මිනිස්සු වන අපේ ජීවිතේ පදම අහුනොවුනු කල ජීවිතේ අවර පදමට යනව අපි දන්නෙම නැතිව. එහෙම වුනාට පස්සෙ අවර පදම වුනත් රසයි කියනව අපි කව්රුත් පදම නොදැනම. එතකොට අහන දෙය තමයි පදම දන්නේ මොකාද? වගේ ප්‍රශ්නයක්. කිසිවක් උයන්න කරන්න නොදන්නව වුනාම රොටියක් පුස්සන එකත් සම්බෝලෙයි, පරිප්පුයි බතුයි හදාගන්න/උයාගන්න පුළුවන් එකත් මහ ලොකු දෙයක් කියල දැනෙනව වගේ ජීවිතේ ගැන කිසිවක් නොදන්නව වුනාමත් දන්න දේ ගැන මහ ලොකුවට දැනෙනව. හරියට ජීවිතේම අතැඹුලක් වගේ ගානට හිතෙනව වයස විසිපහ යන්නත් කලින්ම. අපිටත් එහෙම නොදැනුනා නොවේ වගේම කරන කියන දෙයින් බොහෝ දෙනාටත් ඒ හිතිවිලි ඇති බව පේනව. පට්ට පල් රස්තියාදු ගානට ටෝක්ස් දිදී අභූත රූපයෙන්, විකාර රූපයෙන් දෙසන ගොඩක් දේ තුළ තියෙන්නේ පදමත් අවර පදමත් අනා ගැනීම මිස වෙන මොකක්ද? ඒ දෙක බේරුම් කරල දෙන එක කිසිම කෝකියෙකුට ලේසි දෙයක් නොවෙයි මේ කාලේ. එතරමට ජීවිත පදම්, අවර පදම් වෙලා. හැබැයි පදම් වුන ජීවිත තුළින් සමහර විට මේ පදම ගැන අදහස් අල්ල ගන්නත් අපි උත්සාහ කරනව. හැබැයි ඒ සියල්ලම තුළ තියෙන්නෙ හරි පදමමද? ප්‍රශ්නයක්. චීන කෑම වල පදම චීන පදම. ජපන් කෑම ජපන් පදමට. අද ජාත්යන්තරී කරන මානසිකත්වයක් ඇතුළෙ රස්තියාදුවන අපේ ජීවිත වල පදම ජාත්‍යන්තර පදම. ඒ නිසාම පාසලෙන්, දහම් පාසලෙන් ජීවිතේ පදම ගැන වැටුනු පදනම අදට වලංගු නැති කරගන්නෙ අපි විසින්මයි. මේ පරිසරයෙ ඒකට ඉඩක් නෑ. තාක්ෂණය ඇතුළෙ ජීවිතේ ගලා යනව, නිකං සර්කිට් බෝඩ් එකක තියෙන තවත් එක කන්ඩෙන්සරයක් ගානට. හැට හැත්තෑ ගණන් වල ඉපදුණු උදවිය ජීවිතේ ගැනත් මේ ජාත්‍යන්තරීකරණය ගැනත් අපූරු දේශනා පවත්වනව එයාලගෙ පදමෙන්.. හැබැයි අද දරුවා පදම්වෙන්නෙ වෙන විදිහකට. ඒ පදම ඇතුළෙත් තියෙන්නෙ අර වගේම ජීවිතයක්. හැබැයි අර ගහෙන් කොළෙන් හුළං සැරෙන් හැදුනු ජීවිත පදම අද ගන්න තියෙන්නෙ වායු සමීකරණයෙන් පරිගණකයෙන්?? මේක තුළ ලොකු කතාවක් නෑ, කාලේ වෙනස විතරක් කියා කියන අය හිටියට අපිට ආපස්සට යන්න බෑ කීවට මේ දරුවාටත් වඩා ඔය පරම්පරා අතරේ හිරවුනු අපේ හිත් සම්පූර්ණයෙන් කන්ඩෙන්සර්, ඩයෝඩ නොවුනු නිසාම හදාගන්න හුගාක් අමාරුයි. මේක ලංකාව. ලංකාවෙ සංස්කෘතිය හරියට ඇගට වැදුනු මිනිස්සුගෙ සංවේදීතාවය අසීමිතයි. ඒක ඇතුළෙ ඇමරිකන් ක්‍රමයට ක්වික් ෆෝමැට් එකක් දෙන්න ගියොත් බිහිවෙන්නෙ අසමජ්ජාතියෙක් විතරයි. කාටද පුළුවන් නැහැ කියල අභියෝග කරන්න. අපි මේ පොළොවේ අවුරුදු විස්සක් තිහක් සාමාන්‍ය උදවිය අතරෙ හොද කටුවක් කාපු අය. ජීවිතේ හරිම දෙයක් හොයාගන්න උත්සාහ කරපු අය. ඔය කවුරු කවුරුත් දෙසා බාන, පත පොතේ තියෙන දේ විතරකින් ජීවිතේ දිහා බලන්න උත්සාහ කරපු අය නොවෙයි. දෙන දේ කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවට වඩා, පේන දේ අවුල් නම් ඒ අවුලම කිය කිය ඉන්නවට වඩා යමක් හිතන්න උත්සාහ කළ අය. අපිටත් ඒකට අයිතියක් තියෙනව. මොකද එක එක දේට අර්ථ කතන සපයන පරණ අයට දැනුනු දේවල්ම වෙනස් ලෙසකින් අලුත් පරම්පරාවට දැනුනු හදවතේ සංවේදී බවක් තිබුන යම් කාලයක් දක්වා. දැන් නම් ඒකෙ සංවේදී බවත් ඒ පරම්පරා තුළම මොටවෙලා. සල්ලි හම්බකරගෙන ජීවිතේ විදින එක පමණක් යථාර්තය වෙලා. වෙන මොනවද? ඉර හදත් විහිළුවක් විතරයි. පුලුවන් නම් ඒවයෙ ශක්තීන් වියෝජනය කරල තවත් ඩෙවල් එකක් හදාගන්න බලමු. ඒ සංස්කෘතිය ඇතුළෙ රොබෝලා, සහ සජීවීකරණය වුනු මිනිස් සත්තු. අපි හිතමු ඒ ඒ පදම එහෙමයි, ජාත්‍යන්තර පදම මෙහෙමයි, අනාගතේ පදම එහෙමයි කියල. අද කතා කරන අභුත රූපය තේරුම් ගන්න ඇහැකි අයත් ඉන්න නිසා එහෙව් අයත් තේරුම් ගන්න යමක් වෙච්චාවේ. මනුස්සයාගේ සත්‍ය දැකීමේ ඥානයේ අවර පදමයි මේ. ඒ උත්සාහයේ කතා හමාර උනාවේ. ඉතිරිය එක එක විදිහෙන් පෙනෙන දෙයින් යමක් වටහා ගැනීමේ ගැඹුරු විදර්ශනාව පමණයි. හිතන්න එපා අපි දන්නවා කියා. අපි බොහෝදෙනා තාමත් නොදන්නා නොගැඹුරේ ජීවිතේ විදිනවා යැයි කියමින් අත පත ගාන්නවුන් පමණයි.
ජීවිතේ විදවන එක ගැන සමහරු සමහරුන් වෙනුවෙන් දුක්වෙනවා. ජීවිතේ විදිනවයි කියන එකේ සීමාවක් නැතිවා වාගේම විදවනවා කියන එකෙත් සීමාවක් නෑ. ඒනිසා මං ජීවිතේ විදින විදිහත් තවත් කෙනෙක් ජීවිතේ විදවනවද කියන එකත් තීරණය වෙන්නේ අපේ සීමාවන් තුළ නොවෙයි. ඒ ඒ පුද්ගලයා කොපමණ සතුටකින් ඉන්නවාද කියන එක තුළ. හැබෑ සතුට තියෙන්නෙ අව්ව තැපීම තුළද අව්ව තපින්නෙ නැතිව කුඩයක් යට ඉන්න එක තුළද කියල අපිට කියන්න බෑ. වැස්සට තේමීම තුළද නොතෙමී ඉන්න එක තුළද කියල අපිට කියන්න බෑ. බය වගේම බය නැතිවීමද සතුට කියන්නෙ කියල කියන්න බෑ. කට දැවිල්ල හැදීමද කට දැවෙන්න මිරිස් නොකන එක තුළද කියල ත් අපිට කියන්න බෑ. හැබෑ සතුට ලැබෙන්නෙ ඒ මොහොතේ මොනව කිරීමෙන්ද එතන සතුටක් විදීමක් තිබේවි. ඒ වගේම ඒ සතුට කොච්චර කල් පවතීවිද කියන්න පුළුවන් ඒක කොච්චර කාලයක් භුක්ති විදින්න පුළුවන්ද කියන එක මත. ඔය සේරම ජීවිතය පවතින වෙනස් වන කාල සීමාවේ. අද සතුටු වෙලා හෙට දුක් වෙනවද, හැමදාම එකම සතුට විදින්න පුළුවන්ද, හෙට මැරුණත් අද සැප කරානම් ඒක ජොලිද, මෙතැනින් එහා මොකුත්ම දෙයක් නැතිද? තමන්ගෙ මට්ටම තම්මැට්ටම කියල විතරක් තේරුම් ගැනීම සෑහේද? තම තමන්ගේ කල්පනාවට අවබෝධයට අනුව එහෙම හැසිරෙන්නත් විදින්න හෝ ජීවිතය විදවන්නත් අයිතිය තමන් සතුයි තමා. ඒත් මනුස්ස ජීවිතයේ පදම හරියට කැලේ මාරු වුනත් කොටියගෙ පුල්ලි මාරු නොවෙන ලෙසින් තිබෙන බවත් සිහියේ තිබුනොත් වටීවි. ජාත්‍යන්තරයේ වුනත් මිනිස්සු මිනිස් නමින් එක තැනකට එන්නේ මේ පදම නිසානේ. ඔය පදම අවර පදමින් වෙන් කරල ගැඹුරින් හොයා ගන්න පුළුවන් නම් හරි වටිනව. මම නම් රස්තියාදුව ශුද්ධ කරගෙන ටික ටික ජීවිතේ පදම හොයාගන්න හදනව. උනන්දුව ඇති අය ඒ පිළිබද තවත් වීරිය කරත්වා. සියල්ලන්ගේ ප්‍රඥාව වැඩේවා.. අපේත්! ජයවේවා.