Saturday, May 4, 2013

බුද්ධි වන්දනා

මිනිසා විසින් කෙරෙන නිර්මාණ පුදුමාකාරය. එය කිසිසේත් අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. මිනිසාගේ මේ සියළු නිර්මාණ වල රහස ඔහුගේ මොළයද? බුද්ධියද? පුදුමාකාරය. මිනිස් මොළයේ, බුද්ධියේ තරම! එය වන්දනය කරනු වටී.

ඉතිං මිනිසාගේ අනේක විධ වූ නිර්මාණ ඔපමණ අගනේ නම්, ඒවා බිහිකළ මිනිස් මොළය අති අගනේ නම් මිනිස් මොළයත් අනේක විධ නිර්මාණයන්ගේ මුල ද්‍රව්‍ය මෙන්ම මූල බීජත් නිර්මාණය කළෝ කොතරම් නම් ඉස්රතම්ද? වන්දනීයද? 

හැබෑට කව්ද ඒ? ස්වභාව ධර්ම‍යාද? මහා නිර්මාණකරු හෙවත් විශ්වීය නිර්මාපකයාද? කව්රු වුනත් අපට මොකට කියා හිතෙනවාද?

බුද්ධි වන්දනාවේ යෙදෙන අපිට ඒ මහත් වූ බුද්ධියේ නිර්මාණකරු පියෙක් නොවන්නේද? ඒ පියා වන්දනීය නොවන්නේද? ‍

විවිධ දහම් වල පීතෘ ආකාරයෙන් ගෙනෙන මෙහි ස්වභාවය සැබවින්ම හේතු ඵල දහමෙන් විග්‍රහ කොට ගත නොහැකිද? හැකිය.

තම තම නැණ පමණින් අපි මේ ගැන විවිධ අර්ථකතනයන් දෙන්නෙමු. වටහා ගන්නෙමු. නමුත් සත්‍ය නම් දෙකක් විය නොහැකියි. නමුත් අපේ බුද්ධියේ ස්වභාවයට අනුව අපේ වටහා ගැනීමුත් විවිධාකාර වන හෙයින්ම අපි එතැන නතරවෙමු. ඒ අපේ පමණයි. අපේ පමණ කොතැන වුවත් සත්‍ය එය තිබෙන තැනමය. එහෙයින් සත්‍ය වෙත අප යනු විනා සත්‍ය අප දන්නා තැනට ලඝු කරීම නොදන්නාකමයි.

ඉතිං එපමණ දැන ගෙනම බුද්ධිය වන්දනා කිරීම යෝග්‍යය. එතැනින් පසු ඇත්තේ මේ බුද්ධියෙන් වැඩ ගැනීමය.

බුද්ධිය හිස පිරෙන්නට තිබුණත් එයින් ඵල ගන්නට කම්මැලියා නොසිතයි. නිවටයා හැකිලෙයි. බියසුල්ලා පැකිලෙයි. ඒ තුන්දොස් යන්නට නම් සමාධිය යන බලිය ඇවසිම වෙයි. හිතේ එකගකම ඇත්නම් බුද්ධිය මළකා නොදී විවිධ ප්‍රයෝජනයන් වෙත හැරවනු හැකි වෙයි. එහෙත් ඒ සදහා සිතේ සමාධියක් නොතිබේ නම් මේ බුද්ධිය කිසි ලෙසකින් ඵල නොදරයි. 

මෙහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය හෙවත් අධිවේගී බුද්ධියේත් ඔළමොළ ගති මතුවන්නේ සමාධියක් නොමැති කමෙන්මය.

එබැවින් සමාධී භාවනාවෙන් තොර බුද්ධි වන්දනාව නිශ්ඵල බව මම කියමි.

No comments:

Post a Comment