Tuesday, October 7, 2014
Monday, October 6, 2014
අද හරි අපූරු දවසක් ;)
මේ වගේ එකෙක් නොවෙයි, පුංචි පෙත්තෙක් අද අපේ ගෙදර ආවේය.
මේ අයුරෙන්ම පියඹා අවුත් අපි කීපදෙනෙකුගේ හිස මතින් උරහිසට බැස්සේය.
රජයෙන් නිවාඩු බවට පත්කළ දිනයකි අද. උදෑසණ ළිද අසල හිදිද්දී මගේ හිස පසෙකින් තටු ගසන හඩක් ඇසී මම කලබල වූයෙමි. පෙත්තෙක් මා හිස අසළින් පියඹා නිවසෙහි අනෙක් පසට ගියේය. තවත් මොහොතකින් මා දුටුවේ නිවසේ අනෙක් පසින් පියඹා ආ පෙත්තප්පු මගේ කාමරයේ ජනේලයේ වසා සිටින බවකි. අම්මා උෟ අසලට ගිය විට උෟ ඇගේ හිසට ආවේය. අත පෑ විට අතට ආවේය. අද උදෑසණ සිට පැය කීපයක්ම - තවමත් ඌ අප නිවසේය. හිසෙන් උරහිසට බසිමින් අතට ආ ගිරා පෝතකයා උගේ හඩින් මිස අපේ හඩින් නම් කතා කළේ නම් නැත. කොහේදෝ සිට පැමිණියත් ඌ මිනිස් වාසයක සිට පැමිණ ඇති බව පැහැදිලිය. නැතිනම් මෙලෙසින් මිනිසුන්ට කිට්ටු වන්නේ නැත. තවමත් නිවසින් එළියට යන්නට ඌට උවමනාවක් නැති සැටියකි. ඒ මේ අත යමින් දෙන දෙය කමින් තවමත් ඌ නිවසේය. හෙට තබා අද රැයටවත් අප නිවසේ ඌ රැදේවිදැයි තවමත් කිව නොහැකිය. නමුත් බල්ලන්, බළලුන් නැති අප නිවසේ ඌට එතරම් හානියක් ද නැත. කෙසේ නමුත් කුඩා කළ ලියූ මගේ සුරතලා ගේ රචනාව සිහි කෙරෙන තරමට ඌ මගේ හිසිනුත් කීප වාරයක්ම උරහිසට බැස්සේය. නිවසේ තැනින් තැනට අපේ කරින් ගියේය. සුළු මොහොතකට පෙර මා පරිගණකය හසුරවද්දී ඌ උරහිස මත නිදි කිරුවේය. ඉතිං මේ පුංචි හිතවත්කමින් දැනෙන්නේ හරි අපූරුවකි. හරි අපූරු දවසකි අද මට සිතෙන්නේ එහෙයිනි.
බලමු හවසට ගිරා පෝතක මිතුරාගේ ඉතිරි රග :)
Monday, September 29, 2014
ලෝකෙට වඩා ලොකු රටක්!
ලෝකෙන් උතුම් රට ලංකාවයැයි අප ඇසූවේ කුඩා කලදීමය. මිනුම් නැතිවම අපි එකල දී ඒ මතය ගත්තෙමු. ලොකුවට නොදනිතත් දන්නා මිනුම් තුළද අදද මා නම් මගේ රට ලෝකෙන් උතුම් රටක් යැයි සිතමි. තැනෙක විචාරයක් වූවාට එය සිංහලෙන් ම වන්නේත් මගේ රට මට උතුම් නිසාය. කැඩිච්චි දෙමළෙන් හෝ ඉංගිරිසියෙන්වත් මා නම් රට හෙළා දකින්නට කැමති නැත. කියන දෙයක් අපේ බහුතරයාට තේරෙන සිංහලෙනි. ඒ ලෝකෙන් උතුම් රට අපේ රට යැයි සිතන නිසාමය. මා පමණක් නොව තවත් අපට වඩා මිනුම් කිරුම් දන්නා උදවියද එසේ සිතන බවට අමුතු සාක්කි උවමනා නැත. අප බහුතරයා එසේ කියන්නේ භෞතික මිනුමට වඩා හිතේ මිනුම අපට ලොකු නිසාය. තවත් රටවල ජනයාද ඔවුන්ගේ රටවල් ගැන එසේ කියත්.. අපට වටින්නේ අප රටය. එනිසා මේ රට ලෝකෙට වඩා ලොකුවට අපට හැගෙන්නේ ලෝක සිතියම් දැක නැති නිසා නොවේ. රට ගැන හිතෙන ලොකු සංකල්පයේ හැටි එහෙමය.
(පුංචි වුවත්, ලොකු වුවත් අහල පහළ ගෙවල් වලට වඩා අපට ලොකු අපේ ගෙදරය. මොන පහසුකම් නැතත් අපට අපේ ගම ලොකුය. ඊළගට අප අයත් නගරය අපට ලොකුම නගරයකි. අපේ පළාත වටිනාම පළාතය අවසානයට රට.. එතැනින් එයාට ලෝකයම එකම යායකි, අපට දැනෙන්නේ...)
ඉතින් ලෝකෙට වඩා ලොකුවට රට ගැන අපට දැනෙනවානම් ලෝකෙට වඩා ලොකුවට අපේ දෙයක් හදා ගන්නට අප තවමත් අපොහොසත් ඇයි?
සාමාන්‍යයෙන් අපේ රටේ අය මෙසේ කියති.
අර ක්‍රියාවට නම් හපනා ජපනාය.
අර දේත් මේ දේත් ඉදිකට්ටත් හදන්නේ චීනාය.
මහලොකුම ඉන්දියානුවාත් උන්ගේ රියෙන් ලොකුම සභාවටත් යන්නේ ආඩම්බරයෙනි.
ඔයටික ඇතිය. ආසියා කරයේ අපි නිතර කියන්නේ ඔය නම්ය. වරදක් නැත. ඒවා අපට වඩා ලොකු නම් මෙන්ම ලොකු කම් ද ඇති රටවල්ය. නමුත් අපි තවමත් අපි ගැන උදාන වාක්‍යක් හදාගන්නට සූදානමක් නැත. තිස් අවුරුද්දකට දිග ඇදුනු යුද්ධයේ සාපයෙන් කාලයක් ප්‍රචලිත වූ අප අද ඒ යුද්ධයේ නිමාවටත් දේශපාලන ලකුණු දමා ගෙන හමාරය. දැන් ඒ යුද්ධයේ එක් පිළක් නිසා රටට ලැබුනු එකක් සේ අර්ථ දැක්වෙද්දී අපේ රටට උදාන වාක්‍ය තැනීම දේශපාලන පිල් හා මහජනයා ගේ පිල් හරහා තවත් කල් යන්නේය. ආශ්චර්යයක් කරා යන ගමනකට කැපවීම ඉහළ සිටම විශම භාග බොරුවක් බව සාමාන්‍ය ජනයා වන අපට නම් පෙනෙන්නේ වටපිටාවේ සමාජයේ දෙපයින් රස්තියාදු වන්නන් නිසාය. ඒ සදහා ගැඹුරට යන චින්තනයකට සැබෑ කැපවීමකින් නිලය බලය ඇති ලොක්කන් පය තබා ඇතිද? ලොක්කෝ ඒ ගැන තමන්ගේ නොවන දුවා දරුවන්ගේ නෙත් දෙස බලාගෙන පපුවට ගසාගෙන කල්පනා කර බලත්වා!
තවමත් අපි අපේ රටපුර පෝෂණය කරන්නේ ඇහින්වත් නොදුටු පෙරදිග ධාන්‍යාගාර හා අපේ පිහිටීමත් සමග බැදි ඉන්දියන් සයුරේ මුතු ඇටය සංකල්පයෙනි. නමුත් දැන් දැන් සාහිත්‍යමය සංකල්පනාවට කැමති නැති පරපුරට ඒ ආකල්පය පමණක් දීම හුදකලාවට අත වැනීමකි. මොකක්දෝ චිත්‍රපටයක දුටු පරිදි බුරුමය ලෝකෙන් ලොකු රටක් ලෙස පෙන්වීමට ලෝක සිතියමේ බුරුමය ලොකුවට ඇන්දා සේ වර්තමානයේ අපේ රට සිතියමේ ලොකුවට ඇදීමෙන්ද ඵලක් නොවනු ඇත. එක්කෝ ආශ්චර්යයේ උදාන වාක්‍යයට සැබෑ අර්ථයක් දීමට ලොක්කන් බොක්කෙන්ම කැපවිය යුතුය. නැත්නම් අපේ උදාන වාක්‍ය ජනයා විසින් හෙළිදරව් කර පාලකයා වෙත එන්නත් කළ යුතුය. ඒ එන්නත් කටුව ඡන්දයකටම ලඝු කර ගන්නට උවමනාද නැත. එතැනින් මෙහා ගේ ඇතුළේ දරුවන්ගේ චින්තනය තුළට ඔබ රට ගැන දෙන උදාන වාක්‍ය හදන්න.. ඉන් තොරව කිසිවකින් ඵලක් නොවනු ඇත. රටට හෙන ගැහුවත් උඹ උඹේ ලෝකය තනා ගනින් කියා සිතන්නට පුරුදු කළොත් දරුවා දිනෙක සිය රට උගස් තබා හෝ ලෝකය අනුභවයට ගන්නට සැරසේවි. අවසානයේ ලෝකයේ ආහාරයක් වේවි. හිතන්න උදාන වාක්‍ය අපි කැමති පරිදි හෝ ගෙයින් ගේ , දොරින් දොර පටන් ගනිමු.
කවදා හරි අපි ලෝකය ඉස්සරහින් යමු. ලෝකය අපි පස්සෙන් ඒවි.. හැබැයි ඒ හොදන් හරි නරකින් හරි නොවෙයි. හොදින් විතරමයි, ජයවේවා.. අපට ජයවේවා රටට :)
Friday, September 26, 2014
නවකතා, කෙටිකතා හා අපේ කතා..
පාසලේ පන්තියේ ඩෙස්කුව අස්සේ පොත් ඔබාගෙන කියවූ කාලයක් අපට තිබිණි. විශේෂයෙන් මට තිබිණි. පන්තියේ වෙන පාඩමක් ඉගැන්වෙන අතර නවකතාවක් හෝ කෙටිකතා සංග්‍රහයක් හෝ වෙනත් සිත්ගන්නා සුළු පොතක් ඩෙස්කුව යට තබාගෙන කියවීම නිවැරදි ක්‍රියාවක් නොවේ. එය විශේෂයෙන් පන්තියේ ඒ මොහොතේ උගන්වන ගුරුවරයාට කරන නිගරුවකි. කෙසේ නමුත් අධිවේගී කියවීමේ හුරුවක් තිබූ මට බස්රථයේ මෙන්ම පාරේ පවා කියවීමේ පුරුද්දක් තිබුනේ එතරම් හොද විදිහකට නම් නොවේ. ඇබ්බැහියකට අනුවයි. ඒ ඇබ්බැහිය අවුරුදු දහයේ දොළහේ සිට පහළව දාසය වෙනකම් තදින්ම තිබුණි. පොතක් අතට ගත් විට එය කියවා නිම කරන තෙක් ඉස්පාසුවක් නොවීය. අපේ ඇබ්බැහිය නිසාම පොත් කියවීම සදහා රුචිවූ මිතුරු පිරිසක්ද එවකට පන්තියේ සිටියා මතකය. පොත් පත් හුවමාරු වුනා මෙන්ම මිලදී ගැනීමටත් අලුත් පොත් ගැන සොයා බැලීමට මිතුරන් සමග හෝ තනිවම පොත් සාප්පු වල කරක් ගැහීමේ පුරුද්දක්ද තිබුනි. නවමු කතා ලිවීම ඇරඹුන හැටිද ඒ කතා කියවීමට දෙතුන් දෙනෙකුගේ පිරිසක් සිටි බවද තවදුරටත් මතකය. එහෙත් ඒ කතන්දර කීමට ගියොත් කතාව වඩාත් දිග්ගැස්සෙන බැවින් ඒ කතා නවතා මේ කතාව කියන්නට අර අදිමි.
එනම් අපි නවකතා තුළින් ජීවිතය කියවූ හැටිය. කෙටිකතා තුළින් මිනිස් මනස දුටු හැටිය. යොවුන් කතා තුළ වීරත්වයත් ළමා කතා තුළින් සුන්දරත්වයත් දුටු බවය. චරිත කතා මෙන්ම පරිවර්තනත් එලෙසින්ම අනුවර්තනත් අපේ ජීවිත වලට අපූර්වත්වයක් ගෙන ආවේය. සැබවින්ම පොත් අපට ගෙන දුන් මිහිර සහ තෘප්තිය කියා නිම කළ නොහැකි තරම්ය. පොත් අපේ මිතුරන් විය. ඒවා අපේ කුහුල් සිතට විවිධ සංකල්පනා ගෙන ආවේය. විවිධ චරිත ගෙන ආවේය. විවිධ චරිත සමාජයේ දකින්නට පෙර අප කියවූයේ පොත් තුළිනි. දුටුයේ නවකතා, කෙටිකතා තුළ එළිදුටු සමාජවලිනි. ඇත්තෙන්ම කලකට පසු ඒ චරිත අපේ කතා තුළ අද අපි දකින්නෙමු. ඒ ගනුදෙනු නවකතා කෙටිකතා බවට පත් කළ හැකි වුවත් නොකළා වුවත් ජීවිතය එතුළ කියවෙන්නේය. එපරිදි ජීවිත ගතවන්නේය, ගලා යන්නේය. නිර්මාණ යනු හුදු සංකල්පනා ලෝකයක් නොව භාවිත ලෝකයේම පිළිබිඹුවක් බව අපි එවිට වටහා ගත්තෙමු. ඒ වටහා ගැනීමට තරම් වත් ඉඩ කඩක් අපට ඉතිරි කළේ පොතපතේ අතීත මෙහෙවරයි. අතීත මෙහෙවරයැයි කීවේ අද එහි ස්වරූපය තරමක් වෙනස් වී අැති බව හැගෙන නිසාය. එය කාලයේ තාලයදැයි අපි නොදන්නෙමු.
විෂය නිර්දේශයට පොත පත කියවන්නෝත් රසවිදීමට වඩා පාඩම් කරන්නෝත් අද අපට බොහෝ සේ මුණ ගැසෙති. නවකතා, කෙටිකතා කියවීමට වඩා පාඩම් කිරීම අපට නම් අමුතුම අද්දැකීමකි. ඒ පාඩම් කරන්නේ විභාග වලට උත්තර ලිවීමටය. එය තවත් අපූරු නාටකයකි. කියවීමට පත පොත නොමැති කමද, වේලාව නොමැති කමද, වෙනත් සන්නිවේදන මාර්ග නිසා පොත පතේ සන්නිවේදනය දුර්වල වී අැති දැයි අප නොදන්නෙමු. නමුත් මෙහේ සාමාන්‍ය ජනයා අතර සාමාන්‍ය වෙසින් හිදින අපට නම් ඒ අඩුව හොදින් දැනෙන්නේය. කොළඹින් බැහැර පළාත් වල දුවා දරුවන් කවදත් මෙහිදී අසරණය. හොද පුස්තකාලයක් මෙන්ම හොද අවස්ථාත් ඔවුන්ට සුලභව තවමත් ලැබෙන්නේ නැත. කියවන්නට කියනවා විනා නිරවුල් පැහැදිලි රසවින්දනයට අවස්ථා ඔවුන්ට හිගය. ගමෙන් බිහිවන අංකුර ලේඛක දරුවන් එතැනම වැළලී යන්නේ ලේඛකයා කියා රස්සාවකට මෙහි ඉඩක් නොහැදෙන නිසාමය. ඔවුන් බැරි විෂයන් වල රස්තියාදුවන්නේ එනිසාය. එකකට හැකියාවක් අැතිව වෙනකක් කරන්නේ එනිසාය.
උපාධිය එකකින් ලබා කාලයක් තිස්සේම වෙනතක නිෂ්ප්රයෝජන රස්සා කරන මෙහි උදවිය කරබාගෙන ඒවා කරන්නේ පඩිය පමණක් සළකාම නොවෙද? ඔවුන්ගේ දරුවන්වත් තමන්ගේ තැනටම දක්කන්නට ඔවුන් සුදානම්ද? එක එකා ගොඩයන්නට හිතන අපේ චින්තනයෙන් මෙයට නම් පිළියම් සොයාගත නොහැකිය. අපි කෙටිකතා වල දුටු, නවකතා වල කියවූවාටත් වඩා හොදින් තවම රටේ එබදු කෙරුම් නම් එයාකාරමය. ඉතින් ලේඛකයෝ පමණක් නොව කොයි ක්ෂේත්රයේ වුවත් නිර්මාණ කරුවන් බිහි කරන්නට තවමත් මෙහි පසුබිමක් නැත. ඇත්තේ කා යටතේ හරි රස්සා කරන්නවුන් පමණක් බිහි කිරීමේ පසුබිමකි.
අද නැතත් හෙට මේ වැරදි ගමන අප නිවැරදි කර ගත යුතුව ඇත. නිවැරදි දිශාවන් ඔස්සේ විවිධ ක්ෂේත්‍ර වල නිර්මාණකරුවන් බිහිවන්නට පසුබිමක් රටෙහි හැදිය යුතුව ඇත. තමන්ගේ බසින් තමන්ගේ මගින් තමන්ගේ ක්‍රමයට ලොව දිනන වෙනත් ජාතීන් මෙලොව සිටිත් නම් අපේ භාෂාවෙන් අපේ නිර්මාණ මතින් අපේ විද්‍යාවකින් ලෝකය ජය ගන්නා මාර්ගයක් අපට ඇත්තේ නැද්ද? අපේ කතාව නිර්මාණය විය යුත්තේ ඒ මගකින් නොවේද? බුද්ධියත් විශ්වාසයත් නොව අපට තවමත් මද පසු නොබසින වීර්යයෙන් ඉලක්කය වෙත යන්නට පැහැදිලි ගමන් මගකුයි. එ් ගමන් මග දිගු වන්නටත් පිළිවන. කටුක වන්නටත් පිළිවන. එහෙත් පැහැදිලිව දිගටම ඒ මගේ නිවැරදිව යන්නේ නම් දිනෙක අපටද ජය නියත වනු ඇත.
ඉලක්කය අපේ පූර්ණ බවයි. නිවැරදි සංවර්ධනයයි. රට ගොඩනැගීමයි.
ප්රශ්නය, කොහේද ඒ ඉලක්ක වෙත යන පැහැදිලි ගමන් මගක්, කරුණාකර එය නිරවුල්ව අපට පෙන්වන්න.
අපේ අලුත්ම කතා ලියවෙන්නට ඕනෑ ඒ ඔස්සේය. කෙටිකතා, නවකතා මෙන්ම නවමු කතා ඒ ඔස්සේ ලියවෙන්නට ඕනෑය. මත්තේ ඒ මත්තේ අනාගතයක් නිමවෙන්නට ඕනෑ නම් පවතින්න ගැන විචාරාත්මක සංකල්පනා කලඑලි බැසිය යුතුමය.
අතීතයේ අපි කියවූ චරිත අනාගතයට වලංගු භාවයක් සහිතව බිහිවන්නට උවමනාය. එසේනම් අලුත් චරිත බිහිවිය යුතුය. නිවැරදි මගක අලුත් චරිත බිහි කරන්නට නිර්මාණය කරන්නට අපි සමත් විය යුතුය. අපේ ක්රමයේ අපේ චරිත සමාජයේ රජ කරන්නට නම් අපි ගැන අපට හැගීමක් තිබිය යුතුය, ලැබිය යුතුය. අපේ වටිනාකම් අනන්‍යතා අපි වටහා ගත යුතුය. අනාගතයට වලංගු අතීතයක් අැති චරිත අවසන අපේ කතා තුළ අපි බිහිකළ යුතුව ඇත.
විවිධ චරිත අලුත් සමාජයට නිවැරදි ලෙස විවර කළ යුතු කාලයයි මේ. එය ලේඛනයෙන්, දේශනයෙන් හෝ රංගනයෙන් වන්නට පිළිවන. කොටින්ම නවකතා, කෙටිකතා තුළ ඇති අපේ කතා නිවැරදි ඇසකින් සමාජය වෙත සජීවීකරණය විය යුතු කාලය නොවෙද මේ.
Sunday, September 21, 2014
අනුන්ගේ ප්‍රශ්න, මගේ ප්‍රශ්න හා අපේ ප්‍රශ්න.
'එය ඔබේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නොවේ' - සමහර අවස්ථාවල අපි භාවිත කරන යෙදුමකි. ඇත්තටම මතුපිටින් නම් එය සම්පූර්ණ සත්‍යයකි. මගේ ප්රශ්නය මගේය. ඔබේ ප්රශ්නය ඔබේය. එබැවින් එකිනෙක නොබැදෙන විට ඔබේ ප්රශ්නය මට ප්‍රශ්නයක් නොවන්නා සේම මගේ ප්රශ්නය ඔබටද ප්‍රශ්නයක් විය නොහැකිය. ඉතිං අප එකිනෙකාගේ ප්‍රශ්න වෙත ඇගිලි ගැසිය යුතුද නොවේ. එය තවත් ආකාරයකින් ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වයයි. අපේ පුද්ගලභාවයයි.
නමුත් හැම ප්‍රශ්නයක් ගැනම එසේ වනවාද? එහෙනම් අපේ ප්‍රශ්න කියන්නේ මොනවාද? ඉන් කියවෙන්නේ ඔබටත් මටත් දෙදෙනාටම බලපාන පොදු ප්‍රශ්නත් තිබෙන බව නොවේද? සමහර විට එබදු තැනකදීත් එය ඔබේ ප්‍රශ්නයක් පමණක් ලෙස මට දැනෙන්නේ නම්, මගේ ප්‍රශ්නයක් ලෙස පමණක් ඔබට දැනෙන්නේ නම්.. අපි යන එකතුව තව දුරටත් රදා පවතිද්ද? නැත. එවිට සිටින්නේ් ඔබත් මමත් යන දෙදෙනෙක් ම පමණි. එය තවත් ප්‍රශ්නයක් විය හැකිය.
එකක් දෙකක් තුනක් , සීමාවක් නැත. විවිධාකාරයේ ප්රශ්නය.
අරයාගේ මෙයාගේ කීවත් සමස්ථ වශයෙන් විමසූ විට ලොව තුළ ඇත්තේ එකම ආකාරයේ ප්‍රශ්න නොවන්නේද? දුක මුල් කොට ගත් ප්‍රශ්න, සැප මුල් කොට ගත් ප්‍රශ්න, කීර්තිය මුල් කොට ගත් ප්‍රශ්න, අපකීර්තිය මුල් කොට ගත් ප්‍රශ්න, ලාබ මුල් කොට ගත් ප්‍රශ්න, අලාබ මුල් කොට ගත් ප්‍රශ්න, නින්දා මුල් කොට ගත් ප්‍රශ්න, ප්‍රශංසා මුල් කොට ගත් ප්‍රශ්න... කැරකෙන අෂ්ට ලෝක ධර්මය. සියලු ප්‍රශ්න ඔය අට ලෝ දම් මූලයන් මත නොරැදෙනවා යැයි කිව හැකිද? නොහැකිය. කියනවා නම් ප්‍රශ්නයක මූලය සොයා ගැනීමට අපට ඇති නොහැකියාව මිස අන් කවරක්ද?
එනයින් බැලූ විට මගේ ප්‍රශ්නයත් ඔබේ ප්‍රශ්නයත් එතැනින් එහා අනුන්ගේ යැයි කියන ප්‍රථම පුරුෂ දෘෂ්ටියෙන් දකින ප්‍රශ්නත් සියල්ල එකම මූලයන්ගෙන් නැගෙන ඒවාය. එසේ කියා අනෙකාගේ ප්රශ්නය තමන්ගේ කරගන්නට කවුරුන් හෝ ඉදිරිපත් වන්නට උවමනා නැත. නමුත් කවදා හෝ අපි අපේ කියා මගේ කියා මුහුණ දෙන ප්‍රශ්නයත් දිනෙක අනුන්ගේ ප්‍රශ්නයක් වූ එකක් බව පමණක් මතකයේ රදවා ගැනීම බුද්ධිගෝචරය. එය තවත් බොහෝ දේ ගැන ගැඹුරු වැටහීමක් ලබා ගැනීමට දිනෙක ඔබට උපකාරී වනු ඇත.
පහත ප්‍රශ්න - සමහරෙකුට ප්‍රශ්න වූ නිසා අපට වාසි වූ ඒවාය. ඒ විග්රහයන්ගෙන් සමහරෙකුට සතුට නැත්නම් සැපය මෙන්ම කෙනෙකුට අසතුට නැත්නම් දුක ඇතිවිය හැකියි. එය මගේ ප්‍රශ්නයක් නොව ඔබේ ප්රශ්නයකි. මට මොකද, අනුන්ගේ ප්‍රශ්න :)
ඔලුවට ඇපල් ගෙඩියක් වැටීම ප්‍රශ්නයක්ද? තිත්බටු ගෙඩියකට වඩා ඇපල් ගොඩිය විශාල බැවින් හිසට වැටුනු විට රිදීමක් දැනේ. රීදීම දුක ඇතිකරයි. ගෙඩිය බිමටම වැටුනේ ඇයි දැයි හිතෙයි. එය ඔලුවට වැටුනේ බිමටම වැටුනු හෙයිනි.
දිය පිරුනු නාන බේසමට බැස්ස පසු බේසමෙන් පිටට ජලය උතුරා යාම ප්‍රශ්නයක්ද? ජලය ප්‍රමාණාත්මකව මෙන්ම ස්ථානීයවද අැති කරන ගැටළු විවිධාකාරය. වැඩිවූ විට මෙන්ම හිග වූ විටද සැප මෙන්ම දුකද ඇතිවේ. නාන බේසමට දිය පිරවිය යුත්තේ එකක්මද? භාගයක්ද යන්න හිතා බැලීමට සිදුවෙයි. කටටම පුරවා එය තුළට බැස්ස විට බේසම උතුරා ජලය ගලන නිසාය ඒ.
ජීවිතය ප්‍රශ්නයක්ද? ඇතිවන ප්‍රශ්න නිසාම ප්‍රශ්නයක් වේ. විසදුම් නැති විට බරපතළ ප්රශ්නයක්වේ. අටලෝ දහමම මෙතැනය.
මරණය ප්‍රශ්නයක්ද? අමර වෙන්නට හිතුණු විට, එසේ වන්නට නොහැකි හෙයින්ම ප්‍රශ්නයක් වේ. මරණයට බිය දැනෙන විටද, කල් දා ගැනීමට නොහැකි තැන විටෙක ඇතිවන ප්‍රශ්න නිසාමද ප්‍රශ්නයක් වේ. වැඩියෙන්ම දුකය.
තවත් ප්‍රශ්න මෙලෙසින් විග්රහ කර බලන්න. ඔබට කාලය, විවේකය තිබෙනවාද යන්න මට නම් ප්‍රශ්නයක් නොවේ:)
Thursday, September 18, 2014
ජීවිතයේ මානය හා ලයිෆ් එකේ මිනුම?
හැමදේටම මිම්මක් තිබෙනවාට අප කැමතිය. ගාණට මිම්මට එක එක දේවල් ගැන කතා කරන්නටත් පාරම්බාන්නටත් එවිට අපට හැකිය. නවය පන්තියට වඩා එකොළහේදී අප ලොකුවට හිතන්නට පෙළඹෙන්නේ සමහර දේවල් වැඩියෙන් මනින්නට අප දන්නවා කියා හිතාය. උසස් පෙළට ආ පසු හිතන්නේ සා පෙළ දී නම් අපි මැට්ටන් ගානට සිතූ බවකි. එහි අදහස උසස් පෙළදී දැන උගෙන ගන්නා මිනුම් වඩාත් වැඩිහිටි සමාජ පරිමාණයේ ඒවායි හිතෙන නිසාය. අනික එතැනින් එහා පාසලේ පන්තිත් නැත. එබැවින් ලොක්කන් අපය.
හැබැයි මේ සියල්ල ඉගෙන තවත් ඉහළටත් ඔය ලෙසින්ම වසරින් වසර ගොස් තවත් වසර ගාණකට පසු බැලුවාමත් වැඩි දෙනෙකුට හිතෙන්නේ අපි දන්නා මැනුම් ප්‍රමාණවත් නොවන බවකි. උගත් දෙයින් මිනුම් හදා ගන්නා බොහෝදෙනා සිටියත් බොහෝ දෙනා ඒ මිනුම් වලින් සෑහීමකට පත් වන ලෙස මැන ගැනීමට නොහැකිවත් සිටිති. ඉතින් ගාණට මිම්මට එක එක දේ ගැන මිනුම් දෙන්නට බැරි වුනාම හිතට එන්නේ අසම්පූර්ණ හැගීමක්ය.
සමහරු නම් හරි හතැරැස් දේත් රවුම් මිනුමටම හිර කර දමති. තවත් අය රවුම් දේත් හතරැස් මිනුමේ දමති. සමහරු අටපට්ටම් මිනුම් ද භාවිත කරති. එතැනදී අෂ්ඨ ලෝක ධර්මයක් ගැනත් සිහිපත් කරති.
කොහොම වුනත් අවසන මානය නොදැන මිනුම ගැනීමට යාමෙන් බොහෝ දෙනා අසරණ වන බව නම් සහතිකය. ඒ සහතික බොහෝ තැන්වලින් බොහෝ දේවලින් දකින්නට, පෙනෙන්නට ඇත.
චරිත තුළින්, භූමිකා තුළින් ලයිෆ් එක මනින්නට කලින් ජීවිතයේ මානය සොයා ලයිෆ් එකේ මිනුම ගන්නට හිතුවොත් ...
කල්පනා කර බලන්න අපට වැරදුනු තැන් හොයාගන්න, හදාගන්න.. චරිතය හැදේවි, භූමිකා ලැබේවි. ඔබේ ප්රේහේළිකාව? එවිට විසදේවි.
Wednesday, September 17, 2014
ඇතුළත් පිටත් අතර ගමන දොරටුවකිනි.
දිනක් තරමක දුර බැහැර වෙසෙන අප සගයෙකුගේ නිවසට යම් කාරණයක් සදහා ගිය අපට ඒ මොහොතේම අපූරු රාජකාරියක් පැවරුණි. රාජකාරියක් කීවාට එය ඇත්තටම පුංචි උදව්වකි. ඒ උදව්ව නම් අලුතෙන්ම සාදවා ගෙනවිත් තිබූ අල්මාරියක් නිවස තුළට ඇතුළු කිරීමයි. බඩු ප්‍රවාහනය සදහා පැමිණි කීප දෙනෙකු සිටියත් ප්‍රධානම ගැටළුව වී තිබුණේ නිවසේ දොරෙන් අල්මාරිය ඇතුළු කිරීමයි. සගයාගේ හා පවුලේ අයගේ වාසනාවට නගරාසන්න නිවසක් වූ එහි දොර අල්මාරියේ පළලට වඩා අගල් බාගයකින් වැඩිවිය. එබැවින් නිවසේ දොර ගැලවීමේ උවමනාවක් ඇති නොවිණි. දශමයෙන් අල්මාරිය නිවස තුළට රිංගවන්නට හැකිවිය.
නිවසකට දොරවල් තිබෙන්නේ අපට එන්නට යන්නට පමණක්ද? නැත. ජනෙල් තිබෙන්නේ ආලෝකය ලබා ගන්නට පමණක්ද? නැත. ධර්මයේ අසා ඇති පරිදි අප ශරීරයේත් දොරවල් නවයකි. අප විසින් ඒවා ඉච්ඡානුගව මෙන්ම අනිච්ඡානුගවත් භාවිතයට ගැනෙන්නේ එකම කාර්යයන් සදහාද? මූලික වශයෙන් අතිශය සමාන වුවත් ද්විතියික වශයෙන් සමහර දොරක කාර්ය සමාන වන්නේ නැත. එනම් එහි අදහස විවිධ දොරටුවලින් අප ගන්නා ඵලයන් එකක් ම වන්නේ නැති බවය.
දොර මුල්ලක හැංගී හැංගිමුත්තන්ද කළ හැකි බව හැබෑය. අල්මාරි දමන්නට නොහැකිව උළුඅස්ස පිටින්ම දොරපියන ගලවා ආපහු දොර සවිකරන්නන් සිටින බව ද සැබෑය. එහෙයින්ම දොරක් දැමීමට පෙර කල්පනා කළ යුතු දෑ එකක් නොවන බව පැහැදිලිය. දැම්මොත් දැම්මා මිස වරින් වර පියන මිස ගෙඩිය පිටින් දොර ගැලවීමට යාම නුවණක්කාර දෙයක් වන්නේ නැත. එහෙයින් මෝඩයෙක් නොවන්නට නම් ගෙදරට හරියටම හරියන සේ දොර මඩලම දමා ගත යුතුය.
ඇත්ත වශයෙන්ම ගත් කළ මුදල් නැත්තෝ කෙසේ වෙතත් ඇත්තෝ නම් දොරවල් උවමනාවටත් වඩා පළල් කර ගෙදර කීප අතකින්ම දමා ගනිති. මුදල් නැත්තෝද පියන දොරටම අල්ලන්නට නොහැකි නම් හේත්තු කරන්නට හෝ දොරක් නම් හදා ගනිති.
අපේ ශරීරයේ දොරටු නවයක් ගැන කතාකළත් බුද්ධියේත් හදවතේත් දොරටු ගැනනම් ගොඩක් දෙනා වෙහෙසනවාදැයි අපට ඇත්තේ සැකයකි. ඔලුවට දමාගන්නා දේත් හදවතට දමාගන්නා දේත් ආපසු ඔලුවෙන් බැර කරන දේත් හදවතින් බැර කරන දේත් අතරද දොරවල් පිළිබද ප්‍රශ්නයක් නැතැයි අපට කියන්නේ කොහොමද?
තෙල් වැඩිවූ විට නහරයක් හිරවේය, කැටියක් හිරවූ විට කපාටයක රුධිර සැපයුමක් අවහිර වේය යන්නට වඩා වැඩි දෙයකි, බුද්ධියට හා හදවතට තනා ගන්නා මනසේ දොරටු. ඒවා අරින්නට බැරිද, වහන්නට බැරිද, සීල් වැටිලාද, අගුලු කැඩිලාද.. ඒ ගැන අපගේ උනන්දුව ශරීරය ගැන දක්වන උනන්දුව සේම වැදගත් බවට ටීකා ටිප්පණි වලින් වැඩි දුරටත් කිව යුතුද? නැත.
සියල්ල එක දොරකින් ගන්නට හැකිද සිතන්නා සේම. ඇතුළට ගන්නේ කුමක්ද යන්නත් එළියට දමන්නේ කුමක්ද යන්නත් අවබෝධයකින් කළ යුතු නොවෙද. අධ්‍යාපනය වේවා, කලාව වේවා, දේශපාලනයක් වේවා, වෙළහෙලදාමක් වේවා, රෝගාබාධයක් ගැන වේවා..මෙකී එකී නොකී හැමදේ ගැනම අප එකිනෙකා හා ගනුදෙනු කරන්නේ ඒ ඒ දේ ගැන බුද්ධිය හා හදවත නැතිනම් දැනුම හා හැගීම මත පදනම්ව නිසා අපට අපේ දොරමඩලේ යහපත් ක්‍රියාකාරී භාවිතය කොතරම් නම් ප්‍රයෝජනවත් වනවාද. සැබවින්ම මනසේ ඇති දොරමඩලේ දොරටු වලට තෙල් ග්‍රීස් වැටෙන්නේ නැතිනම් ඒවා මළ කනු ඇත. කෑ මළ සුද්ද කර දමන්නේ නැතිනම් ඒවා කලකදි දිරා ගොස් දොරටු කඩා වැටෙනු ඇත. එවිට අපි අවිඥානිකව ක්‍රියා කරන මිනිසුන් මිස තවදුරටත් සවිඥානිකව ක්‍රියා කළ හැකි අය බවට පත් කරගත නොහැකි වනු ඇත.
එබැවින් තම තමන්ගේ දොරටු මණ්ඩලයම හදා ගැනීමට අප ක්‍රියාකළ යුතුව ඇත. ඒ සදහා ශ්‍රමයක් වැය කළ යුතුව ඇත. ශාරීරික ශ්රමයට වඩා මානසික ශ්‍රමය එහිදී ප්‍රමුඛතාවයේ තිබෙනු ඇත. ශරීරයේ දොරටු නවයෙන් යමක් යම්ලෙස අප පාලනයේ යම්තාක් පවතීද, ඊට වඩා වැඩි ගුණයකින් අපේ මානසික දොරටු අපි ශක්තිමත් කරගත යුතුව ඇත. ශාරීරික තත්වයන්ට වඩා එය අපේ ආධිපත්‍යට නතුය. දොරටු පාලකයන් වන්නේ අපිම නම් ඒ දොරමඩලාවේ සැබෑ ප්‍රයෝජනය ගන්නට අපිට හැකිවෙනු අැත. හැබැයි ඒ අවංකව දියුණු වන්නට අවංකව උත්සාහකරන ස්වභාවයෙන් නැත්නම් සද්භාවයෙන්ම විය යුතුය.
Tuesday, September 16, 2014
නැගපු ඉණිමගට පයින් අනින්නෝ දිනන්නෝ නොවෙති.
ජීවිතේ විදවන්නෙ නැතිව විදින්න ඕන කියල හිතන සමහරු තමන් නැගපු ඉණිමගට පයින් ගහන්නෙ ආයෙ කවදාවත් පහළට බහින්න වෙන්නෙ නැතිවෙයි කියල හිතාගෙන. හේතු සාධක ගැඹුරට නොවිමසා අතමන්ට අත හිත වගේම නොහිතන, නොදැනෙන ලෙසින් උපකාර වුන දේවල් සියල්ල පුංචිම කාරණයක් නිසා අමතක කරන්න පෙළඹෙන අය අද සුලබයි. සියලු ගනුදෙනු මුදල් අගයකින් හිතන්න ගත්තම කළගුණයත් සළකන්නෙ මුල්‍ය වටිනාකමෙන් තක්සේරු කරල. අන්න එතනදි අපි නොහිතන විදිහට අපේ පයෙන් පහර වදින්නෙ අර නැගෙන්න උදව් දුන්න හිණිමං වලට.
හිතන්න කාලයත්, උවමනාවත් දෙකම නැතිවුන තැන පහසුවෙන් හිතල, මුදලින් තක්සේරු කරල අර පරණ ගනුදෙනු ඔක්කොම එක චෙක් එකෙන් ඉවර කරන එක අපිට හරි ලේසියි. නමුත් ඒක මනුස්ස කමට තරම් දෙයක් නොවෙයි. එක වතාවක් නොවෙයි, දෙවතාවකුත් නොවෙයි, තුන් වතාවකට වැඩියෙන් එක වතාවක් උනත් ඒ ගනුදෙනු මනුස්සයො හැටියට මුදලට එහා ගිය මනුස්ස කමෙන් මැනල බේරගන්න එක වටිනව. හැබැයි ඔය අතරෙ අනුන්ගෙ මනුස්සකම තමන්ගෙ කපටිකමට උදව්වක් හැටියට භාවිත කරන අයත් ඉන්න බව අපි මතක තබා ගන්න ඕනමයි. එහෙම අයට ටිකක් හොදින් සළකන විදිහක් ගැනත් අපි බුද්ධිමත්ව කල්පනාවට ගන්න ඕනමයි. මොකද මනුස්ස කමත් රැවටීමත් දෙකක් නිසා.
සමහර විට අපට ඉස්සරහට යන්න තල්ලුව ලැබුනෙ කොතනින්ද කියල අපට මතක නැහැ. මොකද ඒ වැඩිපුර අපි හිතන්නෙ අපෙන් අනුන්ට වුන දේවල් මිස අනුන් ගෙන් අපිට වුන දේවල් නොවන නිසා. ඒ නිසාම අපෙන් පරිත්‍යාග වුන කෙන්ද අනුන්ගෙන් ලැබුනු කන්දට වඩා අපි අගය කරගන්නවා. ලොකුවට හිතනවා. කියනවා. නමුත් ඇත්තෙන්ම බැලුවොත් අර අනුන්ගෙන් අපට ලැබුනු කන්ද හමුවේ අපෙන් පරිත්‍යාග වුන කෙන්ද තඹයක් වටින්නේ නෑ. හැබැයි මේ වටිනාකම් ගැන කියන්නේ මුදලින්ම නොවෙයි. මුදලට වඩා වටින තවත් දේ තියෙන බව ඔබත් මමත් හොදින්ම දන්නවා. සමහර විට ඒ පුංචි අවවාදයක් ම වුනත් වෙන්න පුළුවන්. වඩා වටින්නේ බොරුවක් වෙනුවෙන් දෙන කෝටියකට වඩා හොදට හැදෙන්න දෙන පුංචි තරවටුවක් වෙන්න පුළුවන්. අපේ කාලයේ එහෙම ගුරුවරු එක්කෙනෙක් හෝ දෙන්නෙක් අපටත් හිටීම ඒ ගැන තේරුම් ගන්න අපට ආදර්ශයක් වුනා.
නමුත් අද ඒ සියල්ල අහවර නිසා, අවවාදයක් කියන එක දැනෙන්නේ ජීවිතේ විදවන්න කියන එකක් වගේ. අවවාද දෙන විදිහ වගේම ගන්න විදිහත් ප්‍රශ්නයක් වෙලා. ජීවිතේ විදවන්න තියෙන දේ ගැන නොදැන ජීවිතේ විදින්න ගියොත් ලොකු අමාරුවක වැටෙන බව බොහෝ දෙනාට වැටහෙන්නෙ නෑ.
කොහොම උනත් දියුණුවේ රන් දොරටු ඇරගන්න පුළුවන් අතීතෙ අමතක කරලවත් මුදල් හයියෙන් අතීතෙ දොරටු වහලවත් නොවෙයි. ඒ අද්දැකීම්, අත්විදීම් නිවැරදි විග්රයකට ගෙනත්. අපි අවබෝධකරගත් ධර්මයත් උදව්වට අරන්. සාධාරණ මිනිස්සු වීමෙන්. එතනදි අපට අවංකවම ජීවිතේ විදින්න පුළුවන් වෙයි. ඇත්තටම විදවීම කියන්නෙ මොකද්ද කියන එකත් එතනදි තේරුම් ගන්න පුළුවන් වෙයි.
විදීමත් විදවීමත් පටලවා ගත් ලෝකෙක ජීවිතේ විදීම කියන්නෙ තනිකරම මාකට් එකක් හා බැදුනු දෙයක්. ඒ විදීම තුළ ගියොත් අපි කාටත් හොද මිලකට අලෙවි වෙන්න නම් පුළුවන්, තමන්ගෙ හැකි කම අනුව. හැබැයි ටිකකින් හරි ඒ අලෙවි වීම තුළට අැතුළත් නොවී ජීවත් වෙන්න අපට බැරි වුනත් ඒක තුළත් සාධරණයක් යුක්තියක් තියා ගැනීමයි වැදගත්. එතනදි ඉණිමගේ නැගපු හැටි ගැන මතක තිබීම අතිශයින් වැදගත්.
Monday, September 15, 2014
කොහොඹ පොතු හරි පැණි රහයි.
කොහොඔ පොතු තම්බා බීම කොත්තමල්ලි බීමට වඩා දුලබ වුවත් ඇගට ගුණදායකයැයි අපි අසා ඇත්තෙමු. අසා ඇතිවා පමණක් නොවේ, අම්මා තම්බා දෙන කොහොඹ පොතු පානය අදටත් බොන්නෙමු. කොහොඹ පොතු වල රසය දරා ගත නොහැකි නිසා කුඩා කළ බීවේ සීනි ස්වල්පයක් අල්ලට හලා එහි රසයත් දිව ගාමිනි. නමුත් තරුණ වියට එළඹෙත්ම ක්‍රමයෙන් පුරුද්දක් හදා ගත් මම අද කොහොඹ පොතු බොන්නේ රසය පිළිබදව කිසිම බාහිර උත්ප්‍රේරකයක උදව්වක් නොගෙනය. කොහොඹ පොතු හරි පැණි රහක් වී ඇත්තේ එබැවිනි. නමුත් රසය නොමරා ඉව්වොත් තවමත් කරවිල කන්නේ නම් බෙහෙත් කන ගානටය. අගුණද අගුණ නැතත් ටිකක් බෙහෙත් ගානට කන්නෙමි. ලංකාවේ ජීවත් වන අපට මේ රසය ඇත්තටම සිහිකරන්නේත් උගන්වන්නේත් රටේ ජීවත් විය යුතු ආකාරයමයි.
කිසිවෙක් කිසිදු ලාබයක් නොලබා යහපතකට අත ගසන්නට අකමැති වෙමින් යන යුගයක, තමන්ගේ කැපිටල් අයි හයම(බුද්ධියේ ජාන අගය පිළිබද සරල දැක්වීම) වුව වෙනත් දේශයන්වල තමන්ගේ අභිමතයන් වෙනුවෙන් දියකරන්නට ලොල්වෙමින් යන යුගයක, සත්‍ය ගැන බිංදු මාත්‍රයක අවබෝධයක් ඇත්තවුන්ගේ දේශයක, දහසකුත් නන් දොඩවන්නන් අතර හිද, සත්‍ය වෙනුවෙන් වදවෙන මිනිසුන් ස්වල්පය හා එක්ව හිද, පවතින ක්රමයේ අනේක පීඩාව හා අයුක්තියද විදිමින් වුව, හිස කෙළින් කොටගෙන ජීවත් විය හැක්කේ- අර කොහොඹ පොතු වල ගුණය සළකා එය පැණිරහක් කොට ගත හැක්කවුන්ටම පමණි. ඒ කියන්නේ බුද්ධියක් පමණක් නොව හොද දරාගැන්මේ හදවතක්ද ඇත්තන්ට බවයි.
නිවට නොවන ගති ඇත්තාක් මෙන්ම හොද ඉවසීමකුත් ඇති, හදවතකුත් ඇති බුද්ධිමත් ජනයා අද මෙරටට අවශ්‍ය වී තිබේ. එකක් තිබෙද්දී අනෙක නැති ජනයාත් සමග රට ඇදෙන්නේ රස්තියාදුවකටය. ඒ රස්තියාදු ගමන හරියටම වට රවුමක ගමන වගේය. මගේ ශක්තිය අනෙකාගේ ශක්තිය හා එකතු කරන ක්‍රමයක් මෙහේ තිබුණි. අත්තම කියා කිව්වේ එක්තරා විදිහකට එහෙම ක්රමයකටය. අද එ් අත්තම් අහෝසිය. අත්තම් සහාය වෙනුවට මුදල් දීමෙන් ගෞරවය ලබන්නට හදන්නෝ එමටය. මුදල් යනු මිනිහෙක්ගේ ඉදිරිපත් වීම තරම් වටිනා දෙයක් නොවේ. එය භාණ්ඩ හා සේවා වටිනාකම් සදහා භාවිතා කරන ඒකකයක් පමණි.
දේශපාලනයේ අැත්තේ අතිශය දුර්ජන හීනෝන්මාදයකි. එක්කෝ මමය, නැත්නම් අනෙකාය. දෙතුන් දෙනා එකම වැඩකට කර ගහන්නට එකා මෙන් එක් නොවන්නේ කීර්තිය, ගෞරවය බෙදී යන නිසාද? බලය බෙදී යන නිසාද? යහපත් වැඩක් වුවත් කීර්තිය, බලය නැත්නම් අත ගසන්නට බැරිද? එසේ සිතනතාක් අපි අනුන්ගෙන් යැපෙන නිවට නියාලු රටක් පමණය.
අවසානයේ තෙවැනි ඇසකින් බැලූවිට පෙනෙන්නේ සියල්ලෙහි සත්‍ය අවබෝධකරගත හැකි තරමේ මානසික තත්වයකින් යුත් ජනතාවක් තුට්ටුවක් නොවටිනා වරදාන මත නොමග යවනා බවය. නොමග යන බවය. දේශපාලකයෝ ජනතාව නොමග යවන ලෙසින්ම පෙරළා ජනතාවද ඔවුන්ට නොමග යන්නට රුකුල් දෙති. පෙරමං තනති. අවසානයට එකා පස්සේ එකා අල්ලන්නට වටරවුමක දුවති. ඉන් ඇරඹෙන සුලියේ කැරකෙන රටේ සියලු දෙනා ඔහේ සුළිය ඔස්සේ ඇදෙති.
අධ්‍යාපනයට මගක් නැත. කලාව අයාලේය. විධිමත් රැකියා අවස්ථා බිහි කරන ක්රමෝපායන් හෝ ඒ සදහා ඵලදායී මෙහෙවරක් කිරීමට හෝ ලබා ගැනීමට මගක් නැත. අාගමික, ජාතික සහජීවනයට දිගුකාලීන ප්‍රතිපත්තිමය වටිනාකම් හදන්නේ නැත. නීතිය හෝ යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් සැකසෙන අපේම වූ ක්රමයක නිසි වැඩපිළිවෙලක් නැත. පරණ රෝම හෝ ලන්දේසි රෙගුලාසි අස්සේ සුද්දාගෙන් අල්ලා ගත් ආර්ථික මාර්ග හා මහා මාර්ග තුළ අපි තවමත් යන්නෙමු. ණයට මුදල් ගෙන, ආධාර ගෙන අසරණ අපේ ගොඩනැගිලි, මාර්ග තනා ගෙන ඒවා තනා දුන් උදවියට ගෞරවය, ආදරය මෙන්ම පිං ද දී වන්දනාමාන කරන්නෙමු. එහෙත්...
මේ සියල්ල වෙනුවෙන් හොදම පිළිතුරු කතා මෙහේ ඇත, ඒ කතා තුළ අධ්‍යාපනයේ සිට ලෝකයේම ආශ්චර්ය කරා යන සැළසුම් අප සතුව ඇත. ඉතිහාසයේ මෙන්ම අදද අප කරන වීරකම් වල කෙළවරක් නැත. නමුත්...
රටේ, ජාතියේ හැබෑ උන්නතියක් ගැන හිතන මහ ජනයා හා ජන නායකයින් තැන තැන කරන කතා අහන්නට වගකිවයුතු කෙනෙක් නැත. ඒ වෙනුවෙන් නැගිටන කෙනෙක් නැත. එපමණකට ඔතෑනි කම ඉහ මුදුනෙන් දෙපතුළටම බේරෙමින් ඇත. නිවට කම තුළ ගව් ගානක් ගිලී ඇත. මට බාර් එකක් නොවෙයි, අපේ පවුලම හොද බාර් කාරයෝ කියා සමහර දේශපාලන නායකයන් කියන අයගේ කටින් කියවෙන්නේ එනිසාය. බාර්ද, බුකිද, ගණිකා නිවාසද කරගෙන යන්නට සමහරුන් මෙහේ නිල වශයෙනුත් නොනිලවත් අයිතිය හදාගෙන ඇත. ප්රශ්නය බුකිය කාගේද යන්නම නොවේ, ඒ අයිතීන් ලබා ගන්නේ කෙලෙසකද යන්නමත් නොවේ. ඒ ප්‍රශ්න අතරින් අපට ප්රමුඛ වන්නේ ඒ දේවල් පොදි බැදගෙන අප යන්නේ කොහාටද යන්නයි. දේශපාලනය වමේද, දකුණේද යන්නට වඩා ඔවුන් කරන්නේ මොකක්ද යන්න තේරුම් ගැනීම වඩා වැදගත් වන්නේ එහෙයින්.
බටහිර ක්‍රමයට කැමතිව හිතන අයට වඩා පෙරදිග ක්‍රමය තුළ සැකසුණු රටක් වන අප මේ ගහණ කණපිට ගැහීම නැවතෙන්නේ අම්මා, අප්පා ගැනත් අපේ තිබූ චින්තනය- මමී ඩැඩීටත් එහා යන්නට පාරක් හදමින් නම්- කිව යුත්තේ කැමැත්තෙන් එතැනට ගියත් එය නිවැරදි ක්‍රමය නොවේ යන්නයි. සමහර දේ වල් සිදුකිරීමට විවිධ ක්‍රම ඇතත්, නිවැරදි ක්‍රමයට එය සිදු නොකිරීමෙන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල භයානක විය හැක. ඒ බව වටහා ගන්නටවත් හැකිනම් කාලයේ හැටියට එයත් ලොකු දෙයක් වනු ඇත.
දැන හෝ නොදැන වැරදි කරගත් මිනිසෙකුට වුව එකවර සියල්ලෙන් නිවැරදි විය නොහෙන බව අපි දනිමු. නමුත් නිර්භීතව නිවැරදි වීමට ගන්නා උත්සාහය සියල්ලට වඩා වටින්නේ එය අවංකවම සිදු කෙරෙන්නේ නම්ය. සුද්දාට බනින්නට ගත් තැන සිටන්වත් අප නිවැරදිව ඒ උත්සාහය කරාද? එසේ නම් අපට වැරදුනේ කොතැනද? ඒ වැරදීම් තේරුම් ගෙන අදටත් අපි තවදුරටත් නිවැරදි බව උදෙසා සටන් වදින්නේද? වගකිව යුත්තෝ මේ ප්‍රශ්න විමසිය යුත්තේ තමන්ගෙන්මය. බුද්ධිමත් ජනයා මේ ගැන සෙවිය යුත්තේ තමන්ගෙන් පටන් ගෙනමය. ඒ තාක් අපි එකතැනමය.
කොහොඹ පොතු පැණිරහක් නැතත් අමිරහක් නැතිව බොන්නට පුළුවන් එතැනදීය. වැරදි තුළින් නැගිටගත් ජපානය ගැන උපන්දා සිට අපේ නායකයෝ කතා කරනු අපි අසා ඇත්තෙමු. එහෙව් අපි සිංගප්පූරු සිහින තුළ ඉදිමින් අපේ වල්ගයවත් හොල්ලා ගත්තාද? ඔය අසික්කිත සිහින තුළ හිතුවොත් වල්ගය කෙසේවෙතත් කාලයකදී අපේ ජාතිය උත්පාදනය කප්පාදු කරගත් සේ කරඅඹා ගැනීමක් පමණක් නම් අනාගතයේ කරගනු ඇත. එවිට ජාතියත් ජන්මයත් ආගමත් සියල්ලම අහවරය.
එබැවින් නොදැනම දකින දහවල හීනයෙන් අප අවදිවිය යුත්තේ අදය, දැන්ය, මේ මොහොතේය. නැතිව ඇදෙන් බිමට වැටුනු පසු නොවේ. දිනයක මේ රටේ ඔබට රටේ එලා වැතිරීමට පන් පැදුරක් තියා ප්ලාස්ටීක් පැදුරක්වත් නැතිවන්නට පුළුවන. අදම සිහියෙන් හිතන්න, දේශපාලන වෙනසකට පෙර මිනිහාගේ වෙනසක් රටට අවැසිය. මිනිහා වෙනස් නොවී පක්ෂයක් පාටක් වෙනස් වූ පමණට රටක් නැගේවිද? වෙනස් වෙන්න හිතන්න බිදකින්වත් අයහපතින් යහපත වෙත... රටේ හාස්කම් සිද්දවෙන්නෙ ඔබේ හිතේ හාස්කමෙන් පමණයි.
Thursday, September 4, 2014
මුහුණට මුහුණ - කලකට පසු හලෝව් රස්ටාව ප්‍රශ්න කළෙමි.
මිනිස්සු මෙසේ කළ යුතුයැයි මෙසේ හිතිය යුතුයැයි ඔබ කියන්නේ කෙසේද?
මම එසේ නොකියමි. මා කියන්නේ මෙසේ සිතුවොත් මෙසේ වනු ඇත. මේ අවස්ථාවේ දී සිතිය යුත්තේ මෙසේ නොවේදැයි වශයෙනි. උදාහරණයක් ගනිතොත්, තැටි දෙකේ තුලාවක බර මනින්නේ එක් අතකට භාණ්ඩය හා අනෙක් අතට පඩි දමමින් නම් මා කියන්නේ භාණ්ඩයත් පඩියත් සමබර නොවන තැන වඩා වැදගත් නොවන අංශයෙන් බර අඩුකර හෝ වැඩිකර තුලාවේ සමබර බව රැකගත යුතු බවය. නමුත් සමාජයේදී බහුතර වශයෙන් සිද්ද වන්නේ වඩා වැදගත් බව පිළිබද කල්පනා නොකොට හිතුමතේ හෝ හොර හිතින් හෝ යම් පැත්තක බර අඩු කිරීම හෝ ගල්කැටයක් හෝ දමා තුලාව සමබර කර පෙන්වීමයි.
ඉතිං ගල් කැටයක් දමා තුලාව සමබර කිරීමේ වැරැද්ද කුමක්ද?
ගල් කැටයක් දැමූ බව මිනිසුන්ට නොකීවොත් එය වරදකි. එමෙන්ම පඩියේ බර නිශ්චිත වුවත් ගල් කැටයේ බර තක්සේරු කළ නොහැකි නිසා සමබරතාවයේ වටිනාකමක් නොලැබේ. වඩා වැදගත් සමබරතාව හරි වටිනාකමින් ලබා ගැනීම නොවේද?
මා මුලින් ම ඇසූ පැනය ඔබ මගහැරිය බව මට දැනෙනවා. මා ඇසූයේ තවකෙකු වෙනුවෙන් තීරක බලයක් තවත් කිසිවෙකු වෙත නැති බවයි. ඔබ ඔවුන්ගේ මතයට බලපෑම් කරනවා නේද?
කිසි කෙනෙකුට තව කෙනෙකු වෙත මතයකින් බලපෑම් කරන්නට නොහැකියි. ඒ මතය තමා තුළට ගන්නවාද, එසේ ගන්නට හේතු තිබෙනවාද.. යන්න තීරණය කිරීම ඒ ඒ පුද්ගලයා සතුයි. කිසිවෙකුට මරණීය තර්ජනයකින් මිස එලෙසින් තීරණ ගැනීමට මතයකින් බලපෑම් කළ හැකිද? නොහැකී. නමුත් ඔබ සදහන් කළ කරුණෙහි සත්‍යතාවයක් තිබෙන අවස්ථා තිබෙනවා. ඒ එක් එක් පුද්ගලයාගේ අන්‍ය මත දරා ගැනීමේ ශක්තිය අනුව, එහිදී යම් ක්‍රමයකින් තවෙකෙකුගේ මතයක් බිදවැටී තවත් මතයක් ස්ථාපිත විය හැකී. එයට තර්කය, බුද්ධිය මෙන්ම අවබෝධයද බලපානවා. එමෙන්ම වාසිය තකා එකහෙලා තවෙකෙකුගේ මතයක් ගැනීමද ඔබට කළ හැකී. එ් වාසිය මුදල් හෝ වෙනත් විදිහක භාණ්ඩ හෝ සේවාවක් හෝ ජීවිතය හෝ විය හැකියි. මම කිසිවෙකුට එසේ බලපෑම් කරන්නේ නැහැ. එසේ කිරීමට උවමනාවක්ද නැහැ. නමුත් මගේ අදහසකට කිසිවෙකු කැමති වේ නම් එය මට සතුටක්, නමුත් ඉන් අදහස් වන්නේ මගේ අදහසේ කුමන කොටසට ඔහු කැමති වූවාද යන්න මා දන්නා බව නොවේ. නමුත් මා කියූ දෙය ඒ ආකාරයෙන්ම කෙනෙකු වටහා ගැනීමට සමත් වී නම් සැබවින්ම මා අදහස් කරන දෙය ඉටුවී තිබෙනවා විය හැකියි.
ඔබේ සමහර අදහස් සැබවින්ම වැල් වටාරම් බදුයි, එබදු අදහස් ලියන්නේ රස්තියාදුව යන්න උලුප්පා පෙන්වීමටද?
සැබවින්ම, රස්තියාදුව යන්න මා යොදා ගන්නේ ඉංග්‍රීසියෙන් වචන ගෙන සිංහලයට දමා අර්ථකතන හොයන ක්‍රමයකට නොවේ. උවමනාවටත් වඩා කාලය හා අවකාශය පිළිබද හැගීමකින් තොරව අපට මෙරටේ කටයුතු කරන්නට සිදුවන නිසා. අපේ හැම ගමනක්ම හැම වැඩක්ම රස්තියාදුවකින් තොරව කරගන්නට මෙහි පිළිවන්ද? හරියටම විග්රහ කළොත් බැහැ කියන පිළිතුරට එන්නට ඔබටත් සිදුවේවි. ඉතිං එබදු වූ රටක අද අපි සිතිවිලි වලිනුත් රස්තියාදු ගහන්නේ නැතැයි ඔබට කිව හැකිද? අපි හිතිවිලි වලිනුත් රස්තියාදු ගහන්නෝ. ඉතිං ලියන දේ එන්නේ මනසින්. එය රස්තියාදුවක් වන්නේ අපේ ක්‍රියාකාරී ස්වභාවයේ පිළිබිඹුවක් විදිහට. ඉතිං එනිසයි මා පවසන්නේ අපේ රස්තියාදුව ශුද්ධ නැත්නම් පිරිසිදු එකක් කරගත යුතු බවත්, කාලය හා අවකාශය පිළිබද අවබෝධයක් ලබාගෙන දිවි ගෙවිය යුතු බවත්.
ඔබ සමහර දේ ගැන පවසද්දි මෙරටේ කියන්නේ ඔබ පිටරටවල ගොස් තිබෙන කෙනෙක් හැටියටද? මා කීවොත් ඔබ දන්නේ මෙරටේ හතර මායිමේ යම් ප්‍රමාණයක් පමණක් බව?
මිනිහෙකු පිටරටකට යන්නම අවශ්‍ය නැහැ. අපේ ආගමික ශාස්තෲන් සියල්ලන්ගේ සිට, දාර්ශනිකයින් වේවා, බුද්ධිමතුන් වේවා, ඔවුන් ලෝකයේ බොහෝ තැන්වල කරක් ගැසූ අය නොවෙයි. නමුත් මිනිසුන් ඔවුන්ට ගරු කරන්නේ සවාරිය හෝ සංචාරය දැනුමට හෝ අවබෝධයට මග කියා හිතලාද? ඔබ ඇසූ ප්රශ්නය එන්නේ එහෙම හිතන කෙනෙකුට. එදාටත් වඩා එකතැන ඉදන් ගොඩක් දේ හොයාගන්න අද විවෘත මාර්ග තියෙන බව ඔබත් මමත් දන්නවා. ඉතිං පිටරට සංචාරය හෝ ගිහින් තිබීම සමහරවිට අමතර වාසියක් පමණයි. එය ජීවිත අවබෝධය හොයා ගැනීමට උපකාරයක් නොවේ.
ඔබ සමහර දේ පවසන්නේ ඒකාධිපති ස්වරූපයෙන්?
හැම මිනිහා තුළම අධිපති බවක් තිබෙනවා. පළමුව එය තමන්ට තමන් වලංගු බවකින් එළි දැකිය යුතුයි. තමන්ට තමන් වලංගු නැතිනම් එතැනින් එහාට කතාව ඵලක් නැහැ. එයින් මා අදහස් කරන්නේ තමන්ගේ සියලු හැගීම් දැනීම් හෝ ශාරීරික ස්වභාවයන් මිනිහෙකුට පාලනය කළ හැකි බව නොවේ. සාමාන්‍ය මිනිසෙකු හැටියට තමාගේ ශරීරය මෙන්ම හිතත් හැගීමුත් පාලනයට උගත යුතු බව. එවිට මිනිහෙක් තුළ අධිපති බවක් ගොඩනැගෙනවා. එය මාන්නයක් ලෙසින් ගත යුතු දෙයක් නොවෙයි. එය සමාජයේදී නිවට නොවී සිටීමට භාවිත කළ යුතු පලිහක් පමණයි. එය කිසිවිටකත් ඒකාධිපති ස්වරූපයක් හෝ අනෙකාගේ සීමාව බලහත්කාරයෙන් ආක්‍රමණය කිරීමක් වන්නේ නෑ. නමුත් ඔහු හෝ ඇය අනියමින් මගේ සීමාවට රිංගනවා නම් එතැනදි මගේ අධිපතිත්වය භාවිත කළ යුතුමයි. එයින් තොරව මිහිපිට සාමාන්‍ය මිනිහෙකුට ජීවත් විය නොහැකියි.
හොද ආර්ථිකයකින් තොරව පුද්ගලයෙකුට සමාජයේ ජීවත් විය නොහැකියි. ආර්ථිකය යනුවෙන් මා අදහස් කරන්නේ මුදල්, ඔබ මුදල් ගැන දරන්නේ මෝඩ ආකල්පයක් යැයි මා කීවොත්?
මා කිසිවිටකත් මුදල් අවශ්‍ය නැති බවක් හෝ මුදල් නොමැතිව සාමාන්‍ය මිනිහෙකු ලෙස ජීවත්වන්නට හැකිබව කියා නෑ. එය මෝඩ සිතිවිල්ලක් බව අමුතුවෙන් කිව යුතුත් නෑ. නමුත් මුදල යනු දිය මත රැදීමට අවශ්‍ය සර්ෆ්බෝඩ් එකක් පමණයි. කෙනෙකුට ඒ බෝඩ් එකක් සෑහෙන බව පමණයි මගේ අදහස. අවශ්‍ය නම් තවත් අයට කුලියට දීමටත් කෙනෙකු සතුව බෝඩ් තබා ගත හැකියි. නමුත් තමන්ට අවශ්‍ය පමණට ගැලපෙන පමණට සර්ෆ්බෝඩ් එකක් පමණක් තිබීම වරදක්ද? එය තමන්ට නොසෑහේද? පවුල් ජීවිතය ගෙවන කෙනෙකුට නම් බිරිද හා දරුවන්ට මෙන්ම අනෙක් අයටද මවට පියාට ආදී වශයෙන් එකිනෙකාට වෙන් කළ සර්ෆ්බෝඩ් තිබීමේ වරදක් නැහැ. එය පුංචි උදාහරණයක් පමණයි. නමුත් අදහස් කලේ ජීවත් වීමට ප්‍රමාණවත් මුදල් පුද්ගලයෙකුට සෑහෙන බව පමණයි. අවශ්‍ය නම් කෙනෙකුට ජීවිත කාලයේම හෝ ලෝකයේ ලොකුම ධනවතා බවට පත්වන තුරු හෝ හම්බ කළ හැකියි. සල්ලි ගොඩ ගැසිය හැකියි.
කෙනෙකුට ජීවත්වීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය මේ යැයි අපට කියන්නට බැහැ, ඒක ඒ පුද්ගලයා තීරණය කළ යුතු දෙයක්?
ඔව්. කෙනෙකු උදේට, දවල්ට, රෑට ආහාරගෙන ජීවත් වද්දී තවත් කෙනෙක් වේල් දෙකකින් දවස ගෙවනවා විය හැකියි. තවත් කෙනෙක් උදේ සිට රෑ වෙන තුරුත් අහාර ගනිමින්ම දිවි ගෙවනවා විය හැකියි. ඉතිං ජීවත් වෙන්න පුළුවන්නම් කොහොම කළත් ගැටළුවක් නැහැ. ආරෝග්‍ය පරම ලාබය බව මගේ හැගීම නිසා කෑම බීම වුවත් යම් පාලනයක් තිබීම අවශ්‍ය බවයි මගේ අදහස. ඉතිං තමන් කන බොන ලෙඩවෙන විදිහට කෙනෙකුගේ මුදල් වියදම් වෙනවා. අනෙකුත් අවශ්‍යතාත් ඔය වගේමයි. මූලික අවශ්‍යතා හැරුනාම එක එක මිනිස්සු එක එක විදිහට ජීවත් වෙනවා. ඉතිං ඒක කාටවත් වැඩක් ඇති දෙයක් නෙවෙයි. කතාකරන්න දේකුත් නැහැ. වැදගත් හැටියට මම දකින්නෙ සිර ගෙට වැටුනත් අසතුටු නොවී ජීවත් වෙන්න පුළුවන් සරල කමයි.
ඔබ ප්‍රශ්න වලට රවුම් ගහනවා වැඩියි. කෙටියෙන් පිළිතුරු දෙන්න කියා මා කියනවා.
ඔබ එකයි එකයි කීයද අහන්න, එවිට මා කෙටියෙන් පිළිතුරු දෙන්නම් :)
බහුවිධ බුද්ධීන් ගැන ඔබේ දැනීම කොයි වගේද?
දැනීම නම් මට තිබෙන බුද්ධිය ගැන පමණයි. ඒක කොයි විදිහෙද කියල හැගීමක් තිබෙනවා මිස අනිත් බුද්ධීන් කොයි විදිහද කියල අදහසක් මිස දැනීමක් නැහැ.
මා අදහස් කළේ විවිධ බුද්ධිමය හැකියා ගැන අද අපරටේත් අවධානය යොමු කර තිබීම ගැන. අන්තර් පුද්ගල බුද්ධිය, අන්ත: පුද්ගල බුද්ධිය, ශාරීරික බුද්ධි කුසලතාව ආදී වශයෙන් කතාකරනවා අප දකිනවා?
තවත් බුද්ධි විධි ගැන ඉස්සරහට කතා නොකරාවිද? මිලි දේ මයික්‍රො හා ඉන් ඔබ්බට ගිය සේම, අද බහු විධ බව හෙට එකක්ම හෝ එක් එක් අය වශයෙන් වෙනම අනන්‍ය බුද්ධි ඇති බව නොපවසාවිද? විද්‍යාවෙ හැටි එහෙමයි. ඒ විද්‍යාව විශ්වාස කරන අපේ තර්කත් ඒ මතම පමණයිනේ. ඒ නිසා ඒ ගැන එතරම් කතා කිරීම ඒ ගැන සොයන අයටම බාර කරමු.
ඔබ අන්වර්තයකින් මිස සැබෑ ලෙසින් එලිබසින්නේ නැත්තේ අැයි?
මට වැදගත් වන්නේ මා අදහස් කරන දෙය සන්නිවේදනයට උත්සාහ කිරීම මිස මා ගැන සන්නිවේදනය කිරීමට නොවේ.
ඉතිං ඔබ අදහස් කරන දෙය යනු ඔබ ගැන සන්නිවේදනයක් නොවන්නේද?
එයින් වියුක්ත වීමට කාටත් බැහැ. මා අදහස් කරන දේ තුළ මා සිටිනවා. නමුත් සමහර විට මා අදහස් කරන දේ මා තුළත් මා ඇතිකරගන්නට උත්සාහ කරනවා. එහි අදහස මාද පරිපූර්ණයෙකු නොවන බව සේම අදහස්ද දියුණු කරගැනීමට උත්සාහ කරන බවයි. හැබැයි, එතනට යාමේදි පුද්ගලයෙකු වශයෙන් මා කව්ද යන්න වැදගත් නැහැ. වැදගත් කමක් අතවශ්‍ය ලෙස ඉදිරිපත්වේ නම් එතැනදී පෙනී සිටින්නට මා පසුබාන්නේත් නැහැ. මා හිතන්නේ එය බොහෝ දුරට අවශ්‍යතාව මත පසෙකට කළ යුතු කරුණක්. අදහස් ශුද්ධ කර ගැනීම තුළ වඩා දියුණු අදහස් නැතිනම් සිතිවිලි වෙත එළැඹීම මගේ උත්සාහයයි. ඒ උත්සාහය පැතිරවීම මිස ඒ තුළ වෙනත් අරමුණු නැහැ.
හොදයි, දැනට අවසන් ප්රශ්නය හැටියට ඔබේ අනාගත අපේක්ෂා ගැන අහන්නම්. ඔබ තවම අවිවාහකයි නේද?
ඒ ඔබට ප්‍රශ්නයක්ද :) සුදුසු අවස්ථාවක් උදා වුනොත් විවාහ වේවි. අපි වැන්නන් හට අවස්ථා නැත්තේත් නැහැ:) අපි වෙනත් අපේක්ෂාවක් ගැන කියමු. මම කැමතියි මිනිසෙකු ලෙස මා ලැබූ අත්විදීම තුල අවබෝධකරගත් හොදම මිනිසුන්ගේ ක්‍රමයට දිවි ගෙවීමට, ඔබ මට සුබ පතනවාද :)
විශ්ව විද්‍යාලයේ දී සමාජ වාදී දේශපාලනයේ පාතාක යෝධයන්ව හිද ඉන් නික්මුණු පසු ඔවුන්ම හැදින්වූ ධනපති පන්තියේ මහප්පලාගෙන් වරදාන ගන්නා පිරිස් වගේ, විවාහයකින් පසු ඔබේ අදහස් වෙනස් වේවි කියා මා කීවොත්?
මා කැමති පමණින් විවාහ නොවී මට හා මගේ අදහස්වලට කැමති කෙනෙක් හා විවාහ වූවොත් ඔය ප්රශ්නය පැන නොනගීවි නේද
හරි. ඔබ කොතරම් කතා කීවත් තවම ඔබ පැමිණ ඇත්තේ ජීවිතේ තුනෙන් එකක් පමණ කොටසක්. ඉතින් ඉදිරියේදී තනිවම වුවත් ඔබ ඔබේම මගක යන්නේ කෙසේද? සමාජයෙන් ඔබ ප්‍රතික්ෂේප වේවි, ඔබට හුදෙකලාවට යන්නට වේවි?
මං ඕකට මෙහෙම උත්තර දෙන්නම්, ඔලුව හදා ගැනීමත් හිත හදා ගැනීමත් දෙකෙන් මිනිස්සුන්ට අමාරුම හිත හදා ගන්න එක. නිවැරදි සංකල්ප ඉගෙන ගන්න පුළුවන්. ඒත් නිවැරදි පරාසයකට හිත ගන්න ගොඩක් දෙනාට අමාරුයි. ගොඩක් දෙනා රස්තියාදු ගහන්නෙත් ඒ නිසා බවයි මගේ අදහස. මන්දනයටමත් ඉඩ නොදී ත්රවරණයටත් ඉඩ නොදී අතරමැද්දේ ඒකාකාර ප්‍රවේගයකින් යන්න හිත හදාගත්තම ඔලුව හදා ගන්න අමාරු නෑ. ජීවිතේ තුනෙන් එකකදි හරිදේ තේරුම් අරං හිත හදා ගත්තනම් හරි පරාසයක, ජීවිතේ ඉතිරි තුනෙන් දෙක ඔලුව පාවිච්චි කරල ගෙනියන්න අමුතුවෙන් ඉගෙන ගන්න ඕන නැහැ කියන එකයි මගේ විශ්වාසය.
ඔබේ ත්වරණ මන්දන කතාව මට ඇත්තටම තේරුනේ නැහැ.
විද්‍යාව පොඩ්ඩක් ඉගෙන ගන්න :) සරලව කීවොත් වේගේ එන්න එන්න වැඩි කරගෙන යන්නෙත් නැතිව, වේගේ අඩුකරගෙන අඩුකරගෙන යන්නෙත් නැතිව ඒ දෙක අතරමැදි වේගයකින් හිතත් ගතත් ගෙනියන්නයි මගේ කල්පනාව. ඒ උත්තරය ප්‍රමාණවත් මං හිතන්නෙ. කාටවත් ගැතිවෙන්නෙත් නැතිව, මාන්නයෙන් පිම්බෙන්නෙත් නැතිව, අතරමැදින් ගමනක් යන්න. මොනව කීවත් අන්තිමට අපි සාමාන්‍ය මිනිස්සුනේ :)
මං මේක අහන්න හිටියත් අමතක වුනා, ඒ නිසා මේක අහලම අවසන් කරන්නම්. කව්ද ඔබ නිතර මේ කියන සාමාන්‍ය මිනිහා.
රටවල් අනුව වෙනස් වෙන්නෙ නැති, ජාතිය, ආගම, කුලය, ගෝත්‍රය, මිල මුදල් හා සමාජ තත්වය අතහැරියම ඇස් ඉස් මස් ලේ හදවත හා හිත ඇති එකම විදිහේ මිනිහා ගැනයි කියන්නේ, අසාමාන්‍ය අයට එහෙම තත්වයක් ඇති බව තේරෙන්නේ නැහැ. ඒකයි එහෙම තත්වය තේරුම් ගන්න හැකි හා එහෙම තත්වය සාමාන්‍ය මිනිහා හැටියට කීවේ.
මුහුණට මුහුණ දුන් සහයෝගයට ඔබට ස්තූතියි.
මමයි ඔබට ස්තූති කළ යුත්තේ, මේ ප්‍රශ්න ඇසුවාට. මමත් මං ගැන ගොඩක් දේ දැනගත්තා. නැවතත් ස්තූතියි ඔබට.
Wednesday, September 3, 2014
අර්ථ කථන වලංගු නොවේ... දික් කරන ඇගිලි වක් කළ යුතු බව!
ගොඩක් දේවල් ගැන නිවැරදි අර්ථ කථන අපේ මිනිස්සු නොදන්නවාද? නැත. වචනයෙන් ආපිට කිව නොහැකි වුවත් බොහෝ දේ ගැන නිවැරදි අවබෝධයක් හා විග්‍රහයක් අප සමාජයේ ඇත. නමුත් එළිපිට ඒ ඇත්ත කතා කරන්නටත් ඒ අනුව ක්‍රියා කරන්නටත් අපේ මිනිස්සු බිය වෙති. ඒ මරණ බිය නිසාමද යන්න වෙනමම සොයා බැලිය යුත්තකි. නැත්නම් බටහිරින් ආ මහත්මා වෙස පලුදු වේයැයි යන බිය නිසා වන්නටත් පිළිවන්. තවත් සරල ආකාරයක් නම් ගලන අතටම ගසා ගෙන යන්නට හැරීම ආයාසකර නැති ලෙහෙසි මගක් වීමයි. නමුත් ප්රශ්නය ඇත්තේ ඇල්ලේදී ඇද වැටී සුනුවිසුනු වන්නට සිදුවන බව තේරුම් ගැනීමට නොහැකි වීමයි.
කෙසේ හෝ ප්රජාතන්ත්ර වාදය ගැන මෙන්ම විශේෂයෙන් ඡන්ද ළං වද්දී පවත්වන දේශපාලන කතා වලදීත් දැන් බොහෝ දෙනා තරගයට ඇගිලි උරුක් කරනු පෙනේ. ඉස්සර කතා පැවැත්වුවේත් එහෙමද, දැන් මෙහෙමද යන කාරණයක් ගැන වාදයක් නොවේ මේ. කාතාවෙන් කියවෙන සම්පප්‍රලාප මෙන්ම තම විරුද්ධ පාක්ෂිකයන් ගැන කතා කරන විටදී මුහුණෙහි ඇතිවන බිහිසුණු පෙනුම මෙන්ම මුග්ධ ගතිය ගැනත් පාදඩ කම ගැනත් කතාවකි.
දේශපාලුවෝ වෙනුවෙන් කඩේ යාම බඩ රස්සාව කරගත් මාධ්‍ය වේදියෝ කියා ගන්නෝත් බිස්නස් එකක් ලෙස ජයටම දේසය පාලු කරන්නෝත් මෙහිදී විශේෂය. ඔවුන් ප්රජාතන්ත්රවාදය, නීතිය මෙන්ම දේශපාලනේ ගැන කතාකරන්නේ පාදඩ ගතියෙන් ඇගිලි දිගු කරමිනි. එතරම් ආවේගශීලී බවකින් හා ජඩ විලසින් මේ දේවල් කතාකරන්නට තරම් ඔවුන් සුදුස්සෝ කළේ කවුරුන්ද? සාධාරණත්වය, යුක්තිය ගැන නීතිය, ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන්නට තරම් වන මහජන නියෝජිතයෝද මොවුන්, එ් ගැන ඔවුන්ට ඡන්දය දෙන ජනයා තේරුම් ගෙන ඇත්ද. රටේ පාලනය වෙනුවෙන් අපේ නියෝජිතයන් පත් කරනවා කියන්නේ තවත් බිස්නස් එකක කොටස් මිලදී ගෙන කොටස් වෙළදපළ හරහා ආදයම් හොයන වැඩක්ද?
ලෝකය රගමඩලක්, ලෝකය තනි යායක් කියනවාට වඩා ලෝකයම වෙළදපොළක් යැයි හිතන චින්තනය නම් එ් හා ගැලපෙනු ඇත. ලෝකයම වෙළදපොළක්, අපි එහි ගනුදෙනු කරුවන්, ඉතිං රටත්, අනෙකුත් ජනයාත්, සියලු බැදියාවන් හා හැදියාවනුත් ආදයම් මාර්ගම පමණයි. මිතුදම පමණක් නොවේ. සහෝදර කම, නෑදෑ කම මෙන්ම දෙමාපිය සබදතාව පවා අදායම් මගක්.. විකුණාගෙන කෑ හැකි හැමදේ විකුණා කන්නට හැකිනම්, මිනිස්සු සනසන්නට අරුතක් නැති රස්සා හැදීමත් ණයට කවා දේශපාලනයෙන් හම්බ කිරීමත් මහජනයා ගොනාට අන්දවා සැප සෙවීමත් යෙහෙකි.
ඉදින් එහෙව් බූරු දේශපාලුවන් ඇගිලි උරුක් කරමින් ප්රජාතන්ත්රවාදය ගැන කතා කරනු අසා රජයේ මෙන්ම රජයේ නොවන සේවකයන්ද, ඡන්ද දායකයන්ද උඩ පැන පැන අත්පොඩි තැළිය යුතුය. එවිට හැමදා මෙලෙස අපහට ජීවත් විය හැකිය.
විලි ලජ්ජාව කියන එකට දැන් වලංගුතාවයක් නැත. වලංගුතාවය ඇත්තේ මර බියට ආසන්න බියකටම පමණි. අර්ථ කථන විහිළුවකි. හොදම විනාශකාරයන් හොදින්ම අර්ථකථන දන්නන්ය. දන්නා කම වැඩිවීම නිසාම උන් කට්ට කපටියන් වී ඇත. දැනුම තිබුනාට ආත්ම ශක්තියක් එන්නේ නැත. එවිට ප්‍රතිපත්තියක් නැති නම් හැම අතටම දිව නැමෙන්නේය. නිවට ගතිය, බිය දොරේ ගලන්නේය. ඉදින් තැන තැන අල්ලාප සල්ලාප සම්පප්‍රලාප මිස වෙන මොනවාද? සංවාදයට නම් ධර්මයම පමණයි. එහෙත් එයට බොහෝ දෙනාගේ කැමැත්තක් නැත. කෑම, බීම හා ජොලිය එහිදී කතා නොවීම ප්‍රධාන හේතුවයි. එබදු දේ ඒ යටතේ කතා කළ නොහැකි බව සිතීම ඊලග හේතුවයි. තුන් වන හේතුව නම් එබදු දේ ධර්මය හා ගලපා එ්වායේ අනුකූලතාවයන් කිරා මැන බැලීමට ඇති අකමැත්තයි, නොදන්නාකමයි. දැන ගැනීමට උවමනාවක් නොමැති කමයි. කෙසේ නමුත් එය අමතර කතාවකි.
ඉතිං මහ ලොකු ඔලුබක්කන් බදු සාඩම්බර මහජන නියෝජිතයින් විසින් ඔය එහෙට මෙහෙට දික්කෙරෙන ඇගිලි වක් කරන්නට සමත් මහජන ශක්තියක් ඇති වූ දාට රටක් හැදේවි. එතකන් කිසිත් සිදුවන්නේ නැත. එබදු මහජන ශක්තියක් ඇතිවන්නට මහජනයා ප්‍රතිපත්ති ගරුක වන්නේ කවදාද? තමන්ගේ බිය හා නිවට ගතිය හදුනාගත් දිනකදි එය සිදුවේවි, සමහර විට ඊට මං කපන්නට තරම් සමාජය උස්සා පොළොවේ ගසන සිදුවීමක් මෑතක නොවුනා විය හැකිය. හැබැයි එය කොයි මොහොතේ හෝ සිදුවනු ඇත. සුනාමියත් දෙවැනි වන්නා වූ මහා පිපුරුමකින් හෝ නිවටව බිහිරි වූ හා අන්ධ වූ උන්ගේත් ගොළු වූ උන්ගේත් කන්, ඇස්, හා කටවල් ඇරේවා.. තවදුරටත් දෙසන්නට අර්ථ කතන දෙන්නට නොව ක්‍රියාත්මක වන්නට...
අන්තනෝමතිකව අසාධාරණව අයුක්තිසහගත ලෙස සිය බලය හෝ පාදඩ කම පෙන්වීම උදෙසා දික්කෙරෙන ඇගිලි සාධාරණය හා යුක්තිය උදෙසා වක් කිරීම පිණිස සමාජයේ කිසිවකුත් සිටිය නොයුතුද? නීතිය ඉදිරියට නොඑන තැන කැලෑ නීතිය නැතත් ශක්තිමත් දෑත්, හිස් හා හදවත් තිබෙන මිනිසුන් ඒ වෙනුවෙන් සිටිය යුතුය.
Tuesday, September 2, 2014
මම නම් ආසයි අහන්න නයනා :)
මම නම් ආසයි
අහන්න නයනා
මම කීවෙමි
නයනා මා දෙස බැලුවාය
කතා බැහැ
ඇය කීවාය
හේතුවක් ඇති
මම කීවෙමි
අපි යමු හංසි, ඇය යෙහෙළිය වෙතට හැරුණි
මා කුමක් කරන්නද
නයනා සමග සල්ලාපයට මා රුචිය
නයනා සමග සංවාදයට මා බෙහෙවින් රුචිය
එහෙත් නයනා
මොහොතක් පමණක් මා වෙත දෙ නයන රදවා
ආපසු හැරිණි
මා කුමක් කරන්නද
ඇයට නොරිසිය
කිසිදු කතාවක් මා සමග
එතැන්හි මම ඇරඹුවෙමි
ආත්ම භාෂණයක්
ප්‍රිය සම්භාෂණයක්
තනියම
තට්ට තනියම
Monday, September 1, 2014
කලකදි සතුටු තැන කලකදි දුක දුටුවෙමි...
සතුට -බ්ලොග් එක ඇරඹුමෙන් පසු තුන්වෙනුවට ලියූ ලිපිය. ඊට අවුරුදු දෙක තුනකට පස්සේ එ් සතුටට සමාන අමුතුම දුකක් එතැනදිම මෝදුවුනා. ඊට හේතු වුනු සිදුවීමක් තිබෙනවා. පූර්ව රූපගත කිරීම්ද සිදුකර මංගල්‍ය සිනමා සිත්තම් ලෙසින් ගෙත්තම් කරන්නට හදන මෙහේ අඩු වියදමෙන් මංගල්ල පොටෝ ගත්තු හැටි එදා අපි දුටුවා. ඊට පස්සෙත් අපි නිතර යන එන එ් එළිමහන් පරිශ්‍රයේ විවිධ දර්ශන දුටුවා. තවත් මංගල දර්ශන වගේම පෙම්වතුනුත් මෙතනට සාමාන්‍යයයි. ඊට අමතරව තව මෙතනට යන එන ක්‍රීඩාශීලී වගේම විවේකය, විනෝදය සොයන විවිධ උදවිය, වෙනස් වුනත් එක වාගෙයි බොහෝවිට.
අද පහක් හයක් වූ අපේ පිරිසක් මෙතනට රැස් වෙන්න නියමිත වුනේ අපි කරන්න යන අලුත්ම වේදිකා නිර්මාණයක් ගැන හා ගීතයක් සදහා කරන්නට යන රූප රචනාවක් ගැන කතාවක් දමන්න. කොහොමත් අපේ රටේ අනිකුත් බොහෝ දෙනාට මෙන් අපේ උදවියටත් වෙලාවට වැඩක් ඇරඹීමේ හීන මානය තියෙනවා. විශේෂයෙන් අපේ-අපේ වැඩ වලදි, මොකද මේවගෙදි අපි තකන්නේ මුදලට වඩා කැපවීමනේ.
ඔන්න ඉතිං අපේ සගයෙක් මම එතනට එන්න කලින්ම ඇවිත් මට ඇමතුමක් දුන්න. පරිගණක මුද්‍රිත පිටපත් කීපයක් ලබා ගන්නට වෙළදහලක ප්‍රමාද වුන මම නියමිත වෙලාවට මිනිත්තු දහයක් පහලවක් ප්‍රමාද වුනේ අද මෙහේ පාසල් වාරේ අලුතින් ඇරඹෙන නිසා වගේම අමතර පන්ති යන ළමයින්ගෙන් වෙළදහල තදබද වී තිබූ නිසා.
ඔන්න මම එළිමහන් පරිශ්‍රයට එනකොට සගයා එතන. අපි කතා බහ කරමින් ඉන්න අතරේ දුරකථන ඇමතුමක් දුන් තවත් සගයෙක් මිනිත්තු ගණනක් ඇතුළත එතනට පැමිණියේ මොහොතකින් එතනට එකතු වීමට නියමිත අනෙක් සගයන් වෙනුවෙන් කෙටි කෑම හා මෙගා පැණි බීමක්ද රැගෙන. මේ අතර අපට මදක් එහායින් පෙම් යුවලක් යැයි කියා සිතිය හැකි අපට වඩා තරමක් ළාබාල ජෝඩුවක් ඉදගෙන හිටිය. ඉතිං අපි කතා බහ කර කර හිටියෙ අපේ වැඩකටයුතු ගැන, ඒ අතර ප්‍රමාද වෙන අපේ අනෙකුත් සගයන්ගෙ ප්‍රමාදයට වන්දි වශයෙන් ඔවුන් වෙනුවෙන් වුනු ආහාර ප්‍රමාණයක්ද ගිල දමන්නට අපි අමතක කළේ නෑ. මොකද ප්‍රමාදය පසු තැවීමට හේතුවක් බව ඔවුන්ට වටහා දෙන්නටත් ඕන නිසා. කොහොම වුනත් කාලෙ ගතවුනා. ටිකෙන් ටික අපේ සගයො එකා දෙන්නා පැය කීපයක් ඇතුළත අසනීපයි කිව්ව අන්තිම කෙනත් ඇවිත්. ඔන්න ඉතිං අපි අපේ සාකච්ඡාව ගැඹුරින්ම අරඹන්න හැදුවයි කියමුකෝ. මතක තියාගන්න මේ පැය කීපයේම අර කලින් කිව්ව ජෝඩුව ඔවුන් මුලින් හිටි තැනම හිටි බව, ඒ දිහා නොබැලුවත් අැස් වලට අංශක එකසිය අසූවක් පේනවනේ.
ඔන්න අපි කතාව පටන් ගන්න හදනකොටම එක පාරටම දඩස් බඩස් ගාල සද්ද ඇහෙන්න ගත්ත. අපි යමක් හිතන්නත් කලින් අපේ සගයෙක් අත දිගු කරල කීව අන්න කොල්ලට ගහනවා කියල. වැරදිවට තේරුම් ගන්න එපා...සිද්ධිය කියනකම් ඉන්න. සිද්ද වුනේ ඔයාල හිතපු සිද්දියක් නෙවෙයි.
අපි බැලුව ඒ දිහාවෙ, අර ගෑනු ළමය හිටි තැනින් නැගිටල සමීපයෙ හිටි පිරිමි ළමය පේන්න හිටියෙ නෑ. ඒ වෙනුවට කොල්ලො දෙන්නෙක් තමන්ට යටවෙලා ඉන්න අපිට නොපෙනෙන කෙනෙකුට හොදින්ම තලනවා. තත්පරයෙන් තේරුනා යටවෙලා ඉන්නෙ එතන හිටි කොල්ල බව. සිද්දිය විග්රහ කරගන්නට අපි කාලෙ ගත්තෙ නෑ. කෙළින්ම හිටි තැන්වලින් නැගිට්ට අපි සද්ද බද්දයක් දාගෙන එතන්ට ගියේ පහර තැළීම නවත්වන්න. පහර තැළීම නැවතුව කොල්ලො අපිට කීවෙ අර ගුටි කාපු කොල්ල ගෑනු හොරෙක් කියල. එහෙම කියල ආයෙ ගහන්න ගත්ත. අපි ටිකක් වැඩියෙන් සද්දෙ පාවිච්චි කරල වැඩේ සම්පූර්ණයෙන්ම නැවැත්තුව. මේක මිනී මරා ගන්න තැනක් නොවන බවත් අපිට ඒ වෙනුවෙන් ඉඩදිය නොහැකි බවත් තව වග උත්තර බැදීමට සාක්කි කරුවන් විය නොහැකි බවත් දැඩි ස්වරයකින් දැම්මෙ අවස්ථාවෙ විදිහට. ඒ කතාවට සාක්කි වශයෙන් මට පෙන්නන්න කට්ටියකුත් රැස්වෙල හිටිය. ඒ යාබද නගර සබා ගොඩනැගිල්ලෙ කාර්යාලීය සේවක පිරිස, උඩ තට්ටුවෙ සදලුතලයෙ වගේම පාත කෙළවරටත් ඇවිල්ල සද්ද බද්ද නිසාම. ඒ උදවිය ගොඩනැල්ල සීමාවෙ ඉදන් සිද්දිය නරඹනව. අපේ පිරිස්බලය හා දැඩි ස්වරයට මට්ටු වුනත් පහර දෙන්න ආපු කොල්ලන්ගෙ ආවෙගෙනම් තවම සන්සිදිල නෑ. ඉන් කෙනෙක් කිව්වෙ තමන් සමග අවුරුදු හතක් යාළුවෙලා හිටපු ගෑනු ළමය අද උදෙත් ගෙදර ඉන්නව කියල තමන්ට බොරු කියල තමන්ගෙම හොදම යාලුවෙක් එක්ක රවුම් ගහන්න ඇවිත්ලු. (එ් වෙලාවෙ මටනම් ඔවුන් ඒ කිව් දේවල් එතරම් මතකෙ රැදුනෙ නෑ, නමුත් අපේ සගයෙක් කිව්වෙ ඒ විදිහට) කොල්ලන්ගෙ වයසෙ හැටියට ආවේගෙ සාධාරණ වුනත් මේ කතාවෙ අගමුල දන්නෙ නැති අපිට නොනිල වශයෙන්වත් මේවට අතදැමීමට අයිතියක්වත් හැකියාවක් නැති නිසා අපේ යුතුකම එපමණකින් අපි නැවතුවා. වෙන්න ගිය මිනිමරා ගැනීමක් එ් අවධානමෙන් ඉවත් කළා. පස්සෙ මේ ස්ථානයෙ යම් වගකීම් දරණ කීප දෙනෙක් මේ ගැන විමසන්න එතනට ආවත් එතකොට බොහෝ වැඩ ඉවරයි. මේ සිදුවීම මෙතනින් එහාට කොතැන නවතීවිදැයි අපි දන්නෙ නෑ. ඉතින් ඒ උදවිය එතනින් පිට වෙද්දි අපි ආයෙත් අපේ වැඩේට අත ගැහුවා.
අපේ වැඩේ ධනාත්මක කොමාවක් යොදල ගෙදර ආවට පස්සෙ මතකෙට අාවෙ කලකදි අමුතු සතුටක් දැකපු තැන අද අමුතුම දුකක් දැක්ක බව. නමුත් ඒ තරුණගැටයන්ගෙ ආවේගය ඉන් එහා එතනදි පිට නොවෙන්න නොදුන්නනම් (වෙන්න දුන්නනම්) තවත් දුක් වෙන්න දෙයක් එතන දකින්න සිදුවෙන්නත් තිබුන.
එතනදි උන්ට කියූ විදිහටම ආවේගයෙන් මරා ගන්නෙ නැතිව කතා කරල දේවල් විසදගන්න මොන වයසෙ තරුණ අයත් පුරුදු වෙන්න ඕන නේද. සේරම නින්දාවට පත්වෙලා. තවත් දුරදිග යන ප්‍රශ්න නිර්මාණය කරගෙන. මොකද ඔය විදිහට පටලවාගත්ත ආදරයක් නිසා ඔහොම මැරෙන්න හැදීමෙන් ප්‍රතිඵලයක් ලැබෙනවද? එහෙම දෙයක් නැති සේම දුරදිග ගියාම පොලිසි උසාවි ගානෙ තමන්ගෙ වටිනාම ජීවිත කාලෙ රස්තියාදු වෙන්නත් සිද්ද වෙන නිසා. ජීවිතය කියන්නෙ චිත්‍රපටියක්වත් අපි එහි රගපාන නළුවොවත් නොවෙයි. කතාවට අපි වේදිකාවක රගපාන නළුවො වගේ කීවත්, ඒක ටිකක් ගැඹුරෙන් ගන්න ඕන එකක්. මොකද කතාව අනුවම වුනත් වේදිකාව කියන්නෙත් චිත්‍රපටිය කියන්නෙත් දෙකක්නේ.
වාණිජ චිත්‍රපටයක තියෙන සරල බොළද බවට වඩා වේදිකාවක රංගනයක ගැඹුරක් හොයාගන්න පුළුවන්. ඉතිං ඒ අර්ථයෙන් ජීවිත රංගනය ගැන හොයාගන්න රස්තියාදු ගහනව මිසක, තරුණ ජීවිතය කෙල්ලක් හෝ කොල්ලෙක් වෙනුවෙන් විනාශ කර ගන්න පාර හදා ගැනීම සතුටු කලකදි දුකක් හොයාගන්න හදාගන්න උල්පතක් විතරයි. පුළුවන්නම් හොයා යන්න ජීවිතේ ගැඹුර, ඒක කවදා හරි තමන්ට නොවැටී ඉන්නට උදව් වේවි.
ඒකෙ අනික් කතාව තරුණ වයසෙ ආදරේ කරන්න එපා කියන එක නොවේ. ආදරේ කියන හුදු සංකල්පයක් වෙනුවෙන් රැවටිලා තමනුත් අනුනුත් විනාශ කරගන්න හදන්න එපා කියන එක.
ඉතිං අද දවසෙ මගේ රස්තියාදුව සුද්ද වෙන්නෙ ඔන්න ඔය හිතිවිල්ල එලියට දැමීමත් එක්ක.
Friday, August 29, 2014
කවදා තේරුම් ගනීද මේවා...
අපි වර්ජන කරන්නේ ආණ්ඩුවට අපේ රුදාව දනවන්නටයි. හැබැයි අපේ බොහෝ වර්ජන වල විලිරුදාව විදින්නේ මහජනයායි. නමුත් අපේ උදවිය හිතන්නේ මහජනයා විදවීමෙන් ආණ්ඩුවලට රිදෙන බවකි. ආණ්ඩුවට පහර වැදෙන බවකි. එ්ත් මහජනයා බනින්නේ වර්ජන කරන උන්ටය. අවසන එකිනෙකාට රිද්දාගන්නේ උන් හා මුන්ය. එනම් දෙපිළ බෙදෙන මහජනයාමය. අර එක් ආගමික ශාස්තෲන් වහන්සේ කෙනෙකුට දුන් මරණ දඩුවම තමාගේ තීරණයක් නොවේ යැයි අත හෝදා ගත් පිලාත් ලා මෙන් අපේ මැති ඇමැති ගොල්ලත් දෙපැත්තට රිද්දාගන්නට දී අත් හෝදා කටවලුත් හෝදා ගනිති. වගකීමක් හිස දරා ඒ වෙනුවෙන් තම තනතුරින් පවා ඉල්ලා අස්වන්නට හිතන එකෙකු අපේ මැති ඇමැති අතර නැත. ඔට්ටුවලට, ගොන් කම් වලට ඉල්ලා අස්වෙන්නට මාධ්‍ය තුළ හඩ තැලීමට පමණි උන් දන්නේ. අනේ ඉතිං ඇදගන්නේ අපම තමා. ඇන්දෙන්නේ අපම තමා. වගකීමත් අපෙම තමා. ඔවුන් බබාලා, අපි විසින් නළවන තොත්ත බබාළා...
ඉතිං වර්ජනයෙන් දෙන ගර්ජනය ආණ්ඩුවට කෙසේවෙතත් මහජනයාට දැනෙනවා. පෙරළා ඔවුන්ගේ ගර්ජනයත් ආණ්ඩුවලට නොව තමන්ට සේවය නොදෙන උන් වෙත. ඉතිං අර වර්ජන වල බලපෑමෙන් රිදෙන්නේ කාටද? වඩා හොද නැතිද තමන්ගේ සේවය නිසි ලෙස කරලාම මහජනයාගේ හිතත් හිසත් දිනාගෙනම විරෝධය පාන්නට වෙනත් ක්‍රම සොයා ගැනීම, කල්පනා කර බැලීම. මොකද, ආණ්ඩුවෙන් අපේම සල්ලි හොලවල සොච්චම් විජ්ජාවක් කළාම මිනිස්සු ආපහු ඒකටම යට වෙන නිසා. බොහෝ වෙලාවට නිවැරදි තීරණයක් ගන්න හයිය තියෙන්නෙ දාහෙන් කෙනෙකුට, එ්කත් නිවැරදි වෙලාවෙ වෙන්නෙ තවත් දාහෙන් එක් අවස්ථාවක.
එ් නිසා ආණ්ඩු පෙරළෙන තරමට නොඑන වර්ජන ආපහු කරන අතටම කැරකෙනවා. ආණ්ඩු සුද්දයි. කරපු උන් හා විදින මුන් දත් නියවනවා උනුන්ටම. ඉතින් ඔය අවසානය වෙනස් කරගෙන ප්‍රතිඵලයක් දකින්න නම් වෙනස් විදිහකට හිතන්න වෙනවා.
මහජනයා නොරිදවා,
සේවය නොවරදවා,
බැති පෙම් උපදවා,
වැඩය කරගත යුතුයි සොදවා...
දූ දරුවන්ට ගහනකොට අම්මලා තාත්තලාට රිදුනට මොකද, මහජනයාට ගැහුවට අපේ ආණ්ඩුවලට රිදෙන්නෙ නෑ කියල දැනගත්තොත් ඇති. ඒ ගොල්ලො ඡන්දෙ ගන්නෙත් අපේ අය ඡන්දෙ දෙන්නෙත් වෙනමම දේවල්වලට...අර අයිස් බකට් වගේ, නැත්නම් ගස් බැදීම වගේ.. ඒවයි සුදුසුකම්.
ඉතිං දෙපිළ තුන්පිළට බෙදී අපිත් කරමු ඡන්ද කාලෙට දේසපාලන සෙල්ලම. අවුරුදු ක්‍රීඩාවලටත් වඩා ඒක හරිම විනෝදයි ...
Thursday, August 28, 2014
කණේ පහර සැර වැඩී, බලුවැඩ දහක් වටී....ද? අපේ පිරිමිකම් හා ගෑනුන්ගේ පිරිමිකම්...!
අපි ජීවත් වෙන්නෙ නිවටයො පිනුම් ගහන රටක, වාරියපොළ කණේ පාර සැර වැඩිද බලන්න නොයෙකුත් පරීක්ෂන කෙරෙන අතරේ අදාළ තරුණියගෙ මානසික තත්වයත් පරීක්ෂා කරාලු. ඒක සාමාන්‍යයිලු.
එ් සිදුවීම පසෙක තියද්දි රටටම අමු පිස්සු තොරොම්බල් පෙන්නපු මර්වින්ලට කණේ පාරක් දෙන්න යම් සිදුවීම් වලට බදුන් වුනු තැන් වල පිරිමි නොහිටීමත් ප්‍රශ්නයක්. ඒ වගේම අදටත් පිස්සු නටන මර්වින් ඇතුලු තව දාහක් දෙනාගෙ මනස පරීක්ෂා කරන්න මේ රටේ මොන පරීක්ෂනයක් වත් නැති එක විදේශයෙන් ගෙන්වල හරි තවත් පරීක්ෂනයක් කරන්න වෙන තරම් ප්‍රශ්නයක්.
එතරමට අපි හැමෝම සුපිරි ගෙවල් වල කුක්කො ගානට වැටිල. කන්ඩ බොන්ඩ සැප නම් බල්ලෙක් වුනාම මොකද නේද?
අනේ මෙහෙව් රටක්! ජනතාවක්! බලු නොවටින මහජනයා හා තොපේ මතය :) යැයි කීවොත්...
සාමාජයක් හැටියට විග්රහ කරගන්න ඕන දේකුත් එතන තියෙනව. මනසත් අවුල් නැත්නම් අච්චර කණට ගැහුවෙ විනෝදෙටද? කියල හිතල බලනව වගේම මර්වින්ල වගේ බොරු නම් ගත්ත තවත් දාහක් පාදඩයො බලු වැඩ කරනකොට උන්ට කණට ගහන්න පෙළඹෙන්නෙ නැත්තෙ මරණ බයටමද? කියල හිතල බලන්නත් වෙනව.
මර්වින් හමුවෙ මරණ බයට ඇකිළෙන අපේ ඈයො කෙල්ලක් හමුවෙ වීරයෝ වෙන්න හදනව. යම් කතාවක් කියල ඒ වෙනුවෙන් ලැබුනු ගුටි ප්‍රමාණය සාධාරණයි කියල කොල්ලෙක් හිතපු එකත් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ අර කණේ පාරවල් වලින් කීපයක් අපේ පිරිමිකමටත් වැදුන කියල දැනුනම තමයි, කණේ පාරට හා ඒ සිද්ධියට වඩා පිරිමි ගැහැනු පෞරෂ ගැන කතාකරන්න කාලෙ ඇවිත් කියල හිතෙන්නෙ එතකොට. නමුත් මර්වින්ල හමුවෙ බලු වීම අපේ පිරිමිකමට තරම්.. ඔන්න අපේ තරම.
පැය භාගයක් විතර ගෑනුන්ගෙන් කණේ පාරවල් කන්න තරම් පිරිමි බල්ලට වැටිලනම් ඒක ගෑනුන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඇගේ පතේ හයියට එහා හිතන්න කාරණයක්. එක දේ හැමදේ නොවුනත් හැමදේ එක තැනකට ගලපන්න වෙන්නෙ ඒ හිතිවිල්ලත් එක්ක. නැතුව ඒ කෙල්ලට කණේ පාර ගැහීමෙන්ම නෙවෙයි. මේක පිරිමින්ගෙ පිරිමිකම පිළිබද ප්‍රශ්නයක් මිස ගෑනුන්ගේ පිරිමිකම් පිළිබද ප්‍රශ්නයක් නොවෙයි.
මර්වින්ල හමුවෙ ගෑනු වෙන පිරිමිකම මතුවෙන්නෙ ගෑනු ඉස්සරහ විතරනම් සිග්නල් දාල ප්‍රධාන පාරෙන් හරහට පිරිමිකම කපා ගන්නැතුව මැරුණත් ඉස්සරහටම යන්න හිතන්න වෙනව. එ් ප්‍රධාන පාරෙමයි, නියම පිරිමිකම එතැන නිසා. හරියට ප්‍රධාන මාර්ගයෙ හරහට වැටුණු බාධකය අයින් කරන්න හයිය ඇති නැති කොයි පිරිමිත් පිරිමිකමේ හයියෙන් කරගහනව වගේ, මග අරින්නෙ නැතුව.
ඔන්න වැඩ නම්....පිරිමි කම කියන දේ දෙකයි පනහට දා ගන්නෙත් උඹල අපේ සමහර වැඩමයි. භය නම් පිරිමි නොවුනට කාරි නෑ. හැබැයි ඒ බය නැති කම ගෑනු ඉස්සරහ විතරක් නෙවෙයි. මොන ජඩකම ඉස්සරහත් ඒ විදිහට තියෙන්න ඕන.
වන්දනාවේ යමු පේ වීලා
ඉස්සර අපි ගියේ වෙහෙර වදින්නට. සුදුවතින් සැරසී පොහොයට පන්සල් යාම අපට රටට අරුමයක් නොවේ. එතැනදී අපට පන්සල යනු හුදු ගොඩනැගිල්ලක් නොවේ. අධ්‍යාත්මික ස්මාරයක්. කොහොම ඇදන් ගියත් පල්ලියත් එහෙමමයි.
ඊයේ රෑ සුළු මොහොතක් කොටුව පිට පුද්ගල බස් නැවතුම පසෙක පාවෙන - නමකින් හැදින්වුනු වෙළද හල් සංකීරණය මතින් මදක් ගොස් ආව. මට හිතුනේ දැන් අර කලින් වන්දනාවට වඩා අප මේ වන්දනාවට රුචි වෙමින් ඇති බව. මිතුරකු සමග මෙතන ගැසූ රස්තියාදු මිනිත්තු කීපයේ දුටු සේම, මීට පෙර ද විවිධ තැන්වල දී ගොඩනැගිලි වට කොට බොහෝ දෙනෙක් වන්දනාවේ යෙදුනා මතකයි.
පන්සල්ද පල්ලිද අධ්‍යාත්මික මුහුණකින් තොරව පෙනෙන්නට පටන් ගෙන ඇති නිසාදෝ ගොඩනැගිලි වන්දනාව දැන් ජනප්‍රිය වෙමින් යනු පෙනෙන්නේ, පල්ලි පන්සලුත් ලස්සන ගොඩනැගිලි, කඩ සාප්පුත් ලස්සන ගොඩනැගිලි. හරි අපූරු සාප්පු වන්දනා.
රට සංවර්ධනයට මේ වන්දනාව වැදගත්ලු, වන්දනාව වැඩි වූ තරමට මඩි තරවේලු. අධ්‍යාත්මික සුවය සොයා පල්ලි පන්සල් ගිය අයට දැන් මානසික අවපීඩනයෙන් මිදෙන්න ගොඩනැගිලි වන්දනාවත් අපූරු දෙයක්. සාධු සාධු නොකියන නිසාම දැන් ගොඩක් දෙනා ගොඩනැගිලි වදින්න යන්නේ කන්න බොන්න හොදට පේ වෙලා. හරිම අපූරුයි. තව හොද හොද සෙල්ලං ඉස්සරහට තියේවි. ඒව එළිවෙන ජාමෙට කියනවනේ.
ඔය අස්සෙ බැදිවල, ගම්මාන වල එහෙමත් කරක් ගහල ඒ පැතිවලට පුරුදු පුහුණු කරන්න ඕන දේවලුත් මොනවද කියල හොයල බලන්න පුළුවන් වුනානම්, කාට කාටත් පේවිලා ම වට වන්දනාවේ යන්න හැකි වෙයි, කොයි කොයි ප්‍ර දේසෙත්.
දේසේ හැටියට බාසේ කියනවනේ. දැන් අලුත්වෙන දේසෙට සිංහලත් නොගැලපෙන තරම් ද කියලත් හිතෙනවා. අපි දැන් හදන්නෙ රෑටත් ඇහැ ඇරලම ඉන්ඩලුනේ. බලන්ඩ ඒකෙත් හැටි, ගස් ගල් වලට වැද වැද ඉදල, අර්ථයක් ඇතිව වදින්න පුදන්න පුරුදු වුනු අපි දැන් ගොඩනැගිලි වන්දනාවට පුරුදු වෙලා. ලොකු ලොකු ගොඩනැගිලි, පාරවල් දැක්කම ඇතිවන සද්දාව හරිම වැඩී. භක්තියත් හරිම වැඩී. සමහරුන්ගෙ ඇගේ මවිල් කෙළින් වෙනව සද්දාවට, හරියට රජතුමා ගමට වැඩිය වගේ ඇහැට පේන කොන්ක්‍රීට් කදු සජීවීකරණය.
ඉතින් මෙහෙම යනකොට මං වැඩකරන ගොඩනැගිල්ල වගේම විවිධ අවශ්‍යතා සදහා යන එන හැම ගොඩනැගිල්ලක්මත් එ් වගේම, අහස උසට නැතත් හිතේ භක්තිය ඇති කරන හැම ගොඩනැගිල්ලක් ගැනමත් හිතල ඒව සරණං ගච්ඡාමී කියමින්ම ජීවිතේ ගෙවන්නත් වැඩි ඈතක් නැතිවම අපි පුරුදු වේවි. එදාට වට වන්දනාවේ නෑවිත්ම හැමදාම ගොඩනැගිලි වන්දනාව කරන්න අපි පුරුදු වෙයි. එහෙම වුන රටක පල්ලි පන්සල් නිවාඩු නිකේතන වගේ ගොඩනැගිලි වේවි. ඔන්න ඔහොමලු ලෝකයේ දිහාට රට යන අත. අපි යන අත.
අපි මොන විදිහට හිතුවත් අද උපදින දරුවන්ට ඉතිරි භෞතික ලෝකයම විතරයි. එ්ක ඇතුළෙ අධ්‍යාත්මික නටඹුන්වත් නැහැ. කෑම, බීම හා ජොලිය-තව වෙන මොනවද? ජීවිතය කියන්නෙ එච්චරයිද? එහෙමනම් ඒක හිස් දෙයක් විතරයි... හිස් ලෝකෙක ගොඩනැගිලි, පාරවල්, යාන වාහනත් එක්ක පිළිවෙලකට ජීවත් වෙන සත්තු ගොඩක් විතරක් වෙයි අපි හැමෝම.
මට හිතෙන්නෙ අපි යන්නෙ එහෙම ගමනක්, ලෝකෙත් යන්නෙ එහෙම ගමනක්. කෙළින්ම ඉස්සරහට යන මහ පාර එහෙමනම් දකුණට හරි වමට හරි සිග්නල් දාල මම ගන්නව අතුරු පාරක්. සමහර විට ඒ පාරෙත් දකුණට වමට අතුරු පාරවල් තියේවි. ඉස්සරහ අනතුරක් නම් ඒ තැන්වලිනුත් හැරෙන්න වේවි. මම හැරෙනව, හැබැයි යන්නෙ ඉස්සරහටමයි.
Thursday, August 21, 2014
මගේ ඉදිරි දැක්ම - ඔබට ස්තූතියි.
හැමදේම එකය. නමුත් එකක් හැමදේ නොවන නිසා එක එක වෙන් වශයෙන් විස්තර කෙරේ. නමුත් අවසන සියල්ල එකය. ඔබත් මමත් ගණනින් දෙදෙනෙකි. ඔබ පිරිමියෙක් නම් මමත් පිරිමියෙක් නම් එතැන ගණය පිරිමිය. ඔබ ගැහැනියක් නම් මම පිරිමියෙක් වුවත් එතැන අප මිනිස් ගණයේය. ඔබද මිය යනු ඇත. මමද මිය යනු ඇත. එතෙක් අප දෙදෙනාම ආහාර ගන්නෙමු. ඒ දෙතැනක හිදය. ගන්නා ආහාර වර්ගද විවිධය. එහෙත් අප දෙදෙනාම එකලෙස ආහාර දිරවා එක ලෙස බැහැර කරන්නෙමු. ඔබේ දේශගුණය සෞම්‍ය කළාපික වනු ඇත. මා උෂ්ණ කළාපයක වනු ඇත. ඔබේ පැහැය එකක් වද්දී මගේ පැහැය තවකක් වනු ඇත. එහෙත් අප ව්‍යුහාත්මක වශයෙන් එකම විශේෂයක වන්නෙමු. ඔබ මුහුණ දෙන අද්දැකීම් විවිධය. ඔබේ වයස මට වැඩි හෝ අඩුය. මගේ අවශ්‍යතා එකක් වද්දී ඔබේ අවශ්‍යතා තවකකි. එහෙත් අප දෙදෙනාම නින්දත් නොනින්දත් දෙකම ලැබ දිවි ගෙවන්නෝය. ඔබේ පවුලේ සාමාජිකයින් ගණනින් බොහෝ වන්නට පිළිවන. නැත්නම් පවුලේ එකම දරුවා ඔබ වන්නටත් පිළිවන. මගේ තතු ඊට ඉදුරාම වෙනස් විය හැකිය. එහෙත් අප දෙදෙනාම එකම මූලයකින් බිහිවූවන්ය. ඔබට දරුවන් ද සිටිනවා විය හැකිය. මා විවාහකයෙකු නොවන්නට ද පිළිවන. එහෙත් පුද්ගල භූමිකා වලින් තොරව ගත්විට අප දෙදෙනාම ලෝක වාසී මනුෂ්‍යන්ය. අපට ලැබෙන සැලකීම් පිළිගැනීම් විවිධ වන්නට පිළිවන. එහෙත් අප දෙදෙනාම උපතත් විපතත් අතර දිවියකට හිමිකම් කියන්නන් පමණය. ඔබ මට ඔබේ අදහස් නොකීවා වන්නට පිළිවන. මා මගේ අදහස් ඔබට කීවා වන්නට පිළිවන. මම ඔබ නොදන්නවා වන්නට පිළිවන. ඔබ මා නොදන්නවා වන්නට පිළිවන. එහෙත් අප ලෝකයේ කොහේ හෝ දිවි ගෙවන්නන් බව අපට විශ්වාසය. එනම් අප ජීවින් බව අපට විශ්වාසය. එයිනුත් මනුෂ්‍යන් බව තව දුරටත් විශ්වාසය. සිංහලය දන්නා බවට ඉදුරාම පැහැදිලිය. ඒ එකම සිංහලය දන්නා නිසා ඔබත් මමත් අතර මනුස්සයා යන්න හැර සියල්ල වෙනස් වුවත් තවත් එක දෙයක් සමාන විය යුතුමය. එනම් සිංහලය දන්නා එකය. දන්නා සිංහලය අප එකි නෙකා වටහා ගන්නා අකාරය විවිධ වන්නට පුළුවන. ඔබ හරි යැයි සිතන දේ මම වැරදි යයි සිතනු ඇත. සමහරවිට එකම දේ අප දෙදෙනාම සිතනු නැත්ද? මම මා ගැන බොහෝ කොට තේරුම් ගෙන ඇත. ඔබ ඔබ ගැන බොහෝ කොට තේරුම් ගෙන තිබෙනවා විය හැකිය. ඔබෙන් මට ඵලක් නැතිද? මගෙන් ඔබට ඵලක් නැතිද? මිනිසෙකුට තවත් මිනිසෙකු ගෙන් ඵලක් තිබෙන්නේ ගනුදෙනුවකදී පමණක්ද? මම පරිගණකය ඉදිරියේ හිදින්නෙමි. ඔබත් පරිගණකය ඉදිරියේ හිදින්නෙහිය. ඒ එකම වේලාවේක නොවනු ඇත. ඔබ යමක් කියවනු ඇත. ලියනු ඇත. බලනු ඇත. මමද යමක් කියවමි ලියමි බලමි. ඒ එකක්ද නොවනු ඇත. එහෙත් දෙකක්ද නොවේ. ඔබටත් මටත් බලන්නට ඇති දේ වල එකම වෙනස රට රට වල තහනම් කොට ඇති දේ පමණි. ඔබත් ලෝකය දකින්නෙහිය. මමද ලෝකය දකින්නෙමි. ඒ එකම ලෝකයකි. නමුත් එකම ආකාරයෙන් නොවේ. කිසිසේත්ම එකම ආකාරයෙන් නොවේ. එ්ත් අප දෙදෙනාම ජීවත් වන්නේ දෙරටක වුවත් එකම රටක දෙතැනක වුවත් එකම ලෝකයේය. ඔබේ පැවැත්ම මමය, මම කියමි. මගේ පැවැත්ම ඔබය, ඔබ නොකිව්වත් මම කියමි. තවත් මිනිසෙකු නැති ලෝකයක ඔබට පැවතිය හැකිද? මට පැවතිය හැකිද? උත්තරයක් මෙතන ලිවීමට අවැසි තරම් ඔබ හෝ මා බුද්ධියෙන් මන්ද නොවෙමු. එබැවින් මට සහය දුන් ඔබට ස්තූතියි. මගේ ඉදිරි දැක්ම හැදෙන්නේ සියල්ල එකක් බව වටහා ගැනීමෙනුත් එකක් යනු සියල්ල නොවන බව තේරුම් ගැනීම තුළත්ය. ඒ අවබෝධය ලබා දෙන්නට මට පිටිවහල් වූයේ ඔබය. එබැවින් නැවතත් ඔබට ස්තූතිය. දිනෙක අප හමුවන්නටත් කෙදිනකවත් මේ අවකාශයෙන් පිට අප හමු නොවන්නටත් පිළිවන. එහෙත් යහපත පතන ඔබට පිං...සිංහලය තේරෙන අපට එකිනෙකා කෙරෙහි මෙත් සිතින් දිය හැකි එකම තුතියෙන් මම ඔබට සංග්‍රහ කරමි.
අවසන් වශයෙන් කියමි, මගේ ඉදිරි දැක්ම ඔබයි. ඔබ දෙස බලා මම ශක්තියක් ලබමි. ඒ ශක්තියෙන් මගේ ඉදිරි දැක්ම නිරන්තරයෙන් පෝෂනය වනු ඇත. ඔබට ජය.
ශුද්ධ වූ රස්තියාදුව ජීවිතය ඇතිතෙක් නිමි නොවේ. හිතට එකගව වැරද්දෙන් තොරව ජීවිතය දිනන්නට අප හැමට ශක්තිය...වේවා.
මිනිසුන් හැටියට ඉපදී යහපත් මිනිසුන් හැටියට මියයමු.
Tuesday, August 19, 2014
දැනගෙනම ඉඩ දෙනවාද? පාදඩ මර්වින් ප්‍රතිරූපකයන්ගේ කණ පළනවාද? දරුවන්ටත් තරුණයන්ටත් ආතල් ගන්නට කියා දෙන වැඩිහිටි ගොබ්බරාළලා විසින් සමාජය වනසා තමන්ද වැනසෙන හැටි
මර්වින් ප්‍රතිරූපයාගේ සිට ගත්කළ ගොබ්බ ගොමකල බදු වැඩිහිටියන්ට අතුල් පහර දෙන්නට සුදුසු පිරිසක් පහළවේවා. එ් පහළ වන පිරිසත් අපම මිස වෙන කව්ද? එසේ සිතෙන්නේ සමාජයේ යන්තමින් හෝ ඉතිරිවී ඇති වටිනාකම් එළිපිට කෙළසන මර්වින් ප්‍රතිරූපකය වැන්නන්ට එ් ජඩකම්වලට බදුන්වන තැන්වලදීම නිසි ප්‍රතිචාර දැක්වීමට නොතරම් තරමට අප මහජනයා මරණබිය ඇතිවුන් වීම සමාජයේ අද කුඩා දරුවා හෙට පාදඩයෙක් කරන්නට දෙන ලයිසමක් වීම වැනියැයි වැටහෙන නිසා. හරි හෝ වැරදි මහනායකටත් බණ දෙසන මර්වින් ප්රතිරූපකයන් අපට අත එසෙව්වොත් නම් හෙට මැරුවත් එතැනම කණපලනවා සත්තයි. හැකි තරම් ප්‍රසිද්ධියේම එවැනි පුහු පාදඩ ප්රතිරූප බිදිය යුතුය. තිරශ්චීන වැඩිහිටි ප්‍රතිරූපයන්ට එබදු ලෙසින් සැළකීමට අපට හිමිකමක් ඇත. අප යනු මා වැන්නන්ය. මා යනු ශුද්ධ රස්තියාදුවන්ය. බලපුලුවන්කාර හෝ දූ දරු ඥාතී හයිය හෝ පරම්පරාව හෝ රටේ කෙරුමෝ යන්න අපට බිය ඇතිකරන්නක් නොවේ. අප ඒවාට බිය වන්නේද නොවේ. නීර්භීත කම යනු උස මහත හෝ ප්රභූත්වයද නොවේ. කපටි කමෙන් තොර සද්භාවයයි. අවස්ථානෝචතියයි. නමුත් ගරු කළයුතු වැඩිහිටියන්ට අපි දොහොත් මුදුන් තබා වන්දනා මාන කරමු. ඔවුන් අපේ ශක්තිය සේම මතු පරපුරේ ආලෝකයයි.
සමාජයකට ගුරුහරුකම් ගන්නට අප සියල්ලක් නිතර හැරෙන්නේ අප වැඩිහිටියන් වෙතයි. ඒ වැඩිහිටියෝ අපට කියාදෙන්නේ ආතල් ගන්න හැටි ගැනනම් එහෙව් උන්දලාගෙන් තැනෙන සමාජයක් වින කටින්නේ උන් උන්ට පමණක් නොව තවත් බොහෝ දෙනාටයි. උදාහරණ කප්පරක් ඇතත් නුවණ ඇත්තන්ට සෑහෙන ලෙසින් එක් උදාහරණයක් පමණක් කියමි. මෙසේ කියන්නේ රටේ ධනය මෙන්ම අනාගතය වෙනුවෙන් තැනෙන දහසකුත් අවස්ථා තම පුද්ගලිකත්වය මතින් විනාශ කරන පාපතරයන්ට අප කෙළින් කටින්ම එරෙහි විය යුතු නිසාය. එ් තැන්වල බඩගෝස්තරය වෙනුවෙන් නිවට නොවිය යුතු නිසාය. එවැනි දේ මෝඩ කම් යැයි හිතනවානම් ඔබත් මොළේ පමණක් ඇති හදේ පනක් නැති නිකම් ගොබ්බ මිනිහෙක් පමණි. වහාම මෙතනින් ඉවත්වී ඔබේ මහත්මා තිරිසන් දිවියටම යන්න.
මීට අවුරුදු කීපයකට පෙර එක්තරා රාජ්‍ය ගුවන් විදුලි නාළිකාවක් අප ප්‍රදේශයේ ඇරඹුනි. එහි පාලනය භාර ගන්නට පැමිණියේ රජයේ ප්‍රධානම ගුවන් විදුලි නාළිකාවක සිංහල අංශයේ ප්‍රධානියායැයි ගර්වයෙන් කියමින් පැමිණියෙකි. තරුණයන් වූ අපද ඒ වෙත බලාපොරොත්තු සහිත වූයේ හදවත අතට ගෙන ඔහු කතා කරනු අසාය. නාළිකාව විකාශන කටයුතු ආරම්භ කරන්නට ආසන්නයේ සම්මුඛ පරීක්ෂන සදහා පැමිණි පිරිස පාරවල් දිගේ පෝලිම් තැනෙන තරමට විය. ටික දිනකින් මේ පෝලිම් නිමා වූයේය. අලුත් පිරිසක්ද එතැනට බදවා ගැනුනි. නාළිකාවේ විකාශනය පරීක්ෂනාත්මක තත්වයෙන් මිදී සාමාන්‍ය තත්වයට ආවේය. ගත වූයේ ටික කලකි. තමන්ගේ ස්ත්‍රී ධූර්ත කමත්, සුරා ලෝලීත්වයත් කර පින්නා ගත් ප්‍රධානියා සමහර අවස්ථාවලදී තමන්ගේ පුද්ගලික භාවයද ආයතනයේ කටයුතු තුළට ගෙන ආ බවට එහි මුල්ම කණ්ඩායම ඇතුළත් වූ මා මිතුරා සාක්ෂි දරනු ඇත. විටින් විට යම් අවස්ථානුකූල දායත්වයන් දැක්වීමට ගිය අපවද ඔහු සාදරයෙන් පිළිගත්තේය. මෙසේ ටික කලක් ගත විය. ලාබ හෝ පාඩු හෝ සාර්ථක හෝ අසාර්ථකත්වය තුළ රාජ්‍ය ප්‍රාදේශීය නාළිකාවක ලේබලය පමණක් සහිතව මෙම නාළිකාව ටික කාලයක් ගත කළේය.
දිනක් බොහෝ සේ රස්තියාදුකාර වූද ඒ ආයතනයෙන්ම මෙහෙයවනු ලැබූ කටයුත්තක් සදහා මමද එහි ගොස් සිටියෙමි. තතු නොදන්නා අපේ පිරිසක් හමුවේ තම ගුණ යපහත්කම පෙන්වීමට ආයතන ප්‍රධානියා එතැනදී බොරු රංගනයක් ඉදිරිපත් කරනු සෑහෙන වේලාවක් ඉවසා බලා සිටියෙමි. අප වෙතද බලපෑම් සහගත වූ එ් රංගයේ සීමාව ඔහු විසින් අතික්‍රමණය කරන්නට යෙදුන තැන ඔහුගේ අවසරය රැගෙනම මම ඔහු හමුවේ කෙළින් සත්‍ය වචන කීපයක් කතා කළෙමි. ඔහු අපහසුවට පත් විය. අනතුරුව මම එතැනින් ඉවත්ව ආවේ මගේම කැමැත්තෙනි. අප වැඩසටහන් ප්‍රධානියා නැවත පැමිණෙන ලෙස ඇමතුමක් දුන් නමුත් මම එය කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමි. ඉන් බොහෝ දවසකට පසු හදුනන්නෙකු පැවසූයේ ආයතනයේ ප්‍රධානියා එහිදී ඉතිරි වූවන්ට කියා තිබුනේ මාව සම්මුඛ පරීක්ෂනයකින් නොතේරුනු නිසා එ් හැගීමෙන් මා ඔහුට නිකරුනේ චෝදනා කළ බවක්ලු. එය ඇසූ මට ඔහුගේ නිවට ගතිය ගැන සිනා පහළ විය. අදාළ සිදුවීමේදී සම්මුඛ පරීක්ෂනය පිළිබද වගක් මට නොවීය. මා ඔහුට පැවසූයේ අපට කෙළින් කතා නොකොට වක්‍රාකාරව අපව මුළා කරන්නට ඔහු කළ තැත අපට වැටහෙන බවය. නමුත් ඔහුගේ වැඩිහිටි කමට මම කාරුණික වීමි. ඒ සිදුවීමෙන් පසු ඔහු තවත් තැනකදී මට හමුවිය. එහිදී ඔහු මා ඇගයූවේය. මගේ මිතුරාව ආදරණීය ලෙස විවේචනය කළේය. ඔහු අප මුණගැසුනු එ් සාකච්ඡාවේදී යම් ඉදිරිපත් වීමක් කරන අයෙක් වෙතොත් ඔහු හෝ ඇය තම ආයතනයට බදවා ගන්නටත් පොරොන්දු විය. කුහක වැඩිහිටියන් ගැන හදුනාගෙන සිටි මම හැකියාව තිබියදීත් ඉවසා නිහඩවූයේ වැරදි ලෙස අවස්ථා දිනා ගැනීම අපහට තරම් නොවන නිසාය. ඔහු එහිදී අපේ ඉදිරි දැක්ම විමසුවේය. මම දුන් පිළිතුර වර්තමානයේ සම්මත එකක් නොවීම පිළිබද ඔහු විචාර කළේය. මේ වැඩසටහනේ ප්‍රධානියාද ඔහුද මිතුරන් වූ නිසා ඔවුන්ගේ අන්‍යෝන්‍ය පිට කසා ගැනීම් හා දේසපාලුවන්ගේ පිට කසා ගැනීම් මේ වැඩසටහන් තුළද අන්තර්ගත විය. එ් වැඩසටහනේ තවත් තැනෙක ඔහුගේ අතින් සහතික පත්‍රයක් ලබන්නටද අවස්ථාවක් මට විය. අකමැත්තෙන් වුවත් මම ඒ අවස්ථාව ඉවසීමි. තවත් විටෙක මුණ ගැසුනු තැන අත වනා සමාචාර කිරීමටත් ඔහු ක්‍රියාකළේ අපගේ හිත පදහවන්නටය. මමත් ඔහුට එලෙසින්ම ප්‍රතිචාර පෑමි. නමුත් මේ සියල්ල තුළ මා එකක් වටහා ගතිමි. කපන්ට බැරි අත සිම්ඹත් මේ වැඩිහිටියාට අප වැනි තරුණයන් ගැටලු සහගත වූ බවයි. ගැහැනුන් ගැන නන් දොඩා, දේසපාලන මුසා පවසා, ඔහුත් සමග අඩියක් ගැසුවේ නම් අපත් ඔහුට ගැලපෙනු ඇත. නමුත් අඩි ගහන්නට ඕනෑ නම් ගහන්නට හැකි වුවත් අපට නුවමනා නිසා අපි අඩි ගහන්නේ නැත. ගැහැනුන් ගැනද එසේමය. කළ යුත්ත හා නොකළ යුත්තත් විය යුත්තත් සොයායමින් සිටි අවධියක වුව අපට හිතේ හයියත් ඇගේ හයියත් දෙකම අවුරුදු කීපයකට පෙරත් තිබුණේය. ශුද්ධ වන්තයන් නොවුනත් අපි පිරිසුදු කම අගය කළෙමු. පිරිසිදු කම හොයා ගියෙමු.
නමුත් අර විදිහට තම ජඩකම් පුද්ගලික පටිපදා ලෙස ආයතන තුළ අනුමත කරගෙන හිටි මිනිසුන්ට වූයේ කුමක්ද? ටික කලකින්ම සිදු වූයේ තමාගේ අදූරදර්ශී අහංකාර වැඩපිළිවෙල නිසා ආයතනයේ ඇතිවූ කඩාවැටීම හේතුවෙන් එතැනින් යන්නට සිදුවීමයි. ඉන් කියවෙන්නේ ඉන් පසු ආයතනයේ තත්වය යපහත් කරන්නට කිසිවෙකු සමත් වූ බවද නොවේ. තවමත් ආයතනය බංකොලොත්ය. බැහැර සබදකම් පවත්වමින් සිට වුව ඉන් පිටවූ දා පටන් තවම එ් ස්ථානයට පය නොතැබූවත් ඒ බව දකින්නට ගුවන් විදුලියක් වූ එහි යා යුතුද නැත. කෙසේ නමුත්රජයේ මහජනයාගේ මුදලට වැඩවන්නේ එලෙසින්ය.
මේ අවුරුදු පහ හයකට පෙර සිදුවීමකි. කතාවට විෂය කොටගත් ප්‍රධාන උන්දෑ සමග මගේ හිතේ කිසිදු කෝන්තරක්ද නැත. නමුත් තමන්ගේ අයපහත් දුර්ගුණ හුවා දක්වමින්, පටු මාන්නයටත්, වාසියටත් දැන නොදැන අන්යන් විනාශ කරන්නට මෙබන්දන්ට බලය ලබා දෙන්නේ කව්ද? එය අපට ප්රශ්නයකි. ජඩ දේශපාලුවෝ නොවේද එ්? උන්ට බලය ලබා දෙන්නේ කව්ද? අප නොවේද? මම නම් එලෙස ලබාදී නැති නිසා, නිර්භයව එබදු මහත්මා ප්රතිරූප ජඩයින් පත් කරන්නට ඡන්දය දෙන උන්දලාට අැඹුල් පොල් පිති පහර දිය යුතු බව කියනවාට විරුද්ධ නොවෙමි. තමන්ට වැඩ කළා කියා එක එකාට සළකත් නම් ජඩයින්ට ඡන්දය නොදෙන අවංක මිනිසුන්ට සළකන්නේ කව්ද? ඔවුන් මුහුදට දැමිය යුතුද? මේක ඒ ජඩයින්ටම ගිය රටද?
තරුණයන් හෝ වැඩිහිටියන් හැටියට මුල් දින කීපයේ ඒ ගුවන් විදුලිය වටා රොද බැදුනු ප්‍රාදේශීය මිනිසුන්ගෙන් ඵලක් ගන්නට එ් ප්‍රධානියාට නොහැකි වුනේ ඇයි? හදවත අතට ගෙන කතාකරත් තමන්ගේ ජඩ ගති තමන්ටම පාලනය කරගන්නට නොහැකි වූ නිසාය. එහෙව් ජඩ වැඩිහිටියන් කෙරෙහි අප දැක්විය යුත්තේ කෙබදු ආකල්පයක්ද? ඒ ඒ ප්‍රදේශයේ හැකියා දක්ෂතා ඇති මිනිසුන්ට ආණ්ඩුවෙන් ලැබෙන අවස්ථා බොහොමයක් මෙහේ කළමණාකරණය වන්නේ එබදු ලෙසකින් නොවන බවට ඔය රූප පෙට්ටිවල සද්දදාන එක ගොබ්බ කෛරාට දේසපාලුවෙකුට ඔප්පු කළ හැකිද? නොහැකිය. පොඩි කොන්ත්‍රාත්තුවේ සිට මහා පරිමාණ ව්‍යාපෘති දක්වා මේ විෂබීජය පැතිර තිබෙනු අප කොතෙකුත් දකින්නෙමු. ඒ ජඩයෝත් උන්ට ඡන්දය දෙන බුබ්බඩයෝත්ම පමණි, රටේ බහුතරයත්. ඉන් මිදීමට තරම් හිතේ වීර්යයක් ඇත්තේ කී දෙනාටද? බොහෝ දෙනා ඒවාට එරෙහි වීමට වඩා බඩ ගෝස්තරයට නිවට වීම යපහතියයි අදහති.
සමහර වැඩිහිටියෝ අපට කියා දෙන්නට හදන්නේ කෙල්ලන්ගෙන් ආශ්වාදය ගන්නා හැටිය. සුරාවෙන් ගත ප්‍රබෝධමත් කරගන්නා හැටිය. මෙහෙව් වූ ගොබ්බ නිවටයෝ සමාජයත් කා ඉන් චුත වන්නේ අපටද පව් ගොඩ ගසාය.
උන් දෙසන ආකාරයට මේ යන රැල්ලේ ආශ්වාදය ගැනීම මහලොකු දෙයක්ද? ඒ පට්ට ආතල් ගන්නා හැටි ගැනත් අපි හොදින්ම දන්නෙමු. නමුත් දැනගන්නට දැනගන්නට අප හදන්නේ සියල්ලක් විනාශ කරන එ් ගොබ්බ මාර්ග වලින් ශුද්ධව ජීවතයක සැනසුමක් දකින්නටය. ඒ ගැන කියන්නටය. එහෙත් තමන්ගේ ජීවිතවලටත් හැබෑ අරුතක් දිනා ගන්නට අසමත් වූ හැකියාවක් පමණක් ඇති වුන් සමාජයකට දැන දැන ම වල කපන්නේ නම් ඒ හුදෙක් තමන් වලට වැටුනු වෛරයෙන්ම පමණි. ඉන් මිදීමට නොහැකි මායාගත හීන වීර්යයෙන්ම පමණි.
ඔය ආකාරයෙන්ම හැමදා කතා කරන තවත් ප්‍රශ්නයක ආකාරය ත්‍රස්ත වාදයක් දක්වා ගියේද මෙතනින් යැයි සිතමි. දැන් සමහර රතු පක්ෂ වල ඉතිහාසගත කැරළි වලට දෙස් තබන වම් දකුණු ප්‍රධාන පක්ෂ, ඒ එදා රතු පක්ෂ හේතු යුක්ති ඇතිව හෝ නැතිව යම් කෙටි කාලයක වැගුරෑ ලෙය හෝ විනාශ කළ නිශ්චල චංචල දේපළ මතක් කරමින්ම ජනතාවගේ හිස අතගා අවුරුදු දහය විස්ස තිස්සේ සූරා කෑම හොදද? එබදු ලෙසකින් කොපමණ මුන් සූරා කා ඇත්ද? ගුණ මකු කම නම් දෙකම එකය. නමුත් දෙපයින් හිට යුක්තිය පිළිගැනීමට කොන්ද ඇති මිනිසුන් අද ඔතැන නැත. බහුතර වශයෙන් මහත්මා ජඩයෝ පමණක් හිදිති. අපි කළොත් හොදය. අනෙකා කළොත් නරකය.
එහෙව් මෙහෙව් වශයෙන් ගෑනුද, මත්පැනද, තවත් නොයෙකුත් වරදානද වෙනුවෙන් කෙළ හළන ගොබ්බර වැඩිහිටි ප්‍රජාවක් මේ රටේ වෙසෙති. උන්ගේ ක්‍රියා කළාප අප හොදින්ම දැක ඇත. නූතනයේ දරුවා ගේ සිට තරුණයා දක්වා වනසන මුන් වෙත අපේ අසිපත් අවදියෙනි. ඒ අයෝමය අසිපත්ම නොව බුද්ධියේ හා ප්‍රඥාවේ අසිපත්ය. අයෝමය අසිපතකට වඩා දහසකුත් වැඩ එයින් කළ හැකිය. පණ ඇති තුරු අප නවත්වන්නට සමත් ජගතෙකුද නැත. අවසන් පණ කෙන්දෙදීද වැලිකැටය හෝ අප විසි කරන්නේ සාධාරණය හා යුක්තිය සදහාම පමණි.
කුඩා කළ සිට මෙහෙව් ජනයාගේ පර වැඩ දකිමින්ම විටෙක එ්වා තුළ වැටෙමින් වුව දෙපයින් හිද ජීවිත රස්තියාදුව ශුද්ධ කරගත්තවුන්ය අප. එ් ලෙහෙසි පහසු ලෙස දෙමාපිය උරුමයක් ලෙසින් නොවේ. දෙමාපියන්ගේ මෙන්ම අපේද අසීමිත කැපවීමකිනි. එබැවින් පරයින්ගේ දෙපා මුලින් අල්ලා උන් පර සක්වල ගැසීමට අප ගතත් සිතත් ශක්තිමත්ය. නියමින් හෝ අනියමින් අප කරන්නේ එයයි. කළ යුත්ත එයයි. එසේ නැතිව දුර්වල මනසින් ගණිකා වෘත්තියේ යෙදෙමින් හිතට හදට දැනෙන ඇත්ත යුක්තිය අනාගත පරපුරට නොදී සමාජ විග්රහ කර කර හිදීමම නොවේ. එ්ක එක විෂයක් මේක තව විෂයක් ලෙසින් අප දැනුමෙන් පොහොසත් වෙද්දී හදවතටත් හිතටත් ගතු කියන අර ජඩයින් කී ගුණයකින් නම් ළමා තරුණ පිරිස් ඩැහැ ගන්නේද? මුළාවේ හෙළන්නේද? නියමින් හෝ අනියමින් විරුද්ධ විය හැකි කොපමණ ජඩ කම් ප්‍රමාණයක් හමුවේ අප නිවට වී ඇතිද?
එහෙව් වූ පාපතර වැඩිහිටි ගොබ්බයින්ට එරෙහිව හිස එසවිය යුතු කාලයයි මේ.
එබැවින් මතක තබා ගන්න, තමන්ගේ හිත දුර්වල හෝ රස්තියාදු වූ පමණට හැමකාම එ් රස්තියාදුවේම විනාශය දක්වා කලතන්නට කිසිවෙකුට අයිතියක් නැති බව. විය යුත්තේ, කළ යුත්තේ ඒ රස්තියාදුවෙන් මිදීමට උන්ට අතහිත දීමය. දෙපයින් නැගී හිදින්නට දිරි දීමය. නැතිව මේ සමාජයේ හෙට විකසිත වන්නට පිපෙන කැකුළු වලට ආතල් ගන්න හැටි කියා දීම නොවේ. එ් අති ගොබ්බ විනාශකාරී ආතල් කඩා ගන්නා හැටිත් දෙපයින් කොදු කෙළින් කොට ජීවත්වන්නටත් කියා දීමය. අපට වඩා වැඩිහිටියනි, මේ සදහා මං හෙවීමට තොපට යුතුකමක් නැතිද?
ගොබ්බ මොළ වලට වධදී මේ ලෝකයේ විනෝදය අතර හිතේ සැනසුමත් ගතේ සැනසුමත් දෙන සද්ධර්මය හොයන්නටත් යහමග යන්නටත් හැමට වීරිය වේවා. ප්‍රඥාව පහළ වේවා. මෛත්‍රිය වැඩෙත්වා.
Monday, August 11, 2014
යහමගට ඇරඹුමක් - මෛත්‍රියෙන් යුත් ශුද්ධ වූ යුද්ධයක්
අනෙකාගේ බෙල්ලට පිහිය තබා "උඹේ ජීවිතය මෙපරිද්දෙන් ගෙවිය යුතුය" තර්ජනයට, ගර්ජනයට හෝ අත්අඩංගුවට ගැන්මට අපට අයිතියක් නැත. එබැවින් අපි අනෙකා වෙත යපහත පතුරවන්නේ ඒ පිළිබද අප වටහා ගන්නා දෑ ප්‍රකාශ කිරීමෙනි. ඒ ප්‍රකාශ කිරීමද සිදුවන්නේ අයහපතට එරෙහිව මිස තවත් යහපත් මතයකට එදිරිව නොවේ. වාණිජවාදී සංකල්ප තුළ හැමදේම මුල්‍ය වටිනාකමින් තක්සේරු කරද්දී යහපත අපට ඒ වටිනාකමින් මැනීමට ඉඩදිය හැකි නොවේ. මිනිසාත් මානව සමාජයේත් විනාශය ඇරඹෙන්නේ එතැනිනි. කොතැන කොයි ලෙසකින් ඒ තත්වය ඇරඹී තිබුනත් අප සමාජයේ ඒ මත පතුරවන්නන් සිටියත් මේ සමාජය ඒ වෙත ගොදුරුවීමට එරෙහිව අපට විසි කළ හැකි වැලිකැටය පවා නිවැරදි ලෙස විසිකරන්නට අප උනන්දු විය යුතුය. තීරණාත්මක පනහට පනහ බල තුලනයේදී වැලි කැටයටත් දශමයකින් වුව මහ විශාල බලයකට දායක විය හැකිය.
ත්රස්තයන් සමග යුධයකදී අපේ මානුෂවාදී බවේ වගපල හේවූ අය තවත් මහ යුධයකදී දත කට පූට්ටු කර ගෙන සිටිති. ලෝකයාගේ හැටි එහෙමය. බලවතාට ලැබෙන තැන දුබලයාට නොලැබෙයි. බලවතා පැහැරුවත් සුවද යැයි කියන මිනිස්සු දුබලයා පැහැරූ තැන දුබලයාට අසූචි කවන්නට හදන්නේ "කැත කළා" යයි කියමිනි. ඒ ලෝකයාට ලොකුකම් පෑවත් අභ්‍යන්තරයෙන් දුබල මිනිසුන්ගේ හැටිය. සමාජ, දේශපාලනික ලොකු කතා අස්සේ යටිතල පහසුකමක් බදු යහමගක් හැම ගමක් ගමක් පසා හැදෙන්නේ නැතිතාක්, ගෙයක් ගෙයක් ගානේ හැදෙන්නේ නැතිතාක් මිනිසා කොච්චර උගත්තත් රටක් පොහොසත් වන්නේ නැත. මහා විශාල ඉතිහාසයක් අනන්‍ය සංස්කෘතියක් ගැන කතා කරන හිතන අප වැනි රටවලට එහි බලපෑම විශාලය. බුද්ධියත්, ශරීරයත් වෙහෙසීම සමග බැදුනු මිනිසුන්ට වඩා හදවතත් හිතත් වෙහෙසෙන මිනිසුන් අප රටවල සිටීම එයට හේතුව නොවේද? එය ප්‍රධාන හේතුවකි. බුද්ධියත් තර්කයත් සමග ගැටලු විසදීම පහසු වුව හදවතත් හිතත් සමග ගැටලු විසදීම පහසු නොවේ. නමුත් මෙහදී අපට උගන්වන පහසු ක්‍රමය නම් හදවත පොම්පයක් බවත් හිතේ හිතලු බොහෝ බවත් බුද්ධියෙන් තේරුම් ගෙන සංස්කෘතික හා ආගමික බැදීමෙන් පහසුවෙන් මිදී පොෂ් ලෝකයට පියමැනිය යුතු බවයි. " අද යන ක්‍රමය ඕකයි " බොහෝ දෙනා යන අතට බෝට්ටු පදින්නයැයි අපට කියන්නේ ඔය සම්මතයට අනුවයි. එහි බලපු ගමන් ඇත්තේ බුද්ධියට ගෝචර හොද ඇත්තකි. ඒ නිසාම බොහෝ දෙනා ඒ අනුව යති. නමුත් ගැඹුරේ ඇති ගැටළු නොදැක යන නිසාම ඒ ගැටලු සමාජ දේශපාලනික ප්‍රශ්න ලෙස මතුවන තැන්වලදී තවත් ප්‍රයෝග තෝරා ගන්නා අතර සියල්ල වාණිජත්වයට යටපත් කරන විසදුම් වලට පිවිස සමාජයම විනාශ කර ගනිති.
අපට අපේ ජාන වලින් උරුම හැකියා දක්ෂතා බාහිර පරිසරයේ ලබා දෙන සම්මත අධ්‍යාපනයෙන් ඔප නගන ක්‍රමයක් අප රටේ වෙත්ද? බහුවිධ බුද්ධියක් ගැන කියන අතර අපි අපේ ජාන අනන්යතාවයන්වත් හදුනා ගෙන ඇතිද? අපේ දෙයක් ලෝකයාට දෙන්නට බැරි තරම් අපි අනාථද? තරගකාරීත්වයට අපේ මනස සකස් කළ යුත්තේ අර පෙර කියූ ලෙසින් හදවතත් හිතත් අයාලේ යවමින්ද? එය දහමකට අනූකූල කළ යුතු නැතිද? එසේ නොකොට ඔලුවත් ඇගත් පමණක් හැදූ පසු ඒ අඩුව නිසාම නිර්මාණය වන ප්‍රශ්න වලට විසදුම් හොයන්නේ තව දුරටත් විනාශ වෙමින්ද?
දේශපාලුවෝ බොරු කියති. මහජනයාගෙන් බහුතරය ඔවුන්ගේ පිට කසති. ඒ පවතින ක්‍රමයෙන් ඔවුන්ට හරි හෝ වැරදි ලෙසින් ලබා දෙන වරදාන නිසාය. ඉතින් මේ අන්‍යෝන්‍ය පිට කසා ගැනීම එක් පාර්ශ්වයකට ප්‍රමාණවත් නොවන තැනදී ඔවුහු සමාජයේ විරෝධතා ඇති කරති. බලය ඇති දේශපාලකයෝ තමන්ගේ බලය එවිට පෙන්වති. බලය නැති මහජනයා එය ලබාගත හැකි තවත් පිරිසකට හිතවත් වෙති. සමාජයේ රටේ ගමන ගැන හෝ සමස්ථය ඉදිරිය බලනවා වෙනුවට එක එකාගේ බඩ වියත හෝ බඩ ගෙඩිය තරවීමක් පමණක් සිදුවේ. බඩ ගෙඩි වැඩි ප්‍රමාණයක් තර කළ පමණින් රටක් නිවැරදි ගමනකට අවතීරණ වෙත්ද? අප ජීවිතය යනු බඩ පමණක්ද? ඉතිහාසය භූගෝලය ගැන නන් දොඩවමින් අප කොහේ ගාටාවිද? තවත් රටකට කොකු ගසා ඇදෙන්නේ නැතිව තමන්ගේ රුවලක් නංවාගෙන හුලං සැරේ යොදා ගෙන තමන්ට අවැසි දිශාවට අප දැක්කෙන්නේ කවදාද?
එතැන දී අපේ පළමු අනන්‍යතාවය සිහියයි. බුද්ධියෙන් තර්කයෙන් තම වාසියට කල්පනා කරන රටවලට වඩා හොද සිහියෙන් කල්පනා කරන්නට හැකිනම් අපේ රටේ ශක්තිය අවදිවන්නේ එතැනයි. අපේ ජාන අනන්‍යතාව අවදි වන්නේ එතැනයි. කලක් තිස්සේ ගැඹුරු දහමක රසයෙන් මත්වුනු අපේ හිත් වල හදවත් වල ශක්තිය අවදිවන්නේ එතැනයි. ඉතින් ඒ දහමත් සිහියත් හැරපියා අප යන ගමනේ නිවට ගතියක් මිස අපේ ගතියක් එන්නේ නැත. ඒ ගතිය ගන්නට කලිසමෙන් සරමට බහින්නටම ඕනෑ නැත. ඕනෑ නම් බැස්සත් කමක් නැත. නමුත් ඔය ගතිය ගත යුත්තේ හොද පිළිවෙතකින් මිස සරමෙන්ම හෝ කලිසමෙන් ඔය ගතිය සපුරා එන්නේ නැත. එබැවින් සරම ඇන්ද පමණින් අපේ ගතිය ඇගට ආවට ක්‍රියාවට එන්නේ නැත. ඒත් අදින්නට පුලුවන් නම් සරම හොදය. ඒත් සමග ගැටුමට නැති සිහිය අවැසිය. කලිසම වුව කම් නැත. ඇති කර ගත යුත්තේ නිවැරදි අවබෝධයය. මේ කියන්නට යන්නේ ශුද්ධ වූ ජාතියක් ගැන නොවේ. යහපත් ජාතියක් ගැනය. රටක් ගැනය. සුද්දෝ හෝ කලු සුද්දෝ හෝ ලක්ෂ ගණනින් ගෙන්වා රටට ආදයම ගැනීම එකකි. ඒ ඔස්සේම හීන බැලීම නිවට කමකි. එතැනින් මිදීමට මේ කාලයයි. හැබැයි එතනදී වැඩි කැපවීමත් යහපිළිවෙතත් එක්කරන යහමගක් මිස අන් මගක් ගත්තොත් අපට නැගිටීමක් නම් ඇත කියා හිතෙන්නේ නැත. නැගිටීමක් වෙතොත් අශුද්ධ කිළිටි පාපබර විලසකින් මිස ශුද්ධ ලෙසකින් නම් නොවේ.
එබැවින් ඒ යහමග සරි කිරීම සදහා අපට ඇති යුතුකම තනි තනි අප යහමගට එළැඹුමයි. එය ශුද්ධ වූ යුද්ධයක්මයි. බෙල්ලට පිහිය තියන්නැති, අපේ හිත් ශක්තිමත් කරගෙන හරි විදිහට වැඩ කරන්නට ගැනීමයි ඒ ශුද්ධ වූ යුද්ධය. අනිවාරතේ රස්තියාදු හිතිවිලි වලටත් ගමන්වලටත් හුරු අපේ රස්තියාදු ශුද්ධ කරන්නට පටන් ගැනීමයි ඒ ශුද්ධ වූ යුද්දේ. ඒ යහමගට අැරඹුමක් හදා ගත්තොත් දිනක අපත් රටත් ගොඩ යාවි. ලෝක විනාශ දිනකදි තවත් දහමක පුරාණයේ කියවෙන පරදි මෙන් කදු ඉස්මත්තක නැවක ඉතිරිවන ජාතියක් වන්නට අපට හැකිවේවි. අලුත් ලොවක් ගොඩ නැගීමට යහපිරිසක් අපෙන් ඉතිරිවේවි. ඒ මනස්කාර උපකල්පිත කෙසේ වෙතත්... මේ දිවියේ කෙළවරකවත් අපි සැනසුමක් ලබාවි.
අයහපතට උඩගෙඩි හැදෙන ලෝකයක රගමින් හෝ යහපත උදෙසා ම ක්‍රියා කරමු. ඒ වෙනුවෙන් ශුද්ධ වූ යුද්ධයක් කරමු. අපි තුළ නොමිනිසා මරා මිනිසා රැක ගමු. තමාට මෛත්‍රිය වඩමු, අන්යනටත් එතැනින් උපදෙන මෛත්‍රියෙන් සංග්‍රහ කරමු.
ලේබල් කළා:
යහමග
Sri Lanka
Sri Lanka
Thursday, August 7, 2014
සද්ධර්මය ම පමණයි පිළිසරණ
ඔබ මගේ පිට කසන තාක් මට කාංසියක් නොදැනේ. ඔබේ පිට මා කසන තාක් ඔබට කාන්සියක් නොදැනේ. එහෙත් දිනෙක ඔබත් මාත් සදාකාලිකව තනි වන්නෙමු. ඒ අන්‍යෝන්‍ය පිට කසා ගැනීම් නොමැති දිනයේ අප පිළිසරණට හිදින්නේ කව්ද? සද්ධර්මය නොදන්නා එතැන අසරණය. ලෝකය දිනූ අධිරාජ්‍යන් වේවා, මහ මග යදින සිගන්නෙකු වේවා එදිනට වෙනසක් නැත. කුඩා කල කාගෙවත් පිට නොකසන අපගේ පිට කසන්නට බොහෝ දෙනා සිටිති. එහෙත් ක්‍රමයෙන් වැඩෙන විට ඒ උදවිට අපෙන් ඈත් වෙති. ඒ මිනිසාගේ සොබා සංස්කෘතියේ හැටියකි. ඒ ඈත්වීම රටින් රටට ගමින් ගමට වෙනස් වූවාට ඔය කොයි පෙදෙසෙත් එදාට වඩා අද වැඩිය. එය කාලයේ හැටිය. ඉතින් මහ මිනිසුන් වූවාට පසු යාළුවෙකු, සොහොයුරෙකු හැර දෙමාපියන්ගෙන් තොරව නම් බොහෝ දෙනා අපේ පිට කසන්නට එන්නේ නැත. යාළුවා හෝ සොහොයුරා හෝ බොහෝවිට එන්නේත් අප ඔහුගේ හෝ ඇයගේ පිට කසන තරමටය. ස්වාමි භාර්යා සබදතාව ගැන මා කතාකරන්නට යන්නේ නැත. සමහරවිට එය සොදුරු අන්‍යොන්‍ය පිට කසා ගැනීමක් වන්නට පුළුවන. කෙසේ හෝ ලෝකයේ ඇත්තේ මේ පිට කසාගැනීම්ම පමණකි. මේ පිට කසා ගැනීම් නොවන්නේ සද් ධර්මයක් ඇති තැනක පමණකි. තමන්ගේත් අනුන්ගේත් පිට කැසීමෙන් තොර නිරාමිස සතුටක් භුක්ති විදිය හැක්කේ, සැනසුමක් අත්විදිය හැක්කේ එතැන පමණකි. එබැනින් තතු දන්නෝ තමන් වටා ඇති කුණු කසළ මඩිමින් ඉදිරියට එන්නේ එබදු වූ සද්ධර්මය සොයාය.
මේ සත්ධර්මය යනු සමාජ සම්මතයක් නොවේ. එලෙසින්ම අසම්මතයක්ද නොවේ. සම්මතය කලකින් කලකට වෙනස් වනවා සේම ඊට විරුද්ධාභාස ඇති අසම්මතයද සම්මතයේ තරමට වෙනස්වේ. ඒ අන්ත දෙකක් පමණි. විටෙක සම්මතයේ පැත්තක සිටිනා සද්ධර්මය විටෙක අසම්මතයේ පැත්තක ද සිටී. එවිට සම්මතයින්ද අසම්මතයින්ද ඒ කොන් අල්වා ගෙන තර්ක මවති. නමුත් සද්ධර්මය යනු එබදු අන්ත දෙකක් නොවේ. සම්මතයෙන් පහර කෑවෝ අසම්මතයට නැඹුරු වෙති. අසම්මතය පිළිකුල් කරන්නෝ සම්මතය වැළදගනිති. එහෙත් මේ දෙකම හුදු මත පමණකි. සද්ධර්මය යනු හුදු මතයක් නොවේ. එය ජීවනය තුළ යථාර්තයයි. ජීවිතය තුළ යථාර්තයයි. ලෝකය හා විශ්වය තුළද අපට ගෝචර කර ගත හැකි එකම සත්‍ය සද්ධර්මය පමණි.
දාඩිය පිළිකුල් කර සුවදවිලවුන් තවරා ගත් පමණින්. සැපදායක ඇදුම් පැළදුම් ඇගට දා ගත් පමණින් අපට මැඩිය හැක්කේ කවර ධර්මයක්ද? එයින් අදහස් කරන්නේ දාඩිය පෙරමින් ගද ගසමින් සිටිය යුතු බවද? නැත. යථාර්තය නම් සත්වයා සම්බන්ධ කිසිදු ධර්මතාවක් අපට මැඩිය නොහැකි බවය. එබැවින් සුවද විලවුන් තවරා ගෙන දාඩිය පිළිකුල් කිරීමවත් නැත්නම් දාඩිය පෙරාගෙන ගද ගසමින් හිදීමවත් සැනසීමට මගක් නොවේ. දහදියට එහා ගිය මරණයක්ද අප ශරීරයට ඇති බව වටහා ගනිමින් දහදියෙන් ආතතිය ගැනීමත් ගලා යන දහදිය පිස නොදැමීම යන අන්ත දෙකෙන්ම මිදී එ් මොහොතේ දහදිය පිස දමා ගැනීමෙන් එ් මොහොතේ සැනසීමය. වටහා ගත යුතු සත්‍ය නම් සත්ව ශරීරය සම්බන්ධ සමහර දේ කල් දමා ගැනීමට අපට හැකත් සදාකාලික ජීවනය මේ ශරීරයේ අපට ලැබිය නොහැකි බවය.
යථාර්තය සගවා සතුටුවෙන්නට ජීවිතය අරඹන අවදියේ සිට අපි උගනිමු. අපට උගන්වන්නේද එය හරියට කරගන්නා හැටිය. නමුත් යම් දිනක අපි කව්රුත් වටහා ගන්නා දෙයක් නම් මේ යථාර්තය ජීවිතයේ යම් යම් තැන එලිබහින බවය. කදුළු තද කොට හිනැහුනාට අපට හිත විදවන දුකෙන් මිදිය හැකිද? ඉන් මිදිය හැකි එක මගක් ඇත. ඒ සද්ධර්මය දැන ගැනීමයි. ජීවිතය යනු සැපය පමණක් ලැබෙන දෙයක් නොවන බව අප වටහා ගතහොත් පමණක් නොවේද අපට දුකෙහිදී සැනසීමක් ලැබිය හැක්කේ. පහසුවෙන්ම ජීවිතයේ යථාර්තය පසක් වෙන පරිසරයක, එය කියාදෙන සද්ධර්මයත් දැක දැකම අපි අපේ රටක ඒ හරය ඉවත ලමින් සිටින්නෙමු. අපරදිග ක්‍රමයට ජීවිතය විචාරමින් රස්තියාදු ගසන්නෙමු. බුද්ධිය ම මුල් කොට එහි අක්මුල් තුළ පමණක් සත්‍ය සොයන්නෙමු. එය හරියට ලොව දියුණුම පරිගණක වලින් විදුලිය නැතිව වැඩ ගැනීමකට සමානය. එසේ කියන්නේ පද්ධතිය කොතරම් දියුණු වුවත් ඊට ශක්තිය සැපයෙන හිත හෝ පද්ධතිය නිසා හට ගන්නා චිත්තය පද්ධති සමාන වූ පමණින් ක්ලෝන නොවන බව අපට තේරුම් යන නිසාය. එබැවින් භෞතිකව ඒකාකාර පදනමක යන සත්ත්ව ශරීරයම වුව ජානමය වශයෙන් කොතරම් සු විශේෂී වෙත්ද, නොපෙනෙන චිත්තය ඒ පදනමෙන් වුව මැනීම කොපමණ අයුරකින් ප්‍රමාණවත් වෙත්ද? එය ඵලදායී නැති නිශ්ඵල ක්‍රියාවකි. ශරීර සුවය හැදුනත් එදිනෙදා දිවිය බෙහෙත් සමග කොපමණ අවුල්වේද, චිත්ත හෝ හිත කම්පන සංඛ්‍යාත හෝ තරංග ආයාම අතරින් නිරවුල් කිරීම පිස්සු නැත්නම් පමණක් හොදය.
එබැවින් සද්ධර්මය හමුවේ ගණිතය හෝ විද්‍යාව තවත් එක් විෂයන්ම පමණි. එබැවින් පැවැත්ම උදෙසා ගණිතය විද්‍යාව උගත්තත් වටහාගත යුත්තේ සද්ධර්මයි. එබැවින් පැවැත්ම උදෙසා රංගනය කළත් සැනසුම ඇත්තේ සද්ධර්මයේ බව ස්ථිරයි. එබැවින් හොයාගත යුත්තේත් උඩගු කමින් අප රැස් කරන කුණු කසළින් අප තුළම වැළලෙන සද්ධර්මයයි.
Subscribe to:
Posts (Atom)