කුසගින්නෙන්ම පෙලුණෝ කෑදරයන් අබිභවා කොයි කලත් කොයි තැනත් සුගද දුගද එක ලෙස විදගත්තෝය. නමුත් සූපයන් කාණු දිගේ ගලා ගියේය. එයින් මතුවූ ගන්ධය දැනුත් නැහැපුඩු අගට දැනී නොදැනී යන තරම්ය. කෙනෙකුට සූපය අප්‍රිය කරවීමටත් එය උණුවෙන්ම කෝප්පය තුළට වැටෙන විට දැනෙන හැගුම පමණක් නොවේ, සූපය බෙදන විට පන්තිය හා අවට පරිසරය පුරා පැතිර වෙළා ගත් සූපයේ ආවේණික ගන්ධයත් හේතුවක්ම විය. තැම්බුණු බිත්තරයක් මැදි කල බනිස් ගෙඩිය, තවත් බනිසක් සමග පන්තිය පුරා බෙදී ගියේය. විටෙක බිත්තරය නරක් වී තිබුණේය. ඒ 89, 90 කාලයයි. තවත් පන්තියක් දෙකක් ඉහළට එද්දී මාසය අවසානයට ලැබුණු විවිධ ආහාර පිරවුණු ෂොපින් බෑගය හෝ දෙක, ඒ මාසික පැමිණීම සළකා කොටු කැපුණු කාඩ් පතට ලැබුණු වියළි ආහාර මල්ලයි. පන්ති නායකයින් තවත් උස මහත සිසුන් දෙතුන් දෙනෙකු කැටුව ගොස් ඔසවාගෙන පැමිණි පෙට්ටිවලින් පන්ති බාර ටීචර් බෙදා දුන් පාසැල් නිල ඇදුම් රෙදි, මේ හැම දෙයක්ම පරිණාමයෙන්, විපරිණාමයෙන් ආණ්ඩු මාරු අමාරු හරහා අද දක්වාත් එයි. පරණ පන්තිය අවසාන කරන දවස් කීපයේ ලැබුණු අලුත් පොත් ගොඩ මට තාම මතකයි. පහසුකම් ගාස්තු රු50 පාසල් සංවර්ධන මුදල රු60 හරියට පොඩි ලයිසමක් වගෙයි. ඒත් මට තවම Aනිදහස් අධ්‍යාපනය ගැන නොතේරෙයි. අපි අරගල නොකොටම නොතේරෙන අවධියේ සිට ලැබුණු දේ අදට වඩා වෙනසක් ඇති බව පමණක් මට වැටහේ. හරියට දණගසා වැදීම වාගේය. ඕන තරමට නසරානින් හිටි අපේ පන්තිවල ඔවුන් පවා ගුරුන්ට වැන්දේ භයට වඩා භක්තියෙන් යැයි අද මට සිතේ. අපට තිබුණේ ගුරු භක්තියත් සම්ප්‍රදායෙන් බර කොට දුන් භක්තියත් කැළතුණු හැගීමක්. නමුත් අපිට සිදුවූයේ නෑ ඉන් කිසි පාඩුවක්. වයසත් අද්දැකීමත් ගෙන දුනි සිතට නිදහසක්. එය උදා කරගැනීමත් අවබෝධයත් තමන් සතු දෙයක්. තවම මට නොතේරේ Aනිදහස් අධ්‍යාපනය ගැන මීට වඩා වැඩි යමක්. රස්සාවත් පරස්ථාවත් හැගෙන්නේ වෙනම කාරණයක්. අපි තවමත් Aරටක් නොව ක Cරටක් බැව් නම් දනිමි මං. Aරටවල් වල Aනිදහස් අධ්‍යාපනයන් ගැන නම කොහෙත්ම නොදනිමි මං.
No comments:
Post a Comment