සිත ගැන කියන හැම විට භාවනාව යන්න යුගලපදයක ගණනට අපට ඇසේ. භාවනා යනු කුමක්ද? කෙනෙකු කියන්නේ යමකට හිත යොමා දෑස් පියා නිශ්චල ඉරියව්වකින් සිටීම යන්නයි. ඉතිං එක දෙයක් ගැන හිතා දෑස් පියාගෙන හිදීම භාවනාවක්ද? මම භාවනා ගැන විශාරද හෝ විශේෂ හෝ දැනුමක් නැති බැවින් සමාජයේ එකිනෙකා කියන කතා අනුව මෙවැනි දේවල් අසා ඇත්තෙමි.
එහෙත් භාවනාව සමගින් ඇසෙන සමාධිය යන වදන ගැන මට ඇති වන්නේ පැහැදීමකි. කැළතුණු දිය ඇති බදුනක ජලය නිශ්චල වීමක් ලෙසින් එය මට හැගේ. පැටලුනු නූල් බෝලයක ගැට එකිනෙක ලිහන බවක් එයින් මට හැගේ. අපිළිවෙල කට තිබූ නිවෙස පවිත්‍ර කොට පිළිවෙල කරනු මට එයින් දැනේ.
ඉතිං මෙයින් ඇති ප්‍රයෝජනයත් එයම බව මට මේ අනුව වැටහේ.
පිළිවෙලට තැබූ බඩුමුට්ටු පරිහණය පහසු බව මම දනිමි. නිශ්චල දිය ඇති බදුනේ පතුල පැහැදිලිව මම දකිමි. ගැට නැති නූල් බෝලය පහසුවෙන් පරිහරණය කිරීමට මම අපේක්ෂා කරමි.
එහෙත් මේ සියලු දෙය බුද්ධියෙන් මෙහෙය විය යුතු බව මට වැටහේ. බඩුමුට්ටු පිළිවෙලට තබා ගත්තත් ඒ බඩුමුට්ටු නිසිව ප්‍රයෝජනය ගන්නට නොදනිතොත්! මහන්නට දන්නේ නැතිනම් නූල් බෝලයෙන් කවර ඵල! පතුලේ මැණික වටිනා බව නොදන්නා මෝඩයාට බදුනේ නිසල ජලයෙන් ඇති වැඩක් නැත.
එනිසා යමෙක් සිතේ එකගකමෙන් දැලි පිහිය අතට ගන්නේ නම් එය තැනුවේ රැවුළ කැපීමට මිස කිරි කෑමට නොවන බව දැනෙන බුද්ධියෙන් යුක්ත විය යුතුය.
නැතිනම් සමාධියේ ශක්තිය අපතේ යනු ඇත.
මේ කොයි ආකාරයෙන් විග්‍රහ කොට ගත්විටත් බුද්ධියෙන් තොර සමාධිය අර්ථ ශුන්‍ය බව මම දකිමි.
No comments:
Post a Comment