Friday, March 9, 2018

සරලවම, ... (අවබෝධයෙන් යමු)

පුළුල් අර්ථයෙන් හැබෑ විද්‍යාව යනු සියල්ල පිළිබඳ සත්‍යය විග්‍රහයයි. ඒ අර්ථයෙන්ම මිථ්‍යාව යනු විවිධ ධාරාවන් ඔස්සේ පැමිණි විශ්වාසයන් ගොනුවකි. පරිපූර්ණ වශයෙන් විද්‍යාව හා මිථ්‍යාව බෙදා දැක්විය හැකි භෞතික බෙදුම් රේඛාවක් නැති හෙයින්ම වඩා තාර්කිකව විද්‍යාව හා මිථ්‍යාව අතර ගැටුම කවදත් ලෝකයේ පවතීවි. අපි විශ්වාස කළාට මිථ්‍යාව ඵල දරන්නේවත් අවිශ්වාස කළ පමණින් විද්‍යාව යටපත් වෙන්නේත් නැහැ. සිදුවන්නේ නිවැරදි අවබෝධය ලබන තාක් අපි වාසි අවාසි මත විටෙක විද්‍යාවටත් විටෙක මිථ්‍යාවටත් ආවැඩීම පමණයි. නමුත් ලොව පවතින සත්‍ය ඔබටත් මටත් දෙකක් නොව එකක්මයි.
ජීවිත වල වටිනාකමක් ගැඹුරක් අරුතක් නොදකින තරමට අපි ආ වඩන්නේ අපිට කැමති මිථ්‍යාවට යි. ඒ ආස්වාදයට ඇති ලොලීත්වය රැකෙන්නට නම් අපි ඊට අදාළ විද්‍යාවේ ආලෝකය මතුවන්නට ඉඩ නොදිය යුතුයි. නමුත්  විද්‍යාව අවබෝධකොට ගත්තෝ විසඳුමකට මිස ගැටුමට නොයන බැවින් ගැටෙන්නේ ප්‍රතිවිරුද්ධ මිථ්‍යා භක්තිකයෝය. අපේ අන්ධ විශ්වාසයන්ගේ ගැටුම එතැනය. එබැවින් අතිමහත් විනාශයන් ලොවට ගෙනාවේ බුද්ධියෙන් අරගල කළ විද්‍යාව හා මිථ්‍යාව අතර ගැටුම් නොව ප්‍රතිවිරුද්ධ මිථ්‍යාවන් අතර ගැටුම්ය. විවිධ සංස්කෘතික වෙනස්කම් වලට හේතු වුණු ඇදහිලි විශ්වාස ගැටුමට හේතු වන්නේ අපේ මිථ්‍යාව වඩා උසස් යයි කියාපාන්නට යෑමෙනි. තමන්ගේ විශ්වාසය වඩා සත්‍යයැයි ඒත්තු ගන්වන්නට යෑමෙනි.
විද්‍යව අමතන්නේ අවබෝධටයි. මිථ්‍යාව අමතන්නේ හැඟීමටම පමණයි. එබැවින් හැබෑ විද්‍යා අවබෝධය විසඳුම් වෙත පාර කපද්දී මිථ්‍යාව හැඟීම ඔස්සේ විශ්වාසයට පමණක් පාර කපයි. අවසන තවත් විශ්වාසයක් හා ගැටුමට යන්නේ විද්‍යා අවබෝධයෙන් තොර එවැනි අන්ධ විශ්වාසයෙන් යුතු අන්තගාමීයාය.
කුමන විශ්වාසය මත සිටියත් අන්තගාමී, අන්තවාදීන් සියල්ලෝ එකම මිථ්‍යා දෘෂ්ටික පිරිසකි. ඇත්ත වශයෙන්ම ඔවුන් විද්‍යාවකින් පුනරුත්ථාපනය කළ යුතු මනුස්ස කොට්ඨාශයක් බැව් සංවේදීව අප කල්පනා කළ යුතුය. සාමාන්‍යය සමාජයේදී සිරයේ හෝ ඔවුන්ගේ විශ්වාසය ලෙස නිරයේ හෝ මේ පුනරුත්ථාපනයද සිදුවෙනු ඇත්තේමය, මන්ද විද්‍යාත්මක සත්‍ය නම් ක්‍රියාවකට සමාන එහෙත් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක්ද පවතින බවය.

No comments: