වියුක්තව කරුණු කාරණා අරගෙන එක එක ප්‍රශ්න විසදන්න හදන ගොඩක් අයට නොපෙනෙන දේ අන්තර් සබදතාව. පාර්ලිමේන්තුවේ අකුරු දෙකෙන් තුනෙන් වට්ටක්කා ගැන කියන බමුණන් ඇතුළු සියල්ලෝ කැකිල්ලේ ක්‍රමයටම පාසල් ළමයින්ගේ ප්‍රචණ්ඩත්වයටත් අනිවාර්ය වගකිව යුතුයි. රටේ වගකිවයුතු තැන් විහිළු සහගත වෙන විට ඒ වගකීම් යටතේ පවතින විවිධ වූ ආයතන තුළ හැසිරීම් ටොකු ඇනලා පාලනය කරන්න බැරිවෙනවා. අර ටැලන්ට් තරගයක දුටු අනුකාරකයන්ගෙන් දේශපාලන චරිත කොතරම් උපහාසයට වගේම සියුම් අපහාසයකටත් ලක්වූවාද, ඒ උපහාසය තරුණ මනසට එන්නේ නිකම් නොවේ. විනය කියන කරුණ අපේ සමාජය තුළ කොපමණ තක්සේරුවක් තියන කාරණයක්ද? ඔය කාරණයෙදි සමාජයෙ විනය බරපතළව බිදවැටුණු සංක්‍රාන්ති සමයකයි ගතවුණේ අපේ පාසල් අවදිය. විසිවෙනි ශතවර්ෂයේ අගත් විසි එක්වන ශත්වර්ෂයේ මුලත් කියන කාල වකවානු දෙකම තුළ අපි පාසල් වල හිටියා, විනය ප්‍රශ්න විවිධාකාරයෙන් මතුවුනා. රටේ දේශපාලනයේ බරපතළම ළාමක තත්වයන් මතුවුනෙත් ඒ අවදියේ යැයි සිතෙනවා. ඒ දවස්වල අපේ නගරයෙත් වීරවංශ කටහඩ ඇහුණා. උගුර බැරැණ්ඩි වුණු හඩින් එදා ජේ වී පී දේශපාලන වේදිකාවේ ප්රචාරක ලේකම්ගෙන් නැගුණු හඩ තවම සිහිපත් කළ හැකියි. ඒ විතරක් නොවෙයි, බොහෝ දේශපාලකයන්ගෙ අසීමාන්තික පිමි වගේම සෝම හිමියන්ගෙන් ඇරඹුණු බොදුණු ප්‍රබෝධයත් එක්ක සමාජයෙ මතවාද පාසලටත් දැනුනා. භික්ෂුන්ගේ දේශපාලන ආගමනය අපි දැක්කා. යුද්ධයක් වගේම විරාමයක්, දේශපාලන ගිවිසුම් වගේම සාකච්ඡා, වීර විදහන වගේ සංවිධාන, ශාරුක් ලංකාවට ඇවිත් ප්‍රසංග වල බෝම්බ පිපිරීම, ආපහු යුද්දෙ විතරක් නොවෙයි නිමාවත් අපි දැක්කා. කාලයක් යුධ විරෝධය වගේම ජයගැනුමෙන් පස්සෙ යුධකාමී සටන්කාමී ප්‍රවේගයත් අපි දැක්කා. කවුරුත් කල්පනා කළාද මේ දේවල් පාසල් මනසට ගියෙ කොහොමද කියල. නිදහස වගේම අධ්‍යාපනයත් නිදහස් කරල දුන්න විතරක්ද? කුඹුරු කොටපු වගා කරපු සංස්කෘතියක තිබුණු පාසල් ඉංග්‍රිසියෙන් සිංහලේට හැරුන විතරක්ද? හැත්තෑව අසූව කාලෙ පාසල කොහොමද? අද විශ්ව විද්‍යාල සිසුවගෙ වටිනාකම කොතැනද? කොටින්ම එතැනින් එහා මෙහා ගොඩක් ගොඩක් කතා එක්ක සමාජයෙ වෙනස්වීම් පාසල තුළටත් ගොඩක් දේවල් ගෙනැවිත් නැතිද? සුපර්ස්ටාර් සංස්කෘතිය විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ බුෆේ ගිලීමත් පාසලට එන්න තරම් ජනමාධ්‍ය දියුණුව සීමාවෙන් එහා. ගුරු බලය ප්‍රබලතාවෙන් කොතරම් සිසුවාගේ යහගුණයට බලපෑම් සහගතද? ළමයා කියන්නෙ පොඩි වැඩිහිටියෙක් නොවේ යැයි කීවත් නූතන සමාජයේ ඒ වෙනස හරිම පුංචියි. ස්ටාර් වල සිට ළමයින් ගැටවරයන්, නව යෞවනයන් වෙත සියලුම උත්තේජකයන් දීලා ඔලුව අතගාලා සිල් ගත්ත විදිහට ඉන්න කීවත් අහාවිද? පාලනය යාමනය උවමනා තැනදි කනට දෙකක් දෙන්න තරම් ශක්තිමත් සමාජයක් වැඩිහිටියන්ට තිබෙනවද? නීතිය අනුව හදාගන්න කියා කාටවත් අත උස්සන්න කාටවත් බැහැ, ඒකට නීතියම එන්න ඕන. තේරුම් ගත යුතු කාරණය බලයන් සහිත බලවත් උදවිය හා ඔවුන්ගේ දූ දරු වන්, හිතවතුන්, බත් බැලයන් ආදීන්ගේ උවනමා මත පරම්පරා විසින් කාලයක් නඩත්තු කෙරුණ අසංස්කෘතික විනයක් ඇති රටක් බව මෙය. ඒ අනුකාරක සමාජයේ බහුතර මහ කකුළුවන්ගෙන් කිකිළි පැටවුන් පැතිය හැකිද? වගකීම වගකීමක් නැති සමාජයම මිස කවරෙක්ද? හැබෑ වෙනසකට නම් නිවැරදි පදනමක් තිබිය යුතුමය, සොයාගත යුතුමය. නමුත් සෙවිය යුත්තන් සොයන්නේ ඒවාද? අඩුම තරමේ මම මගේ අඩුපාඩු හදාගන්නටවත් කටයුතු කළ යුතුමය. එවිට මම මගේ අවම යුතුකමවත් සමාජීය සත්වයෙකු ලෙස සපුරා ඇත. හුදු සංකල්පීය පොෂ් බවකින් මහපොළොවේ පස සරුවන්නේ නැත.
No comments:
Post a Comment