ගොඩක් දෙනා තම තමන්ගේ කෝන, මාන වලින් ම මැනගෙන බොහොම උජාරුවට හිතා ගන්නවා අපිට නම් පිස්සු නෑ, හැබැයි අනිත් ගොඩක් මිනිස්සුන්ට නම් පිස්සු කියලා. මේක ඇත්තද?
කායික ලෙඩ රෝග ගැන කතා කරද්දි වුනත් අපේ සාමාන්‍ය මිනුමෙන් ගත්තම ලෝකයේ නිරෝගිම පුද්ගයින් කියලා පිරිසක් ඉන්නවද? කව්රු මොන නිගමන දුන්නත් දැන් අපි රෝග කියලා නොහිතන දේ පවා අනාගත විද්‍යාවෙන් රෝග කියලා නිගමනය කරන බව නම් සහතිකයි. කොටින් කීවොත් මේ ලෝකයේ පරිපූර්ණ මිනිසුන් නෑ කයින්වත් මනසින්වත්.
ඉතින් එහෙව් ලෝකෙක හැම මිනිහටම පිස්සු කියන එකත් ටික ටික හරි තියෙන්න ඕන. එහෙම නැත්නම් සාධාරණ විදිහට හැමෝගෙම පිස්සු එක්තරා මානසික ස්වභාවයන් හැටියට ගණන් අරගෙන කාටත් පිස්සු නෑ කියන්න ඕන. එහෙම නොකියන්නේ ඇයි?
සාමාන්‍ය දිවියේ අපේ එදිනෙදා පැවැත්මට අවශ්‍ය, යෝග්‍ය මිම්මක් හදාගෙන තියෙන නිසා. තමන්ගේ කටයුතු හරියාකාරව කරගන්න පුළුවන් කායික මානසික ස්වභාවය තිබෙනවනම් සරලව ඔහු සාමාන්‍ය මිනිහෙක්. එවැනි පුද්ගලයෙක් සාමාන්‍යයෙන් නිරෝගී කෙනෙක් කියන්නේ ඒ නිසා. නමුත් මේ සාමාන්‍ය ස්වභාවයෙන් බැහැර වෙන මට්ටමේ තත්වයන් තිබෙනවා නම් ඒ තත්වයන්ගේ බරපතළකම අනුව අපි ඔහුගේ කායික හෝ මානසික රෝග නිශ්චය කරනවා. ඒ කියන්නේ මේක සාපේක්ෂ මිනුමක්. එහෙනම් එතැන සරල අදහස එදිනෙදා දිවියේ සාර්ථක පැවැත්මක් තිබෙනවා නම් අපි සාපේක්ෂව කායික නිරෝගී අය මෙන්ම පිස්සු නැති අය කියන එක.
නමුත් කව්රුත් දන්නවා කොතරම් හොදින් ජීවත් වුනත් එක එක අය එක එක විදිහයි කියන එක. පොදු මිනිස්කම මැද, සමාජ කටයුතු තුළ ජීවත් වුනත් එකිනෙකාට වෙනස් ගති ලක්ෂන අපිට තියෙනවා. ඉතිං මේවායේ යහපත් අයහපත් ස්වභාවයන් වගේම ඒ තුළ තිබෙන අනන්‍යතාත් අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා අපිට නොගැලපුනු පමණින් තව කෙනෙකුට පිස්සු කියන්න අපිට අයිතියක් නෑ. මානසික ස්වභාවයන් කියන්නේ ඉහළ පහළ යන දෙයක්. ඒකත් ශරීරය වගේමයි. අපි ශාරීරිකව රෝගී වුන අයව ලෙඩා කියල කොන් කරන්නේ නැති ලෙසින්ම ඊට වඩා සංකීර්ණ තත්වයක් වන මානසිකව රෝගී වුන අය කොන් කරන්නත් හොද නැහැ. මොකද අපිට වඩා මානසිකව රෝගී අය ඉන්න පරිද්දෙන්ම අපට වඩා මානසිකව නිරෝගී අයත් මේ ලෝකයේ ඉන්න නිසා.
හිතල බලන්න අනිත් මිනිස්සුන්ට සාපේක්ෂව ඔබ ඉන්නෙ කොතනද?
එහෙම හිතනකොට අනිකාට තියෙන පිස්සුව ඔබට නැතිවුනාට ඔබට තියෙන පිස්සුව අනෙකාට නැති බවත් තේරේවි.
එතකොට පිස්සා කව්ද? පිස්සු නැත්තේ කාටද?
ඇත්තේ අඩු වැඩියක් පමණක් නොවේදැයි එවිට වැටහේවි.
No comments:
Post a Comment