Tuesday, May 14, 2019

නොකියන් මුසාවාදා (පරණ කතාව)-3-කොටස

තුන්කල් අනවර්ථයෙන් අනර්ථයෙන් හා අධර්මයෙන් අනුශාසනා කරන පිරිසක් හිඳීම අප ලද භාග්‍යයක්. වසර දහයකට පහළොවකට වතාවක් අපිට එහි ඵල භුක්ති විඳින්ට ලැබෙනවා. මේකත් ඒ වගේ කාලයක්. ඇඳිරි නිතීය කියන්නෙ ඒ කාලෙට ආණ්ඩුවෙන් ජනතාවට ලැබෙන බෝනස් එකක්.  ඒක තේරුම් ගත්ත ඒ පිළිබඳව බොහෝ සෙයින් සතුටුවන ජනතාවක් සිටීම රටේ වාසනාවක්. මේ දිනවල උද්ගත වී ඇති උත්කර්ශය ඔවුන් උපරිමයෙන් භුක්ති විඳින්නේ රටේ පිරිසකට පහර දෙමින්. දේපළ හානි කරමින්. ඒක තමයි නිදහස කියන්නේ.  මේ රටේ අවජාතික ආලය සමරන අවජාතක ක්‍රමය ඕක තමයි. අපි ඉස්කෝලේ ගිය කාලය, ආගමට දැක්වූ ආලය වාගේම කුණුහරුප සාක්ෂරතාවයේ වටිනාකමත් මෙහිදී කැපී පෙනෙනවා. අද වන විට මහබැංකු වාර්තා අනුවත් පුවත්පත් හා ජන මාධ්‍ය වාර්තා අනුවත් පුරාණයේ ලෙසම තව දුරටත් අප සීඝ්රයෙන් සංවර්ධනය වන රටවල් අතර අමු හෙළුවෙන්ම ඉන්නවා. සංචාරක කර්මාන්තය ගත්තම මේ දවස්වල බලන්න දෙයක් නෑ, එච්චරට තත්වය හොඳයි. පාසල් වල කරන්න දෙයක් නෑ. එදා ඉඳන් අපේ අධ්‍යාපනේ කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ. හැම වෙලාවෙම ආණ්ඩු හිතුවෙ දරුවො ගැන. කන බොන දේ ඉඳල නොදුන් දෙයක් නෑ පාසල් වලට අධ්‍යාපනයේ සැබෑම අර්ථය හැරෙන්න. අනාගතයේ රටේ දරුපරපුර ගැන හිතා තම දරුවන්ට පිටරට ජීවිතය දායාද කොට දෙන්නට පවා අපේ නායකයන් කටයුතු කොට ඇති හැටි. ගෙලේ මාලා පළඳවා බුහුමන් දිය යුතුයි දේශය පාලනය කරපු අයට සහ ඒ ටියුෂන් දුන්නු ඈයින්ට . දැනටමත් ඒක හොඳටම සිද්ධවෙනවා අපි බලු හුරතලයට සළකන නිසා. ඒ හුරතලය කොච්චරද කීවොත් මතකය නැති වෙන තරමට හුරතලේට ඉන්න පින්වතුන් මෙහේ ඉන්නවා. රට මරු තැනකට ඇදදමා ජනයාට හිතේ හැටියට ජීවිත්වීමේ අවධානමට ඉඩ හදා දෙන්නේ පින්වත් දේශපාලකයින්. පිනට කැමති අපට කියන්නට තිබෙන්නේ තමන් කරගන්නා ඒ කරුමයන් පන්න පන්නා ජාති ජාතිත් උනුන් වෙත ඵල්ල වෙනවා කියායි. මේ දියුණුව රටකට ලේසියෙන් ලබාගන්නට නම් බෑ.
-ඉතිරිය ඉදිරියට-

No comments: