හොරා හොරකමට අවංක වීම, මිනී මරුවා මිනී මැරුමට අවංක වීම, දුෂකයා දුෂනයට අවංක වීම, මම මට අවංක වීමක් යනු මේ කියාගෙන ආ අර්ථයෙන් නම් "අවංක කම" සමාජයම විනාශයට යන මගක් මිස දියුණුවට යන මගක් නම් නොවේ.
හොර කම යනු හරි දෙයක් නොවේ. ඊට පෙළඹෙන සමාජීය කාරණා බොහෝ තිබෙන්නට පිළිවන. නමුත් හොරකම සමාජයක පැවැත්මට අහිතකර දෙයකි. මම කව්ද? මගේ පැවැත්ම කෙබදුද? මගේ ජීවන රටාව කෙබදු වේවා මා මගේ ක්රියාවට අවංක වීම පමණක් සැබෑ අවංක කමක් වන්නේ නැත්තේ එබැවින්ය.
ජනප්රිය චිත්රපට වල මෙවැනි ජවනිකා තිබේ. යම් පුද්ගලයෙකුට වන අසාධාරණයක් කරණකොට ඒ වෙනුවෙන් අවංකව සටන් වදින වීරයා සමාජයේ බහුතරයකට හානිවන ලෙස මුත් තම සාධාරණය වෙනුවෙන් සටන් වදින්නේය. එය ඔහුගේ පවුලට සිදුවූ අසාධාරණයට සාධාරණ අවංක වීමක් වුව බහුතර සමාජයට ඔහුගෙන් වන අසාධාරණය සාධාරණයක් වන්නේ කෙසේද?
මෙහිම අනෙක් පාර්ශවයද ජනප්රිය චිත්රපට සමහරක එන්නේය. පොදු අසාධාරණයක් වෙනුවෙන් සටන් වැද ඒ සටන හානියක් සමඟින් වුව දිනන අවස්ථාවන්ය. එහිදී අවංකත්වය ගැන කතාව කෙබදුද? සටනින් වන හානිය අසාධාරණ නොවන්නේ කෙසේද?
සැබෑවටම නිවැරදි අවංකයා කවුරුද?
මම අවංක විය යුත්තේ මගේ පුද්ගලික සිතුවිලි වලටද? මම අවංක විය යුත්තේ පොදුවේ සාධාරණ සිතිවිලි උදෙසාද?
මෙහිදී මතුවන තවත් වැදගත් කරුණකි, පුද්ගලයාගේ නැණ පමණ. එක් එක් පුද්ගලයා තම නැණ පමණින් දකින සාධාරණය, යුක්තිය එකක්මද? එය හුදු භෞතික මානයෙන් පමණක් විග්රහ කළ හැකි එකක්ද? අප දකිනා යුක්තිය, සාධාරණය ක්රියාත්මක වන්නේ හුදු අපේ භෞතික ක්රියාවලීන් පදනම් වීමෙන් පමණද? එහි විශ්වීය සාධාරණ නියාමය කුමක්ද? සාධාරණය අපට තීරණය කළ හැකි දෙයක්ද, හුදෙක් කරුමයක්මද? නැතිනම් මේ දෙක අතමැදියෙක්ද?
මගේ ජීවිත රස්තියාදුව ශුද්ධ විය යුත්තේ ජීවිතය දැන ගැනීමටයි. ජීවිතය මටත් අනෙක් සියල්ලන්ටත් එකමය. එසේ නම් සාධාරණය, යුක්තිය උදෙසා නැණවත් භාවයකින් අවංක වීම යන්න වඩා ගැලපෙන දෙයක් ලෙසින් මට හැගේ. එය මගේ පැවැත්ම මෙන්ම අනෙකාගේ පැවැත්මේත් දියුණුව හා යහපත වෙනුවෙන් ඇති එකම මග නොවේද?
දුහුවිල්ලෙන් උපන් සත්වයා දුහුවිල්ලටම පත්වන්නේ නම්, ස්වභාවධර්මට එකඟ නොවන්නා වූ අවංකත්වයේ පැවැත්ම මට වුවද මම වුවද ඉක්මන් නැවැත්මකට හේතු වනු නම් නොඅනුමානය.
No comments:
Post a Comment