ටික්.ටික්.ටික්.ටික්.
මේ විදිහට කියූ විට සැනෙකින් ඔබේ මතකයට එන්නේ කුමක්ද, ඔර්ලෝසුව මිසක.
ඔරලෝසුව යනු කාලය පෙන්වන යන්තරයයි. කාලය රන් හා සමාන යැයි අපි කලින්ම කීවෙමු. ඔය රන් වලට වඩා ජීවිතය වටිනා බව දැන් කියන්නෙමු. ජීවිතය වටින්නේ එය සැබෑවටම ජීවිතයක් වුව හොත් පමණි. සතාගේ ද අපේද ඇති වෙනස එයයි.
සතාටද ජීවිතයක් ඇත. ඌට නැත්තේ ජීවිතය පිළිබද හැඟීම නොව දැනගැනීමය.
සතා රස්තියාදු වන්නේ කෑම හොයන්නටය. අපි රස්තියාදු වන්නේ කුමට? අන්තිමේදී බැලුවොත් අප රස්තියාදු වන්නේත් බඩ කට පුරවා ගැනීම පිණිසම, තමා. එසේ නොමැති වුව හොත් සිදුවන්නේ මැරෙන්නටයි.
හැබැයි, මිනිහා කියන සතාට කට බඩ පුරවා ගැනීම පමණක් සෑහෙනවා නම් අදත් අපි කොල අතු එල්ලා ගෙන කැලේම සිටිය යුත්තෝ නොවෙමුද? මිනිහා කැලය කපා ගෙන කැලයෙන් එලියට ආවේ ඇයි?
කැලෑ කැපීම හැම විටම හොද නැති මුත්, එතනින් එලියට ආ අපි හද වෙතද ගොස් ඉන් ඔබ්බේ චක්‍රාවාට දෙස බලා ගෙන දැන් කුමක් කරමුද?
මේ එලියට යාමේ නිමක් නැත. අප චක්‍රාවාට තරණය කර යමුද?
ඒක පැත්තකින් තියමු. ඉස්සෙල්ලම කාල බීල ඉන්න සල්ලි තියෙන්න ඕන, නිකමට හිතන්න අතේ සතයක් නැතිව මොකුත් හිතන්න පුලුවන්ද?
ඇයි? හිතන්නෙ සල්ලි වලින්ද?
කාලය, හිතන්න කාලය ඕන. කාලය කියන්නෙ මුදල්.
කාලය කියන්නෙ මුදල් නම් මුදල් වලින් කාලය ගන්න පුලුවන්ද?
තර්කය කියන්නෙ මොකක්ද? වචනවල අර්ථ නිශ්චිත කොට ගන්න බැරි වුනහම වචනත් තර්කයත් බල රහිත වෙන්නේ නැද්ද?
වචනෙට වඩා වැදගත් සමස්ථය තුළ දැනවෙන දේ නොවේද? ආපහු කාලය වැයවෙනවා..
වචන වලට එහායින් මට නම් වැදගත් හිතට දැනෙන දේ, ඒකට වචන වලින් දෙන විග්‍රහයම අවශ්‍ය නෑ.
රසවිදින්න ජීවිතේ, ඒක හොයාගන්න ඕන. හැංගිලා තියන දෙයක් හොයා ගන්න බකං නිලං ඉදල බෑ. අපි හිතනවනම් වෙලාව කියන්නෙ ඔර්ලෝසුව කියල, අපි කාලය ගැන තේරුම් අරගෙන නෑ. අපි හිතනවනම් වටිනාකම තියෙන්නෙ මුදල් වල කියල අපි වටිනාකම තේරුම් අරන් නෑ. අපි හිතනවනම් ජීවිතේ කියන්නෙ මේ ගත වෙලා යන දෙයයි කියලා අපි ජීවිතේ තේරුම් අරන් ද?
මට නම් මගේ ජීවිතේ හතර මායිම හොයා ගැනීමට තිබේ. උපත මරණය අතර රස්තියාදු වෙන ජීවිතේ ..
කාලය, මුදල්, ජීවිතේ ... වැය කළ යුත්තේ මොනවාද? ඉපයිය හැක්කේ මොනවාද? අවසන ඉතිරිය මොනවාද?
තීරණය කළ යුත්තේ ඔබයි.
එතෙක්,
හමුවෙන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
No comments:
Post a Comment