ඡන්දයක් ඉවර වෙලා ප්‍රතිඵල එනකොට වටපිටාවෙන් ඇහෙන්න ගන්න දෙයක් තමයි, අපි නම් දුන්නෙ නෑ, ඡන්දෙ දෙන්න ගියේ නෑ, දීල වැඩක් නෑ කියන එක. මේක හොද කතාවක්ද? අපි බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් හෝ පක්ෂයක් ගැන තිබෙන විශ්වාසය බිද වැටුනම බොහෝ දෙනා කරන්නෙ ඒ තරහ තමන්ගෙ ඡන්දය භාවිතා කරන අවස්ථාවෙන් පිට කරගන්න එක. ලේසිම විදිහ තමන් කැමැත්ත දැක්වූ අයට විරුද්ධව ඡන්දය භාවිතා කරන එක, නැත්නම් පිළිට විරුද්ධව. ඒත් නැත්නම් ඡන්දය භාවිතා නොකර ඉන්න එක. හරියට මූණ එක්ක තරහවෙලා නහය කපා ගන්නව වගේ මේ පුරුද්දෙන් තමාට හෝ රටට කිසිම වාසියක් වෙන්නෙ නෑ. ඇයි ඒ අයට අලුතෙන් හිතල ඡන්දයක් භාවිතා කරන්න බැරි? තමන්ට තියෙන අවස්ථාව නිවැරදිව භාවිතා කරන්නනම් හොදම දේ කිසිම ධාරාවකට ගැති නොවන එක යන්න මගේ අදහස. අපිට යම් අදහස් උදහස් තියෙන්න පුළුවන්, ඒව නියෝජනය කරන පුද්ගලයෝ හෝ පක්ෂ තියෙන්න පුළුවන්, නමුත් ඒ පක්ෂ පාට තුළම හිතලු බැදීම් සහිතව නිදන්ගත වෙන එක පුදුම මෝඩ වැඩක්. ඇයි අපි අනුන්ගේ දේශපාලනය අපේ හදවත් වල මොළයේ සින්නක්කරව ලියා පදිංචි කරවන්නේ? අපිට අවස්ථානුකූලව තීරණ ගන්න තියෙන ඉඩකඩ අහුර ගන්නේ? තමන්ගේ පොඩි ලාබය ගැන හිතන්න ගිහින් තමන්ගේ නිදහස් චින්තනය, නිදහස් අයිතිය විකුණාගන්නේ? කාලයක් මිනිස් වර්ගයා මිනිස් වර්ගයාම වහල් කර ගනිද්දී නිවහල් වෙන්න ලැබුන පොඩි හෝ ඉඩ ආපහු වහල් භාවයකට පාවලා දෙන්නේ? ලෝකයේ වෙනස් වෙන සියල්ලත් එක්ක වෙනස් වෙමින් යන දේශයන් වගේම ඒවායේ පාලනයනුත් අද තිබෙන ක්‍රමයට, අපට අවශ්‍ය ක්‍රමයට, අනාගතයට ගැලපෙන ක්‍රමයට, වඩා හොද ක්‍රමයකට ගෙන යන්න නම් විනාශයෙන්, පිරිහීමෙන් මිදී දියුණුවක් කරා යන්න නම් කට ආයා ගෙන බලා සිටීමෙන් අත්වෙන සුගතියක් නැති බව අප තේරුම් ගත යුතුයි. ඒ වගේම වෙනස් වන ස්වරූපයන් එක්ක අවස්ථානුකූලව තම ඡන්දය භාවිතා නොකිරීම - ඒ කියන්නේ පාට පක්ෂ බැදීම් තුළ හෝ ඒ සමග ඇති අමනාපයෙන් නහය කපා ගැනීමට ඡන්දය දීමෙනුත් වන්නේ අයාලයට ඉඩදීමක් පමණයි යන්නත් තේරුම් ගත යුතුයි. මෙහේ බොහෝ ඡන්ද යන්නේ අයාලයේමයි. එය තම කැමැත්ත කියා හිතුවාට, බොහෝ විට කැමැත්ත නොව හුදු ආවේග අනුචිත ලෙස පිට කිරීමක් පමණි එය. එක් එක් ඡන්දය බැගින් ලක්ෂ ගණනින් අයාලේ ගිය ඡන්ද එකතු වූ විට සියල්ල මුළාවේය. එය වැටහෙන විට පමාවේය. එවිට අහන්නේ මෙහෙම වෙන්නේ ඇයි, කියාය. එවිට කියන්නට වෙන්නේ අපි නම් දනිමු why..(මේ අමුතු දේ නොවේ, සිතිය හැකි දේ නොසිතීමේ විපාකයයි.) නමුත් අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් ඵලක් ඇත්තේ නැත. එනිසා අශ්වයා ගැන හිතන ඈයෝ ඉස්තාලය වැසිය යුතු අවස්ථාවත් වෙලාවත් දැන ගනිත්වා, ඒ පිළිබද සිතිවිලි පහළ වෙත්වා!!!
No comments:
Post a Comment