පිපෙන හිනැහෙන මලුත් විල මත
සමනලුත් නෙත්කළුද කළ සඳ
අහේනිය කටු පතොක් විසමය
කුකුල් කොටුවකි රටක අරුමය
නරිම වාදං ගෙල දමාගෙන
ඒ දමෙන් ගෙල සිර කරෝ ගෙන
අතින් අල්ලා දිවත් ඇදගෙන
හඬ තලන්නේ මරු විකාරෙන
පාට පාටින් කහට කර හිත
මැර වඩා දත දතට ඉල්ලන
ලුණු දමා ජීවිතය වේලන
කට්ට කරවල රට්ටු තැනුමය
උගුලකින් ගැලවෙනුද නොමදත්
අරගලය උරගලය පැටලෙත්
මුරගලද උරගලට අරගත්
ඇනගෙනම මැරෙනවා අදටත්
රත්තරං ටික කටේ ගාවා
බෙල්ලෙ ගලකුත් ගැටේ ලෑවා
ඉංගිරිසියෙන් පදේ කීවා
අනේ තේරුම් යයිද මේවා
කවද කොතැනද පටන් ගත් දේ
කොතැන කොයිබින් නිමා වෙන්නේ
කාට කාටද දෙහි කපන්නේ
කාව කාවද රජ කරන්නේ
ගණන් හදලා හිලුත් වහලා
බද්ද හා තව සද්ද කරලා
අයිතියත් තව පොදි ගසාලා
සැවොම තර වෙමු බඩ වඩාලා
මැති ඇමතිගේ බඩට පාරක්
තනාගෙන අපෙ බඩට පාරක්
පනින්නට තව රටෙන් පාරක්
හදාගත්තම පොරක් තෙවරක්
රටේ හැමටම තොත්තු දුන්නයි
කොත්තු හා කලු සල්ලි දුන්නයි
ඇදිවතත් අමතක කෙරෙව්වයි
ජීවිතේ උන් ඇන්ද වෙව්වයි
සාගරෙන් ගත හැකිය ලුණු කැට
ආදරෙන් ගත හැකිය හදවත
කාලයත් අවකාශයත් තුළ
විසඳුමට මං මිස මැජික් නැත