මේ නිර්ලජ්ජිත යුගයක් බැවින්ම අපේ හිමිකම්, අයිතීන්, යුතුකම්, වගකීම් ගැන සදාචාරයක් නොමැතිවම කතා කරන තැනට අප පත්වී සිටින්නෙමු. ලජ්ජා නැති කම මහමුදලි කමටත් ලොකුයැයි කියුවා සේ අවාසනාවට සමහරෙකුට මේ නිර්ලජ්ජිත කමම මහා දියුණුවක්ද ලෙසද පෙනේ.
‘මේ අපේ රටද? - යන්න රට ඇතුළේ පුරවැසියෙකු ලෙස හිමිකම් පතක්ද අතැතිව අහන්නට සිදුවීම මේ විළිලජ්ජාව නැති කමේ තවත් එක් අවස්ථාවකි. මෙසේ අසන්නේ හැම දෙනාගෙන්මය. මෙහිදී අහන්නටත් පෙරම වාගේ අත උස්සා පිළිතුරු දෙන්නටත් පිරිසක් ඉන්නා බව දනිමි. නමුත් අත නොඋස්සා සිටියද ‘ඔව්, මේ අපේ රටයි කියා කියන්නට සාකල්‍යයෙන්ම සුදුසු පිරිසක් ඉන්නා බවද දන්නෙමි. නමුත් බහුතරය අනෙකා ගෙන් ඇත්තටම මේ අපේ රටදැයි? අසන තැන ඉන්නා බවද හොදින්ම දන්නෙමි.
අපේ මව් බිම, අපේ රට යැයි කියා හතර අතේ පාරම්බානවා වෙනුවට රටට ගෞරවයක්, රටට මෙහෙවරක් කරන්නට අද හිතන්නේ සැබවින්ම කී දෙනාද? මේ මෙහෙවර යනු ලොකු ලොකු දේවල් නොවේ. තමාගේ වගකීම හා යුතුකම රට වෙනුවෙන් ඉටු කිරීමයි. කළ හැකිදේ අවංකව කිරීමයි.
අපිත් මේ රටේ අය කිය කියා රටේ ඇති ස්වභාවික සම්පතේ සිට මානව සම්පත දක්වා සියල්ල තම මඩිය තර කරගැනීම පරම අරමුණෙන් නිර්ලජ්ජිතව කොල්ල කමින් සිටින පිරිසක් හිදීම සැබවින්ම ඛේදවාචකයක් තමා. එහෙම් අය සරණං ගච්ඡාමී යි කියන මෝඩ රැළක් සිටියොත් කියන්නට වෙන්නේ හැමදා මේ අපේ රට කියා නොව අපි මේ රටේ කියා පමණි. ඒත් රටෙන් ලකුණු තමන්ට දා ගැනීමේ තැනකදී මිස තමන්ගෙන් රටට ලකුණු ලැබෙන තැනකදීත් නොවේ ඒ. නැත්නම් තමන්ගේත් රටේත් වටිනාකම දෙකම අහෝසි වී සියල්ල කාලකණ්නි කරන තැනකදීයි.
නිර්ලජ්ජිත යුගයක නිර්ලජ්ජිත ලෙස නිර්ලජ්ජිත දේ කතා කරමින් හිදින්නට සිදුවී ඇත්තේ කරළියේ රංග ගත වන්නේ එබදු වූ නාටක නිසාය. සමහරුන් ආටක නාටක ලෙසින් හදුන්වන්නේද මේවාමය.
ජාතික , ආගමික , වාර්ගික යනුවෙන් දුරදිග නොබලා පටු වාද බේද අවුස්සාගෙන මේ අපේ රටයි කියා මෙහි ජීවත් වන අපි අපිම මරාගෙන මැරුනොත් අවසානෙට රටේ ඉතිරි වන්නේ කවුරුන්ද? මේ අපේ රට, මගේ රට මෙන්ම ඔබේත් රට.
අපිත් මේ රටේ තමයි කියන්නේ, බොහෝවිට කටඋත්තර නැතිතැනට වැඩකටයුතු සිද්ධ කරගෙන තමන්ට අසරණ වෙන්න උනාම. ඒ වගේ උදවියට එතකොටයි මතක් වෙන්නේ රට ගැන. ඔන්න, අපිත් මේ රටේ තමයි කියනවා එතකොට.
මේ අපේ රට කියලා කියන්න කැමති උනත් කියන්න හිත දෙන්නේ නැති හේතුත් සමහර විට නිර්මාණය වෙනවා කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් ඒ වරද රටේ නොවෙයි. රටේ ජීවත් වන අමන මිනිහෙකුගේ වෙන්න පුළුවන්. නමුත් අපි පොදු හැමදේකදිම රට කියන ව්‍යවහාරයේ ඉන්න නිසා චෝදනාවත් නිකං රටටම වැටෙනවා. නමුත් මේ අපේ රටයි කියල සැබවින්ම හිතනවනම් ආදරේ කරන්නෙ රටට මිස එක එක්කෙනාගේ ක්රියා කලාප වලට නොවෙයි. ඒ නිසාමයි, රට වෙනුවෙන් තමන්නට කරන්න තියෙන යුතුකම් හා වගකීම් කිසිම කෙනෙකුගෙ පෙළඹවීමකින් තොරව කරන්න උවමනා වෙන්නෙ. ඒ ගැන හැගීමක් ඇති කරගන්න ඕන වාසිය බලාගෙන නොවෙයි. අම්මට තාත්තටත් අපි සළකන්න හිතන්නෙ වාසිය ක් බලාගෙන නම්, එවැනි උදවිය ගැන නිර්ලජ්ජිත යුගයේ තව දුරටත් අප කතා කළ යුතුත් නැහැ. එය නිර්ලජ්ජිත කමටත් එහා කිය නපුංසක කමක් විතරක් වන නිසා.
නපුංසක තත්වයටත් අපහාස නොකර මේ නිර්ලජ්ජිත මේ කතාවට මෙතනින් තිත තබමු.
මේ අපේ රටද? කියල හිතෙන මේ නිර්ලජ්ජිත හැගීම අපි මේ රටේ කියල සැර බාල කරල මකා ගන්න හදන්නෙ නැතිව, ඔව්, මේ අපේ රට කියල බය නැතිව හිතල ඒ වෙනුවෙන්, රට වෙනුවෙන් යුතුකමට පෙළගැහෙමු.
මෙය දේශපාලන හෝ මුදල් ගෙවා සිදුකරන ප්රාකශයක් නොවන බව කරුණාවෙන් සළකන්න.
No comments:
Post a Comment