කුරුටු ගීය
මම කියවමින් සිටි පොතෙන් දෙනෙත් මෑත් කර එපිට බැලීමි. නෙත් රැදවෙන්නේ එක එල්ලේ ඈතින් පෙනෙන කදු ගැටයේය. පැහැදිලි අහසේ ඈතින් පෙනෙන කදු ශිඛරය එදා සේම අදද මා සිත අවදි කරවන්නේ අපූරු කුහුලකිනි. මම පුටුවේ සැහැල්ලුවට දිග ඇදුනෙමි.
සෙමෙන් නෙත් පියවෙත්ම අදුර සිදලන හිරු රැස් කැටිත්තක් සේ කුහුල සිදන රැස් දහරක් සිත තුළට එබෙන්නේ පුංචි කවුළුවක් තුළින් මගේ මතකය අතීතයට යවමිනි. මම උපැස් යුවල ගලවා පොත මතින් තැබීමි. සැබවින්ම මගේ දෙනෙත බොදවිය. සිතිවිලි අර කවුළුවෙන්ම ගලා එයි. එදා මොහොතක සිනහවක් ගෙන දුන් ඒ කතාව අද මට අතැඹුලක් ව ඇති සැටි.
අර කවුළුව තුළින් මා අතීතයට පිය මනින්නට වූයෙමි. ඈතින් පෙනෙන කදු ශිඛරයේ මුදුනට පහළින් තියුණුව පෙනෙනුයේ කුඩා දොරකි. ඈතට මුත් පැහැදිලිව පෙනෙන ඒ කුඩා දොර දිස්වූයේ ගුහා කටක් පරිද්දෙනි. හැමදා දකින මෙදසුන අවුරුදු පනහකට පෙර කොලු ගැටයෙකු වූ මගේ සිතේ නිරන්තර දල්වා තිබුනේ නොසන්සිදුනු කුහුලකි. දිනක් එහි කූටප්‍රාප්තිය එළඹියේය. මා මිතුරෝ දෙදෙනෙක් අප නිවසට පැමිණියේ එහි ප්‍රතිඵල වශයෙනි. නිවසේ මුව දොර පිහිටි කදු ශිඛරය තරණය කිරීම අපේ දිනයේ අභියෝගය විය.
දුටු මතින්ම කන්ද මුදුනට පහළින් පෙනෙන්නා වූ ගුහා කටක් බදු විවරය මා මිතුරන්ගේද සිත් කුහුලින් පුරවා තිබිණි. උදෑසණ තේ පානයෙන් අනතුරුව අප තිදෙනාගේ ගමන ආරම්භ විය. අපි ගමන් කළෙමු. කදු මුදුන දිශා කොට වැටුනා වූ අඩි පාර ඔස්සේ ගමන් ගතිමු. නිරන්තර මිනිස් පාද ස්පර්ශ නොකරන බව කියා පෑ මේ අඩි පාරේ ඉදිරියට යත්ම අපට බාධක බොහෝ විය. කටු පදුරු, වල් පදුරු අප දෙපය විටින් විට බදා වැළද අප පොළොවට පහත් කෙරෙව්වෝය. අපි ඒ පදුරු ඇද කඩා අපේ ගමන ඉක්මන් කළෙමු. නමුත් එය පහසු දෙයක් නම් නොවීය. එන්ට එන්ටම අඩි පාර පාරකට වඩා මං සළකුණු වලට පමණක් සීමා වන බැව් පෙනුනි. කුහුලත් එනිසාම ඇතිවූ දිරියත් නිසා කුමන බාධාකයකටත් අප අභිබවා යෑමට අපි ඉඩ නොදුන්නෙමු. කටු පදුරු වලින් දෙපය සීරී යද්දී අපි අපේ අවසාන ඉලක්කය පෙනෙන මානයට පැමිණියෙමු.
වැලක එල්ලී යාම කොතරම් අපහසුද, වැලකින් වැලකට මාරු වීම ඊටත් වඩා අපහසුය. එක් වැලක දැඩි වීරියෙන් යුතුව එල්ලී ආ අපට දැන් සිදුවී තිබෙන්නේ වැලකින් වැලකට මාරුවීමටයි. ගුහා කට ඇත්තේ අපට වඩා අඩි පහළොවක් පමණ සීග්‍ර නැග්මකට ඉහළින්ය. මෙතරම් අපහසුවක් විද මෙතනට පැමිණි අප කෙසේ නම් සටන අතහැර පලා යන්නද? අපි අභියෝගය බාර ගත්තෙමු. පස් කණ්ඩිය බදා වැළද ගත් අප එකිනෙකා බැගින් ඉහළට යන්නට කළ උත්සාහය අතිශය ත්‍රාස ජනක විය. යන්තම් පය ගසා ගත හැකි කණ්ඩියේ පොඩි කඩතොළු වලට පය රිංගවා කණ්ඩිය මත ඇති වල් පදුරු වල ශක්තියෙන් ඒවායේ එල්ලෙමින් ඉහළ නැගෙන්නට අපි දැරූ උත්සාහය කෙළවරක් නොවීය. ඒ හැම මොහොතකම අපේ උත්සාහයේ නෙත් තුළ දැල්වුනේ ගුහාවේ නිධානයකි. ඒ වයසේ ස්වභාවයට මෙන් අප කා තුළත් නිධානය නම් අලුත් දේ සොයා අත්පත් කර ගැනීමේ උවමනාව දැඩිව විය.
දහදියෙන් සිරුරු තෙත් කළ ව්‍යායාමයෙන් පැයකට පසු හති හලමින් ගුහා කට අභිමුව සිටින්නට අපි සමර්ථ වීමු. බිම වැතිරී විඩා නිවා ගතිමු. කටෙන් එබෙනා විට ගුහාව තරමක් අදුරුය. ඈත සිටන් බලනා කළ වුව ගුහාවේ කටක් පෙනෙන්නේ එය ගොඩනැංවීමක් නිසාය. මිනිස් දෑතකින් බැදුනු ගඩොලින් ගුහාවේ කට දොරක් සේ නිමවා තිබිණි. එය පහත සිට බැලූවෙකු දකින තරමට මේ නිරාවරණ පරිසරයේ තියුණුව දිස්වන්නේ එනිසා බව අපට පසක් විය. කටින් එබුනු අපි හිමින් සීරුවේ වට පිටට දෑස් යොමු කළේ මිනිස් දෑතකින් නිමවුනු මේ ගුහා කුටියේ කිසිවකු ලැගුම් ගෙන සිටීමක් ගැන අපට ඉවෙන් මෙන් හැඟුණු නිසාය. දෙවනුව සතා සර්පයා ගැන නිරන්තරයෙන් මෙබදු අදුරේ ඇතිවන බිය නිසා අපි ප්‍රවේශමෙන් අඩි තබන්නට වීමු. ගුහාවේ ද්වාරය අසළින් මෑත් වත්ම අපගේ සෙවණැලි ඡායා ඇදෙන තරමේ ආලෝකයක් කුටිය තුළට වැටුනේය.
"මොකුත් නෑ" අපේ කෙනෙක් කීවේය.
"ආපහු යමුද? මම ඇසුවේ ගුහා කුටියේ ඒ මේ අත සැළකිය යුතු වේලාවක් පියවර නැගීමෙන් අනතුරුවයි.
"අර, බිත්තියේ මොකක්ද ලියලා" ප්‍රොෆෙස යන අන්වර්ථයෙන් හැදින්වුනු අනෙක් මිතුරාගේ දෑසට යමක් හසුවී තිබුනේය.
අපි හිස් පහත් කරගනිමින් එතැනට ළං වුනෙමු. මෙය එතරමට ලොකු ගුහාවක් නොවූ බැවින් එකිනෙකා හැපෙන තරමේ සමීපයක සිට ලියා තිබූ දේ අඩ අදුරේ කියවන්නට උත්සාහ කළෙමු. තියුණු දෑස් තිබූ අපට අදුරේ වුව ඒ ගල මත හුණු ගලකින් අසීරුවෙන් කුරුටු කළ අකුරු ගලපන්නට අවසන හැකිවිය. ප්‍රොෆෙස ඒ පද වලට සෙමෙන් හඬ මුසු කළේය.
බොහෝ දුක් විදවමින
ඇයිද ආවේ ඉතින
මොකුත් නෑ දැන් දකින
තේරුනා හිස් බවම
නොතේරී ඒ බැව් මෙහෙ ආමි. තේරුම් ගත් බැවින් මෙලෙස ලිවීමි.
නිමි
මේ කතාවේ සාරය මුල් කතාවේ පරිද්දටම ගොනු කරන්නට උත්සාහ කළේ හුදු මා එකොළහේ දී ලියූ කතාවක් කියන්නටම නොවේ. එහි වග විභාගය ඔබට බාරයි.
{හවන වසරේ සිට එකොළොස් වන වසර දක්වා අපට
සිංහල විෂය ඉගැන්වූයේ එකම ගුරුතුමියකි. අප පංතියෙන් පංතිය ඉහළට සමත් වද්දී
ඇයද වසරින් වසරට උසස් වීම් ලද්දාය. එනිසාම ඇය හා අප අතර වූයේ හොද බැදීමකි.
නවන
වසරේ සිට ඇය අප පංති තුළ කෙටි කතා තරඟය බැඟින් පැවැත් වූවාය. මේ තරඟ දහය
හා එකොළොස්වන වසර දක්වා පැමිණියේ කතා කියවීමේ රුසියන් වූ අප නොමද සතුටට
පත් කරමිනි. නවය පංතියේදී මා දිනුවේය. දහයේදීත් මා දිනුවේය. එකොළහේදීත්
දිනුවේ මාය. ඒ අපේ පංතියෙනි. පිරිමි ළමුන් පමණක් සිටි අප පාසලේ ගැහැණු
ළමුන් සිටියානම් තවත් තරඟය තියුණු වනවාද දියුණු වනවාද යන්න කියන්නට
හැකියාවක් නැති මුත් මෙය තරඟයකට වඩා ලියන්නට, කියවන්නට රුසි අපව තෘප්ත කළ
මාහැඟි අවස්ථාවක් වූ බව නම් කිව යුතුමය.
එකොළහේ
මගේ කෙටිකතා පොතේ කෙටි කතා කීපයක් තිබුණි. ඉන් මගේ සිත් ගත් කතාව වූයේ
කුරුටුගීයයි. මේ ඒ කතාවේ මතකය අලුත් කිරීමකි. [කතාවේ සාරය පමණක් ගැලපුවෙමි. ඒ
කතාව (ඒ-ඉසෙඩ්) මා සතුව දැන් නැති නිසාය ඒ.[
පළමුව මා මෙයට නම දැමුවේ කුරුටුගීය හා යථාර්තය යනුවෙනි. එ දිනවල අපේ පන්ති කාණ්ඩයේම රස්තියාදුවා ලෙස නම් වී සිටි මගේ චණ්ඩි මිතුරා (අංගුලිමාල නොහොත් සරදියෙල්) මේ කතාව කියෙව්වේය. අවසන ඔහු මට මෙසේ කීවේය. "යතාර්ථය කපලා කුරුටු ගීය තියන්න." මම එලෙස කළෙමි.
සැබැවින්ම මෙහි සැබෑ අත්දැකීමක්ද ඇත. කතාවේ සේම අපිද ගුහාකුටියකට ගියෙමු. ගුහා දොරද සැබවින්ම මගේ නිවෙසට යන එන පාරේදී ඉදිරිපසින් ඇති කදුගැටය මත දකින්නට ලැබෙන්නකි. ප්‍රොෆෙස යනු මා මිතුරෙකි. තවත් මිතුරෙකු මේ අද්දැකීමට එක්කාසු වුනේය. නමුත් චණ්ඩියාට එදිනය මගහැරුනේ පොරොන්දු වූ මුත් ඔහු අපේ නිවසට එදින නොපැමිණි නිසාය. මම ඔහු සොයන්නට එදින ටවුමේද රස්තියාදු වුනෙමි.
තවම මා හැටපහේ භාගයටවත් පැමිණ නොසිටින බැවින් මේ යථාර්තය තවම අතැඹුලක් වූයේ නම් නැත. නමුත් පැමිණ ඇති ගමනේදී අතැඹුලක් ලෙසින් හඟින්නට නම් හැක.}
No comments:
Post a Comment