Wednesday, May 15, 2019

නොකියන් මුසාවාදා (අලුත් කතාව)-3-කොටස

දෙමාපියන් හොඳින් හැදූ දරුවන් නම් බොහෝකොට හොඳ දරුවෝය. සුදු, කලු හෝ වෙෙවර්ණයෙන් සැරසී මුහුණු වසා හෝ නොවසා නිර්ලජ්ජිතව ජඩකම් කරන්නෝ නොවේ. වගකීමෙන් පලා යන්නෝද නොවේ. ඒ එසේ පළායාම නිර්භීත කම නොව නිවට කම බව ඔවුන් දන්නා නිසාය. අනිත් අතට දෙමාපියන්ගේ හොඳ රැකවරණයක් නොලැබුණ හේතුවෙන්ම වගකීම යනු කවරක්දැයි හඳුනා එහි වටිනාකමට අරුතක් දෙන දුක ජයගත් පුරවැසි දරුවෝද වෙති. නමුත් ඒ රටෙන් කොතරම් නම් ප්‍රමාණයක්ද?
සාමාන්‍ය සමාජය පසෙක තිබේවා, ඔවුන්ගේ නියෝජනය පවතින ව්‍යවස්ථාදායක සභාවේ කී දෙනෙක් නම් වගකීම යනු කුමක්දැයි දන්නේද? වගකීම තබා සිහිනුවණින් කතාවක්, අදහස් ප්‍රකාශ කරන්නට සමත් කී දෙනෙකු ඒතැන ඇද්ද? ඒ පමණක් නොවේ ප්‍රාදේශිය, පළාත් පාලන ආයතන වල දේශපාලනය යනු ගමේ පිල් මාරුවකින් එහා දෙයක්ද? නැත. ඉන් එහා ගමේ වැඩ වෙන්නේ ගමෙන් බාගයකටය. සුදුසුකමට වඩා කටින්, බලයෙන් පැවැත්ම රඳවා ගන්නට සමතුන්ට පමණද මෙරටේ දේශපාලනය? අපේ වටපිටාවේ ඉන්නා ශක්තිය බුද්ධිය ඇති මිනිසුන් අපේ නියෝජිතයන් බවට පත් කරගන්නට අපට ඇති බාධා කවරේද?
සිහිබුද්ධිය ඇති නමුත් දේශපාලන දැක්ම අනුව විවිධ මත දරණ මිනිසුන්ගේ මහා භේදය මේ අතරින් ප්‍රධානය. කුඩා කුඩා කණ්ඩායම් වශයෙන් බෙදුන තරමටම ඒ මිනිසුන්ගේ බලයද හීන වී ඇත. එනමුත් පසුගිය කාලයේ මේ පිරිස් තමන්ගේ භේද පසෙකලා පොදු අරමුණු වෙනුවෙන් එක්වී ඇත්තේ වරක් දෙවරක් ද නොවේ. එහිදී ලද ප්‍රතිඵල සහ ඒ අනුව පෙනෙන්නේ අපේ මිනිසුන්ගේ පිරිහීමද, දේශපාලනයේ පිරිහීමද, ඒ දෙකම ඇතුළු සමාජ දේහයේ අධ්‍යාත්මික බිඳ වැටුමද? ගැඹුරින් හිතන්නටත් දෙයක් ඇත. ඒ පිළිතුර සංකීර්ණ විය හැකිය. නමුත් එය මෙසේ සරලව දැක්වීමට ද හැකිය. තරඟකාරී අතිධාවනකාරී ජීවිත සහ කාලාන්තරයක් තිස්සේ මජර ක්‍රමයකින් මුදලට බලයට සියල්ල නතුකළ සමාජයක පතුළේ ඇති සත්‍ය බොහෝ විට මතුපිටට පෙනෙන්නේ නැත. එතරමට මෙහි දිය බොරය. දූෂිතය. කැළතුණු විට සත්‍ය උඩට මතුව ආවත් ඇසිල්ලකින් යළි නොපෙනී යන්නේ එබඳු විටෙක නන්දොඩවන මිනිසුන්ට සත්‍ය හසුකර ගැනීම පිළිබඳ වූ හසරක් නැති කමිනි. එතැනදී කෙනෙක් ඇතැම්විට අන්න අන්න කියා මතුවන සත්‍ය පෙන්නුවද ඇසිල්ලකින් සැඟව ගන්නා සත්‍ය නොදකින පිරිස් ඒ ඇඟිල්ල දෙස බලා ඔහුටද දොස් නගත්.  අද සිදුවන්නේ කුමක්ද? එයමයි. සිහිය පෑදුණු මිනිසුන් සිහිය එළවා ගන්නට හදන විට දිය බොර කරන්නේය. වතුරට ගල් ගසන ඔය මිනිසුන් පිටුපස තිබෙන්නේ සැබෑ ත්‍රස්තවාදී අන්තවාදී විරෝධයක්ද? ජාතික ආලයක්ද? දේශප්‍රේමයක්ද? නැත්නම් ද්වේශ ප්‍රේමයක්ද? හැමදාම හෙළය කෙලෙසුවේ නිර්ලජ්ජිත හෙළුවැලි කෙළතොලු දේශපාලනයයි. එහි අතකොළුයි. ජන මාධ්‍යට මූණ ඔබා මේ මොහොත හෙට තමන්ගේ දේශපාලන මාර්ගය කරගන්නට හදන්නෝ ආලය කරන්නේ රටටද, ජනතාවටද, බලයේ වරප්‍රසාදවලටද, ඒ ආත්මාර්ථකාමීන් සියල්ලෝ පැරදවිය යුත්තේ අප විසිනි. සබ්බ සකල මනාව වෙනස් කරන බවට මුසා දෙසූවන් දෙස බලා අපට උගන්නට ඇති එක් කාරණයක් නම්, පළමුව සිදුකළ යුත්තේ මේ පාදඩ දේශපාලනය ජන බලයෙන් සපුරා වෙනස් කිරීම නොව යම් පමණකට හැරවීම බවයි. වම දකුණ පසෙක තබා සුදුසු ආනතියකින් සුදුසු දිශාවකට හැරවිය යුතු බවයි.
ඒ හැරවීම පිණිස සුදුසු නියෝජිතයන් අපි හදමු. ඒ හැදීම නොවී ඇති නිසා නොවෙද හැමදා අපි එකම තැන. නීතිය, යුක්තිය, සාධාරණය දන්නා, තමා ගැන හොඳ විශ්වාසයක් ඇති, තමන්ටත් සමාජයටත් වගකියනා මිනිසුන් අපි මතුකොට ගනිමු. අවශ්‍යව ඇත්තේ ඒ සමාජ වටිනාකම් රටේ සැබෑ වටිනාකම බවට පත් කිරීමයි. රට හැදෙන්නේ එබඳු සැලසුමකින්, හැරවුමකින් පමණම යි.
-ඉතිරිය පසුවට-

No comments: