Wednesday, January 18, 2017

නිසිරිසි

අම්මලා
තාත්තලා
වඩවඩාත්
යහපත් ලෙස
තවතවත්
බිහිවේවා
මේ
දෙරණේ..

Hallucination

පණ පොවා ගෙන කඩුව සහ පිහිද කැති මන්න
කුපිත කර ගෙන ලෙයත් වපුරවා වයිරයත්
නිදහසක් ජයක් හෝ දිනවනා ලබ්ධියක්
යක්ෂයන් නමින් ඇති පරිගණක තරගයක්

Monday, January 16, 2017

ඉනික්බිති

පැරදුණු ඇස් වල කදුළු හංගගෙන
හිත හිරි වට්ටා නික්මී යමි මම
ආදර උරුමය නොලැබෙන භවයක
සසර සරා යමි නිදහස පෙම් බැද

කල්පිතයන් කළ සිහින මරා ගෙන
යළි උපදින්නෙමි දෙනෙත පුරෝගෙන
සිනහ මල් පොකුරු තුටින් නෙළාගෙන
විදිමි හුදෙකලා මිටින් මුදාහළ

වෙන්වෙන එක්වන බැමි දිවි අරණේ
මින්දද නංවන හී සර වරණේ
පෙමමද ගෙල වට මාලා තැනුවේ
මෙසසර යමි එඩියෙන් ගිරි තරණේ

Friday, January 13, 2017

විදුහල සන්තානා (ඒ පුරුදුම මතක‍යෙන් ඇබින්දක්...)

- පාසල කියන්නෙ හරි පුදුමාකාර තැනක්. අපි නොදන්න නොතේරෙන තැනකින් පටන්ගෙන හොදටම පුරුදු වුනාට පස්සෙ දාල යන තැනක්. දාල යන්න වෙන තැනක්. විශේෂයෙන්ම ජීවිතයම එකම පාසලක නම් ඒ බැදීම සුවිශේෂීයි. අපේ පාසල් කාලයට වඩා අපේ පාසල දැන් ගොඩක් වෙනස්. නමුත් මගෙ මනාපය අදටත් පරණ පාසලටයි. අවුරුදු එකසිය පනහකට වැඩි අපේ පාසල, අවදි කීපයකදි විවිධ විදිහට තියෙන්න ඇති. අපේ යුගයෙ වැඩිමහල් හා බාල සොයුරන්ට මතක නම් ඉස්කෝල පාර ප්‍රාථමික අංශයට පිවිසෙන තැන දකුණු පැත්තෙ තිබුණු කැප්තොප්පියක් පැළදි බාළදක්ෂ පිළිරුව, වම් පසින් තිබුණු චෙරි ගහ, එතනම තිබුණු ප්‍රාථමික අංශයේ ඔෆීසිය. යකඩ වැටකින් වෙන්නොවූ ප්‍රාථමිකය මැද ක්‍රීඩා පිටිය. කුඩා කාලෙ මහ දක්ෂයෙක් නොවුනත් ඒ අතීත රූප රාමු නම් බොහොම දක්ෂයෙක් ඇන්ද සිතුවම් ගාණට හරි අපූරුවට මතකයේ තියනව. එතැනින් ඇරඹුණු පාසැල් කාලයේ අදියරෙන් අදියර මතක බොහොමයි. පළමු පන්‍තියේ හිටි බොහෝ දෙනා මතක් කරනකොට අපිට උඩ වසර කිහිපයක වැඩිමහලු සොයුරන්ගෙ බාල අයගෙ මුහුණු මතක් වෙන්නෙ දැක හුරුවටමයි. එකම වර්ගයා නිසා අද මූණ වෙනස් වුනත් ඒ හැඩය පුරුදුයි. පාසල කෙළවරේම තිබුණු පිට්ටනිය උඩ මාරගස් දෙක රැස්වීම් කීයක කතා අහන්න ඇතිද? ඒ දවස් වල රැස්වීම් වල ජයසිංහ සර්ගෙ කතා මට හොදට මතකයි. ජාතික ඇදුම ඇදන් හිටි ප්‍රතාපවත් පුරුෂයා. අනිත් කරුණ පිහිටුමේ පරිසරයේ සිට අපේ පාසලේ තිබුණු අමුතුම වෙනස, ඒක හරි අපූරු එකක්. පාසල් දෙක්කට දෙපසින් මැදිවෙලා, හරි සුරක්ෂිත බවක් තිබුණු තැනක්. හැම දෙනාටම තමන්ගෙ පාසැල සුවිශේෂයි. ඒ මතකයන් ජීවිතයටම එක් වරයි. කොතරම් සිත් රිදුම් තිබුනත් නැතත් ආපහු හැරෙනකොට, ඒ අපේ ආදණීය රැකවරණයයි, සෙනෙහස බැදි තැනයි, අවධියක්ම, ඒ නිසා ඒ මතකයට හදවතේ නියමිත ඉඩක් හිමියි.

Thursday, January 12, 2017

පින්බර පොහෝ දිනක..

කුලය, බලය, ධනය, උගත්කම, රැකියාව හෝ මෝඩ කම නිසා හටගන්නා සියළු මාන්නයන් දුරුවී සැබෑ නුවණැස පෑදේවා!

Tuesday, January 10, 2017

වැරදි වෙලාවට (අපේ වෙලාව)

භාව සුනාමියකට අසුවුණු මිනිස්සුන්ට
දැන් ඕනෑ භාව විමෝචනයක්
හරි වැරදි මොනව වුනත්
අතීතය කොහොම වුනත්
මහ මිනිස්සුන්ටත් වෙලාවකට ඕනෑ
පොඩි දරුවො වගේ අඩන්න විතරයි
ඇගිල්ලෙන් හරි ඇනගෙන ඇහැට
අඩන්නම ඕනෑ එතකොට

ගජර පොඩ්ඩා, දැන් දිවයින පුරා මජර ගමනේ! (සිත් සේ ඔබේ ජාති, ආගම් ආලයෙන් මත් වෙන්න, ගල් පොලු ගන්න, ගහ මරා ගන්න ඔබත් කැමතිද?)

ආගම
ජාතිය
හිතලු
මතවාද
සංස්කිරිට්ද
ඇතුළුව
පුරාණ
රජදරුවන්ගේ
රුධිරය
ප්‍රභාවත්
කළ
දිනපතා
ආහාරය
ඒ ඒ ප්ලස්ආලම්
දැන්
මිලිලීටර
පනහේ
ටින්
හා
පැකට්
වශයෙන්
දිවයිනේ
ඕනෑම
සුපිරි
කල්ලි
වෙළදසැලකින්
ඔබ
නොපතන
සුපිරිම
අඩුම
මිලට
(තොග හා සිල්ලර)
අදම
විමසන්න
(වලංගු නොවන රසකාරක හිතුමතයට අඩංගු කර ඇත, පුරාණයෙන් එතෙරින් මෙතෙරින් ආ දේශීය වට්ටෝරුවකට අනුව සකසා ඇත, ඒ ඒ ජාති ආගම් කල්ලි අනුව වෙළදසැල තෝරාගත යුතු බව කරුණාවෙන් සළකන්න. ඔබේ ජීවිතය වෙනුවෙන් අපි කිසිදු වගකීමකින් නොබැදෙන බව වැඩිදුරටත් සළකන්න.)
  පොත්පත් වලින් දැන උගත යුතු ඉතිහාසය, දහම හා සංස්කෘතිය සදහා රජයේ පුස්තකාලද නිර්දේශපාලනික පල්ලි පන්සල්ද, දහම්පාසල්ද රට පුරා ඇති බව රජයේ අවවාදයයි.

Monday, January 9, 2017

දුර බලන්න, දෙවනුව ළග බලන්න (25ක් 2ක්)

අපිට ඕන බලය ගන්න, අපේ විදිහට රට ගෙනියන්න, අපි දන්න අපි ලග ඉන්න අයත් එක්ක අපට පුලුවන් උපරිමයෙන් රට නංවන්න, අපිට හැමෝම සහය වෙන්න, අපි එකතු වෙලා එකම කැපකිරීමකින් වැඩකරමු.
එහෙම කියන්නත් ඒ විදිහට වැඩ කරන්නත් බලය ඇති කාටවුනත් මෙහේ බාධා කරන්නෙ කව්ද? බාධා වලට යටපත් වෙනව නම් ඒ බලය කියන්නෙ මොකක්ද?
අසීමිත බලයත් මිනිහා සහ සමාජයට ගෙන එන්නේ විනාශයක් නම්, රටක දියුණුව සංවර්ධනය උදෙසා බලයේ ප්‍රමාණය පමණක් එකම සාධකය නොවන බව පැහැදිලියි.
බලය භාවිතා කරන්නන්ගේ පරිචය හා පරිණතිය.. ඒවා ගැන හිතනවාට වඩා ජන්දයකදි අප දකින්නේ දවස් කීපයක අනාගතයක් ගැන පමණක් නොවේද?
හදුනාගත් නොගත් කෙටි දිගු සියලු ප්‍රශ්න ගැටලු සදහා බහුවරණ ක්‍රමයට අනුව දී ඇති පිළිතුරු වලින් එකක් තෝරන කිසියම් නිර්මාණ ශක්තියක් නැති සියලුදෙනා මේ සදහා වගකීම දැරිය යුතුය. දේශපාලනයට සුදුස්සන් තේරීම සියලු ජනතාවගේ වගකීමයි. ඔවුන්වෙත පහසු ක්‍රමයෙන්ම පිළිතුරු සොයනවා වෙනුවට සුදුසු පිළිතුරු දිගු හෝ කෙටි වශයෙන් නිවැරදිව ලබා දීම සියලු දේශපාලකයන්ගේ වගකීමයි. ඒ සදහා අතර මැදි රාජ්‍ය නිළධාරීන්, සේවකයින් ඔවුන්ගේ නිසි හා නොමසුරු දායකත්වයත් වාද බේදයකින් තොරව සංවාදශීලීව ක්‍රියාශීලිව සිදුකරනවා නම් බලය ක්‍රියාත්මක වීමේ බාධා මග හැරී නොයන්නේ නැතිද.
තත්වාකාරයෙන් කරණු සරල හෝ පහසු නොවෙතත් එබදු ලෙසකින් මිස ජයගත නොහැකි අපේ ගැටලු වලට පොළොවේ පස් කෑමෙන්ම ප්‍රතිඵල ලැබිය හැකිද?
ඒ බදු නිවරැදි ක්‍රියාවලියකට යත්න දරණ අතරේ සමාජයේ සියලු තැන්හි ඇති දුර්වලතා ගැන අවබෝධයෙන් හා විනාශකාරී නොවන නිසි හඩ නැගීමකින් පමණක් නොවෙද අපටත් රටටත් ඵලක් වන්නේ, අඹ ඇටයෙන් ඵල ලැබීමට හැක්කේ, ගොවිතැනින් නිසි අස්වැන්නක් ලද හැක්කේ, රටක දියුණුවක් දැකිය හැක්කේ අන් කවර මගකින්ද?
අපට ඒ සදහා දිය හැකි දායකත්වය නම් කිසි දේශපාලකයෙකු කෙරෙහි විශේෂ අනුග්‍රහයකින් තොරව අවස්ථාවට කාලයට ගැලපෙන පුද්ගලයන් තෝරා ගැනීම හා නුසුදුසු විට ඔවුන් ඉවත් කිරීමත්, එනම් ඔවුන්ගෙන් වැඩ ගැනීමත්, අපේ ක්ෂේත්‍රයෙන් අපට එළිපෙහෙළි කළ හැකි දියුණු කළ හැකිදෑ නිස්සරණයන්ම කිරීමත් නොවේද.
රට යනු ඔබත් මමත් භුක්ති විදින මහාම හිමිකම නොවෙයිද. ලෝක උරුමයෙන් මෙපිට අපේ අනන්‍යතාව රැදි උරුමය අප සුරැකිය යුත්තේ හදවතින් මෙන්ම බුද්ධියෙන්ද එකාවන්ව හිදිමින් මිස බෙදෙමින් වැනසෙමින් නොවේ. එහෙම ගියොත් අවසන කිසිවෙකුට බෙදාගන්නට කිසිත් ඉතුරු නොවේවි.
දුර බලන්න, දෙවනුව ළග බලන්න කියන්නේ පාට පක්ෂ දෙස බලාගෙන නොව යහපත් රටක මියයාමේ හෝ භාග්‍ය තවදුරටත් අපට තිබිය යුතු නිසයි. බිහිවෙන නව පරපුරක ජීවිගුණය ගැන ඔබ හිතනවානම් අපේ අවධියේ පරපුර මෙන් ඔවුන් දෙමගක් අතර අතරමං කොට පලා නොයන්න. සැබෑ පරාර්ථය හදුන්වා දෙන්න. නිවැරදි ක්‍රියාකාරිත්වය වටහා දෙන්න. පුද්ගලිකත්වයට වහල් නොවී තාක්ෂණට ඔවුන් පවරා නොදී පසුපසින් ඉන්න. ඔවුන්ට යම් සෙවණැල්ලක් වනු පිණිස ඔබ සැඩ හිරු එළියට මුහුණ දෙන්න. ඔවුන්ගේ හෙවණැල්ලේ සැගවෙන නිවටයෙක් වෙන්න එපා. හැබෑව හංගා ඔවුන්ගේ ආවේගයන් මතින් ඉගිල්ලෙන්න හදනු එපා, පෙනෙන දුරකදි ඔබ වැටෙනවා පමණක් නොව ඔවුන් ඔබ මතින් හැගීම් විරහිතව ඇවිද යනවා සත්තයි!
(25 කින් පසු අද ගැන හිතා දුක් නොවීම පිණිසයි)

Sunday, January 8, 2017

අවුල

තමන්ගේ අවුල දේශපාලකයන් පිටට දමා මිනිස්සු ආතල් ගනිති. 
දේශපාලකයා තමන්ගේ අවුල තම විරුද්ධපාක්ෂිකයා මත හෙළා ආතල් දෙති.
අවසන සිදුව ඇත්තේ තමන්ගේ වගකීම නොගන්නා එනිනෙකා උනුන් හා කා කොටා ගැනීම පමණකි.
නමුත් මේ ඇත්ත පැහැදිලි කර ගැනීමට වඩා තොප්පි පාස් කරන ආතල් එකට බොහෝ අය කැමතිය. එනිසා කවුරු රට කළත් වැදගත් ඇත්තටම මේ පැත්ත බෙදී ගන්නා ආතල් එකය. අපේ කම කියා අපි ඔය අවුල් ආතල් එකම මතු පරපුරටත් උරුම කර දෙමු.
අපේ එකමුතුවේ මුතු ඇටයේ වසන්නන්ගේ හැකියාව ඔපමණකි. තමන්ගේ දුර්ගුණය පිළිගැනීමටත්,
අන්‍යන්ගේ යහගුණය ඔසවා තැබීමටත් නිස්සරණයක් නොතැනෙන තාක් අපි කොටහ ගමු, බදා ගමු. ගිණුම් පමණක් තර කර ගනිමු.

ඇත්තටම රකින්න ඕන රට , ජාතිය , ආගම නම්! ඇත්තටම කරන්න ඕන මොනවද?

- පටන් ගමුකෝ හොද සද්ධර්ම ව්‍යාපාරයක්, තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙන රටක්නෙ මේක, අපි ප්‍රතිපදා රකින ධර්මකාමීන් හදමුකෝ..දේශ මාමක සාමකාමීන් හදමුකෝ, අපේ සංස්කෘතියේ තියන හොද දේ මතු කරගනිමුකෝ, සංවාද හදාගනිමුකෝ ඒ ගැන.
- කුණුහරප වලින් ආවේග වලින් රට ජාතිය ආගම රකින්න පුලුවන්නම් ඉතිං අමුතුවෙන් කරන්න දෙයක් නෑනේ, දැනටමත් රැකිල ඇති.
- හරියට ධර්මයක් රකින මිනිස්සුනම් ජාතියත් රටත් රකින්න අමුතුවෙන් වෙහෙසෙන්න උවමනාවක් වෙන්නෙත් නැහැ.
- අනික අද වෙනකොට රට ජාතිය ආගම ගැන තියන කැක්කුමේ හැටියට හොද යහපත් අරමුණෙන් ගොඩනංවන සද්ධර්ම ප්‍රතිපදා ව්‍යාපාරයකට පුදුම ජනසන්නිපාතයක් ගොනුවේවි. එතකොට ඒ යහපත් ජන බලය සමාජය යහපත් දිශානතියකට නිසැකවම යොමුකරාවි.
- මරාගෙන මැරෙන්න හදන ජාතිආලය දෝරෙගලන මහදැන මුත්තන් මේ ප්‍රතිපදාවට නොබහින එකයි තියන ගැටලුව.
- ඈත්තම අරමුණ රට ජාතිය ආගම නම් පළමුව යහ ප්‍රතිපදාව නොවෙද සමාජගත විය යුත්තේ, අප බොහෝ ඉස්සර ඉදන් දේශපාලනය හා පටලවා ගත් තැනක් නොවෙයිද ඔතැන?
- වාසි ගත්තේ දේශපාලකයා මිසක ධර්මිෂ්ඨ රටක් හැදුනාද? ඉතිං එබදු, දේසපාලන අරමුණු හැංගුණු අරගල තුළින් අවසානයේ සමාජයට දායාද වන්නේ මොනවාද? අනාගත පරපුරට උරුම කරන්නේ මොනවාද? කාළකණ්ණි ඉච්ජා භංගත්වයක් පමණක් නොවේද?

සංවර්ධනයට ලේසි පාර (අපි ආසම කෝච්චි පාර)

ගල් ගහනවා
පොල් ගහනවා
මිරිස් අඹරනවා
කඩේ යනවා
පෙළපාලි
ආඩපාළි
කටු ගැහිලි
පේන කියවිලි
ආණ්ඩු පෙරළිලි
සළුපාලි ත් දිනපතා කෙරෙනවා

ඉතිං ඇයි මේ දේවල් අපේ රටේ නිසි වෘත්තිමය තත්වයකට ගේන්න බැරි? නිසි පුහුණුවක් දීලා ජාතිවාද, ආගම්වාද තව අවුස්සලා ඔය වගේ නව අවස්ථා වැඩිකරන්න ඔවුන්ව තව දිරිමත් කරන්න ඕන. රටක් සංවර්ධනය වෙන්නෙ එතකොටයි.

Friday, January 6, 2017

උඹට කුකවි

උඹ අල්ලපු අත්ත ඉහළය
උඹ පයගසා උන් පොළොවය
උඹ බීවේ ගගෙන් වතුරය
උඹ දැන් ආවඩයි මුහුදට

වගෙයි උඹෙ ඔලුවම පුස්වෙලා
හිස්වෙලා පිට කොන්දම උඹෙ මුදු ර බර් වෙලා
ලජ්ජාව උඹෙ බලුකිස්ථානෙට විකිණිලා
පලයන් උඹ කිරිකිස්ථාන් රජ වෙලා

සමහර කතා කියන්නට අපිට කිසිම උවමනාවක් නැත. නමුත් සමහර නිවටුන් නිසා සමහර කතා නින්නාද කරන්නටම සිදුවේ.
හැබෑ කුහකයින් මහා කාරුණිකයින් කරවන, කාරුණික මිනිසුන්ගේ ළතෙක් බව හුදු මෝඩකමකට පටවාලන්නට යන යුගයකි මෙය.
තමන්ගේ නින්දිත ජඩකම පිළිගැනීමටවත් අවංක කමක් නැති ජඩයන්ට සිය ජඩකම දෙපයින් බේරෙන තුරු බොහෝකොට මෙත් සිතින් කරුණා කළ යුතුමය. එය කාඩ්බෝඩ් වීරයන්ගේ යුගයේ අවශ්‍යතාවයකි, මෙහෙවරකි.
බෙල්ල කැපූවත් සුදුසු තැන සුදුසු ලෙස - එළිපිට වඩ වඩාත් වැඩියෙන් ඉදිරියටත් මම එය කරමි. මෙත් සිත වැඩිදියුණු වීම උදෙසාම කරමි. 😐

රස්තියාදුකාකයා ගේ කාකතපස(කාකාසන)


ඉක්මන් නොවුනේ? (නොදැමුණේ, මහළුවිය)

උපයා සපයා ගත් වටිනාකම්
දියකර යොබ්බන මදයට ලොල්වී
තකා අමුතු සුව පසුපස එලවා
ගොස් අඩ සිහියෙන් මරුවැල් පාගා

කිසි සරණක් නැති අසරණ ඉමකදි
සිහිකර දෙව්බඹු හා හා සම්බුදු හිමි
නොදැමුණ සිත සරණය සොයනා සද
කාලය ඉකුත්ව ගොස් ඔහු මහළුය

තාරුණ්‍යයේ වේගය හේතුවෙන් මග වරද්දා ගත්තෝ කී දෙනෙක් අදටත් මහළුවියෙහි තැන නොතැන දුක් විදින්නෝද?

Thursday, January 5, 2017

තව විසිපහකින්...(දේසපාලක)

වෙනස්වෙලා
තියෙන රටක
මැදි වයස්
පුද්ගලයෙක්
මෙසේ කියාවි
........................
මට දෙන්න
රට හදන්න

Wednesday, January 4, 2017

Qquchi ගොසිප් (හිත ඉල්ලන මං ආසම)

ඇගේ
....... උණ තද වෙලා
.......බංඩිය කොර වෙලා......
.....නාසිය බුරුල් වෙලා... හ්කචකචපච....
ගෙදර..කාණුව බ්ලොක් වෙලා .....සත්තයි
..හෙට මැරෙනවා.......
මූණ කොට්ටෙට හිරවෙලා

Apita ලයික් කර යන්න Qquchi Qquchi..ගොපිස් උණු උණුවෙම දෙන්නෙ අපි මයි

Monday, January 2, 2017

හෝඩි හෙළෙයි හෙළෙයි යා! ((ගලප්පා ගලපා ගතිමි, ම' බසින්))


කාලයේ
කලු කුහරයක් තුළින් කාලයම අතික්‍රමණය වන කාලයක් ඇවිත්.


ලයත්
තාලයකි, මධ්‍ය ලය, විලම්බ ලය වගේම දාදරා, ත්‍රිතාල ද මතක් කරන්නේ පාසලය. සංගීත කාලය ය. 



කියන්නේම නෙතක් නොවේද, සප්තකය ඇසක් වගේ ඇරෙන්නේද ස වලින්‍ ය.



ඒක ඇත්තය. තයන්නත් ටයන්නත් පොඩිකල පැටලෙනවාය. එවිට ඈතත් ඈට මය.


තාලිය
කිව්වාම මතක් වන්නේ රන් ය. නැත්නම් පින් ය. රන් වලින් රන් තාලිය හැදෙද්දී පින් තකා පින්තාලිය හැදුනි. සමහරු වතුරෙන් මැරුණි.


තණ
පදුරකින් ජල මුල හොයාගත් කතාවක් ජාතක පොතෙහි ඇත. විද්දේ හාවාට වැදුනේ පදුරට ලෙස ජන වහරේ එන කතාවක් ඇත.


රා
බොති මධු සේ සමහරු, මත් වෙතිලු තවත් සමහරු. ... ..... වගේලු බොන්නෙ තවත් සමහරු.


රා
පිළිකුල් කරති සමහරු. නැතිවම බැරිව සොයති සමහරු. තලුමරති තවත් සමහරු.


කල කීවාම ආපහු කාලය මැයි. මැයි කල කීවාම වෙසක්ද මතක් වෙයි.


කල
කීවාම ගමක් මතක් වෙයි. පැරණි බවක්ද එහි වෙයි.


තැන
යනු කොතැනද හදුනා ගත යුතුය. නොතැන කියා තැනැක් නැති මුත් එතැන හදුනා ගත යුතුව ඇත.



කීවාම බිංදුවටත් වටිනා කමක් ඇත. බිංදුටත් එහෙමය. සිබිල් නැන්දාගේ බිංදු තාමත් ඔබට මතකද? ඕං..... නෑ නොකියා මතක් කොරං.

Saturday, December 31, 2016

ඕටූ..

හුස්මටත් ණය මිනිස්සුන්ගේ හිත්වල ඇති හුඹස් වල වට රූපාන්තරණයෙන් හල පිරුවට මොනවට දුටු වසරක් නිමාවෙමින් යත්...
ඉගැන්වූ පාඩම්වලට බොහෝමත් ස්තුතියි මිනිස්සුනේ...
ඒ අතර තවමත් අවදියෙන් ඉන්නා මිනිසත්වගට පින්, ඔවුන්ගේ හඩ, නිහඩ මෙහෙවරින් ලොවට තවමත් දයාවේ මුදු වැසි වැටේ..
තුති වේවා සොබාවට නිරතුරු අපේ නිවහන වූ...
ඕටූ ..
තවමත් ළබැදි නිසා ජීවත්වෙමි මමත්, තවමත්..
ස්තුතියි ඔබටත්, සිහිපත් කරමි ඔබ මිතුරු එච් ටූ වත්, සුබපතමි ඔබේ දරුවාටත්, හැමදා අපට සරණ වූ...
සදා ජීවනයේ සරණ වන ඔබ හැම අමතක කොට කෙසේ යන්නද නව වසරට...
හැමගේ පිහිටෙන් සහයෝගයෙන් හෙට සිට අලුත් වටයක් අරඹමු යළිත්.

ඔබ හැමට ජය!