පාදමක් නැතිව ගෙයක් හදන්නට බැරිය. හැදුවත් එය පවත්වාගෙන යන්නට බැරිය. මුළක් නැතිව ගසක් නැති සේම මූල පද්ධතිය කුණුවූදා ගස ඇද වැටෙන බවද සත්‍යය. එසේනම් අසම්පූර්ණ පාදමක්, කුණු වූ මූල පද්ධතියක් ඇති රටකට තවදුරටත් ඒමත පැවැත්මක් නැති බව නොකිවමනාය. පැහැදිලිවම මුක්කු ගසා රට නොවැටී තබාගන්නට තවදුරටත් කිසිවෙකු සමත් වන්නේද නැත. එසේ හැකි උන් සෙවීම වත්මන් දේශපාලනය නඩත්තු කරන එක් සර්වාංග කුපාඩිකමක් පමණි.
යුද්ධයක් නිමා කළේය. එය ශරීරයේ කොටසක් වණවී කුණුවී ගැලවී යන්නට ගොස් යන්නම් නොකපා බේරා ගත්තා හා සමානය. නමුත් නොසෑහෙන වියදමක් දරා ගොඩදමාගත් ශරීරය ප්‍රකෘතිමත් කර වැඩක් ගන්නවා වෙනුවට අපි ඒක සමරන්නට ඇඟ පුරා පච්ච කොටා ගතිමු. වැදගත් විදිහට අතේ පයේ වශයෙන් පටන්ගත් ටැටූ නැටුම ජය බෙදාගැනීමේ තණ්හාව මත කටේ, පිටේ, මුහුණේ පමණක් නොව බඩේ, පපුවේ, පශ්චාත් භාගයේද ටැටූ ගසා ගතිමු. දැන් ඇත්තටම තවත් වණයක් හැදෙන තරමටම ඒ ටැටූ කෙළිය අවකෙළියක් වී ඇත.
මේ සියල්ල අස්සේ ගතවූ කාලය පුරාවට සිදුවූයේ ලාවට ලාවට අටවාගෙන තිබූ රටේ පාදම බිඳී හැලීමයි. ඇද වැටීමයි. අවුරුදු ගණනාවක් තිස්සේ ඒ ගරාවැටීමේ හේතුප්‍රත්‍යය සම්පාදනය වූයේ උතුරු නැගෙනහිර යුද්ධය නාමයෙනි. ඊළඟට දකුණේ භීෂණය නාමයෙනි. සියල්ල ගිණුම්කරණයෙන් විසඳා බැලූ විට එක එකාගේ නමට ලියා ගත් හර බැර හැරුණුකොට අද රටට ඉතිරි වී ඇත්තේ පාසල් පෙළ පොත්වල ඇති දැනුමත්, පරිගණක වල ඇති ඩේටා, දවස් හතරක් කඩින් කඩ වැස්සත් නාසයෙන් ඉහළට වතුර නගින හා ගිලාබහින පොළොවක්, දවස් පහක් තවදුරටත් ගොඩ ගැසීමෙන් ගිනි ගන්නට අරඅදින කුණු කඳු හා ජාතිවාදයේ, ආගම්වාදයේ ආස්වාදයෙන් මනදොළ සපුරන ඇල්මැරුණු මුත් බඩගෝස්තරයේ අයිතිය වෙනුවෙන් නම් මරාගෙන මැරෙන, කැපවීමෙන් තොරව කේතුමතියක් පතන, කඳ ඊස්ටන් ඔළුව වෙස්ටන් කකුල් ලතින් ඇමරිකන්, නන් දොඩවන හුදී ජනතාවක් පමණි.
දැන් අපට ඇත්තේ පැහැදිලි විකල්ප දෙකකි. උපන් බිම ගෙඩිය පිටින්ම කුණු කොල්ලයට විකුණා දෙකෝටියටම කීය කීය හරි බෙදා ගැනීම එකකි.
නැත්නම් මේ අභියෝගයෙන් ගොඩ ඒමට ත්‍රස්තවාදයෙන් සමඟ කළ යුද්ධයට එහා යුද්ධයකට යා යුතුය. අනාගතය උදෙසා වාදබේදයෙන් තොරව අති දරුණු කැපකිරීමක් කළ යුතුය.
නමුත් ඊට පෙර මේ ටික නම් නිරාකරණය කර ගෙන සිටිය යුතුමය.
අපි පෙර යුද්ධයක් දිනුවා තමා. එහෙත් ඒ ත්රස්තවාදයට එරෙහි යුද්ධය දිනුවේ මහින්දවත්, ගෝඨාභයවත්, ෆොන්සේකාවත් ද? එසේ නැත. ඔවුන් කළේ වගකීමක් ඉටු කිරීමකි. ඒ වෙනුවෙන් කැපවීම් කළේ මහජනයාය. දිවි දුන්නේ ද රටේ ජනතාවය. හමුදාව යනු ජනතාවගේ දරුවන්ය. සතුරන්ද ඒ ජනතාවගේ දරුවන්ය. දිනුවේ යහපතය, පැරදුනේ අයහපතය. එපමණකි.
භිෂණ සමයේ සිදුවූයේ කුමක්ද? එයත් සටනකි. යම් අරමුණක් උදෙසා පෙළගැසුණු සමූහයක් හා රජයක් ගැටිණි. සමස්ථ රටේ ජනතාවටම විනාශය අත්විය. සටනක අරමුණ කවරක් වුවත් අවසන රටට ලැබුණු ජය කුමක්ද? කවර භීෂණයක වුව අවසන් ප්‍රතිඵලය රටක පරාජය යි. යුද්ධයේදී මෙන් බර අවි නොදැරුවත් ගිනි අවි ගන්නා කවර අරගලයකදීත් ප්‍රතිඵලයේ බර මැනෙන්නේ ජීවිත වන්දියෙනි. දේපළ හානි, පරිසර හානි පසෙක වේවා..
ඒ නිසා රට නගන්නට යුද්ධ කළයුත්තේ සැබෑවටම කවර අවි ගෙන දැයි ඔබම කල්පනා කළ යුතුය. කව්රුන් දිනවීම සඳහාද යන්න ඔබම තීරණය කළ යුතුය.
කලක පටන් අප පරිසරය හා කරන මුග්ධ යුද්ධය උදෙසාද අද අපි වන්දි ගෙවන්නේ ජීවිත වලිනි. නමුත් හැමදේටම තාවකාලික පැලැස්තර ගසන අපි දැන් නහයට උඩින් වතුර යෑමද නොදැනෙන තරම් මළකඳන්ව සිටිමුද?
පරිසරය හා යුධවැදීම යන්න තරම් වන ගොන් කමක් තවත් වෙත්ද?
ඒ නිසා අපි අපේ විකල්පය, ශුද්ධ වූ යුද්ධය පටන් ගත යුත්තේ පරිසරය නැමති පාදමෙනි. ඒ ගොඩනැගීම සඳහා කටයතු කළ යුත්තේ දුර දකින බුද්ධියෙනි. ඊට ප්රාග්ධනය හා ව්‍යවසාය විය යුත්තේ ද අපේ බුද්ධිය, කැපවීම හා පරිත්යාගයමයි. අප රට ගොඩ නගා ගත යුත්තේ අප සඳහාමයි. ජීවිතයෙන් රට වෙනුවෙන් වන්දි ගෙවූ මිනිසුන් හිටි රටක අපට අපේ ජීවිත කාලයෙන් කොටසක් රට වෙනුවෙන් පරිත්‍යාග කළ හැකිනම්.. රට නැඟුමේ විකල්පය එයමයි. නැවත කිව යුත්තේ අප පළමුව හදාගත යුත්තේ පරිසරයයි. එතැනින් පටන්ගෙන රටම අලුතෙන් හැදිය යුතුය. අලුත් රටක් තැනිය යුතුය. අප ඒ අලුත් රටේ මිනිසුන් හැටියට අභිමානයෙන් ජීවත්වීම තබා මිය යාමටවත් සිතන්නේ නම් අධිකව ඇත්ත කතා කරන්නට පටන් ගත යුතුමය. නිවට කම හෝ ගැතිකම නිසා මහින්දගේ, ගෝඨාභයගේ, රනිල් හෝ මෙෙත්රිගේ, අනුරගේ තබා සම්බන්ධන් හෝ විග්නේශ්වරන්, හකීම්, තොණ්ඩමන් හෝ දිගම්බරන් ගේ වත් පාට පක්ෂ වලිග වල එල්ලෙන්නට නොයා යුතුය. මේ රටට දැන් අවශ්‍ය වැඩපිළිවෙළකි. අද ඊයේ නොවේ, යුද්ධය නිමාවේදීම අපිට අවශ්‍ය වූයේ ඒ වැඩපිළිවෙළයි. මහින්ද ඒ පිළිවෙළට නොපිළිපන්නේය. මෙෙත්‍රී රනිල් දැන් ඕසෙ අදින්නේය. මිනිස්සු පිල් බෙදී වල් වැදී දැන් බඩගෝස්තරය නගාගැනීමේ පිස්සුවෙන් ය. රට භෞතික ගුණයෙන්ද මිනිසුන්ගේ මිනිස් ගුණයෙන්ද සීග්රව පිරිහේ. වෘද්ධයෝ නන් දොඩති. උගත්හු තර්ක දමති. අවශේෂ දේශපාලුවෝ සිය අනාගතය සොයති. දුර්වලයෝ පලා යති. ආත්මාර්ථී නැණත්තෝ කැපවීමට නොහැක්කේ පලා යති. දිළින්ඳෝ මිහිපිට දෙවියන් යදිති. ජන මාධ්‍යය දේව දූතයාගේ සිට දෙවියන්වහන්සේටම අඳිති.
දැන් අප කළයුත්තේ අපට කළහැකි දේ කිරීමය. නිවැරදිවම කළ යුත්ත නිවැරදි කිරීමය. බොරදියේ මාළු බාන්නට හදන අඳ බාලයන් දැන්වත් තේරුම් ගත යුත්තේ බොර දියේ තමන්ට බා ගන්නට මාළු කිසිවෙකුත් දැන් නොමැති බවය. දිය බොර වීමෙන් තව දුරටත් වන්නේ අපට ගෙඩිය පිටින්ම මඩේ ගිලී මියැදීමට ඉඩ සැලසීම පමණි.
ඒ නිසා දැන් කාලය නසන න්‍යාය ශාස්ත්‍ර මත්තේ නැහීමද අත්හැරිය යුතුය. මොන නැටුම නටන්නටත් ගිලෙන නැවක් මත්තේ අවකාශ නැත. අරක මේක කියා තම තමන්ගේ කොටස බේරාගන්නට සමස්ථය ගිලෙන නැවක ඉඳන් බැරිය. ගල්පරයකට හෝ හේත්තුවක් දමා වරායකට ඇදගෙන යන්නට කටයුතු සලසාගතහොත් නැව අලුතෙන් හදාගත්ත හැක. එච්චර හරියක් බැරි නම් නැව අතහැර ඉතිං පැනපන් මුහුදට තමා..
සද්භාවයෙන්ම ඔළමොලයින්ගේ කණට ගසා හිස් බිමට ඔබා නැගිටිය යුත්තෝ දෙපයින්ම කොඳු කෙළින් කොට නැගිටිත්වා!
මේ රට හැදෙන්නට නම් වැඩ කරන කරවන යකුන් මිස තමන් හැදෙන තම පරපුර හදවන උන්ගෙන් වැඩක් නැත.
කාගේත් දැනගැනීමට උවමනාව ඇතුවා නැතුවා, අභිමානයට කියා, කරපන්.. මම එහෙම යකුන්ගේ ගොඩට එක්වෙමියි, කියා.
No comments:
Post a Comment