Wednesday, September 23, 2020

හොස් හොස්.. වස් දොස්.. හූ...

මෙරට සාම්ප්‍රදායික දේශපාලනය යනු රොටි පුළුස්සන තැටියකි. ඒ ඒ මොහොතේ තැටිය අතට ගත් අය තම තමන්ට රොටි පුළුස්සා ගත් මුත් මහජනයාගේ බලයෙන් රත් වෙන තැටිය මත ඇති සංවර්ධන රොටියේ පැත්ත මාරුවට හැර බුක්ති විඳීම පිණිස අත්පත් කර ගැනීමට නිසි වෙලාවක් හෝ නිසි ඉඩක් කිසිවිට ජනතාවට ලැබුණේ නැත. දෙපැත්තේ අඩුපාඩු හොයමින් පැත්ත මාරු කරන්නට ගොස් රොටියම කරවී අඟුරු වී ඒ ගඳ ඉවවහා ගොස් ඇතත් තවමත් චෝදනාව රොටියේ වැඩියෙන්ම පිළිස්සුණු පැත්ත ගැනයි. ඒ ගැන දෙස් දෙඩවීම් අපමණයි. තමන්ට කන්ට වෙන්නේ රොටි නොව අඟුරු බව දැන දැනත් අලුත් රොටියක් පුළුස්සා ගැනීමට බොහෝ මිනිසුන්ට වීර්යයක් නැති, බලයක් සවියක් නැති. ජෑම් හෝ බටර් තවරා හෝ අඟුරු කන්නට හිතන පතන ඔවුන්ගේ රැළිය හරි සද්දෙන් "අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා" ගේ භූමිකාවට පණ පොවන්නටයි. අලුත් එන්ජිමකට බලය දුන්නාට ගමන පරණ පීලි මතම නම්, පීලි මාරුවක් සිදු නොවේ නම්, ඒ ගමන බහුතරයේ සදා තෘප්තිය වූ දිනක  අපට හෙටත් අනාගතයටත් අකැමැත්තෙන් වුව ශ්‍රවණය කරන්නට සිදුවෙන්නේ සුපුරුදු සංවර්ධනට පෙර නඟන 'හූ' හඬත් ඒ ගමන් තාලයට අත්වැල් අල්ලන 'හොස් හොස්.. වස් දොස්' හති ලෑමේ රාවයේ ප්‍රතිරාවයක්ම පමණි. 

No comments: