Sunday, June 23, 2019

තුන්තරා..එක්

සහස් අදහස් වැස්ස වැහැලා
අනෝරා මුරුගසන් වී දැන්
ගඟත් පිටාර ගිහින් යන්තම්
පාරුවක එමි ම'දිවි බේරන්

සුළඟ දියවන්නාව උඩහින්
හමන සැරයට කුණාටුවකින්
මෙපිට නොනැවත ඇදෙන සුළියෙන්
ගුහාගත වෙමි ම'දිවි බේරන්

විරිය අධික වු අයෝමය සෙන්
මාර සේනා ලෙසට යුධයෙන්
රට රකින්නට පෙරට බටුයෙන්
පසුපසට යමි ම'දිවි බේරන්

ආදරය කම් රාග සැපයෙන්
උදම් වී ලා විලිය සිඳිමින්
අනවරත රා ගින්න බුරමින්
අරණකට යමි ම'දිවි බේරන්

කොතැනකට ගිය පසුත් පස්සෙන්
ඒ පසින් පස්සෙනුත් පස්සෙන්
කර්මයේ කරු මතින් ගැස්සෙන්
නිවනටම යමි ම'දිවි නිස්සෙන්

No comments: