- පාසල කියන්නෙ හරි පුදුමාකාර තැනක්. අපි නොදන්න නොතේරෙන තැනකින් පටන්ගෙන හොදටම පුරුදු වුනාට පස්සෙ දාල යන තැනක්. දාල යන්න වෙන තැනක්. විශේෂයෙන්ම ජීවිතයම එකම පාසලක නම් ඒ බැදීම සුවිශේෂීයි. අපේ පාසල් කාලයට වඩා අපේ පාසල දැන් ගොඩක් වෙනස්. නමුත් මගෙ මනාපය අදටත් පරණ පාසලටයි. අවුරුදු එකසිය පනහකට වැඩි අපේ පාසල, අවදි කීපයකදි විවිධ විදිහට තියෙන්න ඇති. අපේ යුගයෙ වැඩිමහල් හා බාල සොයුරන්ට මතක නම් ඉස්කෝල පාර ප්රාථමික අංශයට පිවිසෙන තැන දකුණු පැත්තෙ තිබුණු කැප්තොප්පියක් පැළදි බාළදක්ෂ පිළිරුව, වම් පසින් තිබුණු චෙරි ගහ, එතනම තිබුණු ප්රාථමික අංශයේ ඔෆීසිය. යකඩ වැටකින් වෙන්නොවූ ප්රාථමිකය මැද ක්රීඩා පිටිය. කුඩා කාලෙ මහ දක්ෂයෙක් නොවුනත් ඒ අතීත රූප රාමු නම් බොහොම දක්ෂයෙක් ඇන්ද සිතුවම් ගාණට හරි අපූරුවට මතකයේ තියනව. එතැනින් ඇරඹුණු පාසැල් කාලයේ අදියරෙන් අදියර මතක බොහොමයි. පළමු පන්තියේ හිටි බොහෝ දෙනා මතක් කරනකොට අපිට උඩ වසර කිහිපයක වැඩිමහලු සොයුරන්ගෙ බාල අයගෙ මුහුණු මතක් වෙන්නෙ දැක හුරුවටමයි. එකම වර්ගයා නිසා අද මූණ වෙනස් වුනත් ඒ හැඩය පුරුදුයි. පාසල කෙළවරේම තිබුණු පිට්ටනිය උඩ මාරගස් දෙක රැස්වීම් කීයක කතා අහන්න ඇතිද? ඒ දවස් වල රැස්වීම් වල ජයසිංහ සර්ගෙ කතා මට හොදට මතකයි. ජාතික ඇදුම ඇදන් හිටි ප්රතාපවත් පුරුෂයා. අනිත් කරුණ පිහිටුමේ පරිසරයේ සිට අපේ පාසලේ තිබුණු අමුතුම වෙනස, ඒක හරි අපූරු එකක්. පාසල් දෙක්කට දෙපසින් මැදිවෙලා, හරි සුරක්ෂිත බවක් තිබුණු තැනක්. හැම දෙනාටම තමන්ගෙ පාසැල සුවිශේෂයි. ඒ මතකයන් ජීවිතයටම එක් වරයි. කොතරම් සිත් රිදුම් තිබුනත් නැතත් ආපහු හැරෙනකොට, ඒ අපේ ආදණීය රැකවරණයයි, සෙනෙහස බැදි තැනයි, අවධියක්ම, ඒ නිසා ඒ මතකයට හදවතේ නියමිත ඉඩක් හිමියි.
No comments:
Post a Comment