රතු තණකොළ දිගට ඇදුණු බිස්ස මත දිග ඇඳිලා කොළපාට අහස දිහා බලාගෙන පාට පාට අනාගතයක් ගැන හීන දැකපු මිනිස්සු හිටියා පළමු පන්තියේ දෙවන පන්තියේ වගේම තුන්වැනි පන්තියේත් දරුවන්ගෙ චිත්ර පිටුවල. ලොකු වෙද්දි හිටියේ කළු සුදු අළු පාට මිනිස්සු විතරයි ඒ බොහෝ හිත්වල. වෙනස් වෙන්නෙ ලෝකය නෙවෙයි, මිනිස් හිත. ඒත් තවත් හිත් නිසා. අපි හිටියත් නැතත් ලෝකයට ඉර හඳ පායනවා. අලුත් දේ බිහිවෙනවා, මියදෙනවා. එනකොට ගෙනාපු අඩි එකහමාරක දෙකක ශරීරය අඩි පහක් හයක් කරල ආපහු මහ පොළොවට දීල අපි යන්න යනව. ආවෙ කොහෙන්ද වගේම යන්නෙ කොතැනටද අපි කව්රුත් දන්නෙ නෑ. එහෙම දන්නවයි කිව්ව අය කියාපු පාරවල් තැන් ගැන හිතාගෙන හිටියත් ආපු වෙලාව වගේම ඉන්න ලැබෙන වෙලාවත් අපිට තීරණය කරන්න හරිම අමාරුයි. අනිත් කොයිකාටත් වඩා ලංකාවේ දේශ-පාලකයන්ට ඔය ටික හරියට තේරුම් යනවනම් කොයි තරම් අපූරු ද? ජනතා බදු මුදලේ අනිසි සැප අරන් යන්න බෑ කියල යන තැනකට. පාට පක්ෂ ඡන්ද නැතිව යන්න වෙන්නෙ තනියම කියල.
මිනිස්සුන්ට ජීවත් වෙන්න මිස රටක් හදන්න ඕන මිනිස්සුන්ට සමාදානයේ සැතපෙන්න නොවෙයි. නීතිය සාධාරණය වැදගත් වෙන්නෙ මනුස්සයෙක් හැටියට ජීවත්වෙන්න. සාධාරණව නිදහස්ව යුක්ති සහගතව ජීවත්වෙන්න පුළුවන්කම තියෙනව නම් ඒ රටේ හුස්ම ටික කොහොම කොතැන ගියත් සැපක් නොවෙන්නෙ කවර මිනිහාටද? ධර්මය ගැන කොතෙකුත් දෙසන රටේ යම් ධර්මයක් දළුලා පැළවෙන දවසක කොරෝනා යන්නම යන්නෙ මිනිස්සුන්ගෙ සැබෑ ප්රති-ශක්තියට ඔරොත්තු දෙන්න බැරිව. ලෝකය තබා රටක් හැටියට හදාගන්න ඕන ඒ ප්රතිශක්තිය මිස ඊළඟ ඡන්දෙ ශක්තිය නොවෙයි. පක්ෂ විපක්ෂ කොයි කාටත් මේක අදාළයි. බොරුවෙන් ආත්ම වංචාවෙන් ගැතිකමෙන් ඩීල් වලින් ගේම් වලින් හැමදාම දිනන්න බෑ. රටක අගමැති ජනපති කමෙන් වුනත් ඡන්ද මිස රටක් දිනන්න දිනවන්න ලේසි නොවන්නෙ ඒකයි. රටක් කියන්නේ ඡන්ද ගොඩක්, ශරීර ගොඩක් නෙමෙයි, මහා පරිසර පද්ධතියක්. ගහකොළ සතා සිව්පාවා ගංඟා ඇළදොළ, මහ සයුර, මහ පොළොවේ ගල් වැලි විතරක් නෙවෙයි ඒ අස්සෙ හැංගුණු නටඹුන් අතීතයත් නොපෙනෙන අනාගතයත් අයිතියි. අග නගරෙ තියෙන ලොකු ගොඩනැගිලි වගේම තවම අත තබා ඇස නොගැටුණු හැමතැනක්ම අයිතියි. ඒ හැම අහුමුල්ලකම ඉන්නා කාටත් ඇති හැකි ලෙසට සතුටින් මෙහෙන් යන තුරු ජීවත්වෙන්නට ඇති අයිතිය රැකදීම මහා වගකීමක් වන්නෙ ඒ නිසාමයි. හෙට දවසේ වෙහෙස මහන්සිය කැපවීම විය යුත්තෙ ඒ සඳහා මයි. "මීටරේ දෙකේ නෙවෙයි, තුනක පරතරයත් එහෙම කැපවීමකට නම් බාධාවක් වෙන එකක් නෑ"
No comments:
Post a Comment