පොත් අපට ගුරුන් විය. මේ පොත බලා අපට කියන කියවන ගුරුන්ද සිටිහය. නාටකයන්හි පොතේ ගුරෝ සිටියහ. හැබැයි ගුරාගේ පොත කියවීම අනුවම නාටකය තේරුම් ගැනීම යනු නාටකය නැරඹුවා යනුද නොවන බව දන්නේ කවුරුන්ද!
එක් පොතකින් ගෙන තවත් පොත් වලට සමහරුන් ගරහති. පොත් යනුද හිත්මය. එකෙකුගේ ස්වභාවයට වඩා තවෙකෙකුගේ ස්වභාවය වෙනස්ය. එකම හිත් වුවත් ඒ ස්වභාවයේ වෙනස අපට දැනෙන්නේය. ක්‍රියාවන් හරහා පෙනෙන්නේය. පොත්ද එලෙසින්ම වටහා ගනු නොවටීද. පරම පුස්තක ලෝකයේ තිබෙනවාද! එය හරියට පරම මනුෂ්‍යත්වය පිළිබද ප්‍රශ්න කිරීමක් මෙනි. යම් ආකාරයකින් ලෝකයේ ලැබිය හැකි පරම තත්වයක් යමෙකු ලබාගත්තේනම් ඒ පරම තත්වය විචාරිය හැක්කේ කුමන මිනුම් දණ්ඩෙන්ද! ලෝකයේ හෑම සත්‍යම පොත පතේ තිබෙනවාද, පොත පත අපට යටද, අප පොත පතට යටද!
මිනිස්සු සසරක් ගැන කියති. පෙරුම් දම් පුරනවා යැයි කියති. මේ භවයේම මොන්ටිසෝරියේ සිට විශ්වවිද්‍යාලය දක්වා යති. පහ වසරේ ළමයෙකු කළ දෙය විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිදරයෙකු කරත්ද! විශ්වවිද්‍යාලය දක්වා යන්නට ආසාවෙන් ඔහු කළ කී දේ උපාධිදරයෙකු වූ පසු ඔහුගේ ක්‍රියාකාරිත්මය හා සම වෙත්ද! නොපෙනෙන විදුලිය දැකිය හැකි ලෙසින් මතු වන නිසාත් වෙනත් නොයෙක් ශක්තීන් බවට පරිවර්තනය වන නිසාත් පමණක් පිළිගන්නා ලෙසින් මිනිහා තුළ දිවෙන්නා වූ ජීවය හා බැදි චිත්තය ගැන අපි කතා කරමුද! ඒ ඔස්සේ සසර නොදකිමුද!
නොදන්නා දේ බොහොමයක් යම් තර්ක ක්‍රමයක් තුළ විග්රහ වූ පමණින් තර්කය බලවත් අවියක්ද! පොත් පත් ගුරුවූ පමණින් පත පොත යනු අප එකම දැනුම් මාර්ගයත් අවබෝධය දෙන සන්නිවේදන මගකුත් වෙත්ද! එලෙසම තර්කය හා පොත පත මැදි කරගත් පමණින් අපේ විග්රහ විචාර අර්ථ සම්පන්න හෝ ප්රඥාගෝචර වෙත්ද?
ප්රඥාගෝචර කර ගැනීම උදෙසාද මාර්ග සියල්ලක්ම තිබිය යුතුය. පොත පත තර්කය, තවත් දේ...හැබැයි එපමණකින් කිසිවක් කුණු කර ගත යුතුද නොවේ. පොදු බිත්තර පුද්ගලිකව පරිහරණයට ගෙන කුණු කරන්නට කිසිවෙකුට රිසි හෝ නිසි අයිතියක්ද නොවේ. එබැවින් නන්නත්තාර සන්තෝෂයේ කරක් ගහන අප අඩුම වශයෙන් අප වෙතින් අනාගත පරපුර උදෙසා දශමයක හෝ සත්භාවයක් ඉතිරිකළ යුතුය. ඒ යුතුකමෙන් පලා යාමට පණ ඇති මිනිස් වංශයේ කිසිවෙකුටත් අයිතියක් නැත.
තැන තැන ගොඩ ගැහුණු කුණු ගැන කතා කිරීමත් ඒ කුණු වර්ගීකරණයත් හොදය. නමුත් වඩා වැදගත් වන්නේ හැකි පමණ කුණු ශුද්ධ කොට දමන්නට වෙහෙසීමය. ඒ සදහා මාර්ග සොයා ගැනීමය. හැකිතරම් දෙනා හැකිතරම් තැන්වල රිසි රිසි සේ කුණු අවුස්සන මෙකල නැතහොත් හැමතැන අහන්නට වන්නේ කුණු ගැන කුණු කුණු කතාම පමණි. එබැවින් කුණු ඇවිස්සිය යුත්තේ ශුද්ධ කර දමන්නට මිස කපුටන් කුණු අවුස්සන ලෙසින් නම් නොවේ. කපුටා කුණු අවුස්සන්නේ කුණු වුනු ආහාර කන්නටය. බුද්ධිමත් බවටත් වඩා ප්‍රඥාවට දිරි වඩන මිනිසුන් විශේෂයෙන් එලෙස නොවිය යුතුය. ඇවිස්සෙන කුණු ගොඩවල් අතර ඉන්නට සිදු වුවත් ඒ අවබෝධයෙන් ජීවත් වන්නට හැකි නම් සුදුසු මෙන්ම නුසුදුසු තැන්වල බොහෝ කොට කුණු ගොඩ නොගැසේවි.
No comments:
Post a Comment