මහජන නියෝජිතයාගේ බලය වර ප්‍රසාද සහිතය. ඒවා ජනතා සේවය උදෙසා භාවිත වෙන්නේ අල්පවය. නමුත් තම සුඛ විහරණය, පවුල් පද්ධතිය ශක්තිමත් කිරීම, තම වර්ගයා ලෙසින් තමන්ගේ විවිධ වූ අරමුණු සඳහා උදව් වන පරම ඥාතියාගේ සිට මැරයා දක්වා නෑයෝ නොනෑයෝ වෙත සැලකීම ආදියට නොඅලස්ව ඒ වරප්‍රසාදිත බලය භාවිත වෙයි. රටක් උදෙසා පත්වන ජනපතිවරු බොහෝකොට පළාතක මහ ඇමතිගේ භූමිකාවට යන්නේ ඒ අනුවය. ඒ අනුව වයඹ සංවර්ධන කරගන්නට නම් අප ජනපතිව වයඹින් පත් කර ගත යුතුය. මෙලෙස පවතින යථාර්ථය හමුවේ තම තමන් ගොඩයාම උදෙසා මිනිසුන් තම ඡන්දය නොහොත් පරමාධිපත්‍යය භාවිත කරන විට ඒ නියෝජනය ලබන්නාද අල්ලස් ගන්නෙකු බවට පත්වන්නේ ඡන්දය තමන්ගේ වැඩය කරගැනීමට දෙන පගාවක් බවට පත්වෙමිනි. එවිට පගාව වෙනුවෙන් කටයුතු කිරීම මිස ගම රට හෝ ප්‍රජාවේ සුභසිද්ධිය නියෝජිතයාට අදාළ වන්නේ නැත. මේ ක්‍රමය අසාධාරණය වැපිරවීමක් වන අතර ගැට පිට ගැට ඇතිවන මගක්වේ. බලය අයුතු ලෙස භාවිත වීම පමණක් නොව ප්‍රචණ්ඩත්වය හිස ඔසවන්නේත් මෙවිටය. පාට පක්ෂ යනු දේශපාලන මති මතාන්තර වෙනස්කමකට වඩා මැර කණ්ඩායම් පාතලයන් දූෂිතයන් අතර ගනුදෙනුවක් ලෙස කරළියට එන්නේ පරමාධිපත්‍යය පගාවක් කොට භාවිතයට ගන්නා ජනතාවගේ පිහිට මතය. එහිදී සාධාරණ යුක්ති ගරුක මිනිහා යම් සටනක් මීට එරෙහිව දියත් නොකරනතාක් විධායක වේවා ව්‍යවස්ථාදායක වේවා ඇති බලතල මත, බලය බෙදී ඇති ප්‍රබලතාව මත අධිකරණය දක්වාද බලය පැතිරවූ අවස්ථා වෙයි. 5/6 කද 2/3කද යන්න පමණක් සළකා බලය දිනා ගැනීමෙන් අනතුරුව මහජනයා නොසළකා හරිත් නම්, සමස්ථය දේශපාලකයන් ලෙස ආණ්ඩුව විපක්ෂය හා අනෙකුත් නියෝජිත පක්ෂ විවිධ ඩීල් තුළ උනුන් මත යැපෙත් නම් පසුගිය ඉතිහාසයේ අප දුටු ලෙස අධිකරණය වෙත දෑස් දල්වා බලා සිටින්නට සිදුවේවි. තත්වය එතැනිනුත් ඔබ්බට ගිය අවස්ථාවලදී වන්නේ මිනිසුන්ගේ ජීවිත අහිමිවීමය. ජනයා බෙදෙන තරමට පාලනය පහසුය. එබැවින් භේදකාරී සාධක සමාජයේ වැඩෙන්නට හැරීම ලොකු ඡන්ද කුට්ටියකි. ඒ මත තමන්ගේ වගකීම් විරහිත දේශපාලනය නඩත්තු කළ හැකිය. දේශපාලනයේ දෑඟිලි බෙහෙවින් දිගුය. සියළු අතුරු සිදුරු අතරින් රිංගා යන තරම අප්රමාණය.
-ඉතිරිය පසුවට-
No comments:
Post a Comment