Showing posts with label හලෝව්. Show all posts
Showing posts with label හලෝව්. Show all posts

Friday, May 24, 2013

චාරේ...(උඹටත් පුළුවන් මටත් පුළුවන්)

පාරේ ගමන කලබලකාරී මේ නිසාය. අවට දුගද මේ නිසාය. නොරිස්සුම මේ නිසාය. අපි‍ළිවෙල මේ නිසාය. නාස්තිය මේ නිසාය. විනාශය මේ නිසාය.

මේ අප‍ට එකේ පංතියේ සිට කියාදෙන චාරය සදා නොමැති නිසාය.

බොහෝ විට බොහෝ දෙනා තමන් රස්තියාදුවන් ලෙස පිළිගන්නට නොහැකි නිසාම වැදගතුන් ලෙස සි‍තාගෙන සිටිති. නමුත් උඩින් කමිසයත්, ටයි පොල්ලත්, යටින් කලිසමත්, සපත්තු කුට්ටමත් ගැලවූ කල මේ වැදගතුන්ගේ එතනින් එහා ඇති වැදගත්කමක් නම් කොහෙත්ම ඇත්තේ නැත. නෝනා මහත්වරුන්ගේද වැදගත්කම ඇදුමේය. සමහරු ජාතිකත්වයද ඇදුමට එකතු කොට සුදුවටම රෙද්ද ඇන්දත් වටිනාකම ඇත්තේ ඒ රෙද්දේම පමණකි.

ප්‍රසිද්ධ වශයෙන්ම චාරයක් සදා නොමැති ඔය  කලින් සදහන් කල උදවියගේ ඇදුමට සාමාන්‍ය සමාජයේ ඇති සැළකීම හා බිය නිසාම මෙවැන්නන් බොහෝ දෙනා සදා චාරයක් නොමැතිවම හැම තැන තම බලය පතුරවති. සමාජයේ පිරිස් මෙහෙයවන බලය අත්පත් කරගන්නේ මෙවැන්නන්ය. ඔවුන්ගේ දුවා දරුවෝද ඒ බලය පවුල් පිටින් ගෙන වැජ‍ඹෙන්නේ මෙහේය. 

නමුත් මෙහි අදහස පෙර සදහන් ඇදුම් ඇද ගත් සියල්ලෝ මෙබන්දෝ යන්න නොව, බොහෝ කොට සමාජයේ වැජ‍ඹෙමින් සපුරා දුරා චාරය පතුරවන්නෝ මොවුන් නිසාය. මෙවැනි පිරුවටයෙන් සැරසී ගත් දේශපාලකයෝ, නිළධාරියෝ හා ප්‍රභූන් යැයි සැළකෙන බොහෝ පිරිසකට අප සමාජයේ ඇත්තේ අතිශය විලිබිය නැති ‍පුදුම ගෞරවයකි. ඒක සාමාන්‍ය මිනිහාගේ චාරයක් සදා නොතිබූ නිවට චින්තනයය. 

වෙනස් වෙනස් පිට පෙරළෙමින් ආවද පරම්පරා ඔස්සේ ගලන්නට දෙන උරුමය මේ බයාදු නිවට චාරයයි. 

එනිසා අප මෙතැන් සිට කෙදිනකවත් අපේ අන්‍යතා, ‍දේශයේ අන්‍යතා ඔස්සේ දියුණුවක් නොලබන්නෙමු. නැගෙනහිරුට වැදි අපේ මිතුන් මිත්තන්ගේ තිබූ සරල නිදහස පිටු දකිමින් අපි බටහිරින් බසින හිරුට වදිමින් බටහිරසරණං ගාච්ඡාමී යි වන්දනා කරමු.  අපේ පැවැත්ම එතැනය. අපි කුම්භකරණ වංශිකයන් බව අපි නැවත නැවතත් තහවුරු කරමු. කිසි තැනක කිසි ලෙසකින් පොතේ මිස හිතේ මිස ක්‍රියාවේ චාරයක් නැති ජාතියක චාරය සදා ඔයාකාරම මිස, දියුණුව හා නැගීටීම ඔයාකාරම මිස කවර කැකිරි නැට්ටක්ද?

තවදුරටත් අපේ අන්‍යතාවයක් අපට නැත. මේ කලියුගයේ අපේ හැරවුම් ලක්ෂ්‍යයෙන් අප ගමන් ගන්නා අවදියයැයි මට සිතේ.

එන්න එක්වන්න රොක්වන්න, අපි කා බී නටා ගයා ප්‍රීති වී හිදිමු. ජීවිතය විදිමු. චාරයෙන් බටහිරටත් නැති, පෙරදිගටත් නැති, වැලයන අතටම හැමදාමත් මැස්ස ගහන ජාතියක් වී ටික කලකින්ම වදවී යමු.

හැබෑ ලෙසම තමන්ගේ යහගුණ මෙන්ම දුර්ගුණද පිළිගැනීමට තරම් ආත්ම ශක්තියක් හා දුර්ගුණ හලා දියුණුවට යන්නට තරම් ආත්ම විශ්වාසයක් නැති, දිනනකොට ජයගොස නගමින් පෙළගැහුනත් පරදිනකොට සී සී කඩ දුවන ජාතියක් නම්, එවැනි ජාතියක මිනිසෙක් නම් එළඹෙන වෙසගේ පැවසිය යුතු සත්‍ය  'ලෝකෙන් උතුම් ජාතිය යනු පොතේ හා හිතේ පමණක් ඇති මෙවැනි එකක් නම් උඹලාගේත් කාලය අවසානයි' යන්න පමණයි. 

චාරය ගැන වටහාගත්තෝ, ශක්තිමත් හිත් ඇත්තෝ මේ චින්තන සුනාමියෙන් මිදෙත්වා!

නිවැරදි හැසිරීමක අගය වටහා නොගත් ජාතියක, ජනයාගේ පිරිහීමක් මිස සැබෑ දියුණුවක් කෙදිනකවත් ඇති නොවනු ඇත. ඔබ එකෙක් ලෙස චාරය සදා නසද්දී ඔබ වටා සිටින තවත් දහයක් ඒ නැසීමට එක් වනු ඇත. ඔවුන්ගේ චාරයෙන් වන විනාශයට නිවට ඔබ වගකියත්ද? ඔබේ සමාජ වගකීම කෙබදුද? නො නිවටව හිතන්න. ඔබේ රස්තියාදුව ඔබ පිළිගන්නේ නම් ශුද්ධ රස්තියාදුවෙකු වන්න. ඔබේ කුණු , අපේ කුණු හෝදන්න නොව ශුද්ධ කරන්න, මේ මිහිමව පොහොර කරන්නට මේ වෙසගේ හිතට ගන්න. ඔබේ රැකුම, අපේ රැකුම එපමණමැයි.

උඹටත් පුළුවන් මටත් පුළුවන් නිවැරදි දෙයක් කරන්න. චාරයක් හදා ගන්න.

Monday, May 20, 2013

ඉතිං ‍‍ඊට පස්සේ (මීළග පරිච්ඡේදය ඇරඹේවි)

ඊට පෙර http://hallowrusta.blogspot.com/2013/05/blog-post_20.html

කෙනෙකුට යම් කතාවක් කියාගෙන තැනින් තැන එයා අහනව නම් ඉතිං ඊට පස්සේ.. කියල. ඒ කියන්නෙ එතැනින් එහා තවත් අලුත් දෙයක් අහන්න එයා බලා ඉන්නව කියන එක අපට පැහැදිලියි. තවත් එහාට කතාව අහන්න එයා කැමතියි. ඉතිං ඊට පස්සේ ..  මොනව වේවිද?

පෙරලුනු පිට ගැන කීවට පස්සේ හිතුනු තවත් දෙයක් තමයි අපිට වඩා දශයකින් බාල තරුණ ප්‍රජාවට මේක පෙරලුනු පිටක් හැටියට දැනේවිද කියන එක. මොකද කෙනෙක් කියන දේකට වඩා වැදගත් වෙන්නෙ කෙනෙකුට දැනෙන දේ. බෝට්ටුවක් පෙරළෙන කොට එතන හිටි අය ඒක පෙරලුනු බව දැක්කත් පෙරලුනාට පසුව ආපු අය කොහොමද දන්නෙ තමන් හිටගෙන ඉන්නෙ පෙරලුනු බෝට්ටුවක අඩියෙ කියල. ටිකක් විමසුම් නුවණක් තියෙනවනම් පරීක්ෂා කරල බලාවී. ඒත් තවත් අයට එයාලව රවට්ටන්නත් පුළුවන් බොරු කියල. ඒ නිසා ඇත්ත තේරුම් ගන්නනම් කාටත් ටිකක් වෙහෙසෙන්න වෙනව. 

සමහර විට බෝට්ටුව ඇතුළෙ හිටියට වඩා පෙරලුනු බෝට්ටුවෙ අඩියෙ හිටගෙන යන එක නිදහස් වෙන්න පුළුවන්. ඒත් බෝට්ටුව පෙරළිලා නම් ඒකට කියන්නෙ පෙරලුනු බෝට්ටුවක් කියල මිස අලුත් විදිහෙ බෝට්ටුවක් කියල නම් නෙවෙයි. 

කොහොම වුනත් පෙරලුනාට පස්සෙ පටන් ගන්නෙ අලුත් පරිච්ඡේදයක්ම තමයි. ඉතිහාසත් දැනගෙන වර්තමානයෙත් පය ගහගෙන මේ පෙරලුනු බෝට්ටුවේම අනාගතයටත් යන්නම වෙනව. ඒ නිසා බෝට්ටුවෙ ගියා වගේ පෙරලුනු බෝට්ටුවක යන්න හිතන්න බෑ. ඒකෙ යන්න තියෙන ක්‍රම විධි තේරුම් ගන්න වෙනව නුවණින් වගේම සිහියෙන්. මොකද ‍අපේ අරමුණ කෙසේ හෝ ගගෙන් එතෙර වීම, ඒ නිසා පෙරලුනත් බෝට්ටුවෙ කද උඩ නැගිල හරි එගොඩට යන්නම වෙනව.

ඒ නිසා ඇරඹෙන මීළග පරිච්ඡේදයෙන් ජීවිතය කියවන්න ගන්න අයට බෝට්ටුවෙ ඉතිහාසය ඉගෙන ගන්නත් ලොකු වෙහෙසක් ගන්න වෙනව ඇත්තම ඇත්ත දැනගන්න නම්. ඉතිං කියන්න වෙන්නේ ඇත්ත තිත්ත වුනත්, ඒක අරගෙන නිට්ටාවට සුව වෙන්න පුළුවන් වුනත්, ඒ තිත්ත ඇත්ත රස බලන්න හරි හොයාගන්න එකත් ලේසි නෑ කියන එකයි.

දැකීම නිරායාසයෙන් සිදුවේ, ඇත්ත දැකීම සිදුවන්නේ ආයාසයෙන්ම පමණි. එනිසා දෑස් තිබූ පමණින් දකින සියල්ල සත්‍යම වන්නේ නැත.

ඔබ දත යුතු පෙරලුනු පිට හා පෙරළෙන පිටු (තිත්ත ඇත්ත බී නිට්ටාවට සුව වෙනු පිණිස)

පළමුව ශුද්ධ වූ රස්තියාදුව කියවන්නට ආරාධානා කරමි. නේක ඕපා දූප, පල් හෑලි කියවන අතරේ මේ හෑලි වල වටිනාකමක් නැත්තේම නැති බව වගකීමෙන් කියමි. එබැවින් කියවන්න.

අපි අපේ ජීවන ගමනේ යෙදී හුන් බෝට්ටුව නොදැනීම පෙරළී ඇතුළේ හිටි අප ඉන් එළියට විසිවී දැන් ඒ මත හිටන් අපි අපේ පොත් වල පිටු පෙරළමින් සිටින යුගයකි මේ. තවත් අයුරකින් නම් මිනිහාට මිනිහාව නව ක්‍රමයකට අර්ථකතනය කිරීමට සිදුවෙමින් යන යුගයකි. දැවැන්ත පරිවර්තන වලට ගතවන කාලය අඩුවී ඒවා වේගවත් වී ඇති සමයකි. 

මිනිහාගේ චින්තනය උඩු යටිකුරු වී ඇත. මුදල සියල්ල පරදවා අංක එකේ සිටී. සමහරක්ගේ දෙක සහ තුනත් මුදල්මය. අනෙක් පසින් කායික රෝග වල සියලු සීමා අතික්‍රමණය වෙමින් පවතී. වැඩිහිටියන්ට කියා නම් කොට තිබූ රෝග දැන් අද උපන් දරුවාගේද දැකිය හැකිය. එතරමකට මානසික ආතතියද මානසික අවුල්ද ඉහළ ගොස් ඇත. පරිසරයද වෙනදාට වඩා අප වෙත විසකර වෙමින් පවතී.

 ‍මේ සියල්ල යටිකුරුව පෙරළෙන නමුත් තමන්ගේ පාර හරියට සොයාගත්තෝද අප අතර නැතිවා නොවේ. පාරවල් දන්නා ඒ අය රස්තියාදු නොවී යද්දී පාරවල් වරද්දා ගත් අයත් සංචාරය හෝ දුරාචාරය නිසා රස්තියාදු වන්නෝත් අප අතරම සිටිති. පාරවල් දන්නා අය රැවටීමට නොහැකි නිසාම මග පෙන්ව‍‍න්නෝ යැයි කියාගත් සමහරක් මං නොදන්නා සංචාරකයෝත් අනෙක් අයත් අපූරුවට රවටති. එවැනි සමහරක් අද බොහොම ජය ව්‍යාපාරය. නීතිය යනු අන්ධබවද උරුම කරගත් දෙයක් නිසාම නීතියට එවැනි රැවටීම් බොහෝකොට ගෝචර නොවේමය.

කටයුතු මෙසේ සිදුවද්දී සමාජය, ජීවිතය නමැති බෝට්ටුව පෙරළී ඇති නිසාම පෙරලුනු පිට හොදයි කියනා අය ඒ පෙරළීම හොද බව පෙන්නන්නට නොයෙක් පොත් වල පිටු පෙරළාගෙන උදාහරණ දෙති. තවත් පිරිසක් බෝට්ටුව පෙරළී ඇති බව දැක නින්දෙන් අවදි වූ සේ බෝට්ටුව පෙරළී ඇති බවට පමණක් කෑ ගාති. අනෙක් අතින් පෙරළී අහවර බෝට්ටුව ආපහු හරවන්නට සාර්ථක මෙන්ම නිරර්ථක උත්සාහයන්හී යෙදෙන්නන්ය. තවත් කෙනෙක් මෙය ආපසු හැරවීම නොකළ හැකි නිසාම පෙරලුනු පිටේ නැග මේ ගග තරණය කරන්නට මං සොයන්නන්ය. මේ සියල්ල අතරේ දෙපැත්තටම දොස් කියමින් නිකම් බලා හිදින්නටත්, සිනහවෙන්නටත් පෙරලුනු බෝට්ටුව නිසා ඇතිවූ තත්වයෙන් වාසි ගැනීමට මං තනමින් පොත් වල පිටු පෙරළන්නටත් සමහර අය සූදානම්ය. 

මේ අතර මේ සියලු රැගුම් හරි අපූරුවට ගොනු වූ ජනප්‍රිය චිත්‍රපටයක්ද මගේ මතකයට එයි. ඒ ටයිටැනික්ය. අපේ සමාජය නැමැති දැවැන්ත නෞකාව අන්තනෝමතික පරිණාමය නැමැති දැවැන්ත අයිස් කුට්ටියක ගැටී ඇති මේ යුගයේ සිදුවෙන සිද්ධි සමූහයද ටයිටැනික් නැව දෙදරා දෙකට කැඩී දියේ ගිල්වෙන විට වූ සිදුවීම් සමුදාය හා අපූරුවට ගැලපේ. යටි පෙළ කියවන්නට සමත් බො‍හෝ දෙනාට මේ පිළිබද අටුවා කිව යුතුද නැත. තීරණාත්මක අවස්ථාවන්හීදී මානවයාගේ හැසීරීම් දිගහැරෙන දැවැන්ත සිනමා වලද මෙවැනිම තව දසුන් නැතිවාද නොවේ. කෙසේ නමුත් මේ තේරුම් ගැනීම අපේ එනම් තම තමාගේ භූමිකාව කියවීම සම්බන්ධයෙන්ද අපූරු ආදර්ශකයකි. 

අපි නැව ගිලෙන විට වීණා වයන්නවුන්ද, අපටත් වඩා අසරණයන් පෙරළාගෙන දුවන්නන්ද මුදලින් සියල්ල සන්තක කොට ගන්නට තනන්නන්ද ආත්ම පරිත්‍යාගයෙන් නිර්භීතව හැසිරෙන්නන්ද යනු එයින්ම සිතා ගන්නටද හැකිය. 

බුද්ධිය අන්තගාමීව බලවත් වූ තැනදී නිර්භීත කම යනුද මෝඩකමක් හැටියට සමහරෙක් සළකයි. එමෙන්ම හැගීම අන්තගාමීව බලවත් වූ විටෙක ස්ථානෝචිත වීම යනු අන්තිම කපටි කෛරාටිකත්වයක් ලෙස සැළකෙයි. ඉදින් මේ දෙපක්ෂයේ ඉන්නෝ හැගීමත් බුද්ධියත් අතරමැදි තීරණයක සිටින්නා නිවටයෙක් යැයි සළකති. එවිට නිවැරදිව කටයුතු කරන්නා සිටින්නේ කොතැනද? 

 නිවරැදිකරු කිසිදු මතවාදයක අන්තගාමීව එල්ඹ සිටින්නේ නැත. කිසිවෙකුගේ බලයට හෝ යට නොවී තමාගේ දුර්වලකම්වලටද යට නොවී නොබියව කටයුතු කිරීමට එබන්දන් සමත්ය. පෙරලුනු සමාජයේ හිද තම භූමිකාව සාධාරණීකරනයට පිටු පෙරළීමට තරම් එබන්දන් අන්තගාමී වෙන්නේ නැත. සියලු දේ ශුද්ධ ලෙසින් දකින එබන්දෝ තමන් නිසා හෝ සත්‍ය විකෘති නොකරති. 

එහෙයින් නිවැරදි පිළිතුර යමක් ආපසු නොහැරවිය හැකි නම් මේ පෙරලුනු පිටේ සිට ඉදිරිය දෙස බැලීමයි. හැබැයි එසේ ඉදිරිය බැලීම තවත් පිටු පෙරළීමකින් නම් කළ නොහැකිය. ඇත්ත ඇති සැටියේ දැන ගන්නා සේම පිළිගත යුතුය. ක්‍රියාත්මක කළ යුතුය. ඉදිරියට ගමන් කළ හැක්කේ එවිටය. 

සමාජයේ වෙනස හොද හෝ නරක එහි ස්වාභාවයන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගැනීමට සිදුවීම අනිවාර්යය. එහෙත් එතැනින් ඉදිරියට සමාජයේ පැවැත්ම තීරණය වන්නේ ඒ පිළිගත් ස්වභාවය වෙත තමන්ගේ දායකත්වය කෙසේ දක්වනවාද යන ක්‍රියාවලිය මතය. ඇත්ත ඇති සැටියේ දැන ගත්තා නම් ඒ දැනගත් ඇත්තට අනුව නිවැරදි හා වැරදි දේ තේරුම් ගැනීමට ඔබට හැකියාව ඇත. එතනදී පිටු නොපෙරළා ඒ නිවැරදි දේ හා එකතු‍වීමෙන් හරියටම නිවැරදි තැනින් ගොඩ බැස එතෙර වීමට ‍ඔබට හැකිවනු ඇත. නැත්නම් තොටුපොළ කියා වගුරක් වෙත ඔබ ගොඩ බසිනු ඇත.

නමුත් අර පෙර සදහන් කළ බෝට්ටුව පෙරළීම වාසියට හරවාගත් ව්‍යාපාර කරුවන්ගෙන් සැවොම ප්‍රවේශම් වීම අත්‍යාවශ්‍යය. සමහර විට ඔවුන්ගේ සේවය අපටද අවැසි වන්නට පුළුවන. ඒ සේවය නොගෙන බැරි වන්නට පිළිවන. නමුත් එහි සීමාවන් තීරණය කිරීමත් වෙළද ගැට වලට ගැති වී අපත් එහි කොටස් කරුවන් වීමෙන් මිදීමටත් හැකියාවක් අපට තිබිය යුතුය. සමාජයේ යහ පැවැත්ම හා මානසික පරිණාමය නිවැරදිව දිශාවට විහිදෙනු ඇත්තේ එවිටය. 

දැලි පිහිය කිරි කන්නට නොතැනූ මුත් කිරි කන්නට වී ඇත්තේ දැලි පිහියෙන් නම් කොතරම් ප්‍රවේශම් වීම අවශ්‍යදැයි ඔබ සවිඥානික වීම ඔබේ ශරීර සෞඛ්‍යට කොතරම් හිතකරද යන්න අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. 

සමහරෙක් මේ සියල්ල කෙටියෙන් අර්ථ දක්වන්නේ ඇත්ත තිත්තයි කියාය. එහි පූර්ණය කළ යුතු ඌනතාවක්ද වෙයි. එනම් ඇත්ත තිත්තයි, බීවොත් නිට්ටාවට සුවයි යනුවෙනි.

එබැවින් පෙරලුනු පිටේ හිටන් පෙරළන පිටු වලට හසුනොවෙමු කිසිවිටකත්. ඇත්ත තේරුම් ගෙන වඩ වඩාත් අවංකව තිත්ත ඇත්තම බී නිට්ටාවටම සුවය ලබමු.

බොරුවෙන් පටන් ගත් සියල්ල හිස් බවින් නිමවෙයි. සත්‍ය මත පදනම් වූ සියල්ල පූර්ණ බවින් නිමවෙයි. 

Saturday, May 18, 2013

සෙබළු (කදුළු වෙනුවට ග්ලිසරින්)

සෙබළු රට රැක දුන්නෝය

අපි ඔවුන් අව්වේ සිටවා අචාර පෙළපාලියක යවන්නෙමු

ඔවුහු කූඩාරම් තුළ හිදින අව්කණ්නාඩි පැළදි මහත් වූ ඇදුමෙන් සැරසුනු අපේ උත්තමයන්ට අචාර කරමින් ගමන් ගති

අපි ඔවුන්ගේ වීර කම් නරඹමු

අත් පා අහිමි, තම ජීවිතයම යුධයට කැපකළ මිනිසුන්ට අවසන ඉතිරි මොනවාද? මුදල් ආධාර, සාමය, සංවර්ධනය...එයවත් ඉතිරිද?

එපරිද්දෙන් අපි සෙබළුන් ගේ වීරකම නීර්භීත කම අගයමු

අදත් කූඩාරම් තුළට වැද අව්කණ්නාඩිය තුළින් බලා සෙබළුන්ගේ ආචාරය අපි විදින්නෙමු

අතීතයේත් අදත් වෙනස එතැනය

එදා රජාත් යුධ විරුවෙක්මය

රජාට අද යුද්ධයට යන්නට අපි‍ නොකියමු

මැති ඇමතින්ට එබදු නිර්භීත කම් ඇතිද?

එහෙත් මේ පිටුපස හිතන්නට යමක් ඇති බව අපි කියමු

හිතන්න 

අපේ අවංකත්වයේ හා වැදගත්කමේ තරම

වැඩිහිටි දිනයේ ආචාරය වැඩිහිටියන්ටය

ගුරු දිනයේ ආචාරය ගුරුන්ටය

වීර සෙබළුන්ගේ ජය සිහිකරමින් ඔවුන් තමන් වෙනුවෙන්ම අචාර පෙළපාලියේය‍

අපි අවුවෙන් සෙවණ වූ කූඩාරම් තුළ අව්කණ්නාඩි පැළද සුව අසුනක හිද නරඹමු

අපි හරිම මහත්වරුන් වෙමු

ඉස්සර කුඹුර මැදින් යද්දී කුඹුරේ වැඩ කළ මිනිසුන් වෙනුවෙන් අපිත් අව්වේ ගියෙමු. එව්වා මෝඩ කම්ය. නූගත් වැඩය. මහත්මා කම නම් අචාර පෙළ ගිනි අව්වේ දහදිය හළද්දී අපි අව්කණ්නාඩි සහිතව සෙවණැති කූඩාරමේ හිද සෙබළ මුලේ වීරකම් සැමරීමයි. කකුලක් පිට කකුලක් දමා ඒ දිනා දුන් නිදහසේ වීරයින් ගැන සිහිපත් කිරීමම මොන තරම් ආචාරයක්ද!

සෙබළු අර සෙවණැති කූඩාරම් වල හිදුවා රජ මැති ඇමති පෙළ අචාර පෙළපාලිකය ගියේ නම්... කොතරම් අපූරුද! එක් දිනකට වත්..

බොලාගේ අපේ සෙබළු වෙනුවෙන් වැගිරෙන කදුළු බොහෝ කොට ඔයාකාරම නොවේද?

යමක් අර්ථවත් වන්නේ එය හදවතින් උපන් හැගීමෙන් යුතුව කිරීමෙන් විනා නාමික සාම්ප්‍රදායක් අනුගමනය කිරීමෙන් නොවේ. හදවතින් උපන් හැගීම් නැති උදවියට කදුළු වෙනුවට ග්ලිසරින් මිස ‍අන් කවර පිහිටක්ද?

Friday, May 17, 2013

නිදි වැද්දෝ(නැගිටින්නට නම්)

වේලාව - උදෑසණ 8, 9. ස්ථානය - හද්දා උතුරුකරයේ සිට කොළඹ බලා ඇදෙන දුර ගමන් පොදු මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ.

බොහෝ දෙනා කාලයක පටන්ම නිදිවැද හිදින බැවින් මේ කිසිවක් දෙස අලුතෙන් බලන්නට උනන්දු නැත. හැකියාවක්ද නැත. එනිසා හැමවිටම එවැන්නන්ට මේවා සාමාන්‍යය. හැබෑව, කුම්භකරණ වංශිකයන්ගේ කැමත්ත අවදිවීමට වඩා නිදි වැද සිටීමටම තමා.

කොළඹට පිවිසීම දක්වා ගෙවෙන සැතපුම් තිහ හතළිහ මිනිස්සු කැමැත්තෙන්ම නිදති. එ‍ෆ් එම් සේවාවෝ බොහොමයක් ඒ නින්දට නැළවිලි ගී ගයති. නැත්නම් එකම තාලයේ ගී ගයන අවුල් කොවුල් හඩ වල් මේ නින්දට තනි රකිති. අපේ අති සාමාන්‍ය මිනිහාගේ ගමන ගෙවෙන්නේ මේ ආකාරය. කොළඹ සීමාවේදී මේ නින්ද පුරුද්දෙන්ම අවදියක් වෙයි. ගෙන්දගම් පොළවට පය ගැසීමට එතැන් සිට කඩිවෙස් ගනිති. අවුල් වූ තද බදයෙන් පිරි පාරවල් ගානේ රස්තියාදු වෙන්නටත් නන්නත්තාර මානසිකත්වයෙන් රස්තියාදු වී රෑ බෝවෙන තෙක් ජීවිතේ තවත් දවසක් අවුලෙන් අවුලට ගෙන යන්නටත් අති සාමාන්‍ය මිනිහා පෙළ ගැහෙන්නේ මේ ආකාරයෙන්ය. 

මහා ලොකු ව්‍යාපෘති ගැන පාරම්බාන දියවන්නාවේ පිහිනන මැඩියෝ එවැනි උදවිය තමන්ගේ පෝස්ටර් ව්‍යාපාරයෙන් පරිසරය වැනසීමටත් බත් පැකට් පෙළපාලි වලින් බලය පෙන්නීමටත් නිති යොදා ගනිති. ඉදින් මේ අති සාමාන්‍ය වැසියෝ බසයේ සේම 'රට' යන ගමනේද කැමැත්තෙන්ම නිදි වැද්දෝ වෙති. 

ඉදින් මෙහෙව් වූ වැසියන් තුනෙන් දෙකකට ආසන්නව වෙසෙන අප රටේ සංවර්ධනය වෙමින් හිදීමක් මිස වර්ධනයක් නම් කෙදිනකවත් වෙන්නේම නැත. අතපය තැලෙන පොඩිවෙන ඒවායේ වේදනාව දැනෙන මිනිසුන් කෙදිරිගගා නිදි වැදෙද්දී වායු සම‍නයේ අපේ වැදගත්තෝ නිදි වදින්නේත් සැප විදින්නේත් බොහොමත්ම සාධාරණ ලෙසය. (ඔවුන් පවසන්නේ එසේ සැතපෙන්නේ සාමාන්‍ය මිනිහා වෙනුවෙන් කරන කැපකිරීමට ලබන බෝනස් ලෙසින් බවය, ඒ බැව් හෙළි වන කතාවක්ද දිනක් ඔය පල් මෝඩයෙක් කීවේය. අති‍සුඛෝපභෝගී වාහන නැතිව දුෂ්කර පැතිවල සංචාරය තමාට අපහසු  අපහසු බවයි ඒ. අපට සිටින පාලකයන් වැඩි දෙනෙක් මේ ආකාරය.)  

මෙය සමාජ වාදය ක් හෝ ධන වාදය ක් හෝ වෙන කිසියම් වාදයක් නොවේ. බොහෝ කොට ඇත්තය. අප රටේ ඇති අසාධාරණ අයුක්ති සහගත නින්දා සහගත නිර්ලජ්ජිත අනවබෝධය මෙයයි. දුප්පතුන්ට ධනය බෙදා දීම හෝ පෝසතුන්ගෙන් අපමණ බදු ගැනීම නොව මිනිසුන්ගේ වේදනාව පීඩාව,  ඔවුන් අසාධාර‍ණයෙන් හා අයුක්තියෙන් පීඩාවට පත් වීමට හේතු නොසෙවීම මේ පිටුපස වෙයි. භෞතිකමත් නොවන මානසික කාරණා ගණනාවක් ද මේ පිටුපස ඇත. නිවැරදිව සිතන්නට රටක් ලෙස හෝ දැයක් ලෙස හෝ චින්තයක් තිබෙන්නේ කොහෙද? කතා වට වඩා ආදර්ශය පෙරමුණට පැමිණෙන්නේ කවදාද?

බොරු කියමින් ඒ බොරුවටම නිවට කම එකතු කොට අයාලේ යන මං ගැන දොඩවනවා විනා මිනිසුන්ගේ මනස නිරවුල් කොට රටක දැයක ජනතාවක් ලෙස නැගී සිටීමේ අවසන් තැත කොතැන තියේවිද? මෙයින් තවත් කලකට පසු අපට කතා කරන්නට කිසි දෙයක් ඉතුරු නොවනු ඇත නෂ්ටව නටඹුන් ගැන මිස.

බොහෝ සිහින යථාර්තයන් බවට පත්කර ගත හැකිය. එය රදා පවතින්නේ සිහින දකින්නාගේ චින්තනයේ ප්‍රබලතාව මතය. 

කණගාටුව අපේ පාලකයෝ දුර්වල චින්ත‍කයෝ වීමයි. අවුල් චින්තනයක හිදින පාලකයෝ කෙසේ මිනිසුන් වෙනුවෙන් නිරවුල් මගක් තනද්ද?

Sunday, May 12, 2013

'මුත්තම්මා'

වැදු මව සේම මිහිමව වේ වැදූ මව අප සැමගේම

රකින්නට ඇය සෑම කෙනෙකුට අයිතියක් ඇති සේම

නිකං හිද බල බලා ඉන්නැති හැම සිතක් සිතු සේම

 තවත් කලකට ආයු ලබනට රකිනු ඇය දින සෑම

  මුත්තම්මාට දීර්ඝායු වේවා..

අනුකම්පං උපාදාය :)

අනුකම්පාව ලොක්කන්ගෙන් පොඩ්ඩන්ට ලැබෙන සිගමනක්ද?

සමහරුන්ගේ ක්‍රියාකලාප දකින විට තවත් සමහරෙකුට හිතෙන්නේ එහෙමයි. ඒත් අනුකම්පාවට ලොකු පොඩි බේදයක් ඇති බව ඔබට සිතෙනවාද? හිතෙනවානම් එය ඔබේ ප්‍රශ්නයකි. 

අපි කාටත් අනුකම්පාව අවැසිමයි. ඔබ මට අනුකම්පා කරන්නේ යම් විටෙක දීද මටද විටෙක ඔබට අනුකම්පා කිරීමට සිදුවනු ඇති. ඉහළ පහළ යාම් ඊම් සහිත දිවියක් උරුම කරගත් 'මිනිසා' සකළ බාධක කම්කටොළු ජයගත් අපරාජිත සත්වයෙක් ‍වන්නේ යම් දිනෙකද එදින දක්වා අපට එකිනෙකා කෙරෙහි අනුකම්පා කිරීමට සිදුවන්නේමය. 

අසනීපවී ලෙඩ ඇදේ හිදිනා මා හට ඔබ අනුකම්පා කරන්නේ යම්සේද ඔබ ලෙඩ ඇදේ හිදිනා විට මමද එලෙසින්ම ඔබට අනුකම්පා කරමි. එවිට එතැන සිගමන් දීමක් හෝ ගැනීමක් ඇත්තේම නැත. ඇත්තේ හුදු වටහා ගැනීමක් මෙන්ම කම්පාවකි. 'මම' ගැන මා හිතන ආකාරයටම 'ඔබ' ගැනද සිතීමකි. 'ඔබ' 'මම' ගැන සිතීමකි. 

දිනපතා පොදු ප්‍රවාහනයේ යන එන ජනයා දකින පුද්ගලික වාහ‍නයේ ගමන් යන්නාට විටෙක ඒ ජනයා ගැන ඇතිවන්නේ අනුකම්පාවකි. එලෙසින්ම දිනපතා පුද්ගලික වාහනයේ යන කෙනෙකුට එක් දිනෙක හදිසියේ හෝ පොදු ප්‍රවාහනයේ යන්නට සිදුවීමේදී මේ පොදු ජනයාද ඔහුගේ දුක සැහැල්ලුවට ගත යුතු නොවේ. ඔහුට හෝ ඇයට ඇතිවන දුක හාස්‍යට ගත යුතුද නොවේ. අනුකම්පා කළ යුතුය. 

එබැවින් අනුකම්පාවට තරාතිරමක් නැත. නමුත් ඔබ වෙත කෙනෙකු අනුකම්පා සහගත ලෙස බැලීම ඔබ අසර‍ණයෙකු බවට පත් කිරීමක් ලෙස ඔබ සිතනවාද? ප්‍රශ්නය ඔබේ සිතිවිල්ලයි. නැතිනම් ඔබ තවත් අනුකම්පාව යදින්නට සිතනවාද? ප්‍රශ්නය ඔබේ සිතිවිල්ලයි. ඔබ ගුණවත් වන තරමට අන්‍යන්ගේ අනුකම්පාව ඉවසා දරා ගැනීමටත් අන්‍යන් වෙත වඩ වඩාත් අනුකම්පා උපදවා කටයුතු කිරීමටත් ඔබට හැකියාව ලැබෙනු ඇත. ව්‍යාජ මාන්නයෙන් එවිට ඔබ මිදෙනු ඇත. අප හැම අතර කිසිදා දුකට පත්නොවන ජනයා ඇත්නම් ඔවුන්ට අනුකම්පා කිරීමට අපට ඇවැසි නැත.

එබැවින් සැම සැමට අනුකම්පා කරත්වා!

කාරුණිකත්වය දො‍්රෙ ගලත්වා . .

Tuesday, May 7, 2013

ප්‍රභවය ඔබමයි

හිත බලය වේ නම් 

හිතම ශක්තිය වේ ‍නම් 

එ'හිතම දමනය වේ නම් 

ප්‍රභවය ඔබමයි තාමත්


ඔබයි ඒ වැඩකරුවා

ඔබයි ඒ හිමිකරුවා

ඔබයි ඒ බාරකරු

එ ප්‍රභවය ඔබ නම්

 

දැවීමද ඒ ඔබ අතය

නිවීමද ඒ ඔබ අතය

පිළිස්සෙන්නේ ඔබ හිතය

රැකෙන්නෙත් ඒ හිතමය


උතුරු මග පෙරදිග තියා

දකුණු මග අපරට ගියා

දෙමග දැන මැන ගත් නිසා

අතරමගකට හිත නොයා

හිත

උඩු කීවාට

උඩිනුත් නොපෙනෙන

යටි කීවාට

යටිනුත් නොපෙනෙන

නිදි කීවාට

හීනෙනුත් පෙන්වන

හිතුනමුත්

තුන්හිතකින් නොහිතන

දෙතැනකම නතරවෙන

දුකෙදීත්  සැපෙදීත් 

ලගින් සිටින

අරුම පුදුම‍‍

අපූරුම

හිතවතා

මම සහ මම

පුංචි කාලෙ නිදහස් නිවහල් මනසත් එක්ක කොයි කවුරුත් වගේ මමත් ටිකෙන් ටික ලොකු වුනා. පහ  දහය  පහළොව විස්ස විසිපහ කිය කියා එක එක කඩුලු පැනගෙන ඉස්සරහට එනකොට වයස විතරක් නොවෙයි දැනුම කුසලතා වගේම ඒවට ලැබුණු සහතික සම්මානත් එකින් දෙකින් වැඩිවුනා. ප්‍රමාණාත්මකව එකිනෙකාට සාපේක්‍ෂව වෙනස් වෙන්න පුළුවන් වුනත් අපි බොහෝ දෙනාගේ ජීවිත කතාව මේ වගේ. පුංචිම කාලෙ හිස්ව තිබුණු ජීවිත දැනුම  ගවේෂණය  අත්දැකීම්  අත්විදීම්  තුළින් ලොකුම ලොකු රස්තියාදුවක. පුංචි කාලෙ තිබුණු හිස් ලාච්චුවේ දැන් එක එක දේ පිරිලා. සුන්දර සතුටුදායක දේ වගේම අසුන්දර අසතුටුදායක දේත් ඔය අතරේ. ඉතිං 'මම' කියලා කිසිවක් නැතිව පටන් ගත්තු ජීවිතේට දැන් 'ම‍ගේ' කියා කොච්චර දේ ගොඩගැහිලාද? ලාච්චුවේ පිරිලා තියන දේ ගැන දන්නේ ඔබම තමා. සමහර විට 'මම' ගැන තිබුණු සුන්දර මතකය  සංකල්ප  අමතක වෙලා මැකී ගිහින්. දැන් මගේ කියලා වෙනම ලෝකයක් තැනිලා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒ ලොකේම ජීවත්වෙනවා හැර ඒ ලොකේ මගේ තැන- මං හිරකාරයෙක්ද බාරකාරයෙක්ද කියන එකත් තීරණය කරන්න සමහර විට මට හැකියාවක් නෑ. 'මම' මට අයිතීද කියන එකත් ප්‍රශ්නයක් වෙන්නෙ මගේ ජීවිතේ මට  තීරණය කරන්න පුළුවන්ද කියල හිතෙන ප්‍රශ්න මතුවෙනකොට. ඔන්න මටම 'මම' ප්‍රශ්නයක් වෙන්න ගත්තා. මගේ ඇතුළෙ තවත් මම කෙනෙක් ඉන්නෙ කොහොමද? මම කැමති දේ මම කරන දේම නොවෙයිද? ඒ මට කරන්න සිද්ධ වෙන දේද? ඒ ඇයි? මං ජීවිතයේ අතන මෙතන ගත වුනු හැම දෙයක්ම ආපහු ආවර්ජනය කරන්න ගත්තා. ඇයි? එහෙම වෙන්නෙ ඇයි? මෙහෙම වුනේ ඇයි? එතකොටයි ජීවිතයෙ පොඩිකාලෙ ඉදන්ම ගත්තම රස්තියාදුවක්ය කියන සංකල්පය පටන් ගත්තෙ. හැමදාම අපි අතන මෙතන කොතනත් කරන්නෙ මේ සංකල්පය තුළ තියෙන රස්තියාදු වීමක්ම තමා. ඒක දැනුම තුළ  කුසලතා තුළ විතරක් නොවෙයි පාරෙ තොටේ වුනත් අන්තර් ජාලයේ වුනත් වෙන්න පුළුවන්. එහෙම හිතෙනකොටයි තේරුනේ. මේ රස්තියාදුව පටන් ගන්නේ හිතෙන් අපි ඉපදෙන මොහොතේ සිට කියන එක. දැනුම බුද්ධිය මෝරන්න මෝරන්න අපි විවිධ ඉසව් වල විවිධ තර්ක මාන තුළ රට රාජ්ජය වල හුදෙකලාවේ සමහර විට පිරිස් පිටින් රස්තියාදු වෙනවා. මොනවද අපි හොයන්නේ? එතකොටයි තේරුනේ. 'මම' මා ගැනම හොයා ගත යුතුයි කියන එක. ශුද්ධ කරන්න ගත්තෙ රස්තියාදුව එතන ඉදන්. එතකොටයි තේරුනේ 'මම' සහ 'මම' තවත් එක සිතිවිල්ලක් කියන එක. 'මම' කියන්නෙ. මගේ හිස‍, කද, ගාත්‍රා එකතුවටද? එතකොට ගාත්‍රා නැතිව ජීවිතේ පවතිනවා නම් කද මෙන්ම හිසත් අත්‍යවශ්‍ය අවම තත්වයන්ගේ පවතිමිනුත් ජීවත් වන මිනිසුන් සිටිනවා නම් ඒ මිනිසුන්ගේ හිස, කද, ගාත්‍රා එකතුව කෙලෙසද? එවිට පැහැදිලි වන්නේ මම ඉන්නේ හිතේ කියන එක. ඒකයි අතපය නැති වුනත් හිත හයිය මිනිස්සු ලොව දිනන්නෙත්. හිතේ කුණු පුරවාගත් රස්තියාදුවෝ හිස, කද, ගාත්‍රා සියල්ල ඇතිව ජීවිතයෙන් පැරදෙන්නෙත්. ශුද්ධ රස්තියාදුවෙන් 'මම' සහ 'මම' හදුනා ගත්තොත් ජීවිතය ගැන වෙනස් විදිහකට හිතන්න මං පෑදේවි නිසැකවම. 

හැබැයි හැම දෙයක්ම හොදින් හදුනාගත්තත් ඵලයට මුල හේතුව යැයි කීවාසේ ඔබ සියල්ල වටහා ගෙනත් තනන්නේ බෝම්බ නම් ප්‍රතිඵලය පිපිරුමම පමණයි. එය තරයේ මතක තබාගන්න.