Saturday, May 18, 2013

සෙබළු (කදුළු වෙනුවට ග්ලිසරින්)

සෙබළු රට රැක දුන්නෝය

අපි ඔවුන් අව්වේ සිටවා අචාර පෙළපාලියක යවන්නෙමු

ඔවුහු කූඩාරම් තුළ හිදින අව්කණ්නාඩි පැළදි මහත් වූ ඇදුමෙන් සැරසුනු අපේ උත්තමයන්ට අචාර කරමින් ගමන් ගති

අපි ඔවුන්ගේ වීර කම් නරඹමු

අත් පා අහිමි, තම ජීවිතයම යුධයට කැපකළ මිනිසුන්ට අවසන ඉතිරි මොනවාද? මුදල් ආධාර, සාමය, සංවර්ධනය...එයවත් ඉතිරිද?

එපරිද්දෙන් අපි සෙබළුන් ගේ වීරකම නීර්භීත කම අගයමු

අදත් කූඩාරම් තුළට වැද අව්කණ්නාඩිය තුළින් බලා සෙබළුන්ගේ ආචාරය අපි විදින්නෙමු

අතීතයේත් අදත් වෙනස එතැනය

එදා රජාත් යුධ විරුවෙක්මය

රජාට අද යුද්ධයට යන්නට අපි‍ නොකියමු

මැති ඇමතින්ට එබදු නිර්භීත කම් ඇතිද?

එහෙත් මේ පිටුපස හිතන්නට යමක් ඇති බව අපි කියමු

හිතන්න 

අපේ අවංකත්වයේ හා වැදගත්කමේ තරම

වැඩිහිටි දිනයේ ආචාරය වැඩිහිටියන්ටය

ගුරු දිනයේ ආචාරය ගුරුන්ටය

වීර සෙබළුන්ගේ ජය සිහිකරමින් ඔවුන් තමන් වෙනුවෙන්ම අචාර පෙළපාලියේය‍

අපි අවුවෙන් සෙවණ වූ කූඩාරම් තුළ අව්කණ්නාඩි පැළද සුව අසුනක හිද නරඹමු

අපි හරිම මහත්වරුන් වෙමු

ඉස්සර කුඹුර මැදින් යද්දී කුඹුරේ වැඩ කළ මිනිසුන් වෙනුවෙන් අපිත් අව්වේ ගියෙමු. එව්වා මෝඩ කම්ය. නූගත් වැඩය. මහත්මා කම නම් අචාර පෙළ ගිනි අව්වේ දහදිය හළද්දී අපි අව්කණ්නාඩි සහිතව සෙවණැති කූඩාරමේ හිද සෙබළ මුලේ වීරකම් සැමරීමයි. කකුලක් පිට කකුලක් දමා ඒ දිනා දුන් නිදහසේ වීරයින් ගැන සිහිපත් කිරීමම මොන තරම් ආචාරයක්ද!

සෙබළු අර සෙවණැති කූඩාරම් වල හිදුවා රජ මැති ඇමති පෙළ අචාර පෙළපාලිකය ගියේ නම්... කොතරම් අපූරුද! එක් දිනකට වත්..

බොලාගේ අපේ සෙබළු වෙනුවෙන් වැගිරෙන කදුළු බොහෝ කොට ඔයාකාරම නොවේද?

යමක් අර්ථවත් වන්නේ එය හදවතින් උපන් හැගීමෙන් යුතුව කිරීමෙන් විනා නාමික සාම්ප්‍රදායක් අනුගමනය කිරීමෙන් නොවේ. හදවතින් උපන් හැගීම් නැති උදවියට කදුළු වෙනුවට ග්ලිසරින් මිස ‍අන් කවර පිහිටක්ද?

Friday, May 17, 2013

නිදි වැද්දෝ(නැගිටින්නට නම්)

වේලාව - උදෑසණ 8, 9. ස්ථානය - හද්දා උතුරුකරයේ සිට කොළඹ බලා ඇදෙන දුර ගමන් පොදු මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ.

බොහෝ දෙනා කාලයක පටන්ම නිදිවැද හිදින බැවින් මේ කිසිවක් දෙස අලුතෙන් බලන්නට උනන්දු නැත. හැකියාවක්ද නැත. එනිසා හැමවිටම එවැන්නන්ට මේවා සාමාන්‍යය. හැබෑව, කුම්භකරණ වංශිකයන්ගේ කැමත්ත අවදිවීමට වඩා නිදි වැද සිටීමටම තමා.

කොළඹට පිවිසීම දක්වා ගෙවෙන සැතපුම් තිහ හතළිහ මිනිස්සු කැමැත්තෙන්ම නිදති. එ‍ෆ් එම් සේවාවෝ බොහොමයක් ඒ නින්දට නැළවිලි ගී ගයති. නැත්නම් එකම තාලයේ ගී ගයන අවුල් කොවුල් හඩ වල් මේ නින්දට තනි රකිති. අපේ අති සාමාන්‍ය මිනිහාගේ ගමන ගෙවෙන්නේ මේ ආකාරය. කොළඹ සීමාවේදී මේ නින්ද පුරුද්දෙන්ම අවදියක් වෙයි. ගෙන්දගම් පොළවට පය ගැසීමට එතැන් සිට කඩිවෙස් ගනිති. අවුල් වූ තද බදයෙන් පිරි පාරවල් ගානේ රස්තියාදු වෙන්නටත් නන්නත්තාර මානසිකත්වයෙන් රස්තියාදු වී රෑ බෝවෙන තෙක් ජීවිතේ තවත් දවසක් අවුලෙන් අවුලට ගෙන යන්නටත් අති සාමාන්‍ය මිනිහා පෙළ ගැහෙන්නේ මේ ආකාරයෙන්ය. 

මහා ලොකු ව්‍යාපෘති ගැන පාරම්බාන දියවන්නාවේ පිහිනන මැඩියෝ එවැනි උදවිය තමන්ගේ පෝස්ටර් ව්‍යාපාරයෙන් පරිසරය වැනසීමටත් බත් පැකට් පෙළපාලි වලින් බලය පෙන්නීමටත් නිති යොදා ගනිති. ඉදින් මේ අති සාමාන්‍ය වැසියෝ බසයේ සේම 'රට' යන ගමනේද කැමැත්තෙන්ම නිදි වැද්දෝ වෙති. 

ඉදින් මෙහෙව් වූ වැසියන් තුනෙන් දෙකකට ආසන්නව වෙසෙන අප රටේ සංවර්ධනය වෙමින් හිදීමක් මිස වර්ධනයක් නම් කෙදිනකවත් වෙන්නේම නැත. අතපය තැලෙන පොඩිවෙන ඒවායේ වේදනාව දැනෙන මිනිසුන් කෙදිරිගගා නිදි වැදෙද්දී වායු සම‍නයේ අපේ වැදගත්තෝ නිදි වදින්නේත් සැප විදින්නේත් බොහොමත්ම සාධාරණ ලෙසය. (ඔවුන් පවසන්නේ එසේ සැතපෙන්නේ සාමාන්‍ය මිනිහා වෙනුවෙන් කරන කැපකිරීමට ලබන බෝනස් ලෙසින් බවය, ඒ බැව් හෙළි වන කතාවක්ද දිනක් ඔය පල් මෝඩයෙක් කීවේය. අති‍සුඛෝපභෝගී වාහන නැතිව දුෂ්කර පැතිවල සංචාරය තමාට අපහසු  අපහසු බවයි ඒ. අපට සිටින පාලකයන් වැඩි දෙනෙක් මේ ආකාරය.)  

මෙය සමාජ වාදය ක් හෝ ධන වාදය ක් හෝ වෙන කිසියම් වාදයක් නොවේ. බොහෝ කොට ඇත්තය. අප රටේ ඇති අසාධාරණ අයුක්ති සහගත නින්දා සහගත නිර්ලජ්ජිත අනවබෝධය මෙයයි. දුප්පතුන්ට ධනය බෙදා දීම හෝ පෝසතුන්ගෙන් අපමණ බදු ගැනීම නොව මිනිසුන්ගේ වේදනාව පීඩාව,  ඔවුන් අසාධාර‍ණයෙන් හා අයුක්තියෙන් පීඩාවට පත් වීමට හේතු නොසෙවීම මේ පිටුපස වෙයි. භෞතිකමත් නොවන මානසික කාරණා ගණනාවක් ද මේ පිටුපස ඇත. නිවැරදිව සිතන්නට රටක් ලෙස හෝ දැයක් ලෙස හෝ චින්තයක් තිබෙන්නේ කොහෙද? කතා වට වඩා ආදර්ශය පෙරමුණට පැමිණෙන්නේ කවදාද?

බොරු කියමින් ඒ බොරුවටම නිවට කම එකතු කොට අයාලේ යන මං ගැන දොඩවනවා විනා මිනිසුන්ගේ මනස නිරවුල් කොට රටක දැයක ජනතාවක් ලෙස නැගී සිටීමේ අවසන් තැත කොතැන තියේවිද? මෙයින් තවත් කලකට පසු අපට කතා කරන්නට කිසි දෙයක් ඉතුරු නොවනු ඇත නෂ්ටව නටඹුන් ගැන මිස.

බොහෝ සිහින යථාර්තයන් බවට පත්කර ගත හැකිය. එය රදා පවතින්නේ සිහින දකින්නාගේ චින්තනයේ ප්‍රබලතාව මතය. 

කණගාටුව අපේ පාලකයෝ දුර්වල චින්ත‍කයෝ වීමයි. අවුල් චින්තනයක හිදින පාලකයෝ කෙසේ මිනිසුන් වෙනුවෙන් නිරවුල් මගක් තනද්ද?

Sunday, May 12, 2013

'මුත්තම්මා'

වැදු මව සේම මිහිමව වේ වැදූ මව අප සැමගේම

රකින්නට ඇය සෑම කෙනෙකුට අයිතියක් ඇති සේම

නිකං හිද බල බලා ඉන්නැති හැම සිතක් සිතු සේම

 තවත් කලකට ආයු ලබනට රකිනු ඇය දින සෑම

  මුත්තම්මාට දීර්ඝායු වේවා..

අනුකම්පං උපාදාය :)

අනුකම්පාව ලොක්කන්ගෙන් පොඩ්ඩන්ට ලැබෙන සිගමනක්ද?

සමහරුන්ගේ ක්‍රියාකලාප දකින විට තවත් සමහරෙකුට හිතෙන්නේ එහෙමයි. ඒත් අනුකම්පාවට ලොකු පොඩි බේදයක් ඇති බව ඔබට සිතෙනවාද? හිතෙනවානම් එය ඔබේ ප්‍රශ්නයකි. 

අපි කාටත් අනුකම්පාව අවැසිමයි. ඔබ මට අනුකම්පා කරන්නේ යම් විටෙක දීද මටද විටෙක ඔබට අනුකම්පා කිරීමට සිදුවනු ඇති. ඉහළ පහළ යාම් ඊම් සහිත දිවියක් උරුම කරගත් 'මිනිසා' සකළ බාධක කම්කටොළු ජයගත් අපරාජිත සත්වයෙක් ‍වන්නේ යම් දිනෙකද එදින දක්වා අපට එකිනෙකා කෙරෙහි අනුකම්පා කිරීමට සිදුවන්නේමය. 

අසනීපවී ලෙඩ ඇදේ හිදිනා මා හට ඔබ අනුකම්පා කරන්නේ යම්සේද ඔබ ලෙඩ ඇදේ හිදිනා විට මමද එලෙසින්ම ඔබට අනුකම්පා කරමි. එවිට එතැන සිගමන් දීමක් හෝ ගැනීමක් ඇත්තේම නැත. ඇත්තේ හුදු වටහා ගැනීමක් මෙන්ම කම්පාවකි. 'මම' ගැන මා හිතන ආකාරයටම 'ඔබ' ගැනද සිතීමකි. 'ඔබ' 'මම' ගැන සිතීමකි. 

දිනපතා පොදු ප්‍රවාහනයේ යන එන ජනයා දකින පුද්ගලික වාහ‍නයේ ගමන් යන්නාට විටෙක ඒ ජනයා ගැන ඇතිවන්නේ අනුකම්පාවකි. එලෙසින්ම දිනපතා පුද්ගලික වාහනයේ යන කෙනෙකුට එක් දිනෙක හදිසියේ හෝ පොදු ප්‍රවාහනයේ යන්නට සිදුවීමේදී මේ පොදු ජනයාද ඔහුගේ දුක සැහැල්ලුවට ගත යුතු නොවේ. ඔහුට හෝ ඇයට ඇතිවන දුක හාස්‍යට ගත යුතුද නොවේ. අනුකම්පා කළ යුතුය. 

එබැවින් අනුකම්පාවට තරාතිරමක් නැත. නමුත් ඔබ වෙත කෙනෙකු අනුකම්පා සහගත ලෙස බැලීම ඔබ අසර‍ණයෙකු බවට පත් කිරීමක් ලෙස ඔබ සිතනවාද? ප්‍රශ්නය ඔබේ සිතිවිල්ලයි. නැතිනම් ඔබ තවත් අනුකම්පාව යදින්නට සිතනවාද? ප්‍රශ්නය ඔබේ සිතිවිල්ලයි. ඔබ ගුණවත් වන තරමට අන්‍යන්ගේ අනුකම්පාව ඉවසා දරා ගැනීමටත් අන්‍යන් වෙත වඩ වඩාත් අනුකම්පා උපදවා කටයුතු කිරීමටත් ඔබට හැකියාව ලැබෙනු ඇත. ව්‍යාජ මාන්නයෙන් එවිට ඔබ මිදෙනු ඇත. අප හැම අතර කිසිදා දුකට පත්නොවන ජනයා ඇත්නම් ඔවුන්ට අනුකම්පා කිරීමට අපට ඇවැසි නැත.

එබැවින් සැම සැමට අනුකම්පා කරත්වා!

කාරුණිකත්වය දො‍්රෙ ගලත්වා . .

Tuesday, May 7, 2013

ප්‍රභවය ඔබමයි

හිත බලය වේ නම් 

හිතම ශක්තිය වේ ‍නම් 

එ'හිතම දමනය වේ නම් 

ප්‍රභවය ඔබමයි තාමත්


ඔබයි ඒ වැඩකරුවා

ඔබයි ඒ හිමිකරුවා

ඔබයි ඒ බාරකරු

එ ප්‍රභවය ඔබ නම්

 

දැවීමද ඒ ඔබ අතය

නිවීමද ඒ ඔබ අතය

පිළිස්සෙන්නේ ඔබ හිතය

රැකෙන්නෙත් ඒ හිතමය


උතුරු මග පෙරදිග තියා

දකුණු මග අපරට ගියා

දෙමග දැන මැන ගත් නිසා

අතරමගකට හිත නොයා

හිත

උඩු කීවාට

උඩිනුත් නොපෙනෙන

යටි කීවාට

යටිනුත් නොපෙනෙන

නිදි කීවාට

හීනෙනුත් පෙන්වන

හිතුනමුත්

තුන්හිතකින් නොහිතන

දෙතැනකම නතරවෙන

දුකෙදීත්  සැපෙදීත් 

ලගින් සිටින

අරුම පුදුම‍‍

අපූරුම

හිතවතා

මම සහ මම

පුංචි කාලෙ නිදහස් නිවහල් මනසත් එක්ක කොයි කවුරුත් වගේ මමත් ටිකෙන් ටික ලොකු වුනා. පහ  දහය  පහළොව විස්ස විසිපහ කිය කියා එක එක කඩුලු පැනගෙන ඉස්සරහට එනකොට වයස විතරක් නොවෙයි දැනුම කුසලතා වගේම ඒවට ලැබුණු සහතික සම්මානත් එකින් දෙකින් වැඩිවුනා. ප්‍රමාණාත්මකව එකිනෙකාට සාපේක්‍ෂව වෙනස් වෙන්න පුළුවන් වුනත් අපි බොහෝ දෙනාගේ ජීවිත කතාව මේ වගේ. පුංචිම කාලෙ හිස්ව තිබුණු ජීවිත දැනුම  ගවේෂණය  අත්දැකීම්  අත්විදීම්  තුළින් ලොකුම ලොකු රස්තියාදුවක. පුංචි කාලෙ තිබුණු හිස් ලාච්චුවේ දැන් එක එක දේ පිරිලා. සුන්දර සතුටුදායක දේ වගේම අසුන්දර අසතුටුදායක දේත් ඔය අතරේ. ඉතිං 'මම' කියලා කිසිවක් නැතිව පටන් ගත්තු ජීවිතේට දැන් 'ම‍ගේ' කියා කොච්චර දේ ගොඩගැහිලාද? ලාච්චුවේ පිරිලා තියන දේ ගැන දන්නේ ඔබම තමා. සමහර විට 'මම' ගැන තිබුණු සුන්දර මතකය  සංකල්ප  අමතක වෙලා මැකී ගිහින්. දැන් මගේ කියලා වෙනම ලෝකයක් තැනිලා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒ ලොකේම ජීවත්වෙනවා හැර ඒ ලොකේ මගේ තැන- මං හිරකාරයෙක්ද බාරකාරයෙක්ද කියන එකත් තීරණය කරන්න සමහර විට මට හැකියාවක් නෑ. 'මම' මට අයිතීද කියන එකත් ප්‍රශ්නයක් වෙන්නෙ මගේ ජීවිතේ මට  තීරණය කරන්න පුළුවන්ද කියල හිතෙන ප්‍රශ්න මතුවෙනකොට. ඔන්න මටම 'මම' ප්‍රශ්නයක් වෙන්න ගත්තා. මගේ ඇතුළෙ තවත් මම කෙනෙක් ඉන්නෙ කොහොමද? මම කැමති දේ මම කරන දේම නොවෙයිද? ඒ මට කරන්න සිද්ධ වෙන දේද? ඒ ඇයි? මං ජීවිතයේ අතන මෙතන ගත වුනු හැම දෙයක්ම ආපහු ආවර්ජනය කරන්න ගත්තා. ඇයි? එහෙම වෙන්නෙ ඇයි? මෙහෙම වුනේ ඇයි? එතකොටයි ජීවිතයෙ පොඩිකාලෙ ඉදන්ම ගත්තම රස්තියාදුවක්ය කියන සංකල්පය පටන් ගත්තෙ. හැමදාම අපි අතන මෙතන කොතනත් කරන්නෙ මේ සංකල්පය තුළ තියෙන රස්තියාදු වීමක්ම තමා. ඒක දැනුම තුළ  කුසලතා තුළ විතරක් නොවෙයි පාරෙ තොටේ වුනත් අන්තර් ජාලයේ වුනත් වෙන්න පුළුවන්. එහෙම හිතෙනකොටයි තේරුනේ. මේ රස්තියාදුව පටන් ගන්නේ හිතෙන් අපි ඉපදෙන මොහොතේ සිට කියන එක. දැනුම බුද්ධිය මෝරන්න මෝරන්න අපි විවිධ ඉසව් වල විවිධ තර්ක මාන තුළ රට රාජ්ජය වල හුදෙකලාවේ සමහර විට පිරිස් පිටින් රස්තියාදු වෙනවා. මොනවද අපි හොයන්නේ? එතකොටයි තේරුනේ. 'මම' මා ගැනම හොයා ගත යුතුයි කියන එක. ශුද්ධ කරන්න ගත්තෙ රස්තියාදුව එතන ඉදන්. එතකොටයි තේරුනේ 'මම' සහ 'මම' තවත් එක සිතිවිල්ලක් කියන එක. 'මම' කියන්නෙ. මගේ හිස‍, කද, ගාත්‍රා එකතුවටද? එතකොට ගාත්‍රා නැතිව ජීවිතේ පවතිනවා නම් කද මෙන්ම හිසත් අත්‍යවශ්‍ය අවම තත්වයන්ගේ පවතිමිනුත් ජීවත් වන මිනිසුන් සිටිනවා නම් ඒ මිනිසුන්ගේ හිස, කද, ගාත්‍රා එකතුව කෙලෙසද? එවිට පැහැදිලි වන්නේ මම ඉන්නේ හිතේ කියන එක. ඒකයි අතපය නැති වුනත් හිත හයිය මිනිස්සු ලොව දිනන්නෙත්. හිතේ කුණු පුරවාගත් රස්තියාදුවෝ හිස, කද, ගාත්‍රා සියල්ල ඇතිව ජීවිතයෙන් පැරදෙන්නෙත්. ශුද්ධ රස්තියාදුවෙන් 'මම' සහ 'මම' හදුනා ගත්තොත් ජීවිතය ගැන වෙනස් විදිහකට හිතන්න මං පෑදේවි නිසැකවම. 

හැබැයි හැම දෙයක්ම හොදින් හදුනාගත්තත් ඵලයට මුල හේතුව යැයි කීවාසේ ඔබ සියල්ල වටහා ගෙනත් තනන්නේ බෝම්බ නම් ප්‍රතිඵලය පිපිරුමම පමණයි. එය තරයේ මතක තබාගන්න.

Saturday, May 4, 2013

ශුද්ධ රස්තියාදුවා

රස්තියාදු හිත එහේ මෙහේ දුවයි. එ‍තකොට සමාධියක් නැතිය. හිතේ එකගකමක් නැති නිසාම බුද්ධියෙන් වැඩ ගැනීමක්ද නැත. බුද්ධියත් නිශ්ඵලය. 

ඉතිං කොහොම මේ හිත හදා ගන්නද? අල්ලා ගන්නද? රස්තියාදු වෙන්නට ඕනෑ තරම් අලුත් අලුත් හිතිවිලි දෙන ලෝකයක් තුළ නන්තාර වුවහොත් ඉන් ගොඩ ඒමක් නම් නැත. ගොඩ එන්නට ඕනෑ නම් සටනක් අවශ්‍යමය. කවුරැත් සමග නොව තමන් සමගමය. රස්තියාදුව ශුද්ධ වන්නට ගන්නේ එතැනින්ය. එකම ස්වර සප්තකයේ උච්ච, මධ්‍ය, මන්ද්‍ර වැයුම් එවිට වෙන් වෙන්ව කණට ශ්‍රවණය කළ හැක. ස්වර අට එන්නේ උච්ච ස' අගට නිතර යෙදීමෙනි. පරණ දේ අලුත් වන බවත් අනුපාත ගැලපීම් වෙනස් වූ විට ඉපදෙන අලුත් හිතිවිලි දැනීමෙන් වෙනස් වූවාට එකම හරයකින් බිහිවන බවත් එවිට වැටහේවි. 

එබැවින් රස්තියාදු හිත අල්ලා දමනය කරගන්නට සමත් වීරියක් නැත්තේ නම් සමාධියකින් වත් බුද්ධියකින් වත් වැඩක් වන්නේම නැත. එහි අදහස නිවැරදි දිශාවක් වෙත වීරීය කිරීමක් තිබිය යුතු බවයි.

ඉතිං මේ රස්තියාදු හිත අල්ලා සමාධියෙන් යතුව බුද්ධිය මෙහෙය වුව හොත් ජීවිතය යනු කවර කජ්ජක්ද?

වැඩි කතා උවමනා නැත. නීර්භීත වීරයන්ට තමන් සමගම සටන් කර ශුද්ධ රස්තියාදුවකින් ජීවිතය දිනන්නට අවසරයි!  රස්තියාදුවාට පටන් ගන්නට තැනක් ඕනෑ නැත. හිත ඇත්නම් ඕනෑම තැනක් පොර පිටියක් කරන්නට වීරයාට හැකිය.

සමාධී භාවනා

‍සිත ගැන කියන හැම විට භාවනාව යන්න යුගලපදයක ගණනට අපට ඇසේ. භාවනා යනු කුමක්ද? කෙනෙකු කියන්නේ යමකට හිත යොමා දෑස් පියා නිශ්චල ඉරියව්වකින් සිටීම යන්නයි. ඉතිං එක දෙයක් ගැන හිතා දෑස් පියාගෙන හිදීම භාවනාවක්ද? මම භාවනා ගැන විශාරද හෝ විශේෂ හෝ දැනුමක් නැති බැවින් සමාජයේ එකිනෙකා කියන කතා අනුව  මෙවැනි දේවල් අසා ඇත්තෙමි.

එහෙත් භාවනාව සමගින් ඇසෙන සමාධිය යන වදන ගැන මට ඇති වන්නේ පැහැදීමකි. කැ‍ළතුණු දිය ඇති බදුනක ජලය නිශ්චල වීමක් ලෙසින් එය මට හැගේ. පැටලුනු නූල් බෝලයක ගැට එකිනෙක ලිහන බවක් එයින් මට හැගේ. අපි‍ළිවෙල කට තිබූ නිවෙස පවිත්‍ර කොට පිළිවෙල කරනු මට එයින් දැනේ.

ඉතිං මෙයින් ඇති ප්‍රයෝජනයත් එයම බව මට මේ අනුව වැටහේ. 

පිළිවෙලට තැබූ බඩුමුට්ටු පරිහණය පහසු බව මම දනිමි. නිශ්චල දිය ඇති බදුනේ පතුල පැහැදිලිව මම දකිමි. ගැට නැති නූල් බෝලය පහසුවෙන් පරිහරණය කිරීමට මම අපේක්ෂා කරමි.

එහෙත් මේ සියලු දෙය බුද්ධියෙන් මෙහෙය විය යුතු බව මට වැටහේ. බඩුමුට්ටු පිළිවෙලට තබා ගත්තත් ඒ බඩුමුට්ටු නිසිව ප්‍රයෝජනය ගන්නට නොදනිතොත්! මහන්නට දන්නේ නැතිනම් නූල් බෝලයෙන් කවර ඵල! පතුලේ මැණික වටිනා බව නොදන්නා මෝඩයාට බදුනේ නිසල ජලයෙන් ඇති වැඩක් නැත. 

එනිසා යමෙක් සිතේ එකගකමෙන් දැලි පිහිය අතට ගන්නේ නම් එය තැනුවේ රැවුළ කැපීමට මිස කිරි කෑමට නොවන බව දැනෙන බුද්ධියෙන් යුක්ත විය යුතුය.

නැතිනම් සමාධියේ ශක්තිය අපතේ යනු ඇත.

මේ කොයි ආකාරයෙන් විග්‍රහ කොට ගත්විටත් බුද්ධියෙන් තොර සමාධිය අර්ථ ශුන්‍ය බව මම දකිමි.

බුද්ධි වන්දනා

මිනිසා විසින් කෙරෙන නිර්මාණ පුදුමාකාරය. එය කිසිසේත් අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. මිනිසාගේ මේ සියළු නිර්මාණ වල රහස ඔහුගේ මොළයද? බුද්ධියද? පුදුමාකාරය. මිනිස් මොළයේ, බුද්ධියේ තරම! එය වන්දනය කරනු වටී.

ඉතිං මිනිසාගේ අනේක විධ වූ නිර්මාණ ඔපමණ අගනේ නම්, ඒවා බිහිකළ මිනිස් මොළය අති අගනේ නම් මිනිස් මොළයත් අනේක විධ නිර්මාණයන්ගේ මුල ද්‍රව්‍ය මෙන්ම මූල බීජත් නිර්මාණය කළෝ කොතරම් නම් ඉස්රතම්ද? වන්දනීයද? 

හැබෑට කව්ද ඒ? ස්වභාව ධර්ම‍යාද? මහා නිර්මාණකරු හෙවත් විශ්වීය නිර්මාපකයාද? කව්රු වුනත් අපට මොකට කියා හිතෙනවාද?

බුද්ධි වන්දනාවේ යෙදෙන අපිට ඒ මහත් වූ බුද්ධියේ නිර්මාණකරු පියෙක් නොවන්නේද? ඒ පියා වන්දනීය නොවන්නේද? ‍

විවිධ දහම් වල පීතෘ ආකාරයෙන් ගෙනෙන මෙහි ස්වභාවය සැබවින්ම හේතු ඵල දහමෙන් විග්‍රහ කොට ගත නොහැකිද? හැකිය.

තම තම නැණ පමණින් අපි මේ ගැන විවිධ අර්ථකතනයන් දෙන්නෙමු. වටහා ගන්නෙමු. නමුත් සත්‍ය නම් දෙකක් විය නොහැකියි. නමුත් අපේ බුද්ධියේ ස්වභාවයට අනුව අපේ වටහා ගැනීමුත් විවිධාකාර වන හෙයින්ම අපි එතැන නතරවෙමු. ඒ අපේ පමණයි. අපේ පමණ කොතැන වුවත් සත්‍ය එය තිබෙන තැනමය. එහෙයින් සත්‍ය වෙත අප යනු විනා සත්‍ය අප දන්නා තැනට ලඝු කරීම නොදන්නාකමයි.

ඉතිං එපමණ දැන ගෙනම බුද්ධිය වන්දනා කිරීම යෝග්‍යය. එතැනින් පසු ඇත්තේ මේ බුද්ධියෙන් වැඩ ගැනීමය.

බුද්ධිය හිස පිරෙන්නට තිබුණත් එයින් ඵල ගන්නට කම්මැලියා නොසිතයි. නිවටයා හැකිලෙයි. බියසුල්ලා පැකිලෙයි. ඒ තුන්දොස් යන්නට නම් සමාධිය යන බලිය ඇවසිම වෙයි. හිතේ එකගකම ඇත්නම් බුද්ධිය මළකා නොදී විවිධ ප්‍රයෝජනයන් වෙත හැරවනු හැකි වෙයි. එහෙත් ඒ සදහා සිතේ සමාධියක් නොතිබේ නම් මේ බුද්ධිය කිසි ලෙසකින් ඵල නොදරයි. 

මෙහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය හෙවත් අධිවේගී බුද්ධියේත් ඔළමොළ ගති මතුවන්නේ සමාධියක් නොමැති කමෙන්මය.

එබැවින් සමාධී භාවනාවෙන් තොර බුද්ධි වන්දනාව නිශ්ඵල බව මම කියමි.

පැතුම්

 

පිපී එන

උදෑසණ

ජනේලයෙන් 

එබී බලා

පිණි බිංදු 

වියැකෙන

අතීතයෙන් 

හිරු පායා 

උදාකරන්

සුභ දවසක්...

Friday, May 3, 2013

ස රි ග ම ... ... ... ස'

    මම දහම් කවි ලියමි

    අක්කාගේ අලුත උපන් පොඩ්ඩා 

    ලෙඩ ඇදේය

    නැත අතේ සත පහක්

    ?

    උච්ච 'ස' ද සමගින්

    හොදින් හැදිනූ

    ස්වර අටකි

    ජීවිතය

Wednesday, May 1, 2013

සතුට සදහා මුදල් හෙවත් යපහත් කාසි

එකටම බැදෙන අදහස් කීපයක් ලියල බලනකොට තවත් පොඩි අඩුවක් පෙනුනා. ඒ 'යපහත් කාසි' ගැන ලියවුනේ නැති එක.

මුදල් උපයලා විතරක් සතුටු වෙන්න හිතන්නේ නැතිව 'සතුට' සදහා ආයෝජනය කළ යුතු 'සතුට' හොයා ගන්නෙ කොහොමද කියල හිතනකොටයි 'යහපත් කාසි' ගැන මතකයට ආවෙ. 'යපහත් කාසි' වෙන මොනවත්‍ නොවෙයි ඔබ කරන කියන ඔබට වගේම අන්‍යන්ටත් යපහතම ගෙන දෙන වැඩ තමයි. ඒ ගැන සිහිපත් කරන කොට වගේම ඒ වැඩ කරන කොටත් සතුටු සිත් ඇතිවෙනවා. ඉතින් ඒ සතුටු සිත් 'සතුට' ඉපයීම සදහා ආයෝජනය කරන 'යහපත් කාසි' බවට පත්වෙනවා. එකතොට විකල් සිහියෙන් බදාගන්නා සතුටු සාද ඕන නෑ සතුට උපයන්න කියලා, 'සතුට' ආයෝජනය කරන්න. ඒ විකල් සිහියේ ක්ෂණික සතුට සිහිය එනකම් විතරයි. එතැන් සිට හිතටයි ගතටයි දෙකටම අප්සෙට්. 

ජීවිත රස්තියාදුව ශුද්ධ වෙනකොට 'යහපත් කාසි' මතුවෙනව නම් ඒ කියන්නෙ ආයෝජනය වෙන්නෙ සතුටක් මයි. මෙහෙම කිව්වට අෂ්ටලෝක ධර්මයක් තියෙන ලෝකෙක සදාකාලිකවම සතුටක් නැති නිසා කණගාටුදායක හා වෙනත් සිතිවිලිත් උපදින්නෙ නැතිව නොවෙයි. ඒත් ‍ඒ හැම දෙයක්ම ශුද්ධ කරගෙන හරි වැරැද්ද තේරුම් ගත්තම, නිවැරදි වුනාම ආයෙත් උපදින්නෙ සතුටක්ම තමයි. යහපත් කාසි හම්බවෙනවා. සතුට ආයෝජනය වෙනවා. ශුද්ධ ලාබයකුත් ලැබෙනවා. 

ඒ නිසා හම්බකරල සතුටුවෙන්න නම් කරන්න යහපත් වැඩ හොයා ගන්න. මූල්‍ය ධනය ඒකට ඕනම නෑ. මුදල් හම්බ කරලත් සතුටු‍ වෙන්න පුළුවන්. හැබැයි ඒක උපයා ගත්තය කියන හැගීම නිසා ඇතිවන සතුට කියනවනේ. ඒ නිසා මූල්‍ය වගේම හෝ ඊටත් වැඩියෙන් අනිවාර්ය ශුද්ධ ලාබය සහිත ආයෝජනය සදහා යහපත් කාසි හොයාගන්න. ලාබය ගැන නොහිතා මහන්සිවෙන්න ඒ සදහා. නොදැනීම සතුට ආයෝජනය වේවි. නොදැනීම ලැබෙන දේ ලැබේවි. එතකොට ඔබට ඇත්ත වැ‍ටහේවි. ඔබ පොහොසත් වේවි, තවත් විදිහකින්. 

හම්බක‍රලම සතුටුවෙන්න ඉන්න එපා. හම්බකරන අතරේ යහපත් කාසිත් හොයන්න.

මෙයට බැදෙන ලිපි පහතින්

http://hallowrusta.blogspot.com/2013/05/blog-post_1.html

http://hallowrusta.blogspot.com/2013/05/blog-post_2690.htm

අනිවාර්ය ශුද්ධ ලාබය

සතුට ආයෝජනය කළාම ලැබෙන ලාබයත් සතුටයි. ඒත් එයින් ලැබෙන ශුද්ධ ලාබයකුත් තියෙනව. ඒකත් අනිවාර්යයම දෙයක්. වටිනාම දේ අනිවාර්ය වීම.

ඒ නි‍රෝගිකම හෙවත්, ආරෝග්‍යය.

ආරෝග්‍යා පරමා ලාභා කියා ඇත්තේ නිකම්ම නොවෙයිනේ. සතුටින් ඉන්න මිනිසාගේ ගතත් සිතත් ප්‍රබෝධමත් වීම නිරන්තරයෙන් සිදුවන නිසා ඔහුට මේ අනිවාර්යය ශුද්ධ ලාබය ලැබීම කිසිවිටකත් නොලැබී යන්න බැහැ. එදිනෙදා අනේක විධි වැඩකටයුතු අ‍තරේ අවිවේකී වුනත් සතුටෙන් ඉන්න පුළුවන් නම් ලැබෙන අනිවාර්යය ශුද්ධ ලාබය සහතිකවම නවත්වන්න කාටවත් බැහැ.

ඉතිං අපි සතුට නිර්ලෝභීව බෙදා ගන්න පුළුවන් අය නම්, ලාබය ගැන නොසිතා කරන අයෝජනයක් නම් ශුද්ධ ලාබයත් එපමණකටම වැඩිවේවි. ඒ නිසා ශුද්ධ ලාබය ගැන හිතන්න එපා. හොද දේ කරල හොද විදිහට සතුටු වෙන්න. අනිත් අයත් එක්ක හොදින් සතුට බෙදා ගන්න ඔබ අනිවාර්යය ශුද්ධ ලාබයේ හිමිකරුවෙකු හෝ ‍හිමිකාරියක වේවි. ආරෝග්‍ය පිරුණු කෙනෙකු වේවි. රෝගී වී හිටියා නම් ඉක්මන් සුවයකටත්, යහපත් වෙනසකටත් හේතු වේවි‍. 

ඒ නිසා විශ්වාසයෙන් යුතුව ලාබ ගැන නොසිතා හොද සතුටක් ජීවිතයේ යහ පැවැත්ම උදෙසා ආයෝජනය කරන්න. ශුද්ධ ලාබය ඔබට නිසැකයි.

මගේ උත්සාහයත් පුළුවන් තරම් කාලයක් ශුද්ධ ලාබය අත්විදින්න. ඒක ලෝභී සිතිවිල්ලක් නෙවෙයි නේද?  :)

මෙයට සබැදි ලිපිය

http://hallowrusta.blogspot.com/2013/05/blog-post_1.html

පරම ඥාතියා

දහමෙන් අපට ඉගැන්වූ සේම පරම ඥාතියා 'විශ්වාසය' යන්න මම තරයේ අදහමි. මගේ අයිතිය භාවිත කරමින් මම ඔබට මේ පිළිබද යෝජනා කරමි. ඔබේ අයිතිය භාවිත කරමින් ප්‍රතික්ෂේප කිරීම ඔබ සතුය. 

හොද විශ්වාසයෙන් සිදුවන්නේ හොදක්මය. නරක විශ්වාසයෙන් සිදුවන්නේ නරකක්මය. එක් අතකින් හොද විශ්වාසය යනු විශ්වාසය මත පදනම් වීමත් නරක විශ්වාසය යනු විශ්වාසය මත පදනම් නොවීමත් ලෙසින් ද ගත හැක. 

කෙනෙකු යම් විශ්වාසයකට එළැඹෙන්නේ ඉන්ද්‍රිය ගෝචර තත්වයන්ගෙන් ම බොහෝ දුරට තහවුරු වන කරුණු මත වීම සාමාන්‍ය ස්වභාවයයි. එසේ නොමැතිනම් බොහෝ කොට බො‍හෝ දෙනා හෝ ‍‍බොහෝ කාලයක් සමාජයේ පවතින දේ හෙවත් සම්මත හා සම්මුති මත පදනම් වෙමිනි. අනිත් අතින් ඥානනය උදෙසා රස්තියාදු ගසන්නන් ආදීන් විශ්වාසය පිණිස බොහෝ දෑ තැන නොතැන නොබලමින් අවුස්සමින් යන්නේ විශ්වාස භංග සමාජයක නිසි චින්තනයක් සොයාය. එහෙත් විශ්වාසය යනු මේ කිසිවක් නිසාවත් දැඩිවම අල්ලා රදවා පැවැත්වෙන්නක්ද නොවේ. එය බලහත්කාරයෙන් රදවා ගැනීම අපහසුය. එය යම් යම් බාහිර සාධක මෙන්ම අභ්‍යන්තර සාධක මතද රැදෙනු ඇත. සමහර විට අප විශ්වාස කරන පුද්ගලයෙකු සම්බන්දයෙන් අප බිද වැටෙන්නේ ඔහු හෝ ඇය සම්බන්දයෙන් වැරදි ආරංචි අසමිනි. විශ්වාසයේ ශක්තිමත් භාවය අනුව ආරංචිය ලොකු හෝ පොඩි විය හැකි සේම ආරංචියේ විශ්වාසනීයත්වය අනුව විශ්වා‍සයේ ශක්තිමත් භාවය තීරණය වීමටත් හැකිය. කෙසේ නමුත් වැදගත්ම දේ අනුන් වෙත පළමුව තමන් වෙත විශ්වාසය ජනිත වීමය. තමන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබද විශ්වාසය ජනිත වීමය. එවිට තමාගේ පරම ඥාතියා තමා අසළම සිටී. එවිට තනි වීමක් බියක් නොවේ. ශක්තිය, ජවය, පිබිදීම ඇතිවෙයි. ‍

කෙසේ නමුත් මෙසේ තමාට තමා ගේ විශ්වාසය තහවුරු වීමට නම් තමා පිළිබද හොදින්ම දන්නා තමාට තමා අවංක විය යුතු නොවේද? ඉතිං එසේ අවංකත්වය තුළ ඇතිවන නිවැරදි වටහා ගැනීම අපේ විශ්වාසය තහවුරු කරන්නක්ම වෙන්නේය. එවිට අපි අපේ ආත්ම විශ්වාසය ඉහළ යැයි කියන්නෙමු. ආත්මය කෙසේ වේවා, විශ්වාසය වැදගත්ය. නිවැරදි විශ්වාසය වැරදි විශ්වාසය මෙන් විනාශය කරා අපව නොමගෙන යන්නේය. එබැවින් වැරදි විශ්වාසය වටහා ගනිමු. එයින් ඉවත්ව නිවැරදි විශ්වාසයක් ඇතිකරගත හැකි දේ සොයමු. පරම ඥාතීන් හදුනා ගනිමු.

නිර්ලෝභීව බෙදිය හැකි ධනය හා ලාබය

  බොහෝ දෙනාට ඉපයීම මෙන්ම ලාබයත් එය බෙදාහදා ගැනීමත් ප්‍රශ්නයක් බව වටින් විට කරන සමාජ නිරීක්ෂනයන්ගෙන් මට හෙළිවිය. මම මෙසේ කල්පනා කළෙමි. දෙවනුව මා මෙසේ ඔබට යෝජනා කරන්නේ මගේ ඒ කල්පනාවයි.

ධනය ඉපයීම අපහසු නම් එහි ලාබය කුමන ආකාරයෙන් අර්ථදක්වා නමුත් බෙදා හදා ගැනීමේ ක්‍රමය ආත්මාර්ථය පදනම් කොට ගෙන සිදුවීම ස්වභාවික නම්, පරම ධනයක් උපයන්නට මම ඔබට යෝජනා කරමි. ඒ යෝජනාව කිරීම මගේ අයිතියයි. ප්‍රතික්ෂේප කිරීම ඔබේ අයිතියයි.

පරම ධනය කුමක්දැයි ඔබ කවුරුත් දන්නේය. දහමෙන් අපට කියාදෙන පරම ධනය නම් 'සතුට' යි. ඉතිං මේ පරම ධනය යනු සතුට නම් ඒ සදහා වන ආයෝජනයත් සතුටම විය යුතුය. ඉන් උපයන ආදායම සතුටයි, ලාබයත් සතුටයි.(සතුට සදහා යැයි කියා විකල් සිහියෙන් බදා ගන්න සතුටක් ගැන නොවේ මේ කතාව)

එවිට එය බෙදා හදා ගැනීම ප්‍රශ්නයක් නොවනු ඇත. එය බෙදා හදා ගැනීමට ඔබ නිර්ලෝභී වන්නේ කොතෙක්ද එපමණකටම ඔබගේ මූල්‍ය ධනය ඉපයීමේදී ඇති වන බාධාත් මගහැරෙනු නැත්තේද? සත්‍ය වශයෙන්ම මමද අත්හදා බලන්නට ගන්නේ මේ ක්‍රමයයි. පරම ධනය උපයන්නට හැකිනම් මූල්‍ය ධනය ඉපයීම එතරම් අපහසු නොවේය, එහි ලාබය අඩු වැඩි වීමත් ප්‍රශ්නයක් නොවේය යනු මගේ විශ්වාසයයි. 

වැඩකරන ජනතාවට ජයවේවා!

 මෙයට බැදෙන ලිපි පහතින් 

http://hallowrusta.blogspot.com/2013/05/blog-post_2690.html 

http://hallowrusta.blogspot.com/2013/05/blog-post_9735.html

වැඩනොකරන ජනතා දිනය

කාලෙ කකා

පුරාජේරු කතා

බත් පැකට් වතුර බෝතල් 

ගමනාගමනය නොමිලේ

එක දවසකට

වැඩි කළ සීයයට 150%

සීයට දහයකින් 10% 

අඩුවේවිද?

අපි නොදන්නා

කවුරුත් උන්දන්නා

අන්දන්නා

අන්දගන්නා

‍එකී මෙකී නොකී ..අර කී

හැම දිනයකටම වඩා

උද්වේගකර

ලොකුම බොරුව

ඉතිහාසයට වටී

අනගතයට දිනයක් පමණි

නිවාඩු ? 

වැඩකරන ජනතාවට        ජය‍වේවා!

වැඩකරන ජනතාවට        ජය‍වේවා!

වැඩකරන ජනතාවට        ජය‍වේවා!

 

Monday, April 29, 2013

සැලියුට්

අපේ තාත්තලා

නීතියත් යුක්තියත් රැක්කෝය

අල්ලස දූෂණයට පයින් ගැසුවෝය

අහවල් තාත්තලා

නීතියත් යුක්තියත් අතට ගත්තෝය

අල්ලස දූෂණය ඔඩොක්කුවට ගත්තෝය

අපේ තාත්තලා සැලියුට් නොලබා 

විශ්‍රාම ගත්තෝය

අහවල් තාත්තලා විශ්‍රාම නොලබාම

සැලියුට් ගත්තෝය

පොලීසිය සීරුවෙන් 

ගහපන් ඩබල් සැලියුට්

දෙකට නැමී 

පිසාචයෝත් 

කුම්භාණ්ඩයෝත් 

වැජඹේවා

ලැජ්ජා නැත

හිරිකිතයක් නැත

ආයුබෝ බඩවඩා

එකසිය විස්සට 

සෘණ දෙසිය විස්සක්

දඩ දඩ දඩස්....

සැලියුට්!

Saturday, April 27, 2013

කුම්භකර්ණලා(සිහිනයත් යථාර්තයත් අතර අවදානමේ අපි)

එහෙන් මෙහෙන් ගොඩක් පැති වලට එබිල බලල දකින්න ලැබෙන දේත් ගැඹුරින් හිතන්න වෙන දේත් සැලකිල්ලට ගත්තම එන්න වෙන අවසන් නිගමනයක් තමයි ලාංකීය අපි කුම්භකරණ වංශිකයෝ කියන එක. රාවණ ගැන කියවෙන ඉතිහාසයේ සහෝදර සමා‍ගමේ හිටි විභීෂණ වගේම කුම්භකරණත් අපට අමතක කරන්න බෑ. මේ කතාවේ නායකයා ඒ කුම්භකරණ. 

මාස හයක් එක දිගට නිදාගෙන ඉන්න මේ මනුස්සයව ශබ්ද පූජා පවත්වල ඇහැරව ගත්තම තවත් මාස හයක් නිදා නොගෙන වැඩ කරනවලු. ලු යන්නෙන් ඉවර කලා සේම මේ ප්‍රවාදයේ ඇත්ත නැත්ත කෙබදු වේවා. එහි ගැබ්වුනු හරයක් ඇති බව නම් අපේ ජනයා දිහා බලනකොට හිතෙනවා. 

අසීමිත පීඩන‍යකින් මිරිකෙන කොට ඒක දරාගෙන නොසැළී යන්න පුළුවන් තරමේ හයිය මනසක් අපේ මිනිස්සුන්ට තියෙනවා. නමුත් කවදකවත් මේ මනසෙන් ප්‍රයෝජන ගැනීම් තිබුණා නම් අපට මෙහෙම වෙනවාද?  හේතුව, ඔය මනස අවදිවෙන්නත් අසීමිත පීඩනයක්ම ලැබෙන්න අවශ්‍යවීම. ඒ කියන්නෙ ශබ්ද පූජාව. තවත් සරලව කීවොත් නිදාගෙන හීන දකින මිනිස්සු නිදාගෙන හිටි බව තේරුම් ගන්නෙ ඇ‍හැරෙන කොට වීමයි. ඒත් අපේ ඇහැ‍ ඇරෙන කොට අපි ඉන්නෙ කොතනද කියන්න කවුරුත් දන්නෙ නෑ? සමහර විටක ලොකු අවදානම් තැනක වෙන්නත් පුළුවන්. අපේ සමහර ප්‍රශ්න වලට විසදුම් හෙවිල්ලත් ඔය වගේ.

මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න දන්නවා, ඒවට උත්තරත් දන්නවා, ඒත් සූදානමක් නෑ. දැක්මක් නෑ. ප්‍රශ්නයක් ආවම වටේ යන්න වෙන්නෙ ඒ නිසා.  නිදාගෙන ඇහැරියා වගේ වෙන්නෙ එතකොට.

කරන්න ඕන දේ දන්නවා, කරන්න ඕන විදිහත් තේරෙනවා, ඒත් කරන්න ඕන වෙලාවෙ ඒක කරන්නෙ නැහැ. කරන්න ගන්නෙ අශ්වයා පැනගත්තට පස්සෙ ඉස්තාලෙ වහන ක්‍රමේට. ප්‍රතිඵලයක් නෑ. නින්දෙන් ඇහැරිලා වගේ.

රස්තියාදු වෙනවා. කාලෙ ගත වෙනවා. ඒත් අපි තවමත් සිහිනයත් යථාර්තයත් අතර හිරවෙලා.

අපි සිහින රාජ්ජය තුළ හිරකරලා වගකිවයුත්තෝ කව්ද කියල අපි ම දන්නෙ නෑ. ඉතිං තේරුම් ගන්න ඕන පළවෙනි දේ පළමු වගකිවයුත්තා තමන් බව.

අපි මොනවද අපේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ. ලොකු දේවල් නොවෙයි. අපි සමහර විට හිතන්නෙ ලොකු ප්‍රමාණයෙන්මනේ. නමුත් ඔය ගොඩක් ලොකු දේවල් වලට වඩා පොඩිවට පෙනෙන හෝ නොපෙනෙන ගනනේ දේවල් තියෙනවා අගයෙන් බෙහෙවින් වැඩි. හිතන්න රටක සංවර්ධනයට ඔබේ නිවැරදි චින්තනයකින්, ‍නිවැරදි ප්‍රතිපදාවකින් දෙන්න පුළුවන් දායකත්වය ගැන. ඔය ගොඩක් මාතෘකා අරගෙන කෙස් පැළෙන තර්ක ගෙනෙන අපේ බොහෝ දෙනා රටේ යහපත වෙනුවෙන් කළ වැලි කැටයක තරම් දෙයක් තිබෙනවද? නැතිවා විය නොහැකියි. හැබැයි එක වැලිකැටයක් යහපත වෙනුවෙන් තබද්දී වැලි ටොන් ගණනින් හලන්නේ අයහපත වෙනුවෙන් නොවේද? බොහො‍් දෙනා මෙබන්දන්. හිතන්න හැබෑ දියුණුව කියන්නෙ, සංවර්ධනය කියන්නෙ පොකට් එකේ විතරක් සල්ලි පුරවල අපේ තියෙන මනුස්ස ගති හින්දන එකකටද?

එක් එක් පුද්ගලයා එකතු‍වීමෙන් සමාජයක් තැනෙන්නේය යන සරල සංකල්පයෙන් බැලූවිටමත් පෙනෙන්නේ සමාජය යහපත් කර ගැනීම උදෙසාත් එක් එක් පුද්ගලයා වෙහෙස විය යුතු බවයි. එනමුත් අද බොහෝ දෙනාට යහපත අයහපත සොයා ගැනීමට තරම්වත් නිස්කාංසු මනසක් තිබෙනවාද?

අල්ලස ගන්න මිනිහා වැරදියැයි කියන අපි ඇයිද අල්ලස දෙන මිනිහා ගැන එතරම් හිතන්නැත්තේ, යහපත අයහපත අපේ වාසිය අනුව හදා ගනිමින් නොවේද ඒ? දැන් හොද නරක, පින් පව් වාසිය අනුව බොහෝ විට හැදෙන්නේ එහෙම තමා. මගේ වැඩේ කරගන්න කාට හෝ පන්දම් ඇල්ලීම නරක නොවේ. නමුත් රස්සා දේශපාලන පත්වීම් බවට විටෙක අපි චෝදනා කරමු. අවසන දෙකම හරිය, ඒ මෙහේ ක්‍රමේ හැටිය කියා හිස කසා හෝ නොකසා නිවට ගතිය පාමු. අපේ කුම්භකර්ණ නිදි වැදීම මෙහෙව් ආකාරය. මර නින්දේ ඉද්දී අපිට මේ කිසිත් වෙනස් විය යුතු යැයි හිතෙන්නේම නැත. එතරමකටම නිදි මතයි.

එක අතකින් සිහිනයත් යථාර්තයත් අතර දෝලනය වෙලා හරි යම් නිවැරදි තේරුම් ගැනීමකට එනවා නම් එක හරි වැදගත්, ඒත් ප්‍රශ්නය ගොඩක් දෙනාගෙ මේ රස්තියාදුව ඉහත කී ලෙසින් ශුද්ධ නොවෙන එක. වැරදිම කර කර ඉදන් තමන්ට පාඩුවක් වෙනතැන විතරක් එකවර නින්දෙන් ඇහැරියා වගේ හරි වැරැද්ද කතා කරන්න ගන්නවා. මේ ඵලය ඇති වුනේ අපිම හදාගත්ත හේතු දාහකින් කියල තේරුම් ගන්නේ නැහැ. අපි හිටියෙ මර නින්දේ නොවේද කියල තේරුම් ගන්නේ නැහැ. පට්ට පතුරු යනකන් කතා කරනවා, සාකච්ඡා කරනවා. ප්‍රශ්න ආවහම එහෙමයි. ඒත් ඒවයින් ලබාගන්න දිගු කාලීන ප්‍රයෝජන නැහැ. ඉතිං හැමදාම එක තැන පල් නොවී ඉස්සරහට යන්නෙ කොහොමද? ආසයි බයයි වගේ ප්‍රතිපත්තියක්ද මේක? නැත්නම්, අද නොවේ හෙට! කියන බාලගිරි දෝෂයක්ද? නැතිනම් පැහැදිලිවම කියන්න වෙන්නෙ කුම්භකර්ණ දෝෂය. කොහොම වුනත් මේ දෝෂය භංග කරන්න කාලෙ දැන් හරි. 

නිරන්තරවම ශබ්ද පූජා පවත්වලා තමන් තුළ සිටින කුම්භකර්ණයා නිරන්තර අවදියෙන් තබා ගතහොත් පමණයි සිහිනයත් යථාර්තයත් අතරින් යම් ගමනකට අප වැටෙනු ඇත්තේ. මර නින්දේ සිටියොත් අපව නින්දේදීම මෙහෙයවා වැඩ ගන්නන්ගේ හස්තයේ අප නැටවීම පමණක්මැයි සිදුවනු ඇත්තේ. 

ජීවිතය යනු මුදල් නොවේ. මුදල් යනු සිහිනය සුන්දර කරන මාධ්‍යක් පමණකි. සිහිනය යනු සැබෑව නොවේ. සුන්දර සිහිනයෙන් දිනෙක අපට අවදිවන්නට සිදුවේ. ඒ යථාර්තයේදී මුදලින් අපට දිනීමටවත් ස්ථාවර වීමටවත් නොහැකියි. 

එබැවින් කුම්භකර්ණලාගේ සිහිනයට මුදලුත් යථාර්තයට මානසික හයියත් අවැසිමයි. ඒ මානසික හයිය මිත්‍යා පදනමකින් ලැබිය නොහැකියි. සත්‍ය පදනමක් ජීවිතයකට අවැසි බව දැනෙන්නේ එවිටයි.  ඉදින් ඒ සත්‍ය පදනම සොයා වන රස්තියාදුවත් ශුද්ධ විය යුතුමයි. හීනයත් යථාර්තයත් අතර අපේ කුම්භකර්ණ ගමන නිවැරදි දිශාවක් ඔස්සේ දමා ගැනීම අප කාගෙ කාගේත් වගකීමයි. ඒ දිශාව නිවැරදි නූනෝතින් අපේ මර නින්ද සිතුවාට වඩා බරපතළ කාරණයක් බව දැනෙනු ඇත්තේ මත්තටයි. 

මාස හයක් එක දිගට නින්දේ හරි සැප ඇති. ඒත් නැගිට්ටම තියනවා කරන්න මාස හයක වැඩ එක දිගට, මේක ලේසි වැඩක් නොවෙයි. ඒ නිසා හිතන්න කුම්භකර්ණ දෝෂයෙන් මිදෙන මග දැන් දැන්ම. 

Tuesday, April 23, 2013

නිවන

අයිතිය 

ඔබ සතුය

තීරණය 

ඔබ අතය 

සදාකාලික 

නොවූලෝකයේ

එකම විකල්පය

Friday, April 19, 2013

දුප්පතාගේ නින්ද ට බෝනස් (හිගන්නාගේ පොකට් එකට තට්ටු කොට අලාබය පියවීම)

බලව විසදුම් 

හදන විසදුම්

 

හිසේ රුදාවට කොට්ටය මාරුකර

ඒ කොට්ටය කකුල් අස්සේ ගසා

හිසට සුව සෙවීමක්

 

සොච්චම් විදුලියට ගැහූ බිල

හිගන්නාගේ පොකට් එකට ගැසූ

පට්ට පල් හොරෙක්

Saturday, April 13, 2013

සුපින්බර සුවෙන් බර සුභම සුභ අලුත් අවුරුද්දක් සැමට

සියලු වස්දොස් භංගවේ...වා                                                                             අවුරුද්ද සරුසාර වේ...වා

බක්මහ අකුණ(සුපින්බර අලුත් අවුරුද්දකට)

පුණ්‍ය කාලය උදාවී ඇත

බොහෝ දෙනා හොර බොරු කරන්නට පටන් ගනිත්

මටත් කිම

මමද කරමි හොර බොරු..

මොන දහම්

මේ 

බණ දහම්

නැත කිසිත් කෝළම්

සොබාදම් 

 කිමද මේ සරදම්

ගැසීය බක්මහ අකුණ තදින්ම

දෙපා ලගම වැදුණු හෙයින්ම

මළ නොවී පහ 

සිහි වීය අටපහ

අටසිල්ද පන්සිල්

මරණයත් 

අමතක වූ දහම් පාට 

ලා දම් අහසේ 

පාට නොදැකමත්

පුණ්‍යකාලය සරුවේ

පින් අත්වේවා

බක්මහ අකුණට

 

මරණය සිහිකර පුණ්‍ය කාලයේ ධර්මාවබෝධ කළෙමි. මා නොමරා මරණය සිහිකළ බක්මහ අකුණ, ඔබට සදා ණය ගැතිවෙමි ධර්මය පැහැදූ පිනට.

සුපින්බර අලුත්අවුරුද්දක්වේවා.......

Tuesday, April 9, 2013

හොදම කුණුහරප මගෙන් (මගේ හිට් එක)

කුණු+හරප ඇස් කණ්නාඩියෙන් බැලුවම සුදු පාට වුනත් කුණුහරපයක්. ඒ නිසා අයින් කරගන්න ඔය කුණු+හරප රාමුව. ගහ කොළ, ඇළ දොළ දිහා බලන්න. ඇල් වතුරෙන් හොදට නාගන්න ඔය කුණුහරප රස්නේ හේදිල යන්න. කුණු+මිනිහෙක් නොවී මිනිහෙක් වෙන්න බලපං ගොන් වස්සෝ. මේ ජීවිතේ ලැබුන වගේම නැතිවෙල යනව කොතනද නෑ. ඊට කලින් පැයකට දෙකකට හොයන කුණු රහට පයින් ගහල ඔළුව කෙළින් තියන් මි‍නිහෙක් වගේ ඉන්න හිතට ගතට පණ ගන්න වීරිය කරපන්... 

මෙහෙම කියල තමන්ගෙ හිතට - හදාගන්න ඔය හිත රස්තියාදුව ශුද්ධ කරගෙන එක හිතක් විදිහට. හිතට ආතල් දෙන්නෙ නැතිව හිතෙන් වැඩ ගන්න. දැන්ම හිතන්න, මම' කව්ද?

****අලුත් අවුරුද්දෙ අලුතින් හිතන්න පටන් ගන්න හොදම තැන එතැනයි. අලුත් අවුරුද්ද සුබ වෙන්න අලුතෙන්ම හිතන්න.* දැන්ම පටන් ගන්න.****

Sunday, March 31, 2013

අපි චණ්ඩි, ලම්භකව උඩ බලල කෙළ ගැහුවත් වැටෙන්නෙ අහකට...(අපේ බල පරාක්‍රමයේත් බුද්ධියේත් මහිමය නොහොත් වලිග පෑගුනු වීරයෝ)

අපි චණ්ඩීන් වෙමු

අපේ පරම්පරාව සුපිරිසිදුය

අපි කළ යුත්ත පසුවට නොතබමු

ඒ කෙසේද යත්

කැපිය යුතු තැන 

පොල් බෑ මූණා සේ

අත්ත උඩම ලැග ඒ අත්තම වුව කපන්නෙමු

අපේ එඩිතර බව එතරම්ය

අතීත බලපරාක්‍රමය මතක් වන්නේ දෙකක් දා ගත්තාමය 

නැත්නම් දෙකක් අහගත්තාමය

නැත්තම් හත්පොළේ ගා ගත්තාමය

නැත්නම් සියල්ල අනාගත්තාමය

අපි පසුබාන්නන් නොවේ 

පාරම්බාන්නන්ය 

තනියෙන් වැරැද්දට එරෙහි කට නෑරීම අපේ ජන්ම දායදයය

සියල්ල කළ යුත්තේ බෙදාගෙනය

එනිසාම  

වරදට එරෙහිව ගට එන්නේ

සීය දාහ එක් වූ විටය

අපි අභිමානය එපරිද්දෙනි

ගෙදර ඉන්න පොඩි එකාගේ අනාගතය 

තැනෙන්නේ අපේ වෛරී ආඩම්බරයෙනි 

ඒ කෙසේද යත් 

අවෛරයෙන් වෛරය සන්සිදේ යැයි කියා පොල්ල අතට ගැනීමෙනි

රටත් ජාතියත් ආගමත් එතරමටම අපේ ගතට කැවිලාය

ඒ කොතරම්ද යත් 

වැරදීමකින්වත් 

ප්‍රාණගාතයක්

සොරකමක්

කාමමිත්‍යාචාරයක්

බොරුවක්

සුරාවක්

අප අතින් සිදු නොවේ

එබැවින්ම ධර්මය රකිනා අපේ 

ධර්මයද සුරැකෙන තරම

ඒ මහිමයෙහි ප්‍රාතිහාර්ය කොතරම්ද යත්

අපි ලම්බ ලෙස උඩ බලා හරියටම අංශක 90 දී

බේටය ගුවනට මුදාලූවත් 

එය අප මුහුණට නොවැටේමය

මේ දිනවල දසතින් මේ ප්‍රාතිහාර්ය ඔබට නොපෙනෙනු විය නොහැකිය

එබැවින්ම එන්න අප හා එක්වන්න

ලම්භ ලෙස උඩ බලා කෙළ ගහන්න 

රට දැය සමය නියම ලෙස සුරැකේවි 

හෙට උපදින පරපුර වෙනුවෙන්

කළ යුතුදේ යහපත දිනවීමට 

අයහපටත කඩේ යාමය

අපේ බුද්ධියේ මහිමය

බලනු මැන කෙතරම්ද? 

 

අවධාරණයයි - වත්ත බද්දට දී ඇස්සට දත නියවීම ඵලක් නොවේ. දැන් කල්පනාව විය යුත්තේ අවසන වත්ත නැවත ලබා ගැනීමට කටයුතු කිරීමටත් ඒ වත්තෙන් තමන් අස්වැන්න නෙළා ගන්නේ කෙලෙසකදැයි දැන් තබා සැලසුම් කිරීමත් ඒ සදහා ඉවසීමෙන් කටයුතු කිරීමත් නොවේද?

මේ තෙල් පොළක වූ පුවරුවකි.

අභූතරූපී හරස් පදයෙන් අවබෝධය ලබන බුද්ධිමත් ප්‍රජාවගේ පහන් සංවේගයත් පහන් එළැඹුමත් පිණිසයි.

Thursday, March 21, 2013

වැරැද්ද මගේ...

දෙනෝ දහක් ඉදිරියේ මම සපථ කොට සිටිමි

නිවැරදි කරුවා මම බවට

ගැහුවේ මට අනෙකාය

බැන්නේ මට අනෙකාය

හෙලා දැක්කේ අනෙකාය‍

ඊර්ෂ්‍යා කළේ අනෙකාය

වපරැසින් බැලුවේ අනෙකාය

මම පිරිසිදුවෙමි

මම සුපිරිසිදු වෙමි

සියල්ලෝ වැරදිය සිතේ

අසල්වැසියාද වැරදිය 

ගමේ බොහෝ අයද වැරදිය 

‍රටේ බහුතරයද වැරදිය

ලෝකයේ අති මහත් බහුතරයද වැරදිය

මම නිවැරදි වෙමි

සියලුදෙනා ඉදිරියේ මම සපථ කොට කියා සිටින්නේ

මම නිවැරදි කරු බවය

ඔබ වැරදි කරු බවය

මා කළ වැරැද්දේ වග උත්තර කරුවා ඔබය

ඔබ මගේ අයිතිය දිනා දිය යුතුය

ඔබ මගේ නිවැරදි බව පෙන්වා දිය යුතුය

මා නිවැරදිය 

වරද ඔබ අතය 

නැතිනම් පවසන්න

වරද කාගේද?

Monday, March 11, 2013

ජීවිතය තුන් තේරවිල්ලක්ව?(ජීවිතයෙන්ම විසදුවොත්-ඔබ ත්‍රස්තයෙක් හෝ නිකමෙක් හෝ නොවනු ඇත)

කටකලියාව සිත පළන්දා

තෝන් ලනුව හිසින් ගෙන

පදවන්නේ නම් ඔබ

ගමන ජය කණුව වෙතම වනු ඇත

එයින් මේ ලෙස කියවෙන්නේද  මෙයින් ඒ ලෙස හැගවෙන්නේද  පිළිතුර එතැනය. 

Monday, February 18, 2013

අඩුපාඩු අඩු සඵලත්වයක්

ජීවිතේ සඵලත්වය හොයන ඔබත් මමත් කල්පනා කළාද අඩුපාඩු ගැන කවදාවත්. මට හිතුනා දවසක් මේ අඩුපාඩු ගැන අපි නොහිතන්නෙම හිතන්න වෙලාවක් නැති නිසාද කියලත්. අනික හැම දෙයක්ම වෙළදපොළෙන් ගන්න පුරුදුවෙලා ඉන්න අපි, ලෙඩක් හැදුනම බේත් ගන්නවා වගේ අඩුපාඩු හැටියට දකින්නෙත් ගෙදර කන බොන දේ අඩුවෙන එක විතරයි. ගෙට අවශ්‍ය බඩු මුට්ටු ගැන විතරයි. හැබැයි ඔය මොන දේ තිබුනත් ජීවිතය සඵලත්වයකට ලඟා වුනා කියල කියන්න පුළුවන්ද? එහෙම පුළුවන්නම් හොදයි. නමුත් එහෙම කියන්න බැරි වෙන්නෙ ප්‍රශ්නයක් ඉවරවෙන කොට තවත් ප්‍රශ්නයක් පටන් ගන්න නිසා. ඒත් ප්‍රශ්න නවත්තන්න බැරි වුනත් ප්‍රශ්න වලට මුහුණදෙන අපේ හිතේ අඩුපාඩු, හෙලවීම්, විචිකිඡචා අඩු කරගන්න පුළුවන්වෙනව නම්.‍.. එතකොට ලොකු ශක්තියක් අපි ලඟ එකතුවෙන්නෙ නැතිද? ඒ ‍ඔස්සේ ලොකු වට එන ප්‍රශ්න අපිට කුඩාවට පෙනෙන්න ගන්නෙ නැතිද?

නමුත් පළමුවෙනි දෙය, අපි අපේ අඩුපාඩු දුර්වලතා හදුනා ගැනීමයි. අපේ සාමාන්‍ය භාවිතාවේ අපි දන්නෙ සම්පූර්ණ පුද්ගලයින් මෙලොවට බිහිවුනේ නැති සේම සඵලත්වයේ හිනිපෙත්තටම ගිය පුද්ගලයින් අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්. අකාලික දහමක සදාතනික භාවය ගැන ඒ ගැන අහල තියෙන අයට මේ සඵලත්වයක් එක්කම මතක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් හිනි පෙත්ත පසෙක තියා සාර්ථකත්වයේ යම් දුරකට යන්නට නම් ඊට සාපේක්ෂව අපේ අඩුපාඩු අවම විය යුතුමයි. ඒකෙ අර්ථය අඩුපාඩු අඩු වෙනව කියන්නෙ සඵලත්වය තුළත් අඩුපාඩු අවමයි කියන එක. 

ආයෙත් පළවෙනි දේ, සියල්ලටම කලින් නිවැරදිවම අඩුපාඩු හදුනා ගන්න වෙනව තම තමන්ගෙ. ඉතින් ශුද්ධ කරගන්න ඕන ජීවිත රස්තියාදුව ඒ නිසාමයි පුළුවන් හැම වෙලාවකම. රස්තියාදුවක් ගැහැවත් ශුද්ධ හිතකින් නම් වරදක් වෙන එකක් නෑ එතකොට. මොකද රස්තියාදුව අවසානෙ ඔබේ අඩුපාඩු ඔබම හිතාවි. 

හැබැයි, මේ සියලු අඩුපාඩු ඔබ සඵලත්වය පතන ඉසව්වේ. ඒ නිසා ජීවිතයේ හැම දෙයකම සඵලත්වය හිතන්න, එතකොට හැම අඩුපාඩුවක්ම ඔබට අහුවේවි. අඩු කරගන්න අඩුපාඩු. සඵලත්වය ඔබ ලඟටම ඒවි. මේ සියල්ල නිවැරදි උත්සාහයේ තරමටයි.

එහෙනම් නිවැරදිව උත්සාහ කිරීම ඔබේත් මගේත් කාරණයක්. වැරදි පාරේ නැතිව, මේ පාරෙන් එන්න කීවාට හරි පාර නොවේනම් ඒ පාරේ යන්නැතිව නිවැරදි පාරේ යාම ලේසි දෙයක් නම් නෙවෙයි. නමුත් සඵලත්වය එතැනයි.

Monday, February 4, 2013

නිදහස හා පරිණතිය

කාගෙන් නිදහස් වූවාද කෙසේ නිදහස් වූවාද යන්න හැම නිදහස් දිනකම සිහිපත් කෙරෙන්නකි. කාගෙන් කෙසේ නිදහස් වූවාද යන්න දැන ගත් සේම හිස් අදහස් වලින්ද නිදහස් විය යුතු බව දැන නොගත්තේ නම් මේ නිදහස සැමදා එකසේ නොවනු ඇත. 

ඉංග්‍රීසි ජාතිකයාගෙන් අප නිදහස් වූවා, ත්‍රස්තවාදියාගෙන් අප නිදහස් වූවා කියා අප සිතනවානම් ඊළඟ කරුණ ඒ නිදහස රැක ගන්නේ කෙසේද යන්න කිසියම් වාද වලට ගැති නොවූ අදහස් තුළ වටහා ගැනීමයි. රටේ මිනිසුන් හැටියට අපට තනි තනිව ඇති වගකීමත් ඒ හා බැදෙන සාමුහික වගකීම කුමක්ද යන්නත් අප වටහා ගැනීමයි.

නිදහස භුක්ති විදින්නට ලැබෙන විට ඇතිවන චිත්තප්‍රීතිය නිසාම දොඩවන්නා වූ පුරසාරම් වල සීමාවක් තබා ගැනීම වැදගත්ය. කුඩා දරුවෙකු තමා කුඩා කල භුක්ති විදි නිදහස පරිණත වැඩිහිටියෙක් සේ භුක්ති විදින්නේ කෙසේද, එසේම අප නිදහසේත් පරිණතියක් තිබිය යුතුය. මේ සියල්ල කළ හැක්කේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. 

ක්‍රියාවක් ඇරඹෙන්නේ චිත්තයකිනි. එබැවින් නිදහස්, සාධාරණ, යහපත් ක්‍රියාකාරී සමාජයක් වෙත යන්නට නම් අප පළමුව ඇති කළ යුත්තේ ඒ පිළිබද යහපත් චින්තනයක් නොවේද? 

විශේෂයෙන් බාල පරම්පරාව වෙත යහපත් සිතිවිලි සදහා ආදර්ශ සැපයිය යුත්තේ කව්ද? එබදු ආදර්ශ තබා තමන්ගේ ක්‍රියාවෙන් බාලයා යමක් උගනිතියි සිතන වැඩිහිටි පිරිස කොපමණ වේද? තමන්ගේ නිදහස ගැන සිතනවා විනා දරුවෙකුට ආදර්ශයක් පිණිස ක්‍රියා කරන්නට සිතන්නේ ‍කුමන වැඩිහිටියාද? වැඩිහිටියා නොහිතන ඒ කරුණ කෙදිනක හෝ පුද්ගලිකවත් සාමුහිකවත් ඔහුට විදවන්නට සිදුවේවි. 

ඒ නිසා හිතන්න නිදහසේ පරිණතියක් ගැන. ඔබේ දෙස බලා හිදින ඊලඟ පරම්පරාවේ බාලයා දෙස, ඔහු අනුගමනය කරන්නේ ඔබව නම්.. ඔබ අනුගමනය කරන්නේ කව්ද? කුමන ප්‍රතිපදාවක්ද? නිදහසේ පරිණතිය ඒ ඔස්සේය.