ගලන්නේ දුගද පුරුදු වල ඕජාවේ අවාදර්ශයයි. එය බාල පරපුරට කරනා බලවත් හානියකි. ඒ නිසා සුගන්ධවත් සමාජයක් ගැන කතාව නිකන් අපි අපිම වරද්දාගෙන, රවට්ටාගෙන රගපාන නාටකයක් ගානට යන්නේය. හෑල්ලුවට ඇද වැටෙන්නේය.
පළමුව තමන්ගේ සද්භාවය උදෙසා කැපවීම පෙන්වන පුරුද්දක් ආවොත් ඒ පුරුද්ද ඇබ්බැහියක් වූවොත් සමාජයක් ගොඩ නැගෙන්නට පටන් ගනීවී යහපත්ව, නැතිනම් බොරුවම තමා. ඉතිරි වන්නේ ලෙඩට පෙති ගැනීමේ සංස්කෘතියක් පමණයි. දැන් අපි අත් පොත් තබා සිටින්නේත් ලෙඩ රෝග වළක්වම සංස්කෘතියකට වඩා ලෙඩට පෙත්ත සංස්කෘතියට නොවේද! ඉන් මිදෙන්නට අප පටන් ගත යුත්තේ කළ වැරදි වුණු වැරදි සාධාරණීකරනයෙන්ම නොව එ්වා නිවැරදි කරගන්නට අවංකව වෙහෙසෙන තැනකිනි. මේ නිවැරදි අවංකභාවය හදුනා ගැනීමට නොහැකි වීමෙනුත් සමාජයක්ම පීඩාවේ හිදින්නේය. ඇතුළත් ගැට පිටත් ගැට , ගැට පිට ගැට වැටෙන සමයක හැබෑවට හොද දේ පුරුදු වීමත් ඒ පුරුදු ඇබ්බැහියකට ගැනීමත් දැලි පිහියෙන් කිරිකෑමකට සමව ඇත. නමුත් සුලබ ලාබ සංස්කෘතියේ ගැඹුරට අක් මුල් නොඅදින පොෂ් පුරුදු වලින් පොෂ් වීමනම් එතරම් අපහසු නැත. නමුත් සමාජයකට ඉන් පොෂ් බවක් මිස ශක්තියක් ලැබෙන්නේ නම් නැත. ඒ නිසා අප හදා ගත යුත්තේ හැබෑ ශක්තිමත් සමාජයක්ද, මතුපිටට පිම්බුනු සෝබමාන සමාජයක්ද යන්න හැමදෙන සිතිය යුතුය. එය ඔබේ මෙන්ම මගේද වගකීමකි. යුතුකමකි.
එබැවින් පුරුදු විය යුතු දේත් ඇබ්බැහි විය යුතු දේත් පිළිබද අප නැවත නැවතත් සිතා බැලිය යුතුය. ඒ උත්සාහයේදී වැරදි දිශාවට හැරී සිටින්නන් නිවැරදි තැනට දක්කන්නේ කෙලෙසද යන්න ගැනත් ඒ උදෙසා කටයුතු කිරීමටත් හැමටම සාමාජීය වගකීමක්ද ඇත. වගකීම් යුතුකම් හරියාකාරව වටහාගෙන හැකි පමණ ඒවා ඉටු කිරීම මතු භවයට පිං තකා දෙන සකළ දාන මාන සියල්ලට වඩා වටිනා පිං කමක් බව නම් අප හැගීමයි. එසේ කරන්නාවූ ගුණවන්තයින් කිහිප දෙනා බැගින් හෝ මෙරටේ සිටිත්.. ඔවුන්ට දිරි වේවා. තවත් බොහෝ දෙනා ඒ පුරුද්දටත් එ් ඇබ්බැහිටයත් පත් වේවා. අපටද හැකි පමණ ඒ පුරුද්දට යොමු වන්නට හැකි වේවා...