Wednesday, October 3, 2012

ලෝ

ලෝ කියා කියන්නේ නීතියටයි. බල ලෝ කියා කියන්නේ අනුන්ගේ ලෝ අපට බලන්නට සිදුවීමයි. 

වින් කියන්නේ දිනනවාටයි. මං වින් කියන්නේ මං දිනනවාටයි.

"මං වින් කියා කියන්නෙකුගේ ලෝ බලන්නට සිදුවීම" කාලයක් තිස්සේ මෙහේ අපට නම් මහා අමන කතාන්තරයකි. මෝඩයි කියා රටේ වගකිවයුතු බලයක් ඒ මෝඩයාට ලබාදී අමන ‍මෝඩයාගේ ලෝ දිගින් දිගටම බලා හා රසවිදින ජනතාවක් කුමන මානසිකත්වයක සිටිනවාදැයි මා නම් දන්නේ නැත. මෙය අනාගතයට සපයන්නේ මහා ඛේදවාචක අවාදර්ශයක් බව නම් කිව යුතුමය. (අපද තිත්ත වන තරමට මෙය දැක ඇති මුත් කාරිය කරවන්නන් ගෙන් මේකට පිළියමක් නැත. ඒ නිසා අද ‍එය මෙහේ කාටත් විහිළුවක්ව ඇත.)

අපි ලෝ දකින්නේ සමාජයේ ක්‍රියාත්මක ස්වභාවයෙනි. එය පොත් පත් වල කෙසේ සටහන් වුවත් අපට පොත් පෙරලා වැඩක් නැත. එහි වැදගත් කම ක්‍රියාකාරීත්වයයි.

මොකක් හරි කියූ විට පරණ යුගයේ උන්දලා සම හරක් කියන කතාවකි, ඉතිහාසයේත් ඕවා තිබූ බව. ඉතිහාසයේ තිබුණු නිසාම අනාගතයත් එලෙසින්ම අනාගත යුතුද?

අප දන්නා ලෝ වලින් පාඩමක් මේ අමන මානවයින්ට උගන්නන්නේ නැති නම් ඊට වෙන ක්‍රමයක් තිබිය යුතුය. පමණ ඉක්මවා අමන කම් ඉවසන්නේ නම් එවැනි ජාතියකට දේව පිහිටවත් ඉතිරි නොවනු ඇත. හැම ජඩ කමක්ම කොට අවසානයේ දේව පිහිට පතන උදවිය තවමත් මෙහේ හිඟ නොවේ.

කේතුමතියෙන් අපට පලක් නැත. දෙපා බිම ගසා නැගිටින කොන්දක් ඇති තරුණ පරපුරක් අවැසි බව මග තොට කොතනත් රස්තියාදුවේ දී පෙනෙන්නේ එහි ඌනතාවක් ඇති නිසාය. 

නිවට නියාලු ලෙස හැම ජඩ ගුණයක් ඉවසීමට කියා මොනම දහමකවත් කියන්නේ නැත. දෙමාපියන් දරුවන්ගේ යහපත තකා හැම ජඩ වැඩක්ම නොදැක්කා සේ තම කාරිය පමණක් කොරගන්ට කියා තරුණ දරුවන්ට කියනවා නම්, අපේ අනාගතයට ඉතිරිවන්නේ මිනිසුන් නොව ඩමි පමණකි. 

අපට ඇති සවිය කුමක්දැයි නුවණින් විමසිය යුත්තෝ තරුණ රස්තියාදුවෝය. එක එක සුලභ වර වලට ගිජු නොවී ස්වාධීන චින්තනයකින් දෙපා බිම ගසා දූවිලි මතින් නැගී සිටින්නට බැරි ඇයි?

සමාජයේ ඇත්තේ බරපතළ ප්‍රශ්න නොවේ. ඉතා සරල හැම කලකම තිබූ තිබෙන ඒවා යැයි සාමාන්‍ය පණ්ඩිතයෝ කියති. එය සැබෑවකි. නමුත් මොන සමාජයේත් සැම කලකම පෙරළි කළ ජව චින්තන තිබූ නිසා සමාජය රැකුනු බව කිසිවෙක් නොකියත්ද?

බල්ලෙකුගේ ස්වාමියෙකු විය හැක්කේ මිනිසෙකුටය. නමුත් බල්ලාගේ බලු ගෙරවුමට ඇති බිය නිසා අපි බල්ලා අපේ ස්වාමියා කර ගන්නවාද?

දස අත රස්තියාදුවන රස්ටා නම් දකින්නේ බල්ලන් ස්වාමියන් කරගන්නට දැන හෝ නොදැන පෙළ ගැහෙන බොහෝ දනාය. මෙය වෛරයෙන් කියන්නක් නොවේ. තාරුණ්‍යයේ ජවය තාක්ෂනයෙන් ලොල් කර දියාරු ක්ලේ ඩමි නිර්මාණයක් දැනෙන පෙනෙන දකින නිසා කියන්නකි.

කැලෑ කපාගෙන කැලෙන් එලියට විත් සැහැල්ලු ලෙස මද සු‍ළ‍ගේ පහස විදි මිනිසා, ඉන් ඔබ්බෙහි වැද්දන්ටත් නිගා දෙන විදිහේ කල වැද්දෙක් ලෙස ආපහු හැරෙන්නෙක්ද? බෝනික්කා ලීලාවෙන් හිදින පඩරැල් සතෙක් වන්නේද? 

නැතිනම් පිරිපුන් ජීවී ගුණයෙන් යුතු, නුවණින් හෙබි සත්වයෙක් වන්නේද? පාර දිගේ මති ‍මතාන්තර වෙනුවෙන් සටන් ම නොකළාට තමන් ගේ හිතත් හිසත් කෙළින් තබා හැම දේ ගැන සොයා බලා එඩිතරව ආත්මාර්ථයට ලඝු නොවී කටයුතු කළ යුත්තෙක් වන්නේද? එසේ මිස කෙලෙසකවත් බියෙන් අගතියට යා යුත්තෙක්ද?

අනුන් දුවන රැළේ ඒ පස්සෙම වැටී දුවන්නේ නැතිව, හේතුවක් යුක්තියක් සිතා තීරණයක් ගන්නට බැරි නම්, තමන්ට කළ හැකිදේ ආත්මාර්ථය තකා මගහරින්නේ නම්, ඒ නිවටයෙක් ම පමණි. ඉදින් එහෙව් වූ නිවටුන්ගේ හෙට ලෝකය සදහා සැලසුම බල්ලන් තමන්ගේ ස්වාමියන් කරවීමද? 

බාර් එකේ,  ක්ලබ් එකේ මත් හයියෙන් පිම්බෙන් නේ නැතිව අවංක කමේ, හිතේ හයියෙන් කෙලින් කටින් ඉන්නා තරුණයන් ටික හෝ වේවා.. උන්ගේ රස්තියාදුව ශුද්ධ වී අනාගතයට මනුස්සකම් ටිකක් හෝ ඉතිරිවේවා..

දැන් අපි දන්නෙ අරගන්නයි , විකුණන්නයි විතරයි. ‍මෙහේ අනෙක් බොහෝ හැඟීම් හංගන්නේ බල්ලන්ට බය නිසායි, වැඩිහිටි ගෞරවේ ආරස්සා කොරන්නයි.

ඇත්ත ඒ හැටියෙන් කතා කොරලා ගහගන්න ඕනෑ නෑ ආවේගෙන්. කොරන්න ඕනෑ තේරුම් ගෙන පිළියම් ලෙස වැඩ කිරීම. කාටද දෙයියනේ එහෙම ඕනෑ. මූණට හිනාවෙලා, වැස්සද ඒ පැත්තට කියලා ඇහුව පමණින් අනාගතේ නම් සුභ වෙන්නේ නෑ.

අමාරු දේ වෙනස් කිරීම නොවෙයි. වෙනසක් අවැසි බව තේරුම් ගැනීම. ලොකුම ප්‍රශ්නය ‍ඒකයි. 

දැනෙන සත්‍ය හංගංනේ ඇයි?

සදය ලෙස විචාරයට මං නොහොයන්නේ ඇයි? 

කතාවෙන් ක්‍රියාවට පය නොතියන්නේ ඇයි?

සංයමයත් එඩිතරකමත් තිබූ අතීතයක් ගැන මෙහේ නන්දොඩවනවා යැයි සිතෙන්නේ එවිටයි. දැන් නම් ඒ දෙඩවීමත් නැති තරම්,. ඔහේ දෙනදේ කාගෙන වෙනදේ බලාගෙන ඉමුද තවත්?

එහෙනම් සමුගන්නට අවසරයි,     

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,                                                                                                                                                                                        

 වේවා ජයෙන්‍ ජය..

No comments: