රට ජාතිය කියා බොරුවට තැටමුවා මිස පාලකයො කිසි දිනක රට සංවර්ධනයට ජනතා දායකත්වය ගත්තේ නෑ. තරුණයන් ව යුද්ධෙට දැක්කුවා මිස තරුණ ජවය රට සංවර්ධනයට දායක කර ගන්න කිසි නායකත්වයක් වැඩ පිළිවෙලක් තිබුණෙ නෑ. අලුතෙන් හිතන්න, රටේ ඉදිරිය ගැන හිතල හදපු කාලරාමුවක් තිබුණේ නෑ. තමන්ට දේසපාලන අනාගතයක් තියෙනවද කියන එක මිසක් රටට අනාගතයක් තියෙනවද කියන එක හිතුවෙ නෑ. ජීවත් වෙන්නෙ මේ පොළොවෙ කියන එක ගැන හැඟීමක් තිබුණේ නෑ. අපිව රස්තියාදු කළා. ගමේ ග්‍රාම නිලධාරිගෙ කාර්යාලයේ ඉඳන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වාම රස්තියාදු කළා විතරයි. කරපු සොච්චම ගැන කෝටියක් කයිවාරු ගැහුවත් නොකෙරුණු කෙළ කෝටියක් කාරණා ගැන කිසිම විචාරයක් තිබුණෙ නෑ. කෙරුණ සාධාරණ සදය විචාරයක් වත් සත පහකට මායිම් කරපු ඉතිහාසයක් අපි දැකල නෑ.
බලය ඉස්සරහ උවමනාවටත් වඩා දෙකට තුනට නැමිල
අතිගරු
ගරු
කියමින් ඇත්තෙන්ම ගරුකටයුතු මිනිස්සුන්ට තිබ්බ වටිනාකමත් නැති කර ගත්ත සමාජයක් අපි. ඒ කාලෙම ආචාර්යවරු පැටව් ගැහුවා. දේශමාන්‍ය කම් වීරයො ජාති හිතෛශීන් හැම තැනම. ඒ හින්දම වෙන්න ඇති අද අපි මෙහෙම තැනක.
සුදුස්සා සුදුසු තැන ගන්න සටන් කරන්න ඕන රටක් හැදුනෙ ඔන්න ඔහොම.
තවදුරටත් අපේ මහ වුන් වැරදුණු තැන්, වරද්දාපු තැන් පිළිගන්න සූදානමක් නෑ. හිස කඳෙන් වෙන් වුණාට පස්සෙත් කෙටි වෙලාවක් පණ ගැහෙන කවන්ධයක් වගේ දැන්. මහසෝනෙක් හදාගන්නෙ නැති වෙන්න නිවැරදි ඔළුවක් ඕන වෙලාවක් දැන්. ආපස්සට ගමනක් නැති ඉදිරියට පමණක් යායුතු වෙලාවක් දැන් !
No comments:
Post a Comment