සීමා නෑ (නැත්තෙ නෑ)
ලෝකයා සියලු බාධක මැඩ ගෙන සීමා මායිම් නැති ලෝකයක් කරා පිය නගති. එහෙත් ඇති සීමා අතික්‍රමණය වෙද්දී තව තවත් සීමා එළැඹෙයි. ඒ සීමා වෙත යද්දී තවත් සීමා ඈතින් දිස්වෙයි.
ලෝකයාගේ ගමන පසෙකින් තබමු. අපේ ගමන, මගේ ගමනේ සීමා කෙබදුදැයි මොහොතකට සිතමු. සීමා අවශ්‍යද? පුළුල් ප්රශ්නයකි. පටු පිළිතුරක් මම දෙමි. සීමා අවශ්‍යයි. මේ සීමාව කොහේද? ඔබේ බුද්ධියේ, චින්තනයේ ගෙදර වත්තේ වැටේ, තාප්පයේ ඔබත් මමත් අතර මේ හැම තැනකම තිබිය යුතු සීමා තිබිය යුතුමයි. ඒවා සංශෝධනය විය යුතුය. සංශෝධනය විය හැකිය. එහෙත් සීමා තිබේ. මිනිසෙකු හැටියට අපට සීමා නැති ජීවිතයක් නඩත්තු කළ නොහැකිමය. මිනිසාගේ සීමාව සතෙකුගේ සීමාවට වඩා අතිශයින්ම පුළුල්ය. නමුත් විටෙක නිරුවතින් දිවෙන ලජ්ජා සංකල්පයෙන් මිදුනු සත්වයාට වඩා අපි වස්ත්‍රයෙන් සීමා වෙමු. එහි අදහස නිගණ්ඨභාවය අගයන බව නොව, වස්ත්‍රයෙන් නිර්මිත සංස්කෘතියේ සුපහන් භාවයයි. ඒ වස්ත්රයම තවත් කෙතරම් සංස්කෘතීන් නිර්මාණය කරනවාද? සමහර විට නිරුවත් සත්වයා නූපදවා ගන්නා අමුතු කාමය රාගය වස්ත්‍රය පදනම් කොට මිනිසා උපදවයි. නැවතත් සීමා ඇති තැන් ගැන සිතන්නට එවිට ඉඩක් ඇත.
අපට ඕනෑ තැනකදි දමා ගන්නා සීමාවට වඩා නිසි තැන නිසි විට ඇති සීමා පිළිබද මිනිසාට ඇති ඉව ඉතා ඉහළය. නමුත් භාවිතාව ඉතා පහළය. නමුත් ඉන් නිසි ඵල ගන්නෝ ජීවිතය දියුණුව කරා ගෙනයති. ඉදින් එහෙව් 'සීමා' සමග ගනුදෙනුව පහසු නැත. නිරාකරණය කරගත යුතු තැන් බොහෝය. සිතිය යුතු දේ බොහෝය. මන්ද සමහර සීමා අතික්‍රමණය ලෝක යුද්ධයකින් වත් කෙළවර කළ නොහැකි වනු ඇත. ලෝක යුද්ධයකින් කෙළවර කළ නොහැකි සමහර සීමා නිසි අවබෝධය සහිත සිතක විවරණයෙන් කෙළවර කළ හැකි තැන්ද ඇත.
ජාති, ආගම්, කුල, ගෝත්‍ර වශයෙන් වැටෙන සීමා සංස්කෘතික පරිසරයේදී තබා ගනිමින් සිත් තුළ ඒ සීමා බොහෝ කොට ගේට්ටු සහිත තාප්ප සීමා මෙන් ගනුදෙනු වට පිවිසුම් පිටවීම් වලට ඉඩ කඩ ලැබෙන ඒවා වනවා නම්, සීමා යන්න ඔබ අවබෝධ කොට ඇත.
හිතේ ඇති සීමා, ගතේ සීමා, සමාජ පරිසරයේ සීමා, ගෙදර, පවුල, අපේ දහසකුත් භූමිකා තුළ ඇති විවිධ වූ දහසකුත් සීමා ගැන සිතීමට ඇති කාලය ත් සීමා සහිතම වේ. එහෙත් ඒ කාල සීමාව තුළ ඔබ නැවත නැවතත් සිතිය යුතුයි, සීමා - කොතරම් අසීමිතයැයි කීවත් මිනිහාට යම් තැනකදී වැටෙන 'සීමා' ව ගැන.
No comments:
Post a Comment