Monday, April 29, 2013

සැලියුට්

අපේ තාත්තලා

නීතියත් යුක්තියත් රැක්කෝය

අල්ලස දූෂණයට පයින් ගැසුවෝය

අහවල් තාත්තලා

නීතියත් යුක්තියත් අතට ගත්තෝය

අල්ලස දූෂණය ඔඩොක්කුවට ගත්තෝය

අපේ තාත්තලා සැලියුට් නොලබා 

විශ්‍රාම ගත්තෝය

අහවල් තාත්තලා විශ්‍රාම නොලබාම

සැලියුට් ගත්තෝය

පොලීසිය සීරුවෙන් 

ගහපන් ඩබල් සැලියුට්

දෙකට නැමී 

පිසාචයෝත් 

කුම්භාණ්ඩයෝත් 

වැජඹේවා

ලැජ්ජා නැත

හිරිකිතයක් නැත

ආයුබෝ බඩවඩා

එකසිය විස්සට 

සෘණ දෙසිය විස්සක්

දඩ දඩ දඩස්....

සැලියුට්!

Saturday, April 27, 2013

කුම්භකර්ණලා(සිහිනයත් යථාර්තයත් අතර අවදානමේ අපි)

එහෙන් මෙහෙන් ගොඩක් පැති වලට එබිල බලල දකින්න ලැබෙන දේත් ගැඹුරින් හිතන්න වෙන දේත් සැලකිල්ලට ගත්තම එන්න වෙන අවසන් නිගමනයක් තමයි ලාංකීය අපි කුම්භකරණ වංශිකයෝ කියන එක. රාවණ ගැන කියවෙන ඉතිහාසයේ සහෝදර සමා‍ගමේ හිටි විභීෂණ වගේම කුම්භකරණත් අපට අමතක කරන්න බෑ. මේ කතාවේ නායකයා ඒ කුම්භකරණ. 

මාස හයක් එක දිගට නිදාගෙන ඉන්න මේ මනුස්සයව ශබ්ද පූජා පවත්වල ඇහැරව ගත්තම තවත් මාස හයක් නිදා නොගෙන වැඩ කරනවලු. ලු යන්නෙන් ඉවර කලා සේම මේ ප්‍රවාදයේ ඇත්ත නැත්ත කෙබදු වේවා. එහි ගැබ්වුනු හරයක් ඇති බව නම් අපේ ජනයා දිහා බලනකොට හිතෙනවා. 

අසීමිත පීඩන‍යකින් මිරිකෙන කොට ඒක දරාගෙන නොසැළී යන්න පුළුවන් තරමේ හයිය මනසක් අපේ මිනිස්සුන්ට තියෙනවා. නමුත් කවදකවත් මේ මනසෙන් ප්‍රයෝජන ගැනීම් තිබුණා නම් අපට මෙහෙම වෙනවාද?  හේතුව, ඔය මනස අවදිවෙන්නත් අසීමිත පීඩනයක්ම ලැබෙන්න අවශ්‍යවීම. ඒ කියන්නෙ ශබ්ද පූජාව. තවත් සරලව කීවොත් නිදාගෙන හීන දකින මිනිස්සු නිදාගෙන හිටි බව තේරුම් ගන්නෙ ඇ‍හැරෙන කොට වීමයි. ඒත් අපේ ඇහැ‍ ඇරෙන කොට අපි ඉන්නෙ කොතනද කියන්න කවුරුත් දන්නෙ නෑ? සමහර විටක ලොකු අවදානම් තැනක වෙන්නත් පුළුවන්. අපේ සමහර ප්‍රශ්න වලට විසදුම් හෙවිල්ලත් ඔය වගේ.

මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න දන්නවා, ඒවට උත්තරත් දන්නවා, ඒත් සූදානමක් නෑ. දැක්මක් නෑ. ප්‍රශ්නයක් ආවම වටේ යන්න වෙන්නෙ ඒ නිසා.  නිදාගෙන ඇහැරියා වගේ වෙන්නෙ එතකොට.

කරන්න ඕන දේ දන්නවා, කරන්න ඕන විදිහත් තේරෙනවා, ඒත් කරන්න ඕන වෙලාවෙ ඒක කරන්නෙ නැහැ. කරන්න ගන්නෙ අශ්වයා පැනගත්තට පස්සෙ ඉස්තාලෙ වහන ක්‍රමේට. ප්‍රතිඵලයක් නෑ. නින්දෙන් ඇහැරිලා වගේ.

රස්තියාදු වෙනවා. කාලෙ ගත වෙනවා. ඒත් අපි තවමත් සිහිනයත් යථාර්තයත් අතර හිරවෙලා.

අපි සිහින රාජ්ජය තුළ හිරකරලා වගකිවයුත්තෝ කව්ද කියල අපි ම දන්නෙ නෑ. ඉතිං තේරුම් ගන්න ඕන පළවෙනි දේ පළමු වගකිවයුත්තා තමන් බව.

අපි මොනවද අපේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ. ලොකු දේවල් නොවෙයි. අපි සමහර විට හිතන්නෙ ලොකු ප්‍රමාණයෙන්මනේ. නමුත් ඔය ගොඩක් ලොකු දේවල් වලට වඩා පොඩිවට පෙනෙන හෝ නොපෙනෙන ගනනේ දේවල් තියෙනවා අගයෙන් බෙහෙවින් වැඩි. හිතන්න රටක සංවර්ධනයට ඔබේ නිවැරදි චින්තනයකින්, ‍නිවැරදි ප්‍රතිපදාවකින් දෙන්න පුළුවන් දායකත්වය ගැන. ඔය ගොඩක් මාතෘකා අරගෙන කෙස් පැළෙන තර්ක ගෙනෙන අපේ බොහෝ දෙනා රටේ යහපත වෙනුවෙන් කළ වැලි කැටයක තරම් දෙයක් තිබෙනවද? නැතිවා විය නොහැකියි. හැබැයි එක වැලිකැටයක් යහපත වෙනුවෙන් තබද්දී වැලි ටොන් ගණනින් හලන්නේ අයහපත වෙනුවෙන් නොවේද? බොහො‍් දෙනා මෙබන්දන්. හිතන්න හැබෑ දියුණුව කියන්නෙ, සංවර්ධනය කියන්නෙ පොකට් එකේ විතරක් සල්ලි පුරවල අපේ තියෙන මනුස්ස ගති හින්දන එකකටද?

එක් එක් පුද්ගලයා එකතු‍වීමෙන් සමාජයක් තැනෙන්නේය යන සරල සංකල්පයෙන් බැලූවිටමත් පෙනෙන්නේ සමාජය යහපත් කර ගැනීම උදෙසාත් එක් එක් පුද්ගලයා වෙහෙස විය යුතු බවයි. එනමුත් අද බොහෝ දෙනාට යහපත අයහපත සොයා ගැනීමට තරම්වත් නිස්කාංසු මනසක් තිබෙනවාද?

අල්ලස ගන්න මිනිහා වැරදියැයි කියන අපි ඇයිද අල්ලස දෙන මිනිහා ගැන එතරම් හිතන්නැත්තේ, යහපත අයහපත අපේ වාසිය අනුව හදා ගනිමින් නොවේද ඒ? දැන් හොද නරක, පින් පව් වාසිය අනුව බොහෝ විට හැදෙන්නේ එහෙම තමා. මගේ වැඩේ කරගන්න කාට හෝ පන්දම් ඇල්ලීම නරක නොවේ. නමුත් රස්සා දේශපාලන පත්වීම් බවට විටෙක අපි චෝදනා කරමු. අවසන දෙකම හරිය, ඒ මෙහේ ක්‍රමේ හැටිය කියා හිස කසා හෝ නොකසා නිවට ගතිය පාමු. අපේ කුම්භකර්ණ නිදි වැදීම මෙහෙව් ආකාරය. මර නින්දේ ඉද්දී අපිට මේ කිසිත් වෙනස් විය යුතු යැයි හිතෙන්නේම නැත. එතරමකටම නිදි මතයි.

එක අතකින් සිහිනයත් යථාර්තයත් අතර දෝලනය වෙලා හරි යම් නිවැරදි තේරුම් ගැනීමකට එනවා නම් එක හරි වැදගත්, ඒත් ප්‍රශ්නය ගොඩක් දෙනාගෙ මේ රස්තියාදුව ඉහත කී ලෙසින් ශුද්ධ නොවෙන එක. වැරදිම කර කර ඉදන් තමන්ට පාඩුවක් වෙනතැන විතරක් එකවර නින්දෙන් ඇහැරියා වගේ හරි වැරැද්ද කතා කරන්න ගන්නවා. මේ ඵලය ඇති වුනේ අපිම හදාගත්ත හේතු දාහකින් කියල තේරුම් ගන්නේ නැහැ. අපි හිටියෙ මර නින්දේ නොවේද කියල තේරුම් ගන්නේ නැහැ. පට්ට පතුරු යනකන් කතා කරනවා, සාකච්ඡා කරනවා. ප්‍රශ්න ආවහම එහෙමයි. ඒත් ඒවයින් ලබාගන්න දිගු කාලීන ප්‍රයෝජන නැහැ. ඉතිං හැමදාම එක තැන පල් නොවී ඉස්සරහට යන්නෙ කොහොමද? ආසයි බයයි වගේ ප්‍රතිපත්තියක්ද මේක? නැත්නම්, අද නොවේ හෙට! කියන බාලගිරි දෝෂයක්ද? නැතිනම් පැහැදිලිවම කියන්න වෙන්නෙ කුම්භකර්ණ දෝෂය. කොහොම වුනත් මේ දෝෂය භංග කරන්න කාලෙ දැන් හරි. 

නිරන්තරවම ශබ්ද පූජා පවත්වලා තමන් තුළ සිටින කුම්භකර්ණයා නිරන්තර අවදියෙන් තබා ගතහොත් පමණයි සිහිනයත් යථාර්තයත් අතරින් යම් ගමනකට අප වැටෙනු ඇත්තේ. මර නින්දේ සිටියොත් අපව නින්දේදීම මෙහෙයවා වැඩ ගන්නන්ගේ හස්තයේ අප නැටවීම පමණක්මැයි සිදුවනු ඇත්තේ. 

ජීවිතය යනු මුදල් නොවේ. මුදල් යනු සිහිනය සුන්දර කරන මාධ්‍යක් පමණකි. සිහිනය යනු සැබෑව නොවේ. සුන්දර සිහිනයෙන් දිනෙක අපට අවදිවන්නට සිදුවේ. ඒ යථාර්තයේදී මුදලින් අපට දිනීමටවත් ස්ථාවර වීමටවත් නොහැකියි. 

එබැවින් කුම්භකර්ණලාගේ සිහිනයට මුදලුත් යථාර්තයට මානසික හයියත් අවැසිමයි. ඒ මානසික හයිය මිත්‍යා පදනමකින් ලැබිය නොහැකියි. සත්‍ය පදනමක් ජීවිතයකට අවැසි බව දැනෙන්නේ එවිටයි.  ඉදින් ඒ සත්‍ය පදනම සොයා වන රස්තියාදුවත් ශුද්ධ විය යුතුමයි. හීනයත් යථාර්තයත් අතර අපේ කුම්භකර්ණ ගමන නිවැරදි දිශාවක් ඔස්සේ දමා ගැනීම අප කාගෙ කාගේත් වගකීමයි. ඒ දිශාව නිවැරදි නූනෝතින් අපේ මර නින්ද සිතුවාට වඩා බරපතළ කාරණයක් බව දැනෙනු ඇත්තේ මත්තටයි. 

මාස හයක් එක දිගට නින්දේ හරි සැප ඇති. ඒත් නැගිට්ටම තියනවා කරන්න මාස හයක වැඩ එක දිගට, මේක ලේසි වැඩක් නොවෙයි. ඒ නිසා හිතන්න කුම්භකර්ණ දෝෂයෙන් මිදෙන මග දැන් දැන්ම. 

Tuesday, April 23, 2013

නිවන

අයිතිය 

ඔබ සතුය

තීරණය 

ඔබ අතය 

සදාකාලික 

නොවූලෝකයේ

එකම විකල්පය

Friday, April 19, 2013

දුප්පතාගේ නින්ද ට බෝනස් (හිගන්නාගේ පොකට් එකට තට්ටු කොට අලාබය පියවීම)

බලව විසදුම් 

හදන විසදුම්

 

හිසේ රුදාවට කොට්ටය මාරුකර

ඒ කොට්ටය කකුල් අස්සේ ගසා

හිසට සුව සෙවීමක්

 

සොච්චම් විදුලියට ගැහූ බිල

හිගන්නාගේ පොකට් එකට ගැසූ

පට්ට පල් හොරෙක්

Saturday, April 13, 2013

සුපින්බර සුවෙන් බර සුභම සුභ අලුත් අවුරුද්දක් සැමට

සියලු වස්දොස් භංගවේ...වා                                                                             අවුරුද්ද සරුසාර වේ...වා

බක්මහ අකුණ(සුපින්බර අලුත් අවුරුද්දකට)

පුණ්‍ය කාලය උදාවී ඇත

බොහෝ දෙනා හොර බොරු කරන්නට පටන් ගනිත්

මටත් කිම

මමද කරමි හොර බොරු..

මොන දහම්

මේ 

බණ දහම්

නැත කිසිත් කෝළම්

සොබාදම් 

 කිමද මේ සරදම්

ගැසීය බක්මහ අකුණ තදින්ම

දෙපා ලගම වැදුණු හෙයින්ම

මළ නොවී පහ 

සිහි වීය අටපහ

අටසිල්ද පන්සිල්

මරණයත් 

අමතක වූ දහම් පාට 

ලා දම් අහසේ 

පාට නොදැකමත්

පුණ්‍යකාලය සරුවේ

පින් අත්වේවා

බක්මහ අකුණට

 

මරණය සිහිකර පුණ්‍ය කාලයේ ධර්මාවබෝධ කළෙමි. මා නොමරා මරණය සිහිකළ බක්මහ අකුණ, ඔබට සදා ණය ගැතිවෙමි ධර්මය පැහැදූ පිනට.

සුපින්බර අලුත්අවුරුද්දක්වේවා.......

Tuesday, April 9, 2013

හොදම කුණුහරප මගෙන් (මගේ හිට් එක)

කුණු+හරප ඇස් කණ්නාඩියෙන් බැලුවම සුදු පාට වුනත් කුණුහරපයක්. ඒ නිසා අයින් කරගන්න ඔය කුණු+හරප රාමුව. ගහ කොළ, ඇළ දොළ දිහා බලන්න. ඇල් වතුරෙන් හොදට නාගන්න ඔය කුණුහරප රස්නේ හේදිල යන්න. කුණු+මිනිහෙක් නොවී මිනිහෙක් වෙන්න බලපං ගොන් වස්සෝ. මේ ජීවිතේ ලැබුන වගේම නැතිවෙල යනව කොතනද නෑ. ඊට කලින් පැයකට දෙකකට හොයන කුණු රහට පයින් ගහල ඔළුව කෙළින් තියන් මි‍නිහෙක් වගේ ඉන්න හිතට ගතට පණ ගන්න වීරිය කරපන්... 

මෙහෙම කියල තමන්ගෙ හිතට - හදාගන්න ඔය හිත රස්තියාදුව ශුද්ධ කරගෙන එක හිතක් විදිහට. හිතට ආතල් දෙන්නෙ නැතිව හිතෙන් වැඩ ගන්න. දැන්ම හිතන්න, මම' කව්ද?

****අලුත් අවුරුද්දෙ අලුතින් හිතන්න පටන් ගන්න හොදම තැන එතැනයි. අලුත් අවුරුද්ද සුබ වෙන්න අලුතෙන්ම හිතන්න.* දැන්ම පටන් ගන්න.****

Sunday, March 31, 2013

අපි චණ්ඩි, ලම්භකව උඩ බලල කෙළ ගැහුවත් වැටෙන්නෙ අහකට...(අපේ බල පරාක්‍රමයේත් බුද්ධියේත් මහිමය නොහොත් වලිග පෑගුනු වීරයෝ)

අපි චණ්ඩීන් වෙමු

අපේ පරම්පරාව සුපිරිසිදුය

අපි කළ යුත්ත පසුවට නොතබමු

ඒ කෙසේද යත්

කැපිය යුතු තැන 

පොල් බෑ මූණා සේ

අත්ත උඩම ලැග ඒ අත්තම වුව කපන්නෙමු

අපේ එඩිතර බව එතරම්ය

අතීත බලපරාක්‍රමය මතක් වන්නේ දෙකක් දා ගත්තාමය 

නැත්නම් දෙකක් අහගත්තාමය

නැත්තම් හත්පොළේ ගා ගත්තාමය

නැත්නම් සියල්ල අනාගත්තාමය

අපි පසුබාන්නන් නොවේ 

පාරම්බාන්නන්ය 

තනියෙන් වැරැද්දට එරෙහි කට නෑරීම අපේ ජන්ම දායදයය

සියල්ල කළ යුත්තේ බෙදාගෙනය

එනිසාම  

වරදට එරෙහිව ගට එන්නේ

සීය දාහ එක් වූ විටය

අපි අභිමානය එපරිද්දෙනි

ගෙදර ඉන්න පොඩි එකාගේ අනාගතය 

තැනෙන්නේ අපේ වෛරී ආඩම්බරයෙනි 

ඒ කෙසේද යත් 

අවෛරයෙන් වෛරය සන්සිදේ යැයි කියා පොල්ල අතට ගැනීමෙනි

රටත් ජාතියත් ආගමත් එතරමටම අපේ ගතට කැවිලාය

ඒ කොතරම්ද යත් 

වැරදීමකින්වත් 

ප්‍රාණගාතයක්

සොරකමක්

කාමමිත්‍යාචාරයක්

බොරුවක්

සුරාවක්

අප අතින් සිදු නොවේ

එබැවින්ම ධර්මය රකිනා අපේ 

ධර්මයද සුරැකෙන තරම

ඒ මහිමයෙහි ප්‍රාතිහාර්ය කොතරම්ද යත්

අපි ලම්බ ලෙස උඩ බලා හරියටම අංශක 90 දී

බේටය ගුවනට මුදාලූවත් 

එය අප මුහුණට නොවැටේමය

මේ දිනවල දසතින් මේ ප්‍රාතිහාර්ය ඔබට නොපෙනෙනු විය නොහැකිය

එබැවින්ම එන්න අප හා එක්වන්න

ලම්භ ලෙස උඩ බලා කෙළ ගහන්න 

රට දැය සමය නියම ලෙස සුරැකේවි 

හෙට උපදින පරපුර වෙනුවෙන්

කළ යුතුදේ යහපත දිනවීමට 

අයහපටත කඩේ යාමය

අපේ බුද්ධියේ මහිමය

බලනු මැන කෙතරම්ද? 

 

අවධාරණයයි - වත්ත බද්දට දී ඇස්සට දත නියවීම ඵලක් නොවේ. දැන් කල්පනාව විය යුත්තේ අවසන වත්ත නැවත ලබා ගැනීමට කටයුතු කිරීමටත් ඒ වත්තෙන් තමන් අස්වැන්න නෙළා ගන්නේ කෙලෙසකදැයි දැන් තබා සැලසුම් කිරීමත් ඒ සදහා ඉවසීමෙන් කටයුතු කිරීමත් නොවේද?

මේ තෙල් පොළක වූ පුවරුවකි.

අභූතරූපී හරස් පදයෙන් අවබෝධය ලබන බුද්ධිමත් ප්‍රජාවගේ පහන් සංවේගයත් පහන් එළැඹුමත් පිණිසයි.

Thursday, March 21, 2013

වැරැද්ද මගේ...

දෙනෝ දහක් ඉදිරියේ මම සපථ කොට සිටිමි

නිවැරදි කරුවා මම බවට

ගැහුවේ මට අනෙකාය

බැන්නේ මට අනෙකාය

හෙලා දැක්කේ අනෙකාය‍

ඊර්ෂ්‍යා කළේ අනෙකාය

වපරැසින් බැලුවේ අනෙකාය

මම පිරිසිදුවෙමි

මම සුපිරිසිදු වෙමි

සියල්ලෝ වැරදිය සිතේ

අසල්වැසියාද වැරදිය 

ගමේ බොහෝ අයද වැරදිය 

‍රටේ බහුතරයද වැරදිය

ලෝකයේ අති මහත් බහුතරයද වැරදිය

මම නිවැරදි වෙමි

සියලුදෙනා ඉදිරියේ මම සපථ කොට කියා සිටින්නේ

මම නිවැරදි කරු බවය

ඔබ වැරදි කරු බවය

මා කළ වැරැද්දේ වග උත්තර කරුවා ඔබය

ඔබ මගේ අයිතිය දිනා දිය යුතුය

ඔබ මගේ නිවැරදි බව පෙන්වා දිය යුතුය

මා නිවැරදිය 

වරද ඔබ අතය 

නැතිනම් පවසන්න

වරද කාගේද?

Monday, March 11, 2013

ජීවිතය තුන් තේරවිල්ලක්ව?(ජීවිතයෙන්ම විසදුවොත්-ඔබ ත්‍රස්තයෙක් හෝ නිකමෙක් හෝ නොවනු ඇත)

කටකලියාව සිත පළන්දා

තෝන් ලනුව හිසින් ගෙන

පදවන්නේ නම් ඔබ

ගමන ජය කණුව වෙතම වනු ඇත

එයින් මේ ලෙස කියවෙන්නේද  මෙයින් ඒ ලෙස හැගවෙන්නේද  පිළිතුර එතැනය. 

Monday, February 18, 2013

අඩුපාඩු අඩු සඵලත්වයක්

ජීවිතේ සඵලත්වය හොයන ඔබත් මමත් කල්පනා කළාද අඩුපාඩු ගැන කවදාවත්. මට හිතුනා දවසක් මේ අඩුපාඩු ගැන අපි නොහිතන්නෙම හිතන්න වෙලාවක් නැති නිසාද කියලත්. අනික හැම දෙයක්ම වෙළදපොළෙන් ගන්න පුරුදුවෙලා ඉන්න අපි, ලෙඩක් හැදුනම බේත් ගන්නවා වගේ අඩුපාඩු හැටියට දකින්නෙත් ගෙදර කන බොන දේ අඩුවෙන එක විතරයි. ගෙට අවශ්‍ය බඩු මුට්ටු ගැන විතරයි. හැබැයි ඔය මොන දේ තිබුනත් ජීවිතය සඵලත්වයකට ලඟා වුනා කියල කියන්න පුළුවන්ද? එහෙම පුළුවන්නම් හොදයි. නමුත් එහෙම කියන්න බැරි වෙන්නෙ ප්‍රශ්නයක් ඉවරවෙන කොට තවත් ප්‍රශ්නයක් පටන් ගන්න නිසා. ඒත් ප්‍රශ්න නවත්තන්න බැරි වුනත් ප්‍රශ්න වලට මුහුණදෙන අපේ හිතේ අඩුපාඩු, හෙලවීම්, විචිකිඡචා අඩු කරගන්න පුළුවන්වෙනව නම්.‍.. එතකොට ලොකු ශක්තියක් අපි ලඟ එකතුවෙන්නෙ නැතිද? ඒ ‍ඔස්සේ ලොකු වට එන ප්‍රශ්න අපිට කුඩාවට පෙනෙන්න ගන්නෙ නැතිද?

නමුත් පළමුවෙනි දෙය, අපි අපේ අඩුපාඩු දුර්වලතා හදුනා ගැනීමයි. අපේ සාමාන්‍ය භාවිතාවේ අපි දන්නෙ සම්පූර්ණ පුද්ගලයින් මෙලොවට බිහිවුනේ නැති සේම සඵලත්වයේ හිනිපෙත්තටම ගිය පුද්ගලයින් අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්. අකාලික දහමක සදාතනික භාවය ගැන ඒ ගැන අහල තියෙන අයට මේ සඵලත්වයක් එක්කම මතක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් හිනි පෙත්ත පසෙක තියා සාර්ථකත්වයේ යම් දුරකට යන්නට නම් ඊට සාපේක්ෂව අපේ අඩුපාඩු අවම විය යුතුමයි. ඒකෙ අර්ථය අඩුපාඩු අඩු වෙනව කියන්නෙ සඵලත්වය තුළත් අඩුපාඩු අවමයි කියන එක. 

ආයෙත් පළවෙනි දේ, සියල්ලටම කලින් නිවැරදිවම අඩුපාඩු හදුනා ගන්න වෙනව තම තමන්ගෙ. ඉතින් ශුද්ධ කරගන්න ඕන ජීවිත රස්තියාදුව ඒ නිසාමයි පුළුවන් හැම වෙලාවකම. රස්තියාදුවක් ගැහැවත් ශුද්ධ හිතකින් නම් වරදක් වෙන එකක් නෑ එතකොට. මොකද රස්තියාදුව අවසානෙ ඔබේ අඩුපාඩු ඔබම හිතාවි. 

හැබැයි, මේ සියලු අඩුපාඩු ඔබ සඵලත්වය පතන ඉසව්වේ. ඒ නිසා ජීවිතයේ හැම දෙයකම සඵලත්වය හිතන්න, එතකොට හැම අඩුපාඩුවක්ම ඔබට අහුවේවි. අඩු කරගන්න අඩුපාඩු. සඵලත්වය ඔබ ලඟටම ඒවි. මේ සියල්ල නිවැරදි උත්සාහයේ තරමටයි.

එහෙනම් නිවැරදිව උත්සාහ කිරීම ඔබේත් මගේත් කාරණයක්. වැරදි පාරේ නැතිව, මේ පාරෙන් එන්න කීවාට හරි පාර නොවේනම් ඒ පාරේ යන්නැතිව නිවැරදි පාරේ යාම ලේසි දෙයක් නම් නෙවෙයි. නමුත් සඵලත්වය එතැනයි.

Monday, February 4, 2013

නිදහස හා පරිණතිය

කාගෙන් නිදහස් වූවාද කෙසේ නිදහස් වූවාද යන්න හැම නිදහස් දිනකම සිහිපත් කෙරෙන්නකි. කාගෙන් කෙසේ නිදහස් වූවාද යන්න දැන ගත් සේම හිස් අදහස් වලින්ද නිදහස් විය යුතු බව දැන නොගත්තේ නම් මේ නිදහස සැමදා එකසේ නොවනු ඇත. 

ඉංග්‍රීසි ජාතිකයාගෙන් අප නිදහස් වූවා, ත්‍රස්තවාදියාගෙන් අප නිදහස් වූවා කියා අප සිතනවානම් ඊළඟ කරුණ ඒ නිදහස රැක ගන්නේ කෙසේද යන්න කිසියම් වාද වලට ගැති නොවූ අදහස් තුළ වටහා ගැනීමයි. රටේ මිනිසුන් හැටියට අපට තනි තනිව ඇති වගකීමත් ඒ හා බැදෙන සාමුහික වගකීම කුමක්ද යන්නත් අප වටහා ගැනීමයි.

නිදහස භුක්ති විදින්නට ලැබෙන විට ඇතිවන චිත්තප්‍රීතිය නිසාම දොඩවන්නා වූ පුරසාරම් වල සීමාවක් තබා ගැනීම වැදගත්ය. කුඩා දරුවෙකු තමා කුඩා කල භුක්ති විදි නිදහස පරිණත වැඩිහිටියෙක් සේ භුක්ති විදින්නේ කෙසේද, එසේම අප නිදහසේත් පරිණතියක් තිබිය යුතුය. මේ සියල්ල කළ හැක්කේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. 

ක්‍රියාවක් ඇරඹෙන්නේ චිත්තයකිනි. එබැවින් නිදහස්, සාධාරණ, යහපත් ක්‍රියාකාරී සමාජයක් වෙත යන්නට නම් අප පළමුව ඇති කළ යුත්තේ ඒ පිළිබද යහපත් චින්තනයක් නොවේද? 

විශේෂයෙන් බාල පරම්පරාව වෙත යහපත් සිතිවිලි සදහා ආදර්ශ සැපයිය යුත්තේ කව්ද? එබදු ආදර්ශ තබා තමන්ගේ ක්‍රියාවෙන් බාලයා යමක් උගනිතියි සිතන වැඩිහිටි පිරිස කොපමණ වේද? තමන්ගේ නිදහස ගැන සිතනවා විනා දරුවෙකුට ආදර්ශයක් පිණිස ක්‍රියා කරන්නට සිතන්නේ ‍කුමන වැඩිහිටියාද? වැඩිහිටියා නොහිතන ඒ කරුණ කෙදිනක හෝ පුද්ගලිකවත් සාමුහිකවත් ඔහුට විදවන්නට සිදුවේවි. 

ඒ නිසා හිතන්න නිදහසේ පරිණතියක් ගැන. ඔබේ දෙස බලා හිදින ඊලඟ පරම්පරාවේ බාලයා දෙස, ඔහු අනුගමනය කරන්නේ ඔබව නම්.. ඔබ අනුගමනය කරන්නේ කව්ද? කුමන ප්‍රතිපදාවක්ද? නිදහසේ පරිණතිය ඒ ඔස්සේය.

Thursday, January 31, 2013

එක හිත

හිතට නොයෙක් දේ හිතෙනවා. සමහර දේ හීන ලෝකෙට ගැලපෙනවා. සමහර දේ සැබෑ ලෝකෙට ගැලපෙනවා. ඒත් ඔය හීනයත් සැබෑවත් ගැලපෙන සමහර අවකාශයන් තියෙනවා. ඒත් ශක්තිමත් නැති හිත එතනදි ඔද්දල් වෙනවා.

එක හිත කියන්නේ හිත එකක් කියා හිතන නිසාද? සිතිවිලි උපදින හිත එක අරමුණකට ගැනීමේ අදහසින්ද? හලෝව් රස්ටා ඉන්නේ දෙවැනි කතාවේ. 

සුවබර හීන දුක්බර හීන එළිවෙන කොට මිනිස්සු වෙව්ලා යනවා. සමහර විට අඩනවා, සමහර විට වැළපෙනවා. ජය ඝෝෂා කරනවා, ඔල්වරසන් දෙනවා. ඒක සාමාන්‍ය ප්‍රකාශනයක්. සරලයි, ස්වභාවිකයි. 

ඒත් සමබර වෙන්න නම් ඊලඟ මොහොතේ අපිට ආපහු අපේ හිත එක තැනකට ගන්න වෙනවා. සමහරුන්ට ඒකට කාලයක් යනවා. තවත් කෙනෙක් එතරම් කල් ගන්නේ නෑ. ප්‍රශ්නය කාලය නොවෙයි. කව්රුත් එය කළ යුතු වීමයි. කෙනෙකුට හිත එක අරමුණකට ගේන්න බැරිනම් ඒ කියන්නෙ හිත රස්තියාදුවේ. හිතිවිලි දො‍රේ ගලා යනවා. විවිධ නිර්මාණ කරුවන්, හිතන්නෝ, කවියෝ, අදින්නෝ, රඟන්නෝ මේ ඕනෑම කෙනෙක් වෙන්න පුලුවන්. නැත්නම් සපුරාම වෙනස් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔහුගේ හෝ ඇයගේ ශක්තිය නියම ලෙස භාවිත කරන්නට නම් එය එක ධාරාවකට ගතහැකි විය යුතුමයි. මන්ද නොහිතා වැඩ සිද්ධ වෙනවා මිස නොහිතා වැඩ කරන්නට අපිට හැකියාවක් නැති නිසා. ඒ කියන්නෙ ක්‍රියාවක් වෙන හැම දෙයක්ම උපදින්නේ හිතෙන්. එහෙනම් හිතිවිල්ල ශක්තියක්. 

ඒක එක අරමුණක් ඔස්සේ මුදා හැරියම බලන්න පුළුවන් කෙනෙකුගේ ශක්තියත්. ඒ එක හිත ශක්තිමත් නම් ඒ ශක්තිය යෙදෙන්නේ කුමකටද කියන එකත් හිතන්නම වෙනවා. නූතනයේ කට වහගෙන ශක්තිය රැක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා වගේම ඒ ශක්තිය භාවිත කරන්නත් නිවැරදි ක්‍රමයක් තෝරා ගත යුතුයි. එය ඵලදායී වැඩදායී එකක් විය යුතුයි. නැත්නම් එයත් අටුව කඩල පුටුව හැදුව වැඩේට දෙවැනි වෙන එකක් නැහැ.

ඒ නිසා පළමුව හදාගන්න එක හිතක්. ඒ කිව්වෙ රස්තියාදු ගහන හිත ශුද්ධ රස්තියාදුවකින් එක තැනකට ගෙන්න ගන්න කියන එකයි. එතකොට එක හිත නිතරම දෙතැනක නවතින එකක් නැහැ.

ප්‍රතික්‍රියාව ගැන හිතුවොත්..

ප්‍රතික්‍රියාව ගැන තේරුම් ගන්න භෞතික විද්‍යාව දැන ගන්නම උවමනා නැහැ. වට පිටාව අපි වැඩ කරන යන්ත්‍ර සූත්‍ර විතරක් නොවෙයි, අපේ ශරීරය ගැන හිතුවමත් වචනාර්ථය ගැන දැන ගෙනම පමණක් වුනත් ප්‍රතික්‍රියාවේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඉතිං එතකොට තේරෙනවා ප්‍රතික්‍රියාව පටන් ගන්නෙ ක්‍රියාවෙන් කියන එක. එතකොට ක්‍රියාව ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා. දහමෙ හේතුවයි ඵලයයි හරහා යන්නේ මේ කතාවේ ලොකු ගැඹුරකට. පනින්න පෙර හිතා බලන්න කියල කියමනක් තියෙන්නෙත් ක්‍රියාවට කලින් ප්‍රතික්‍රියාව ගැන හිතන්න කියලනේ. 

නමුත් අපි පුරුදු වෙලා තියෙන්නෙ ප්‍රතික්‍රියාවට වඩා අපේ ක්‍රියාව ගැන හිතන්න. සමාජයේ මෙපමණකටම ආරවුල් , වාද භේද ඒ නිසාම නොවෙයිද?

ප්‍රතික්‍රියාව ගැන හිතන්න සමහරු දන්නෙ නෑ. ඒ මේ වගෙයි. ඉටිපන්දම් දැල්ලකට කටින් හයියෙන් පිම්බොත් දැල්ල නිවෙනවා. ලිපකට හයියෙන් පිඹලා ගිනි අවුලනවා. ක්‍රියාව සමානයි. ප්‍රතික්‍රියාව වෙනස්. ඒ ඇයි? ප්‍රතික්‍රියාවට බලපාන්නේ ක්‍රියාව පමණක් නොවෙයි. හේතුන් එකක් නොව කීපයක් තිබිය හැකි බව එවිට තේරෙනවා.  හේතු ඵල  කියන දහමේ ගැඹුර එතැනින්ම ඇරඹෙනවා. අපි දන්නා, සොයාගත්, විග්‍රහ කොට ගත් දේ පදනම් කරගෙන කතාකරන විද්‍යාවේ ක්‍රියාව ප්‍රතික්‍රියාවට වඩා දහමේ සංයුක්ත දැක්ම ගැඹුරුයි. විද්‍යාවෙන් වියුක්ත දේ සංයුක්ත කරන ප්‍රබලත්වය නව දැනුම සමග සංශෝධනය වද්දී දහමේ සංයුක්ත දැක්මේ ගැඹුර තවත් පැහැදිලි වෙනවා. 

ඒ නිසා ප්‍රතික්‍රියාව ගැන ගැඹුරෙන් හිතන්න වෙනවා. සරලයි, ජීවිතය. ඒත් ගැඹුරක් හොයා ගන්න තියෙනවා.  ඒ ගැඹුර හොයාගන්න තරමට ජීවිතය තවත් සරල වෙනවා. කවදාහරි ඒ ගැඹුරට පනින්න වෙන්නෙ පතුල ගැන හොදට දැනගෙන. පනින්න පෙර හිතා බලන්න කීවෙත් ඒ නිසානේ. 

සමහරු ප්‍රතික්‍රියාව ගැන නොහිතා නොදන්නා ගැඹුරට පනිනවා. හැබැයි ඒ පිම්මෙන් සිද්ධවෙන්නෙ තමන්ගෙ විනාශය විතරක් නම් ජීවිතය අවදාමේ දැමීම හිස් වැඩක්. ඒත් පනින්න පෙර හිතුවෙ නැත්නම් ඒ ටික තේරුම් ගන්න කෙනෙක් තවදුරටත් ඉතිරි නෑ.

ඒයයි වැදගත්කම හිතුවොත් ප්‍රතික්‍රියාව ගැන,

ඒ නිසා පනින්නට පෙර හිතා බලන්න පුරුදු වුනොත් සමහර පිමි නොපැනම ඉන්න පුළුවන් වෙයි. ඒකෙන් හතර හංදි නොකඩාගෙන ජීවත් වෙන්න පුළුවන් වෙයි.

අනේ කාලේ..

කාලය සහ අවකාශය දිහා සාමාන්‍යය භෞතිකවාදී විග්‍රහයට එහා හිතකින් හිතුවොත්, කාලය හා අවකාශය කියන්නේ අවස්ථාවක්. 

මිනිස්සුන්ට විවිධ අවස්ථාවන් ලැබෙනවා. ඒ අවස්ථාවන්, කාලයන් ගතවෙන ආකාරය අනුව විවිධ ප්‍රතිඵලත් දෙවනුව උදාවෙනවා.

කෙනෙක් යම් කිසි කාලයකදී ජනප්‍රිය වෙනවා, තවත් කෙනෙක් රජ වෙනවා, තවත් කෙනෙක් පොර වෙනවා, තවත් අය දුක් වෙනවා, තවත් අය ලෙඩ වෙනවා, තවත් අය වැළපෙනවා... මේ ආදී ව‍ශයෙන් තවත් බොහෝ දේ හොදට නරකට සිදු වෙනවා.

කොහොම වුනත්, ආයෙත් කාලය උදාවෙනවා. ජනප්‍රිය වුන අයගෙ ජනප්‍රිය කම අඩුවෙනවා. රජ වුන සමහරු බලු වෙනවා. පොර වුන අයට කොර වෙනවා. දුක් වුන අය සතුටු වෙද්දි ලෙඩ වුන අයට හොද වෙනවා. ඒ අතරෙ වැළෙපමින් හිටි අයට හිනා වෙන්න ඉඩ කඩ හැදෙනවා.

ජීවිතේ හරිම සරලයි. හැමදාම වෙන්නෙ එකම දේ, වෙන වෙන විදිවලින්. අතීතයෙත්, වර්තමානයෙත්, අනාගතයෙත් වෙනසක් නෑ. 

ඒත් වෙනස් විදි වලින් එන දේවල් ඇතුළෙ තියන එකම දේ හදුනා ගන්න බැරි කමින් ගොඩක් දෙනා වෙහෙස වෙලා. පීඩාවට පත්වෙලා. සමහරු මිහිපිට සදාකාලික සැප හොයනවා ඒ නිසා. ඒත් ‍එහෙම දෙයක් කාටවත් හමුවෙලා නෑ. මිහිපිට සදාකාලික සැපක් නැත්නම් සදාකාලික දුකකුත් නෑ. එහෙම දුකක් නැත්නම් වෙනත් සදාකාලික දේවල් තියෙන්න පුළුවන්ද? ‍

හැබැයි, අපි හිතන පතන විදිහ අනුව සමහර දේවල් අපි විසින් සදාකාලික කරගන්නවා. ඒත් යථාර්තයේ කිසිම දෙයක් සදාකාලික නෑ. 

ඒක ජීවිතේ රිද්මය නම්, සමබර හිතකින් හැම විට ජීවිතය දැකීම නොවෙද හොදම දේ. ඒ නිසා ඇත්ත ඇති හැටියට දකින්න. තේරුම් කරගන්න. එතකොට කවදාවත් අනේ කාලේ කියල වනේ වාසයට යන්න ඕන වෙන එකක් නැහැ...

Saturday, January 26, 2013

අර්නෝලිස් සර්ගේ ගුරු උපදේශය

මගෙන් නම අහලා ලස්සන නමක් යැයි කියූ දෙවන ගුරුතුමා අර්නෝලිස් සර්. එතුමා අපිට පරණ පරම්පරාවේ ගුරු පියෙක්. අපේ දහම් ගුරුවරයා.

ඒ දිනවල අපේ පන්තිවලට ශිෂ්‍ය නායකයින් තෝරා පත්කරගන්නා අවදියක්. මං ඒක දැන ගත්තේ අපේ පන්ති භාර ගුරුතුමා 'අන්න ශිෂ්‍ය නායකයො බදවා ගන්නවා. මොකද බලන් ඉන්නෙ' කියල කිව්වම. 

ඉතින් එතුමගේ කතාව නිසාම මමත් ඉල්ලුම් පතක් ඇරගෙන ඕක පුරවගෙන අර්නෝලිස් සර් ගාවට ගියේ ඒකේ ගුරු නිර්දේශයන් පුරවා ගන්න.

එතුමා මට සුහදව කතා කරලා මෙහෙම කිව්වා.

' මට ඕක අත්සන් කරන්න පුළුවන්. ඒත් මට හිතෙනවා ඔයා තව ටික කාළයක් ඔහොම හිටියොත් හොදයි කියලා.'

ලජ්ජාවක් එක්ක වුනත් මං ඒ අදහස පිළිගත්තා. ඇත්ත, අන්න නියම ගුරු උපදේශ. 

තනතුරු කියන දේ සුදුසුකමට ලැබෙනවා මිස ඉල්ලලා ගන්න ඕන දේවලුත් නොවෙයි. මට එහෙම උවමනාවක් තිබුනෙත් නෑ. පන්ති භාර ගුරුතුමාගේ පෙළඹවීමෙන් මාව ඇවිස්සුනත් අර්නෝලිස් සර් මාව නිවුවා. 

ගුරු තුමා කියන්නේ එහෙම කෙනෙක්. ඒත් දැන්.. දැන්.. ඇහෙන්නේ..පලයන් .. ඉල්ලපන්..

බණ කියන්න සුදුසු ගුරුවරු පහළ වේවා..  මේ පෝදා ප්‍රාර්ථනය අනාගතය යහපත් වන්නටයි.

ක්ලාස් 'C'

මිනිස්සුන්ගෙ ‍විශිෂ්ඨත්වය තියෙන්නෙ තමන්ගෙ කුල ගෝත්‍රයට එහායින් තමන් කටයුතු කරන විදිහ අනුවයි කියල දහමෙත් කියනව.

කාළයක් අපේ පාසලේ අපේ පන්ති බෙදුවා, කොටස් හතරකට. ඉගෙන ගන්න දක්වන දක්ෂතාවය, කුසලතාවය අනුව වර්ග කරනව කියලයි කිව්වෙ. ඒත්, කොපිකරල පන්තියේ ඉස්සරහට එන අපේ අය ඉද්දී එක හරිම විහිළුවක් බව මට දැනුන. 

අපිට වැඩිය පස්සෙන් හිටපු යාළුවොත් දෙමව්පියො සතුටු කරන්න කොපි කරල හරි ඉස්සරහට යන්න හිතල තිබුන. ඒ දවස්වලත් තරඟයත් ඒ තරම්මයි. ඉතින් සමහරු කොපි කලේ දෙතුන් දෙනා කණ්ඩායම් ගත වෙලා. 

ඉතින් ඔය සැලසුම් කරුවොත්, ඇත්තටම පොත පතට දක්ෂ අයත් යන සියල්ලටම පළමු පන්තියට ටිකට් 'ඒ'. එතැනින් පස්සෙ දක්ෂයි කියන අයට 'බී' එතකොට තුන්වෙනි පන්තිය 'සී' එතනින් එහාට නොසළකන මට්ටමේ තවත් පන්තියක් තිබුනා ඒක ‍‍'ඩී'. 

කොහොම හරි කොපි කරන්නත් තර‍‍ඟයට ඉගෙන ගන්නත් උනන්දුවක් නොතිබුනු මමත් 'සී' ‍එකේ. ඇත්තෙන්ම ක්ලාස් 'සී' එකේ මං හිටියෙ ඉස්කෝලයට ඇතුළු වූ දා සිටම. ඒකත් හරි පුදුමයක්.

කාළය ගතවුනා. හය වසරෙදි ඇරඹුනු මේ බෙදීම හත අට නවය වෙන තුරුත් සංශෝධයන් එක්ක ගලාගෙන ගියා. තවත් අවුරුදු කීපයකට පස්සෙ සා‍.පෙළ විභාගයට අපි වාඩිවුනා. 

අපේ පන්තියේදී නිතරම ඉදිරියෙන් හිටපු මම සා‍.පෙළ ප්‍රතිඵල එනවිට 'ඒ' මට්ටමේ ඉදිරිපෙළ අයගෙ ප්‍රතිඵල හා සම මට්ටමෙන් හා විටෙක ඉදිරියෙනුත් සිටියා. ඒක වුනේ කොහොමද?

මෝඩ වර්ගීකරණයක් වූ ඒ වර්ගීකරනයෙන් ඇත්තටම මැන තිබුනෙ දක්ෂතා වල එක් අංශයක් පමණයි. දෙවැන්න සැබෑවටම දක්ෂයින් හංගන්න බෑ. තෙවැන්න පන්තියේදී කලබලකාර කරදර කාර කියා හැදින්වූ අය වෙනම පන්තිවලට ගොනු කිරීමෙන් ඇතිවන්නේ මොන දියුණුවක්ද?  කරදරකාරයින්ගේ පන්ති බිහිවෙනවා.. ඒ පන්තියට යන්න ගුරුවරුත් අකමැති වෙනවා.  ඇත්තෙන්ම අපේ පන්තියටත් වඩා 'ඩී' පන්තියට ඒ තත්වය උදාවී තිබුනා.

 ඒත් තර්ඩ් ක්ලාස් ‍එකේ ඉදන් විශිෂ්ඨයෙක් වෙන්න මට පුළුවන් වුනා. කොපි නොකිරීමත්, අනුන්ගේ තරඟවලට ඉගෙන ගන්න නොගිහින් මගේ උවමනාවට ඉගෙනීම මගේ පිහිටට හිටියා.

මේක ලීවේ මගේ සා‍.පෙළ ප්‍රතිඵල කියාදෙන්න නොවෙයි. තවමත් මේ ව‍ගේ මෝඩ වර්ගීකරණ පාසල්වල සිදුවනවා ද යන හැඟීම නිසා. මගේ මිත්‍රයා වූ අංගුලිමාලත් මා සමඟ ක්ලාස් 'සී' වල හිටියේ විශිෂ්ඨ විදිහට ශිෂ්‍යත්වය සමත් වෙලා අපේ පාසල ආ කෙනෙක් හැටියටයි. 

බහු විධ බුද්ධියක් ගැනත් කියන අතරෙ මේ වගේ විහිළු වැඩ නිසා අපේ අවදියේ පන්ති අතර ඇති කර තිබූ අසමානාත්ම තාවය අදත් මගේ හිතට දනවන්නේ සියුම් කණගාටුවක්. අපිට ඒ කණගාටුව දැනෙන්නේ අවංක කමත් එක්ක. එතකොට 'ඩී' පන්තියේ හිටි අයට ඒක කොච්චර දැනුනද? කවුරුත් ඒ ගැන හිතුවද? අපිත් එක්ක එකට හිටි යා‍ළුවෝ ගුරුවරුන්ගෙ මෝඩ වර්ගීකරණයෙන් එක එක බුද්ධිමය පන්ති වලට දාන එක මොන තරම් විහිළුවක්ද?  මේ වර්ගීකරණයට අහුවුනේ අපේ අවුරුද්දෙ අය විතරයි. ඊට කලින් අවුරුද්දෙත් පස්සේ අවුරුද්දෙත් මේ මෝඩකම තිබුනෙ නෑ. ඒ ගැන නම් සතුටු වෙන්න පුළුවන්.

ඒ ක්ලාස් සී වල චණ්ඩි බණ්ඩි මිත්‍රයින් අදටත් මගේ මත‍කයේ ඉන්නව. ඒ කාලෙ නරකම පන්තිය හැටියට නම්වී තිබුණෙ අපේ පන්තිය. එහි නරකම ශිෂ්‍යන් විදිහට හංවඩු ගැහූ අංගුලිමාල මගේ මිත්‍රයෙක් වුනා.

ක්ලාස් 'සී' නිසා මම සමාජය පහසුවෙන් තේරුම් ගත්තා. සීමා මායිම් එහෙ මෙහෙ වුනත් සමාජයේ ක්ලාස් 'සී' එකේ තත්වෙත් මේ ‍ටිකම නෙවෙයිද?

අද වෙනකොට මට හිතෙන්නෙ එහෙමයි.

සර්පයා ගේ පැළැන්තිය

මම උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූයේ එකම පාසලක.

මේ උසස් පෙළ අවදිය - පාසලට අලුතෙන් ළමුන් බදවාගන්න කාළය.

පරණ ළමයි රැග් කියල අලුතෙන් එන ළමයින්ව ටිකක් මඩවනවා.

පරණ කෙනෙක් වුනු මම ඔය අතරෙ අලුත් ළමයි එක්ක සුහදව කතා බහ කළේ කොල්ලන්ගෙ රැග් එක මගේ සිත් නොගත් නිසා. මේ‍ක පිරිමි පාසලක් නිසා කොල්ලන්ගෙ රැග් එකත් අමු විකාර රූපී එකක්වයි තිබුනේ.

ඔය විදිහට අලුත් අය පරණ වෙන ගාණට මාස කීපයක් ගත වෙද්දි අලුතෙන්ම ආපු කෙනෙක් මගෙන් අහනවා. 

"ඔයා මෙහෙට අලුතෙන්ද ආවෙ"  කියල.

රැග් සමඟ සහසම්බන්ධයක් නොතිබූ එකේ ප්‍රතිඵලයද මේ? මං ටිකක් කල්පනා කළා. නිකං ඇහුව විතරයිනේ. මම එයාට ශුද්ධ සිතින් පැහැදිලි කළා මං ජේෂ්ඨයෙක්ද නැද්ද කියල.

නමුත් ඒ සිද්ධියෙන් මං තේරුම් ගත්ත ජීවිතේට ඉතා වැදගත් දෙයක්. සර්පයාගේ පැළැන්තිය පෙන්නන්න නම් එක සරයක් හරි පෙනේ පුප්පන්න ඕන කියන එක, හැමෝටම පේන්න. අර දරමිටියට බදින්න ගත්තෙත් සිල්ගත්ත නයයි කියනවනේ. ඇත්ත, 

අකැමැති වුනත් සමහර දේවල් තියනව කරන්න වෙනව. තත්වය රැකගන්නම නොවෙයි. රැකෙන්න. හැබැයි,  පෙනේ පුප්පනව කියන්නෙ එකක්, දෂ්ට කරනව කියන්නෙ තව එකක් කියන එකත් එතනදි සිහියට ගන්නම වෙනව.