දැන දැන වැරදි කරන්නෝ(නිවරද බර දැන උස්සන්)
මිනිස් සමාජයේ බොහෝ දෙනෙක් වැරදි කරන්නෝය. ඒවා සාධාරණීකරණය කරන්නෝය.
මේ සදහා හේතු වශයෙන් හලෝව් රස්ටා දකින්නා වූ කරුණු දෙකකි. එකක් කපටි කමය. අනෙක මෝඩ කමය. තවත් ආකාරයකින් කීවොත්: දන්නා බව වැඩි කමය. නැත්නම් නොදන්නා කමටය.
විපරමෙන් අපේ සමාජය දෙස බැලීමේදී පෙනෙන්නේ මේ කොට්ටාශ දෙකම බහුල වශයෙන් සිටින බවය.
සමහරු දන්නා බව සිතා සිටියාට කරන කියන දෙයින් පෙනෙන්නේ නොදන්නා බවයි. තවත් සමහරු නොදන්නා බව පෙන්නුවාට කරන කියන දෙයින් නම් පෙනෙන්නේ ඔවුන් නොදන්නවා යන්න නොවේ.
සමාජයට ප්‍රබලම විනය කටින්නේ මේ දැන දැන වැරදි කරන්නන්ය. ඔවුන්ගේ කපටිකම් සමාජය පිරිහෙලන්නට කෙළින්ම දායක වන්නේය. පැවැත්ම සදහා උචිතයෙකු වීම උදෙසා කරන සටන සාධාරණ කරගන්නට කියන්නේ කපටිකමෙන්, වංචාවෙන් නොවේ. සැබෑ විග්‍රහයක් මතිනි. මේ විග්‍රහය දැන දැනත් තමන්ගේ සටන කූටත්වයෙන් සාධාරණීකරණය කරන්නා නිවටයෙකි. එහි සරල අදහස දැන දැන වැරදි කරන්නේ නිවටයින් බවයි. එබැවින් ඔවුන්ට කිසිදු සමාවක් නැත. යම් දිනෙක තමන්ගේ හෘද සාක්ෂිය හමුවේ දැවෙන්නට සිදුවීම ඒකාන්තය. එහි දින වකවානු දැන ගැනීම ඔවුන්ටම මිසක් අපට අයත් කාරියක් නොවේ. (නමුත් සරල අනාවැකිය නම් මරණයේදී ඔවුන්ට ඒ පිළිබද හොදින්ම දැනෙනු ඇත යන්නයි.)
එහෙනම් නොදැන වැරදි කිරීම සාධාරණද?
නැත. නමුත් සත්‍ය දැන ගන්නා තෙක් ඔවුන්ට සමාවක් ඇත. ඉන් ඔබ්බේ ඔවුන්ද දන්නා අය වීම නිසා එතැන් සිට වැරදි කරන්නේ නම් දැන දැන වැරදි කිරීමේ වරදට ඔවුන්ටද සමාවක් නැත.
වැරැද්ද මොකද්ද?
හැම වැරැද්දකටම පිළිතුරු ඇති අද සමාජයේ කෝකත් සාධාරණීකරනය කරන්නේ ඉතා පහසුවෙනි. බොහෝ දෙනාගේ ඇස් පනාපිටම බලවන්තයින් කරන අපරාධ ඉතාම සුළු වැරදි සේ මෙහේ බොහෝ තැන්වල සාධාරණීකරනය වන්නේ එබැවිනි. මෙහිදී අපට කළ හැක්කේ කුමක්ද? කළ හැක්කක් ඇත.
එනම් එබදු බලවන්තයින් වේවා, කුල වන්තයින් වේවා, දැන දැන වැරදි කරන්නන් ප්‍රතික්ෂේප කිරීමය. එම ප්‍රතික්ෂේප කිරීම ගෙදර සිට කරන්නක් පමණක් නොව ඔවුන් ඉදිරියේ වුව කෙලින් කීමට තරම් ශක්තියක් ඇති කර ගැනීමය. එවැනි කෙලින් සිට ගත හැකි කී දෙනෙක් අද මෙහේ සිටිත්ද? මේ කියන්නේ වෛර හිතකින් බුම්මාගෙන හිදීමක් ගැන නොවේ. ආවේගය වේගයක් බවට පත් කරගෙන ඉන් ශක්තියක් උපදවා ගෙන නැගී සිටීමක් ගැනය. මෙය සපුරාම කළ හැක්කකි.
පළමුව ඔබ නිවැරදි කෙනෙකු වීම මෙහි පළමු අවශ්‍යතාවයයි. ඔබ නිවැරදි නම් බොහෝ දෙනා කියවන "බලවතුන් හමුවේ මරණ බය දැනීම" ඔබට විහිළුවක් පමණක් වනු ඇත. අද සමාජයේ ප්‍රසිද්ධ ජඩ දේසපාලුවන් හමුවේ තමන්ම ගස් බැදෙන නිවටුන් බිහි වන්නේ කලිසමේ මුත්‍රා යන මේ මරණ බය නිසාය.
මිනිහෙකු මැරෙන්නේ එක් වරකි. නිවටයා හැම නිවට කමකදීම මැරි මැරී උපදින්නේය. අද ලංකාවට ආවේගයෙන් නොව හැබෑ වේගයකින් ක්‍රියා කරන තරුණ පරපුරක් ඇවැසිය. නමුත් ප්රශ්නය, අපේ පරපුරේ බොහෝ දෙනාට ඕනෑ වී ඇත්තේ දැන හෝ නොදැනම අනුන් විසින් පුම්බන නිවටයින් වීමට මිස තමන් විසින්ම ශක්තිමත් කරගන්නා මස්පිඩු දැරීම නොවේ. මේ කියුවේ බොඩිබිල්ඩින් ගැන නොවේ. එහි වරදක් නැත. හැබැයි චින්තනයෙන් ශක්තිමත් නැති එකා ගතින් කොපමණ සවිමත් වූවත් වැඩක් නැත.
එබැවින් තරුණයන්ට සැබෑ හෙටකට නම් මෙහේ, පණ ඇතිව නැගිටියව් ආවේගෙන් නොව වේගයෙන්.
දන්නවා කියා හිතන බොහෝ දේ නැවතත් හිතා බලපල්ලා ඇත්තටම කොච්චරක් දන්නවාද කියා.
නොදන්නවා කියා හිතන බොහෝ දේ නැවතත් හිතා බලපල්ලා ඇත්තටම කොච්චරක් නොදන්නවාද කියා.
එතකොට නුඹලාට ඇත්තටම හමුවේවි, දන්නා දේ තුළ හැංඟුනු නොදන්නා දේත් නොදන්නා දේ තුළ හැංඟුනු දන්නා දේත් - උඹලා ශක්තිමත් වෙන්නෙ ඇත්ත තේරුම් ගත් දාට විතරයි.
එතකම්: කොච්චර උඩ ගියත් සද්දයක් නැති පුස් අහස් කූරු විතරයි නුඹලා...
No comments:
Post a Comment