Wednesday, September 30, 2020

අවිචාරයෙන් අ වි චාරයට??(දෙයියන්ට දීම)

රාජකාරිය දේවකාරියක් වීමත් සමාජයෙන් දේවත්වයට මිනිසා ඔසවා තැබීමත් සැබෑ ජනනායකයෝ ලබන දුර්ලභ ගණයේ වරප්‍රසාදයකි. ඒ තුළ තම ජනතාව තවදුරටත් ඉහළට ඔසවා තැබීම එබඳු නායකත්වය තුළ ජනතාව පෙරළා ලබන ප්‍රතිලාභයයි. ඒ ලාභය ලැබීමට නම් අවංකත්වයත් විචාරශීලීත්වයත් නායකත්වය තුළ තිබිය යුතුයි. පෙරළා ජනතාවද ඒ ගුණාංගයන්ගෙන් පෝෂණය විය යුතුයි.
නමුත් දේශපාලනයේ දෙයියන් බිහිවනවා නම් ඒ මහජනයාගේ අවිචාරයෙනි. යුද්ධය, භීෂණය, පරිසර විනාශය තුළ තවමත් අප උගත් පාඩමක් නැතිවීම තුළිනි. සවන්දීමත්, සදය විචාරයත් අපේ රාජ්‍ය ආයතන පද්ධතිය තුළ මුල් නොබසින්නට හේතුව කිම? ඒ දේශපාලනීකරණයයි. නිළධාරී වාදයට පදනමද එයමයි. කිසියම් ප්‍රශ්නයකට දේශපාලන සෙවණැල්ලක් වැටුණු තැන සිට එයට ලැබෙන විසඳුමේ සාධාරණත්වය පිළිබඳ විශ්වාසය තවදුරටත් නොපවතී. එසේ නොවන්නට අපේ රටේ ප්‍රශ්න මෙතරම් සංකීර්ණ වන්නේ නැත. අප රටේ දේශපාලකයන් බොහෝ විට උත්සාහ දරා ඇත්තේ ජනතාව නියෝජනය හෝ ජනයාට නායකත්වය ලබාදීමට වඩා බලවතෙක් බවට පත්වීම හා ඒ බලය උරුමයක් ලෙස පවත්වා ගැනීමටයි. ඒ උදෙසා බොහෝ කැපවීම් කරන්නට ඔවුන් සූදානම්ය. අවසනාවට මෙතෙක් එබන්ඳන්ගේ කැපකිරීම් තුළ තහවුරු වී ඇත්තේ ඔවුන්ගේ පැවැත්මම පමණක් නොවේ. ඒ සමඟ වර්ධනය වී ඇති බොහෝ මතවාදයන් හා පිරිසද සමාජය පිරිහෙලන සාධකයන්ය. අවිචාරවත් මාර්ගෝපදේශයන්ය. අවිධිමත් ව්‍යාපාරයන්ය. පවත්නා තත්වය තුළ නිසි භාවිතයක් නැති යන්ත්‍රයක මළකඩ පෙනෙද්දී අලුත් උපාංග සවිකිරීමේ ඵලය කිම?  දහනවයකුත් එකක් සංශෝධන කෝඳුරුතෙල් හත්පට්ටයකුත් තව ටිකක් යන්නට සමානත්වයකින් දැනෙන්නේ එනිසාය. අපි අප විසින් කරන කියන දේ පිළිබඳ වගකීමක් දැරීමට තරම් ශක්තිමත් හා නිවැරදි රටවැසියන් නොවනතාක් දේශපාලනය බොරුවක් වීමත් අප ඒ ව්‍යාජ දෙයියන් අදහන මිථ්‍යාදෘෂ්ටිකයින් වීමත් වැළැක්වීමට කිසිවෙකුට හැකි වන්නේ නැත. ඒ අඩුව පිරවෙන්නේ දිගට හරහට අපට ගුටිදෙන ස්වභාව ධර්මයා නැමති අපක්ෂපාතී ගුරුවරයාගෙන් පමණි. නමුත් ජෙෙන නිඝන්ඨයන් සේ ඒ ගුරු ධර්මය අප උරුම කරගත යුතු කරුමයක් සේ කරතබා ගන්නේ නම් රටක මිනිස් සමාජයක් ලෙස තවදුරටත් අපට කතා කිරීමට දෙයක් ඇත්තේද නැති. දෙයියන්ට ඉඩ දී බලා හිඳිමු අපි!

No comments:

Post a Comment