පොඩි කාලේ සෙල්ලං මතකයට නැගුණු නිසා අමතක ම කරන්න බැරි දෙයක් මතකයට ආවා. ඒ ඔස්සේ පොඩි කාලෙට හිතින් ගිහින් රස්තියාදුවක් ගහන්න හිතුනා.
දහයක් වූ ක්‍රීඩා අතරේ තිබුණු සුන්දර මතකයක්.
ඒ සරුංගලේ.
සරුංගලයක් හදන්න නම් සෑහෙන දෙයක් ඉගෙන ගන්න වෙනව, පිසික්ස් වගේ විෂයක්. හැබැයි, අපේ ලඟ හිටි අය ඒ මොකුත් නොදැන හිටියට හරියටම සරුංගලයක් බැලන්ස් වන විදිහත්, කූරියා ගහන්නෙ නැතිව උඩ යවන්න සකසන විදිහත් දැනගෙන හිටිය.
අමාරුවෙන් අමාරුවෙන් හරි අනුන්ගෙ සරුංගල් අතර රස්තියාදු වෙමින් මටම කියල උඩ අරින්න නයෙක් හදාගත්තෙ ටිකක් වැඩ දාල.
සරුංගල් කාලෙට ගමේ ගොඩේ කවුරුත් වෙලේ නියරේ කරක් ගහනව සරුංගල් අරින්න මෙහේ ඒ දවස්වල. මමත් මේ රස්තියාදුවෙන් මිදුනේ නැහැ. එකක් උඩ අරින්න ගත්තම වරුවක් ඒක ආකාසෙ හිනි පෙත්තටම යවන්න තරම් කප්පිත්තොත් හිටිය.
දිනක් මගේ නයා සමඟින් මා වෙල් නියරේ ලත වෙමින් හිටියේ පියාද සමඟින්. අප දෙදෙනාටම උඩ යවා ගත නොහැකි පරිදි නයා සරුංගලය මොකක්දෝ ආබාධයක් කියා පෑවා. ඒ අතර මෙහේ කොලු නඩයේ කෙනෙක් අපේ උදව්වට පැමිණීම අපට සහනයක් වුනා. නයාගේ වලිගයට වෙල් නියරෙන් ගත් වල් පදුරක බර එකතුකළ විට මෙන්න මේක උඩයනවා. අදහස කොලු අයියාගේ. වැඩේ කිරිගහට ඇන්නා සේ.
නොහිතන විදිහට උඩ යන්න ගත්ත නයා සරුංගලේ බලන්න අපේ කොලු නඩේ එකිනෙකා අප සිටි තැනට එක් වුනා. කෙතේ නියරේ කොතරම් සරුංගල් සමඟින් රස්තියාදු වී තිබුනත් මෙතරම් ජයක් නොලද නිසා මා සිටියේ උද්දාමයෙන්. ඔන්න දැන් බෝලේ නූලත් දිග මදිවෙන ගානයි.
ගෙදර තියෙන අම්මගේ මැහුම් ගෙතුම් වල නූල් බෝල එක එක එලියට ඇද්දෙ තාත්තගෙත් අවසරයෙන්.
ඔන්න මේ වෙන කොට අපේ සරුංගල් කප්පිති අයියෙක් එයාගෙ සරුංගලේ උඩ අරින්න පටන් ගෙන තිබුනෙත් අපට නුදුරු තැනක ඉදන්. ඒ සිද්ධියත් දැන් ගොඩක් වෙලාවක ඉදන්. නමුත් ඒක උඩ යන්නෙ නැහැ, හුළං ප්පරශ්නයක් වගේ. ඒක හින්ද වෙනද කප්පිත්ත වටේ ඉන්න කට්ටිය අද මගේ වටේ. මොකද අහසෙ ඉන්නෙ මගේ සරුංගලේ.
සාමාන්‍යයෙන් කප්පිත්තෙක් වැඩේ අතාරින්නෙ නෑනේ. එනිසා ඔන්න අනෙත් පැත්තෙනුත් දැවැන්ත සරුංගලයක් අහසට නැගෙන්න ගත්තා ටික වෙලාවකින්ම. දැන් කට්ටියගෙ ඇහැ ඒ පැත්තටත් යනවා. ටිකකින් උඩු හුළඟට අහුවුනු ඒ සරුංගලේ ප්පරමිතියෙන් උසස් නිසා වල් ගසක් වලිගයට ගැට ගැසූ මගේ නයා සරුංගලයට වැඩියෙන් උඩ යන්න ගත්තා. මං හිතන්නේ ඒක උකුසු සරුංගයක්.
දැන් මං වටේ හිටිය නඩේ එකා දෙන්නා ඒ පැත්තට ඇදෙනවා. මගේ සරුංගලේ නූල කඩලාද කැඩිලාද එක පාරටම ඒක ගහගෙන යන්න ගත්තා ආකාසේ හුළඟට ඕනෑ විදිහට. මගේ ලග උන්නු අවසන් කොලු අයියාත් නූල අතහැර යන්න ගියා.
දැන් මමයි පියාණනුයි පමණයි.
ආපහු දැන් ඒ ගැන හිතනකොට දැනුනේ ජීවිතයත් මේ වාගේ නොවෙද කියල.
අපි තනිවෙනවා, ආකාසේ ඉන්නකම් පමණයි පිරිවර..
අවසරයි එහෙනම්, ගිහිං එන්න.
හමුවෙන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..