පුංචි කාලෙ නිදහස් නිවහල් මනසත් එක්ක කොයි කවුරුත් වගේ මමත් ටිකෙන් ටික ලොකු වුනා. පහ දහය පහළොව විස්ස විසිපහ කිය කියා එක එක කඩුලු පැනගෙන ඉස්සරහට එනකොට වයස විතරක් නොවෙයි දැනුම කුසලතා වගේම ඒවට ලැබුණු සහතික සම්මානත් එකින් දෙකින් වැඩිවුනා. ප්‍රමාණාත්මකව එකිනෙකාට සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන් වුනත් අපි බොහෝ දෙනාගේ ජීවිත කතාව මේ වගේ. පුංචිම කාලෙ හිස්ව තිබුණු ජීවිත දැනුම ගවේෂණය අත්දැකීම් අත්විදීම් තුළින් ලොකුම ලොකු රස්තියාදුවක. පුංචි කාලෙ තිබුණු හිස් ලාච්චුවේ දැන් එක එක දේ පිරිලා. සුන්දර සතුටුදායක දේ වගේම අසුන්දර අසතුටුදායක දේත් ඔය අතරේ. ඉතිං 'මම' කියලා කිසිවක් නැතිව පටන් ගත්තු ජීවිතේට දැන් 'මගේ' කියා කොච්චර දේ ගොඩගැහිලාද? ලාච්චුවේ පිරිලා තියන දේ ගැන දන්නේ ඔබම තමා. සමහර විට 'මම' ගැන තිබුණු සුන්දර මතකය සංකල්ප අමතක වෙලා මැකී ගිහින්. දැන් මගේ කියලා වෙනම ලෝකයක් තැනිලා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒ ලොකේම ජීවත්වෙනවා හැර ඒ ලොකේ මගේ තැන- මං හිරකාරයෙක්ද බාරකාරයෙක්ද කියන එකත් තීරණය කරන්න සමහර විට මට හැකියාවක් නෑ. 'මම' මට අයිතීද කියන එකත් ප්‍රශ්නයක් වෙන්නෙ මගේ ජීවිතේ මට තීරණය කරන්න පුළුවන්ද කියල හිතෙන ප්‍රශ්න මතුවෙනකොට. ඔන්න මටම 'මම' ප්‍රශ්නයක් වෙන්න ගත්තා. මගේ ඇතුළෙ තවත් මම කෙනෙක් ඉන්නෙ කොහොමද? මම කැමති දේ මම කරන දේම නොවෙයිද? ඒ මට කරන්න සිද්ධ වෙන දේද? ඒ ඇයි? මං ජීවිතයේ අතන මෙතන ගත වුනු හැම දෙයක්ම ආපහු ආවර්ජනය කරන්න ගත්තා. ඇයි? එහෙම වෙන්නෙ ඇයි? මෙහෙම වුනේ ඇයි? එතකොටයි ජීවිතයෙ පොඩිකාලෙ ඉදන්ම ගත්තම රස්තියාදුවක්ය කියන සංකල්පය පටන් ගත්තෙ. හැමදාම අපි අතන මෙතන කොතනත් කරන්නෙ මේ සංකල්පය තුළ තියෙන රස්තියාදු වීමක්ම තමා. ඒක දැනුම තුළ කුසලතා තුළ විතරක් නොවෙයි පාරෙ තොටේ වුනත් අන්තර් ජාලයේ වුනත් වෙන්න පුළුවන්. එහෙම හිතෙනකොටයි තේරුනේ. මේ රස්තියාදුව පටන් ගන්නේ හිතෙන් අපි ඉපදෙන මොහොතේ සිට කියන එක. දැනුම බුද්ධිය මෝරන්න මෝරන්න අපි විවිධ ඉසව් වල විවිධ තර්ක මාන තුළ රට රාජ්ජය වල හුදෙකලාවේ සමහර විට පිරිස් පිටින් රස්තියාදු වෙනවා. මොනවද අපි හොයන්නේ? එතකොටයි තේරුනේ. 'මම' මා ගැනම හොයා ගත යුතුයි කියන එක. ශුද්ධ කරන්න ගත්තෙ රස්තියාදුව එතන ඉදන්. එතකොටයි තේරුනේ 'මම' සහ 'මම' තවත් එක සිතිවිල්ලක් කියන එක. 'මම' කියන්නෙ. මගේ හිස, කද, ගාත්රා එකතුවටද? එතකොට ගාත්රා නැතිව ජීවිතේ පවතිනවා නම් කද මෙන්ම හිසත් අත්‍යවශ්‍ය අවම තත්වයන්ගේ පවතිමිනුත් ජීවත් වන මිනිසුන් සිටිනවා නම් ඒ මිනිසුන්ගේ හිස, කද, ගාත්රා එකතුව කෙලෙසද? එවිට පැහැදිලි වන්නේ මම ඉන්නේ හිතේ කියන එක. ඒකයි අතපය නැති වුනත් හිත හයිය මිනිස්සු ලොව දිනන්නෙත්. හිතේ කුණු පුරවාගත් රස්තියාදුවෝ හිස, කද, ගාත්රා සියල්ල ඇතිව ජීවිතයෙන් පැරදෙන්නෙත්. ශුද්ධ රස්තියාදුවෙන් 'මම' සහ 'මම' හදුනා ගත්තොත් ජීවිතය ගැන වෙනස් විදිහකට හිතන්න මං පෑදේවි නිසැකවම.
හැබැයි හැම දෙයක්ම හොදින් හදුනාගත්තත් ඵලයට මුල හේතුව යැයි කීවාසේ ඔබ සියල්ල වටහා ගෙනත් තනන්නේ බෝම්බ නම් ප්‍රතිඵලය පිපිරුමම පමණයි. එය තරයේ මතක තබාගන්න.