මරණ බය හා ගස් බැදීම-ගුටි ඇනීම-දණ නැමීම- සමග මීළගට හෙලුවෙන් දිවීමද? (ගුරුතුමා දණ ගසත් නම් මරණ බය උපදවා ගෙන අපි හෙලුවෙන් දීවාම මොකෝ, දැන් අපි නිදහස් ජාතියක් නේ)
ලංකාවේ භීෂණය තිබුණා යයි මම අසා ඇත්තෙමි. ඒ යුගයේ අග භාගයේ උපන්නෝය අප, එනිසා එහි තතු වටින් ගොඩින් දැක, අසා, කියවා, මෙන්ම ගම් වල ක්‍රියාත්මක වූ විප්ලව නොවූ ක්‍රියාවන් තුළ විදින්නට සිදු වූ යම් අද්දැකීම් වලටද හිමිකමක් ඇත්තෙමි. මගේ කතාව එය නොවේ. මේ කතාව කියුවේ හැම දෙයක්ම අතීතයේත් වුනා යැයි අතීතය මත වර්තමානයත් අනාගතයත් තක්සේරු කරන්නට හදන්නන් වෙනුවෙන්ය.
අප උපන් අවධිය වන විටත් ඇරඹී තිබුණු යුද්ධයේ දරුණුම බලපෑමට නතුවූවෝ අපි වෙමු. අපේ සහෝදරයින් දමිළ වේවා සිංහල හෝ මුස්ලිම් හෝ බර්ගර්, මැලේ හෝ අහිකුණ්ඨක හෝ වේවා මිය ගියෝය. බොහෝ කොට අප හා සමවයස් මෙන්ම බාල සහෝදරයෝ යුද්ධය වෙනුවෙන් මියැදුනෝය. එනිසා මියැදුනෝය. සියල්ලෝම දැන හෝ නොදැන බේදවාචී යුගයක ගොදුරු බවට පත් වූවෝය. මගේ කතාව ඒ ගැනද නොවේ. මේ කතාව කීවේ ඊලගට කියන්නට යන කතාවට පසුබිම හැදෙන්නේ මෙතනින් වන නිසාය. මන්ද යුද්ධයෙන් පසු අපි දෙවන වරටද ලොකු නිදහසක් ගැන පාරම්බෑ නිසාය.
කාලයක් තිස්සේ භීෂණයේ වේදනාව විද ඒ ගැන කතා කරමින් හිද දෙවනුව යුද්ධයෙන්ද බැටකා අද වෙනවිට ඒ නිදහස් වීම් ගැන අප පාරම් බාන්නේ යහපත් සුභඅනාගතයක් ගැන උදම් අනමින්ය. සුද්දාගෙන් නිදහස් වූවා කීවාට තිස් අවුරුදු යුද්ධයෙන් නිදහස් වූවා කීවාට, නිවට පාදඩ අමන දේශපාලන බැම්මෙන් නිදහස්ව තවමත් තමන්ගේ පරමාධිපත්‍ය හෙවත් ඡන්දය වත් පාවිච්චි කරන්නට අපේ රටේ ඔය ජනයාගෙන් කී දෙනෙක් සමත්ද?
එය මට ප්‍රශ්නයකි,
එහෙනම්, අප නිදහස්ද? අඩුම තරමේ නිදහස් චින්තන හැකියාවක් අපට තිබේද? ලාංකීය ජනයාගෙන් පැහැදිලිවම තුනෙන් දෙකක් තවමත් කඩේ යති. දෙ පතුළ උකුල් ඇටේ තෙක් ගෙවුනත් මේ ගමන නොනවතින්නේමය.
ප්‍රතිඵල රැසකි.
තමන්ම ගස් බැදුනෙමු,
කැමැත්තෙන්ම ගුටි කෑවෙමු,
දණ ගැස්සූ බවද අසමින් සිටින්නෙමු,
මීළගට අපි හෙලුවෙන් දුවමුද?
තඹයක ගරුත්වයකට හිමිකම් නොකියන දේසපාලුවන් කරමත හිදුවාගෙන ගොස් ඔවුන්ගේ ජඩ නින්දිත කම් අභිමුව විලිලජ්ජාව නැතිවම අප රෙදි ගලවාගන්නේ කවර වරදකින්ද? පූරුවේ වරදකින්ද?
සාමාන්‍ය ව්‍යවහාරයේ ඉල්ලං කනවා කියා කියන්නේ මේවාටයි.
දේශපාලුවන්ට අනවශ්‍ය ගරුත්වයක් දෙන්නේ බලයට ඇති බිය නිසාමද, ලාංකීය ජනයාගෙන් බහුතරය තවමත් අත නාරින නිවට නින්දිත තම වාසිය බලාගෙන රෙදි උස්සා ගෙන කඩේ යාමේ ජන්මයට වැඩි පුරුද්ද නිසා නොවේද? ජනයා මේ බලු-බලයට විරුද්ධ ව එක්කාසු නොවන්නේ ඇයි, මේ කියන්නේ තවත් දේසපාලකයින්ට කඩේ යන වැඩක් ගැන නොවේ. අනාගත පරපුර වෙනුවෙන් කඩේ යාමක් ගැනයි.
කෙසේ හෝ රස්සාවක් ලැබීම මිනිහෙකුගේ සැබෑම තෘප්තියකට මග කියන්නක්ද? කැම්පස් ගියද රස්සාවක් හදා ගන්ට කියා අර සමිතියට මේ සමිතියට බැදී නිවට නියාලු චින්තනයකින් බුද්ධියට හෝ උගැන්මට ලද සහතිකය අර දේසපාලුවාගේ දෙපතුල් මුල හොවා වැද වැටෙන නින්දිත, චින්තන විරහිත උගත්කමක් ගැනද අපි සිහින දකින්නේ. නෑ, රස්සා ගන්ට කියා තමන්ගේ අහවල් අහවල් දේ කුලියට දෙන තරමට ඔවුන් වැටෙන්නේ නෑ කවදාවත් උගත්කමට සරිලන චින්තනයක් තිබෙනවා නම්, වරද කාගේද? වරද සමාජ ක්‍රමයේම නොවේ. සමාජ ක්‍රමයත් ඔය ඔබ අප කාගේත් දායකත්වයෙන් නඩත්තු වන්නකි. අප නිවැරදි තැන සමාජය නිවැරදි වනු ඇත. වරදට එරෙහි වීමේ ශක්තියක් අප ලබනු ඇත. එහෙනම් මේ දුබල කමේ පළමු වරද මගේ නිවැරදි නොවීමමයි.
ඔතරම් නින්දිත නොවී, පොල්ලක ස්වීප් ටිකට් ගසාගෙන වාසනාව විකුණන්න. එය දාහින් සම්පතකි. රජයේ සූදුව යැයි සමහරු කීවත් එය අර තකතීරු උගත්කමට හා නිවට චින්තනයෙන් ලබන ටයි කෝට් රස්සාවට වඩා අගනේය.
සියල්ල අවසන දේශපාලකයාට බැනීම නොව, දේශපාලකයාට ඒ පුහු මාන්නාධික බලය ලබා දුන් තමන්ටම තලා ගන්න. උගත්කමත් සහිතවම වැරැද්ද වෙනුවෙන් කඩේ යාම කොතරම් සාමාන්‍ය කරණය වී ඇත්දැයි කීවොත් දැන් එවැනි උදවියට හිනා වෙමින් බෙල්ල කැපීමද කළ හැක. බැලිය නොහැක්කේ රූපවාහිනියේ එවැනි දෑ පෙන්වන ප්‍රවෘත්ති හා නාටකයි. එතරමට තමන්ගෙන් සමාජයට කැටෙන විනය ගැන ඔවුන්ට හැගීමක් නැත. ඒ මොළ ඔළමොළ වී හමාරද?
ඉදින් මෙවැනි දේශපාලුවන්ගේ නිවට ක්‍රියාවලට සිනහ වෙවී සිටින එකේ මීළග ඵලය - රෙදි ගලවාගෙන හෙලුවෙන් දුවන්නට වන කතාවක් වුවොත්,
නිවටුනි, උගත් නිවටයිනි, මරණ බයෙන් රෙදි ගලවාගෙන දේශපාලුවාගේ පදයට රගන්න. ජනතාවනි, තම පරමාධිපත්‍ය ජන්දය යැයි කියමින් එයත් තුට්ටු දෙකේ චින්තනයන්ට විකුණා මේවාට අත්පොඩි තලන්න.
හැබැයි මතක තියා ගන්න, මේක මේ දේවල් පටන් ගත්තු තැනවත් ඉවර වෙන තැනවත් නොවුනට අපේ උවමනාව තියෙනවනම් තැන කොතැන වුනත් යහපත වෙනුවෙන් සමාජයක් තැනිය හැකි බව. අයහපතට තිත තියන්න ගන්න එක තැනක් මෙතැන කරගන්න පුළුවන් බව.
ලොකුකම් වැඩක් නෑ, හැබැයි රටක දියුණුවට නම් ඒ රටේ මිනිස්සු ලොකුවට හිතන්න ඕනෑ...
2 comments:
//නිවට නින්දිත තම වාසිය බලාගෙන රෙදි උස්සා ගෙන කඩේ යාමේ ජන්මයට වැඩි පුරුද්ද නිසා නොවේද?// ඔව්. එයින් ඇතිවෙන යුක්තිය අසාධාරණය අවසානයේ දී තමන්ව ද හඹා එනවා යැයි වැටහෙද්දී පරක්කු වැඩියි.
මෙතැන දී ලැබෙන තෝරා ගැනීම් දෙකක්:
එකක්, මේ ආණ්ඩුව වෙනුවට කඩේ යාමක් සිද්ධ නොකරන ආණ්ඩුවක් හදන්න පුලුවන් යැයි සිතීම.
අනෙක, කිසිම ආණ්ඩුවකට කඩේ යාම නවත්වන්න නොහැකි නිසා, ආණ්ඩුවේ බලය අවම කර වෙළඳපොලට ප්‍රමුඛත්වය දීම.
//අපේ උවමනාව තියෙනවනම් // අන්න ඒක තමයි අවශ්‍ය. ඒත් උවමනාව ඉහත තෝරා ගැනීම් දෙකින් කුමක් සඳහා වෙයි ද?!!!!
ප්‍රතිචාරයට ස්තුතියි,
වෙළදපොළට ප්‍රමුඛත්වය දෙන්නට සිදුවීම නොවැලැක්විය හැකි දෙයක්, එහිදී ආණ්ඩුවේ බලය අවම කරගන්නටත් සිදුවේවි.
//අපේ උවමනාව තියෙනවනම් // මගේ අදහස පුද්ගල චින්තනයේ ශක්තිමත් භාවයයි.
සිදුවන්නා වූ හැම දේ අමතකව නොයා යම් අවබෝධයකට ගැනීමක් සිදු නොවීමයි එයට හේතුව. එතරමකට අද මෙවැනි දේ අන්ත සාමාන්‍යකරණයකට ගිහින්. එයට පිළිතුරත් නිවට නින්දිත.... පුරුද්දමයි. එනිසා ආණ්ඩු මාරුවීමත් සුපුරුදු ලෙසින් වේවි. නමුත් වෙළදපළත් ආණ්ඩුවත් ජනතාවත් සමබර ලෙසින් පැවතෙන්නට අවශ්‍ය යාමනය සදහා නම් නිවැරදි නිරවුල් දැක්මක් සහිත නිර්භය චින්තනයක් අවැසිමයි.
සරලවම කීවොත් තනි තනිව නිවැරදිව හිතන්න කොතනින් හරි කොහොම හරි ආයෙත් කවුරුත් පටන් ගන්න ඕනෑ. මේක පරණ කියමනක් වුනාට අදටත් වලංගු දෙයක් කියලයි මම හිතන්නේ. අපේ ආර්ථිකයක් කියන එකක් ගැන කතාකරන්න පුළුවන් එතැනදි. අපේ මිනිස්සු බොහොමයක් වැරදි තැන්වල නිදි වැදිලයි ඉන්නේ.(හිතේ හයියක් නැති මිනිස්සු මොළෙන් හරියට වැඩක් කරයිද? - මගේ රස්තියාදුවට අහු වෙන්නේ ඔය පමණින්)
Post a Comment