Tuesday, December 31, 2013

හැපි නිව් ඉ යර්... :)

හැපි නිව් ඉ යර්...
තවත් අවුරුද්දක් ඉවරයි
ආපහු අලුත් අවුරුද්දක්
මොන මොන දේ අලුත් වේවිද
අපි
අපේ ජීවිත
අපේ රට...
    දේශපාලනය
    ආර්ථිකය
    සමාජය
    එක්ක ලෝකයම...
මොනදේකට මොන විදිහෙ අර්තකථන ලැබුනත්
පැහැදිලි විය යුතුයි අපේ හිත්
නිදහස් විය යුතුයි අපේ හිත්
ඉස්සරහට යන්න
හරි ප‍ාරෙන් ඉස්සරහට යන්න...

ජයවේවා 2014 රේ..

ඔබට, හැමට

Monday, December 30, 2013

අන්ඩ කොන්ට්‍රෝල් කොට අණ්ඩෙන් ඇනීම හෙවත් මෛත්‍රියෙන් ‍හොම්බට තට්ටු කිරීම නොහොත් කූටවන්ත නොවී ස්ථානෝචිත වීම

අවිහිංසක හා සාධාරණ එමෙන්ම යුක්ති සහගත විදිහට මෙහේ කාරණා කටයුතු කරගෙන නිවැරදි මිනිහෙක් ලෙස ජීවත් වෙන්න සෑහෙන දුකක් විදින්න වෙනව. ඒත් මේක අපේ රටනේ. කවුරු කොහොම කීවත් මේක තමයි මිනිහෙක්ට ජීවිතේ යතාර්ථය අදුනගන්න පුළුවන් පහසුම ඉඩක් හම්බෙන අපහසුම රට. ඉතිං ඒ පහසුව සළසගන්නකොට සෑහෙන අපහසුවක් විදින්න ම වෙනව. 

තමන්ගෙ රට හා ජනයා කියල යන්තම් හරි හැගීමක් තියෙන මිනිහෙකුට ඒ රටේ සිද්ධවෙන අසාධාරණ අයුක්ති සහගත දේවල් දැනෙද්දි පෙනෙද්දි ඇහැ කන පියාගෙන ඉදීම හරිම අමාරු දෙයක්, ඒත් මොකද කරන්නේ.. මුදල මතම හිතා කපටි‍කමෙන් ආත්මාර්ථය අපටත් නොදැනී වැපිරෙන කොට නෙළා ගන්න වෙන්නෙ ඒ වැපීරූ දේවල්ම තමා. අණ්ඩ කොන්ට්‍රෝල් කොට අණ්ඩෙන් අනින විදිහ ඉගෙන ගන්න වෙන්නෙ මෙතනදි. යුක්තිය , සාධාරණය වෙනුවෙන් පරාර්ථය වෙනුවෙන් අසාධාරණ අවේගය නැමැත්ත අණ්ඩ කොන්ට්‍රෝල් කොට සාධාරණ තැන හා වෙලාව හා ක්‍රමය හොයාගෙන මෛත්‍රියෙන් හොම්බට තට්ටු කරන්න ඉගෙන ගන්න පුළුවන්නම්.. වරදින්නෙ නැහැ.. හැබැයි අමාරුම දේ මේ ක්‍රමය හොයාගන්න එක. ඒ තට්ටුව කලා නිර්මාණයක්ද? සමහරවිට අද ප්‍රහසනය ඕලාරික දෙයක් වෙලා තියෙන්නෙ හැම දේටම හිනා වෙන්න හිතන එක වර්තමානයට අසංවේදී නිසා වෙන්න පුළුවන්. 

එහෙනම් නිර්මාණයක් වුනත් එයින් පිබිදිය යුතු ගුණය වෙනස්, තට්ටු කරන්නෙ කිහිල්ලටද , ඔලුවටද කියන දේ අනුවත් ප්‍රතිචාරය කිතියක්ද, වේදනාවක්ද කියල බලාගන්න පුළුවන්. මේක හරි අපභ්‍රංශ කතාවක් වචන ගලපල අර්ථ හොයන අයට, වචන විතරක් නොවේ, පදත් කියමනුත්  උපමාත්  ඒ කියන්නෙ වචන වාක්‍යංශ වගේම නොගැලපීම තුළ ගලපා හිතන විකාරරූපී චින්තන අවබෝධයෙනුත් පමණයි මේ අරුත පැහැදිලි වෙන්නේ.. හරියට වමට නිල් සපත්තුවක් දාගෙන දකුණට රතු සපත්තු දාන මොස්තරෙන්.. සම්මත ලිවීම නිරර්ථකම නෑ, නමුත් දැන් එ්ක සීමාවත් ඉක්මවලා.. පාඩම් විතරයි, ලාඩම් නෑ.. මේ රස්තියාදු ලෝකයේ බලන්න සීයට එකසිය එකොළහක ඉවසීමකින් මෛත්‍රියෙන් හොම්බට තට්ටු කරන ක්‍රමය හොයාගන්න පුළුවන්ද කියල.. නොතේරෙන සිංහලය තේරුම් ගන්නා අයටයි ආරාධනය :) කූටවන්ත නොවී ස්ථානෝචිත වන්න

Tuesday, December 24, 2013

ජන්ම දින සැමරුම - මම+1

දවස අදයි උපන් දිනේ 

සතුට මගේ හිතට පිරේ 

දැන්නම් මං ලොකු ළමයෙක් 

ඉස්සර හිටියාට වඩා


මෙහෙම ලීවා පොඩි ළමයින්ට ලියපු කතන්දර පොතක මම ගැටවරයෙක්ව, තවත් කාළයක් ගිහින් අද මෙහෙම ලියන්න හිතෙනවා


තනිවයි උපන්නේ 

තනිවයි මැරෙන්නේ

මේ ඩිංගෙදී ඇයි 

කෝළම් නටන්නේ


ඇත්තටම උපන් දවස හරි අපූරු එකක්- හැබැයි එ් දවස  උදාවෙද්දි අපි ඉන්න තැන එක්කයි සියල්ල තීරණය වෙන්නේ.. ඉන්න තැන කීවමත් එ්කට විවිධ අර්ථ දක්වාගන්න පුලුවන්.. කොහොම උනත් අනුසය වශයෙන් සිද්ධවෙන තවත් අඩුපාඩු හදාගෙන අලුත් වෙන්න හොද දවසක්- මට සුබ දවසක් වේවා, ඔබටත්..

දවස සමරමු.. සම්මත කෝළමට අර්ථයක් එක්කරගමු..

Thursday, December 19, 2013

නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා - කිව හැකිදේ මෙපමණයි‍___

මම නිදුක් වෙත්වා

නීරෝගි වෙත්වා

සුවපත් වෙත්වා

මා මෙන්ම

සියලු ලෝක වාසීන්ද

නිදුක් වෙත්වා 

නීරෝගි වෙත්වා

සුවපත් වෙත්වා

- මම - හලෝව් රස්ටා

Monday, November 25, 2013

කලාර්ථයේ හා අනියමාර්ථයේ අසම්භාව්‍යයයි..

කුකුළා අඩලද්දී මම අවදිවුනෙමි

වැසි වස්සොත් ගග පිරේවි

ඔලුව ඇමරිකන්

කද චයිනීස්

පපුව ලන්කන් ..වෙද්දී

එහෙම වෙද්දී

මෙහෙම වුනාය

මෙහෙම වුනොත් 

කොහොම වෙයිද

තුනම ලන්කන් වීම

හොද මදිද?

Friday, November 15, 2013

සුදු වැද්දෝ, සුද්දෝ, කලු සුද්දෝ, හා දත සුද්දෝ - මම නොවෙයි මම

සුදු වැද්දා සාපෙළ සමයේ කියවූ රසවත් පොතකි. ආර්.එල්.ස්පිටල් මහතාගේ ද්විත්වයක් ලෙසින් රචනා වූ කෘති අතරින් එකක් ලෙස එය කියවා ඇත්තෙමි. එහි අනික් පොතද කියවා ඇත්තෙමි. ලන්දේසි සුදු කොල්ලෙකු වන වැදී ලංකා වනාන්තරයේ බිහිවූ සුදු වැද්දෙකු ගැන එහි කියවේ. කතාව රසවත්ය. සිත් ගන්නා සුළුවිය. එබැවින් අදටත් මතකයේ ඇත. 

එ‍ලෙසම සුද්දන් ගැන කතා අපේ ඉතිහාසයේ බොහෝය. හොදට නරකට දෙකටම එතැන කතා ඇත්තේය. ඒවා නෑසූ කිසිවෙක් අප රටේ ඇත්ද? කලු සුද්දන් ගැනද ඊට නොදෙවෙනිය. එ්වා නෑසු අය වෙත්ද? එසේනම් ඒවා සොයා බලා දැන ඉගෙන ගත යුතු වන්නේය. 

මේ දිනවල මගේ උත්සාහය දත සුද්දන් යනු කව්දැයි හදුනා ගැනීමටය. 

පියා ගෙන් ලද හුරුවකින් වයස දහයේ පහළවේ සිට ගුවන් විදුලි, රූපවාහිනී දේශපාලන වැඩසටහන් අසන හුරුවක් ඇති බැවින් මැදියම ඉක්මවා ඒවා ඇසීම, නැරඹීම තවමත් සිදුවේ. නරඹන්නේ පියාද සමගින්ය. මගේ සංවාදය ඔහු සමගය. කඩල, මුරුක්කු මෙන්ම කිඹුලා බනිස්ද මේ කතා තුළ ඇත්තේය. වෙලාවකට මොළයේ වම් පාර්ශ්වයත් තවත් විටෙක දකුණත් කකියන්නේය. වෙලාවකට හදවත පොපියන්නේය. හරිම අපූරුය රැය ගතවන්නේය. පියාත් මමත් සංවාදයෙන් මැදහත් එකගතාවයකට එන්නෙමු. 

මේක එහෙමය. ඒක මෙහෙමය. මේ කඩල, මේ රටකජු බව අපි දැන උගෙන ඇත්තෙමු. අපට පක්ෂ නැත. පාට නැත. පියාට කලකදි තිබුණත් ලගකදි නැත. මට නම් කොහෙත්ම නැත. දේශපාලනය විතරක් නොව අප තවත් වැඩසටහන් බලන්නෙමු. අපි තවත් අච්චාරු, අල, බතල විකන්නෙමු. අම්මා විටෙක හදා දෙන තේ, කෝපි බොන්නෙමු. ඇය අපට පෙර නිදන්නීය.‍ මම දත සුද්දන් හොයන්නෙමි. අප්පච්චීත් බොහෝ විට නොනිදන පුරුදු ඇත්තෙකි. මටත් නින්ද නොයෑමේ පුරුද්ද විටෙක වැඩිය.

කෙසේ හෝ අපේ රස්තියාදු  ඥානය දිනෙන් දින දියුණුවක් මිස පිරිහීමක් නොලබයි. එවිට සැපක් මිස හිතටත් ගතටත් දුකක් නැත. භාව විශෝධනය... හරි අපූරුය. ශුද්ධය.

සංවාද, විසංවාද, වාද, භේද.. ඒ අතර මිතුරන් ලෙසින් සිතා එකට වැඩ කළ අය අතර වාද භේද කියා දුරකථනය හැඩවෙයි. අහෝ දුකකි. මම ඒ අතරත් දත සුද්දෝ පිළිබද වටහා ගැනීමට උත්සාහයක.. කෙල්ලක් වෙනුවෙන් නැහෙන කොල්ලෝ, පිට පොට පටලවාගත් ජීවිත‍.. මම අර කව්ද කොහේදෝ තැනක කොමෙන්ටුවක කීවාසේ වාතයත් මුදල්දැයි දැඩිව හුස්මක් ගෙන බලන්නෙමි. දඩ දඩ දඩස් ගා පපුවේ කාසි කන්දක් ලෝඩ් වූවා සේය. එතැනින් රුධිරය ඔක්සිකෘත බව ඩවුන්ලෝඩ් කරගන්නට ඇත.

කව්දෝ කිව් දෙයක් නැවත මොළයට අප්ලෝඩ් වෙද්දී මම නවතින්නට සිතා නවතිමි. අන්ධයා ඇතුගේ සැටි කියනා හැටියට මිනිසුන් ආසාය. නමුත් ඇතාගේ සැබෑ හැඩය මිනිසුන් දන්නා බව නොරහසකි.

Sunday, October 20, 2013

යකා, විමානය සහ අලියා ගිලපු දිවුල් සමගින් හදුන්වාදෙන මචං, බං රගන...

අහවල් ප්‍රමාණයේ යකෙක්

අහවල් තැන ඉන්නවා කිව්වම

තල් අත්තට වැටුණු දිවුලට

බයේ දිව්ව ඔක්කොම සත්තු

අදත් දුවනවා කකුල් කඩාගෙන

විමානෙට බය

යකාටවත් බය නැති මිනිස්සු 

බයටත් වඩා විලම්භීතව

විමානෙ රත්තරන් අතගෑවත්

සැපයි ලු කියමින්

සිදගෙන තමන් අතින්ම

අවසානෙදි තමන්ගෙ ගෙල

දූ දරුවන්ටත් උගන්නලා 

නොදැනම සිදගන්න විදිහ

ප්‍රහේළිකා විසදන්න 

නොදන්නකම නිසාම

නොදන්න බවත් නොදැනගෙනම 

මාන්නය තුරුලු කරන්

සිල්ලරවත් තොග පිටිනුත්

හැම‍දාම රැවටෙන්නෙ 

අලිය ගිලපු දිවුලට

මචං,  මාන්නයේ මිල කීයද බං? ඔය දිවුල කීයද?

ඒක, මාන්නයේ ගාණ ..

පුළුවන්නම් හොයා බලපන්

කාලෙ හැටියට සාමාන්‍ය දිවුලට වැඩිය වටී සමහරවිට

එතනින් පටන් ගනින් අලුත්ම ව්‍යාපාරය

විකුණන්න

අලිය ගිලපු දිවුල්

හදන්න පුළුවන් ඉක්මටණම

විමානයක් ඔය

යකාට

? :)  :(  :) ?

Friday, October 18, 2013

ඔබ සුවෙන්ද?(ඉතිං ආයු බෝ වන් ලක්මව්නි ගරු)

සුවෙන්ද ඔබ? කාලයක් පුරාවට නොයෙක් පීඩා විදවමින් සිටි ඔබේ සුවදුක් කොහොමද? 

ගොඩක් දෙනා හදන්නෙ ඔබට එක එක අලුත් ඇදුම් අන්දන්ට. ඒත් මට හිතෙන්නෙ ඔබට තියෙන ඇදුමෙ නරකක් නැහැ. ඕනෑනම් ඒක තවත් හරියට සුද්ධ පවිත්‍ර කරලා ගන්ට බැරියැ..

තවත් මෙලෙසම නි‍දුක් නිරෝගීව ඉන්නට හේතු වාසනා වේවා,, දීර්ඝායු..

.........................................................ආයු බෝ වේවා..................................................

Thursday, October 10, 2013

එපමණද ජීවිතය?

උගන්නේ මෙපමණද?

උගත්දේ මෙපමණද?

එපමණද ජීවිතය

ලාබය ලැබුමට විසිකර අදින

Saturday, October 5, 2013

බල්ලෝ බත් කති, මිනිස්සු කෙළගති - වැරදි කරන විට හොම්බ දික්වෙන ගැතිකියෝලා

සුප්‍රසිද්ධ පිනෝ‍කියෝ කතාවේ ලීයෙන් තැනුනු පිනෝකියෝ ගේ නහය දික්වූයේ බොරුකියනා විටය. අපේ ගැතිකියෝලා ‍ගේ හොම්බ මතුව පෙනෙන්නට ගන්නේ ගැතිකම් ගැස්තර කම් කරනා විටය. 

හැමදේටම වඩා ලජ්ජා නැතිකම ලොකුවන විට, විළිබිය දෙකම නැති සමාජයක මේ ගොන් ගුටිකෙළි ප්‍රවෘත්ති පමණක්මය. කොතරම් මේවා අපට හුරුවී ඇත්දැයි කීවොත් ජනයා මහ‍දවාලේ පොලිසියා පෙනි පෙනීම ගුටි කෙළ ගනිද්දී හොයන්නේ ඒවායේ රස භාවයන්ය. ඉන්පසු දේසපාලුවෝ දෙසන්නේ ඒ ගුටිකෙළි වල රසයයි. මිනිසුන් මරා ගිනිබත් කළ, බඩබැදගත් බෝම්බ පුපුරුවා ගනිමින් සමාජ දෙවනත් කළ කාළයන් ඉක්ම යද්දී වැඩිහිටි බොහෝ දනාගේ මතකයෙන්ද ඒ සිදුවීම් වල සැහැසි දුර්ජනත්වය ගිලිහී යද්දී බාලයෝ කෙසේ නම් මැදහත් මනසින් යමක් දකින්නද? පලයල්ලා ඉස්කෝලේ, කියා විභාග වලටම දරුවන් දක්කා තමන්ගේ හුදෙකලා ලෝකයක සිහින සැබෑ කරගනිද්දී අප ජීවත් වන රටේ දිශානතිය හෝ අනාගතය ගැන බිය නොව පැහැදිලිභාවය තනන්නේ කවුරුන්ද? වැඩිහිටියන්ට ඇත්තේ හුදු ආර්ථ්ක තරගයක් පමණද? එය සරිකරගන්නා තැන යහපත් සමාජයක මුවවිටද? 

තවඑවුන්ගේ මහමග ගුටිකෙළියේ පක්ෂභේද භින්නතා බහුතරයකට ඵලක් නොවේමැයි, හිනා නොවී, පක්ෂ නොවී නිර්පක්ෂ මනසින් බැලිය යුතු දේශපාලන අනාගතය රටක හෙට දැක්ම නොවේද? ඇසින් නොව හිසින් හා හදවතින් බලා තැනිය යුතු අනාගතයට ඔබේ දායකත්වය හුදු කතාවක්, දෙඩවීමක් මිස ක්‍රියාවකින් කොපමණක් වේදැයි දන්නා ඔබම පමණි. එනිසා හිතෙනවාට වඩා හිතන්න, හරි විදිහට හිතන්න, ඔය පක්ෂ පාට, ගැති භාවයෙන් මිදී හිතත් හදවතත් ලෝ දහමෙහි ගලපා හිතන්න. අපටත් හෙටටත් රටක් අවැසී.. තිබෙනවාට නොව, ඉන්නවාට ‍නොව මිනිසුන් ලෙසින් ජීවත් වී වඩා හොද මිනිසුන් ලෙස මියෙන්නට, බොරු බුහුමන් ලබන්නට නොව සැනසුමෙන් මියෙන්නට‍‍. ඔබට මෙහෙවරක් තිබේමැයි, එය රාජ්‍ය නොව පුද්ගලිකමැයි. රට වැසියා, පුර වැසියා, නිවැසියා, ඔබත් මිනිහෙක් බර උහුලන මේ පොළොවේ.

Friday, September 27, 2013

කුණු කසළ - පොහොර සහ තුන්වෙනි ලෝකය

පොහොර කියන්නෙ 

කුණු කසළ

ඒත් කුණු කසළ කියන්නෙ

පොහොර නොවෙයි

ඕන කුණු කසළ නම් 

එතන කුණු ගොඩම තමයි

අරමුණ පොහොර නම්

කුණු කසළ කියන්නෙ

ඉස්තරම්ම පොහොර

වැඩකරුවාට කුණු ගොඩ‍

කසළම නොවෙයි නම්

තුන‍්වෙනි ලෝකය 

අපේ ඇහැට

පොහොරක්මයි

ඒ ‍පොහොර රට්ටුන්ටද අපටද

පොහොර ඕන

මේ බිමට 

:)

Monday, September 23, 2013

මෙහෙම වෙන්නෙ ඇයි? අපි දන්නව why..හිතන්න

ඡන්දයක් ඉවර වෙලා ප්‍රතිඵල එනකොට වටපිටාවෙන් ඇහෙන්න ගන්න දෙයක් තමයි, අපි නම් දුන්නෙ නෑ, ඡන්දෙ දෙන්න ගියේ නෑ, දීල වැඩක් නෑ කියන එක. මේක හොද කතාවක්ද? අපි බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් හෝ පක්ෂයක් ගැන තිබෙන විශ්වාසය බිද වැටුනම බොහෝ දෙනා කරන්නෙ ඒ තරහ තමන්ගෙ ඡන්දය භාවිතා කරන අවස්ථාවෙන් පිට කරගන්න එක. ලේසිම විදිහ තමන් කැමැත්ත දැක්වූ අයට විරුද්ධව ඡන්දය භාවිතා කරන එක, නැත්නම් පිළිට විරුද්ධව. ඒත් නැත්නම් ඡන්දය භාවිතා නොකර ඉන්න එක. හරියට ‍මූණ එක්ක තරහවෙලා නහය කපා ගන්නව වගේ මේ පුරුද්දෙන් තමාට හෝ රටට කිසිම වාසියක් වෙන්නෙ නෑ. ඇයි ඒ අයට අලුතෙන් හිතල ඡන්දයක් භාවිතා කරන්න බැරි? තමන්ට තියෙන අවස්ථාව නිවැරදිව භාවිතා කරන්නනම් හොදම දේ කිසිම ධාරාවකට ගැති නොවන එක යන්න මගේ අදහස. අපිට යම් අදහස් උදහස් තියෙන්න පුළුවන්, ඒව නියෝජනය කරන පුද්ගලයෝ හෝ පක්ෂ තියෙන්න පුළුවන්, නමුත් ඒ පක්ෂ පාට තුළම හිතලු බැදීම් සහිතව නිදන්ගත වෙන එක පුදුම මෝඩ වැඩක්. ඇයි අපි අනුන්ගේ දේශපාලනය අපේ හදවත් වල මොළයේ සින්නක්කරව ලියා පදිංචි කරවන්නේ? අපිට අවස්ථානුකූලව තීරණ ගන්න තියෙන ඉඩකඩ අහුර ගන්නේ? තමන්ගේ පොඩි ලාබය ගැන හිතන්න ගිහින් තමන්ගේ නිදහස් චින්තනය, නිදහස් අයිතිය විකුණාගන්නේ? කාලයක් මිනිස් වර්ගයා මිනිස් වර්ගයාම වහල් කර ගනිද්දී නිවහල් වෙන්න ලැබුන පොඩි හෝ ඉඩ ආපහු වහල් භාවයකට පාවලා දෙන්නේ? ලෝකයේ වෙනස් වෙන සියල්ලත් එක්ක වෙනස් වෙමින් යන දේශයන් වගේම ඒවායේ පාලනයනුත් අද තිබෙන ක්‍රමයට, අපට අවශ්‍ය ක්‍රමයට, අනාගතයට ගැලපෙන ක්‍රමයට, වඩා හොද ක්‍රමයකට ගෙන යන්න නම් ‍විනාශයෙන්, පිරිහීමෙන් මිදී දියුණුවක් කරා යන්න නම් කට ආයා ගෙන බලා සිටීමෙන් අත්වෙන සුගතියක් ‍නැති බව අප තේරුම් ගත යුතුයි. ඒ වගේම වෙනස් වන ස්වරූපයන් එක්ක අවස්ථානුකූලව තම ඡන්දය භාවිතා නොකිරීම - ඒ කියන්නේ පාට පක්ෂ බැදීම් තුළ  හෝ ඒ සමග ඇති අමනා‍පයෙන් නහය කපා ගැනීමට ඡන්දය දීමෙනුත් වන්නේ අයාලයට ඉඩදීමක් පමණයි යන්නත් තේරුම් ගත යුතුයි. මෙහේ බොහෝ ඡන්ද යන්නේ අයාලයේමයි. එය තම කැමැත්ත කියා හිතුවාට, බොහෝ විට කැමැත්ත නොව හුදු ආවේග අනුචිත ලෙස පිට කිරීමක් පමණි එය. එක් එක් ඡන්දය බැගින් ලක්ෂ ගණනින් අයාලේ ගිය ඡන්ද එකතු වූ විට සියල්ල මුළාවේය. එය වැටහෙන විට පමාවේය. එවිට අහන්නේ මෙහෙම වෙන්නේ ඇයි, කියාය. එවිට කියන්නට වෙන්නේ අපි නම් දනිමු why..(මේ අමුතු දේ නොවේ, සිතිය හැකි දේ නොසිතීමේ විපාකයයි.) නමුත් අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් ඵලක් ඇත්තේ නැත. එනිසා අශ්වයා ගැන හිතන ඈයෝ ඉස්තාලය වැසිය යුතු අවස්ථාවත් වෙලාවත් දැන ගනිත්වා, ඒ පිළිබද සිතිවිලි පහළ වෙත්වා!!!

Friday, September 20, 2013

හෙටින් පස්සෙ කො කාගේ කාලෙ? - තව කාලයකට -

කවුරු කාට පෙන්නාවිද හෙටින් පස්සෙ මේකා 

හිතල මතල හොයල බලල දෙන්න ඒක හන්දා

Sunday, September 15, 2013

ඡන්දෙට දුවපල්ලා පස්සෙ අඩපල්ලා බොලව්-අහවල් තැන මීලග මීටින් එකලු

කාලයක් තිස්සෙ ඡන්ද තියෙනවා, මිනිස්සු විවේචනය කොරනවා, එහෙම කොර කොර එකිනෙකාගෙ පස්සෙන් දුවනවා, දන්නවාලු වෙනදේ, වෙන්න යනදේ.. ඒත් මොනව හරි කොරගන්න ඕනෑලු, අම්මපා හෙලුවෙන්ද ඉන්නෙ කියල අහන්න හිතුනත් වැඩක් නෑ.. හෙලුවෙන් නොවැ ඉන්නේ... හෙලුව වනා වනා පස්සෙන් යනවා, ගිහින් තමන්ට නොකරපු තැනයි ආයෙ බනින්නේ කාට කාටත්. ඉතින් බොලව් මේ විදිහට හැමදාම විගඩං කොරන්නේ නැතිව එක ගමනක් වත් බොලාගේ ඡන්දෙ පාවිච්චි කොරපල්ලා හිතට එකගව, මොළේ කල්පනා කරපල්ලා රටට ගමට පොදුවේ සෙතක් කරගන්න විදිහක් ගැන. නැත්නම් හැමදාම බොලාලා රැවටෙනවා..එක එක වාද ගැන, මහ ලොකු දේශපාලන දර්ශන ගැන කයි කතන්දර ඕනෑ නෑ.. තමන්ගේ ආගම දහමට වලංගු වෙන විදිහට ඡන්දය යොදපල්ලා අඩු තරමින්, උඹලාගේ දුවා දරුවන්ට ආදර්ශයක් වෙන්ඩ ඡන්දයක් කියන්නේ මොකද්ද කියලා තේරුම් යන්ඩ දෙයක් ‍කරපල්ලා.. පක්ෂ පාට වාද බේද කුමටද? කෙරෙන්න‍ ඕනෑ බොහොමයක් ම හිගා කාලා වගේ රටට තිබෙන මුදලින් ගමත් රටත් අපත් සංවර්ධනය වෙන්න වැඩක් කොරන්න අවංකව දත කට නියවන උදවියත් ඒ වෙනුවෙන් අපේ යුතුකමත් ඉටු කරන එක.. ඉන් ඔබ්බටයි අනාගතය ආශ්චර්යමත් කරන්න හිතන්න පුළුවන් වෙන්නේ... නැත්නම් ලාබෙටයි, වාසියටයි, බෝතල් කාලටයි, මස් රාත්තලටයි.. පස්සෙන් දුවලා .. සමහර විට ඊට වැඩි දේවල් හිතෙන් අර ඇදලා, පස්සෙ අඩපල්ලා බොලව්, නමුත් ඊට කලින් මතක් කොරලා ‍විටින් විට කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලපල්ලා හෙලුව ඔය වහගන්න වහන්තරා වලින් ඇත්තටම වැහෙනවාද කියලා..

Saturday, September 7, 2013

ගින්න මිස ගිනි පුපුරු ලෙස සැරිය මිස විරිය නැත-වෙනස‍ නොසොයා වෙනසේ කෙළවර සොයමු,දකිමු.

ගලකින් ගලකට ගසා හෝ දඩුකැබලි එකිනෙක පිරිමැද සොයන්නේ ගින්න නොව ගිනි පුපුරු බලා සන්තෝෂය භුක්ති විදින්නට නම්, එහි ඇත්තේ නිෂ්ඵල සතුටකි. ගින්නකින් කළ හැකි දේ බොහෝ වුව, ගිනි පුපුරු ගින්න බවට පත්නොකරගන්නේ නම් එහි ඇත්තේ විවිධාකාරයෙන් මතුවන එකම පුළිගු පැනීමක් පමණි. විටෙක දිගට වුව විටෙක හරහට වුව ඒ ගිනි පුළිගුමය. කළ හැක්කේ විවිධ ලෙස පනින පුළිගු බලා නිරර්ථක සතුටක් භුක්ති විදීම පමණකි.

සැරිය මිස විරිය නැති කලද එසේමය. ලොව සතර දිග්භාගයේ සැරිසැරුවත් සත්‍ය සොයන්නට දකින්නට විරීය නොකරන්නා ලබන්නේ එකම මූලයන්ගේ විවිධ සංයෝගයන් දැකීම පමණකි. කාන්තාරය වුව මහා සයුර වුව ඒ පරිසරයමැයි. කළ හැක්කේ දර්ශනයේ වෙනසෙන් ඇස සනහාගෙන ගත නළවාගෙන තාවකාලික සතුටක් භුක්ති විදීම පමණකි. එහි සතුට තාවකාලික වන්නේ ඇසට එතැන හුරුවූ පසු ගතට එතැන හුරුවූ පසු පෙනෙන දැනෙන දෑ තවදුරටත් අමුතු නොවන හෙයිනි. ගිනි පුළිගු පැනීම තරම්වත් එහි වෙනස ඉක්මන් නොවේ. කාළගුණික වෙනස පමණි ක්ෂණිකව වෙත්නම්, ඉදින් එයටත් හුරුවූ පසු.. 

කරුණු කෙසේ මුත් වත්මන් මිනිසා යනු වැඩකට ඇති ගින්නට වඩා ගිනි පුළිගු බලා සන්තෝෂ වන්නෙකි. විරිය ඇවසි තැන සැරියෙන් පමණක් සන්තෝෂ වන්නෙකි. සැවොම නොවූවත් බොහෝකොට මෙසේමය. 

එබැවින් අප පුළිගු වලට දැපනේ නොවැටී ගින්න සාදා ගත යුතුය. ගින්නෙන් අපට අවැසි වැඩ කරගත යුතුය. සැරියට වඩා විරිය සාදා ගත යුතුය. සැරියෙන් ලබන තාවකාලික වින්දනයට වඩා විරියෙන් සත්‍ය සොයාගත යුතුය. එවිට එක තැන ලතවෙන්නට, ජීවිතය හිස් බවින් ගතවෙන්නට කරුණු කාරණා නොසැළසෙනු ඇත.

ගිනි පුපුරෙන් නොනැවතී ගින්න සැදූ නිසා ආහාර පිසීම ඇරඹුනි. සැරියෙන් නොනැවතී විරිය වැඩූ නිසා ජනාවාස බිහිවුනි. මෙතනින් ඊලග පරිණාමය සදහා අප හදා ගත යුතු ගින්නත් අප වැඩිය යුතු වීරියත් ගැන ඔබ සිතුවාද? තනි තනිවත් එක්සත්වත් අප කළ යුත්තේ කුමක්ද? විමසන්න, ‍අප දෙපා යට ඇති පාදම..

Friday, August 30, 2013

ජඩ හා පාදඩ - දෙවියන් පිදීම, නොතේරීම හා පොඩි දරුවෝ

සුවද

නැහැයටය

ගදද

නැහැයටය

නැහැය ඇත්තෝ

ගද සුවද හදුනන්නෝය

ජඩ ගදය

පාදඩ ගදය

දෙකම සුවදය

නැහැයට යටින් අනුභව කරන්නෝය

යෙහෙන් වැජඹෙන්නෝය

දෙවියන් පුදන්නෝය

මේක තෝරන්නෝ

නොවන තරමට වාසි වන්නෝය

එහෙයින්ම

අප පොඩි දරුවෝ වම්හ‍‍..

Wednesday, August 28, 2013

අවසන් කටයුත්ත - පළමුකොට

හී පහරක් වැද අවසන් හුස්ම හෙළනා මිනිසා දෙස බලා

ඔහුව වට කොට වටේ රැස්කා පොදිකා, දෙපා අගින් හෝ එසැවී බලා

හීය ගැනත් දුන්න ගැනත් දුනු දිය නැගූවන් ගැනත්

විවිධ වූ මත කියා ගලපා දෙසා, ඒ මතම හැපෙමින්

වඩා වෛවාරණ වූ අපේ සන්තුෂ්ටිය සොයා ගත් පසුය

දුටුවේ මිනිසා මැරී හුන් බව අප දෙපා අබියස

ඉන් ඉක්බිති හීය මුදා කතා කරමු ඔහුගේ දෙන ගැන

කෙසේද සිදු කරනුයේ අවසන් කටයුත්ත

Saturday, August 17, 2013

මීට, විශ්වාසයි.. තවමත් මිනිහෙක්.

කකියනු දැනෙන්නේ ‍
නහර පමණක්
නොව මගේ
ගලන තරමට
අනුන්ගේ ලේ

මීට, විශ්වාසයි..
තවමත් මිනිහෙක්.

එහෙත් ලෙයට ලෙය යනු හුදු ආකල්පයක් මිස සංකල්පයක් හෝ විකල්පයක් නොවන බව කරුණාවෙන් සළකන්න.

Thursday, August 15, 2013

පිබිදීම හා පිරිහීම නොහොත් ඔලුවෙන් හිටගෙන සිටිනා යටිකුරු ප්‍රතිබිමිබ

වචනාර්ථ ප්‍රයෝගික යථාර්තයන් හා ගලපා ගන්නට අසමත් විට සිදුවන්නේ බේදයකි. ජය කියා පරාජයට යන්නේත් සැප කියා දුක බදා ගන්නේත් බෙදා ගන්නට යනවා කියා බදා ගන්නේත් එවිටයි. මේ පටලා ගැනීමේ කතාවේ මුල් තැනම හිදින්නේ දේශපාලුවෝය. ඔවුන් එතැන හිදින්නේත් සිය කැමැත්තෙනි. මිනිස්සුන්ට එක් පොරොන්දුවක් දී පසුව ඒ වචන වලට වෙනත් අර්ථකතන දෙන්නේ ඔවුන්ය. එය සිය පැවැත්මේ මග කියා ඔවුන් සිතතත් සැබවින්ම එය ඔවුන්ගේ නැවැත්ම වෙත වැටෙන මගකි.‍ මන්ද මිනිසුන් තවත් කෙනෙකු පිළිබද තීරණයක් දෙන්නේ වචනයට වඩා ක්‍රියාව මත පදනම් වෙමින් වන බැවිනි.

අද අප රටේ බොහෝ දෙනා පිබිදීමක් ගැන කතා කරති. ආගමික වේවා, දේශපාලනික වේවා නැත්නම් සමාජීය කාරණා පදනම් කරගෙන හෝ ‍ඔවුන් කතාකරන්නේ නව පිබිදීමක අරමුණ පදනම් කරගනිමිනි.‍ නමුත් මෙලෙස පෙළ ගැසෙන්නට උත්සාහ කරන බොහෝ දෙනා තමන් ඉන්නේ පිබිදීමේ මාවතේද නැත්නම් පිරිහීමේ මාවතේද යන්න පළමුව තේරුම් කරගත යුතුය. 'පිහිය රත්තරන් කියා ඇනගන්නද' යනුවෙන් කතාවක් මා අසා තිබේ. රත්තරන් හෝ පිත්තල හෝ මළ නොකන වානේ හෝ පිහියකින් ඇන ගත්තොත් සිදුවන්නේ ඛේදයකි. එබැවින් පිහිය රත්තරන් වූ නිසා රත්තරන් පිහියකින් ඇන ගෙන මියයාමේ ඉතිහාසගත වීමක් බලාපොරොත්තු වන්නේ නම් ඒ පල් මෝඩ, තකතීරු බවක් , අමන කමක් බව බව අමුතුවෙන් කීමේ කිසිම අවශ්‍යතාවක් නොවේ. එවැනි මෝඩයින් ‍රටේ සාමාන්‍ය බහුතරය නොවන බව අපි විශ්වාස කරමු.

ඉතින් එහෙනම් සළකා බැලිය යුත්තේ මේ පිබිදීමේ මාර්ග පිරීහීමේ මාර්ග වී ඇත්තේ ඇයි දැයි යන්නයි. ධාර්මික බව සිහළ බව අපි මේ දිනවල පිබිදීමක් බලාපොරොත්තු වන කාරණා අතර පළමු තැනක රැදී ඇත. මේ ධාර්මිකත්වයත් සිහළ හෝ ජාතිකත්වයත් සැබවින්ම පිබිදීමකට ලක් විය යුත්තේ කෙසේද? නැත්නම් පිබිදීමේ මග කියමින් බොහෝ දෙනා ගන්නා මග පිරිහීමට මගක් නොවන්නේද? අප බොහෝ තැන්වලදී දකින්නේ නම් මේ පිරිහීමේ මග ගැනීම මිස පිබිදීමේ මග ගැනීම නම් නොවේ.

සරමක්, බැනියමක් හොදින් ඇදගෙන, චීත්තයක්, හැට්ටයක් හොදින් ඇදගෙන සිටින මිනිසා ගැහැනිය අපේ කමත් රැදි සුන්දර ගැමි මතක අවුලුවන දසුනකි. මේ ඇදගත් සරම චීත්තය වැටකින් පනින්නට උස්සාගත්තත් එය තරමට වඩා උත්සාගෙන දබරයට යන්නේ නම් එතැන කිසිම සුන්දරත්වයක් දැකිය නොහැකිය. විලි වසාගන්නට නම් රෙදි ඇදගත්තේ අමුඩය වුව සිහියෙන් දවටා ගෙන සිටීම වටී. යට ඇදුම උඩට ඇදගත් වීරයන් අනුගමනය කරන අපි අපේ සිහළ කම රැකගන්නටත්, අපේ ධාර්මික බව රැකගන්නටත් ‍තෝරා ගන්නේ රෙදි උත්සා ගන්නා ක්‍රමවේදය නම් එය පිරිහීමේ මිස පිබිදීමේ මග නොවේ. නිවැරදි සටන් කරුවා යනු ඇදගත් රෙද්ද තවදුරටත් තදකොට ඇද නිසි තැන සටන් බිමට  බහින තැනැත්තෙකු ‍මිස රෙදි උස්සා ගලවා ගෙන වැදෙන පදයට රගන්නෙක් නොවේ. ‍අනෙක දක්ෂ සටන් කරුවා කිසිවිටකත් නිකරුනේ තම ශක්තිය අපතේ නොහරින්නාසේම දුර්වලයින් පෙළා දමන්නෙකුද නොවේ. ඔහු තම දක්ෂතාවය ඔප්පු කරන්නේ පහර දීමෙන්ම නොව අනෙකාගේ පහර මගහැර නොවැටී නිවැරදිව තම ස්ථාවරයේ සිටිමින්ය. පහර දෙනවා නම් ඒ නිසි තැන නිසි එල්ලයේදී පමණි. ආවේගයෙන් වියරු වැටුනු පිස්සු බල්ලන් ලෙසින් නොවේ. එබදු ශික්ෂනයක් ඇත්තෝ පමණකි නිර්භීත සටන් කරුවන් වන්නේ, ඔවුන්ට පමණකි ප්‍රතිපත්තිමය පදනමක සිට සටන් කළ හැක්කේ.. ඔවුන් නිකං බුරන බල්ලෝ පමණක් නොවන නිසාය ඒ. ඉතිං එබදු සටන් කරුවන් ජාතියට දේශයට අවැසි යුගයක බුරන බල්ලෝ කරන්නේ ආවේග ඇවිස්සීම පමණකි. අවසන් ප්‍රතිඵලය තවත් නිහඩ බල්ලන් පිරිසක්, දඩාවතේ යන බල්ලන් පිරිසක් ආදී හැම බල්ලාම අවදි කරගැනීම පමණකි. එය වගකීම් විරහිත මෝඩ පිබිදීම නොවන පිරිහීමයි. කලක පටන් ටිකෙන් ටික පැමිණි මේ බිරුම් දැන් නිරර්ථක ලෙස සීමා මායිම් ඉක්මවා හැම තැන ඉබාගාතේ සරයි. මේවාට වග කියන්නන් තමන්ගේ උණුසුම ගැන මිස ඔවුන් කියනා ලෙසින්ම තම බාල පරපුර ගැන නුවණැතිව සිතා ඇත්ද? හැගීමෙන් පමණක් සියල්ල විසදිය නොහැකිය. බුද්ධිය ද යොදා නුවණැති නොවීමේ ඵලය ආපහු ඇතුන් තබා බැකෝ දහසක් යොදා වත් ඇද්දවිය නොහැකි නම් වනු ඇත.

කෙටියෙන් මුත් සිංහලයෙන් කියන්නට සිදුවන්නේ මේ ආටක නාටක ක්‍රමවේදයේ නම් සිහළ කමවත් ධර්මයවත් නොරැකෙන බවයි. ප්‍රතිපත්තියෙන් සටනට බහිනවා වෙනු‍වට කට පූචානමෙන් ලැබෙන්නේ ඒ පූචානමට ලැබෙන නොසරුප් වදන් සංග්‍රහයක් පමණි. 

එබැවින් නුවණ නැත්තෝ පදවලට නටද්දී නුවණ ඇත්තෝ නටන තැනත් වන්නමත් තෝරා ගත යුතුය. නැත්නම් දුවන මුවන් දැක නෙලූ පලා දමා ඒ පසුපස්සේ දිව්වාට නොදෙවෙනි ප්‍රතිඵල අපට නුදුරේම අත්විදින්නට සිදුවනු ඇත.

එබැවින් පිබිදීමත් පිහිරීමත් වෙන්වන තැන හදුනා ගන්න. පිරිහීමෙන් මිදී පිබිදීමට එකතු වන්න. කිසිවිටකත් ඔලුවෙන් හිටගත් යටිකුරු ප්‍රතිබිම්බයක් නොවන්න. මා දන්නා සිංහලයෙන් අපේ රැකුමට අපේ වයසට දැනෙන හැගෙන දේ කතාකළයුත්තේ මේ අයුරින්ය. යාචකයෝත් බණ කියන යුගයක පාලකයෝ හා යාමකයෝ කාගේ දැපනේ වැටීදැයි අ‍ප‍ නොදන්නෙමු. අඩු තරමේ කට්ට කා වෙට්ට පිත්තල වූ යාචක බණකවත් ඇති සුළු ඇත්ත හෝ මුන්ට පෙනෙන දැනෙන හැගෙන කලක් ඒවා.