Showing posts with label ම'බස. Show all posts
Showing posts with label ම'බස. Show all posts

Monday, August 21, 2017

ස් වා සි ලන්තයේ සිට..


*ක්‍රිකට් මේ දවස්වල මෙහේ උණුසුම්ම මාතෘකාවක්!!
ඕකට කරන්න ඕන දිවාරාත්‍රී සෙල්ලම් කරන්න පුළුවන් පිට්ටනියක දවසක් එළිවෙනකම් පාලක, ක්‍රීඩක හා ප්‍රේක්ෂක හැම මණඩලයකම කට්ටිය එකට හිටන් තොවිලයක් නැටීම, ලංකාවෙ විදිහට. දහඅට සන්නියම නටන්න පුළුවන්නම් ඔය පොඩි පොඩි මානසික ව්‍යාධි එහෙම්පිටින්ම හේදිලා යාවි. 4/1ලෙස මෙදා ඉතිරිය දිනාවි, අත්දුටුවයි..

*හොරු ඇල්ලීම මේ දවස්වල මෙහේ ජාතික ප්‍රශ්නයක්!!
ඕකට කරන්න තියෙන්නෙ හොරුන්ට බය නැති නිළධාරි බලධාරි ටිකක් අදාළ තැන්වලට පත් කරල දේශපාලකයො පොඩ්ඩක් ඈත්වෙලා බලාන ඉන්න එක, ලංකාවෙ වගේ. රටේ නැති හොරුත් අල්ලාවි, සහසුද්දෙන්..

*නඩු නොවැටීම නඩු කල්‍ යාම වගේ දේවල්!!
අදාළ අයට පැමිණිලි පාර්ශ්වයක් වෙන්න වුණු දවසට නඩු දමාවි, නඩු කල් නොයාවි කියල විතරයි හිතන්න වෙන්නෙ, අපිට හෙම ඔහොම නඩු වැටුනොත් කෙළින්ම ගස් යෑම ෂුවර් නිසා ඔය කතාව දැනට ඇති. අම්මප.. ලංකාවෙ නෙවේනෙ.

*ඩෙංගු ප්‍රශ්න කුණු ප්‍රශ්න අයිටම් ප්‍රශ්න ගැන යමක් කීවොත්!!
ආණ්ඩු පෙරළන්න, ප්‍රයෝජනයට ගත හැකියි .. ලංකාවෙත් එහෙමයි..
ඊට පස්සෙ එන ආණ්ඩුව පෙරළන්නත් ඒ අයිටම්ම යාවත්කාලීන කරල ගන්න පුලුවන්, හැමදාම අරගල කරන්නයි, ආණ්ඩු හදන්නයි එත්කොට පුළුවන්. ජනතා පමාධිපත්‍යත් රැකෙනව ඒකෙන්..

*මහ බැංකු!!!
ඒකත් කලින් ප්‍රශ්න වලටම අදාළ එකක්නේ. මහ බැංකුව වෙනුවට රටට ගැලපෙන අතරමැදි කුඩා බැංකුවක් තිබුණ නම් වැඩේ ඉවරයි. ඕකෙ අධිපතියත් මෙහෙන්ම පත්කරන්න තිබුණ ලංකාවෙ වගේ..

*අනාගතය ගැන දැක්ම..!!
දැක්මක් ඕන නෑ. ජාති ආලයයි ආගමික ප්‍රේමයයි උගස් කරල ඕනම වෙලාවක ඕනම දහංගැටයක් දාන්න පුළුවන්, ලංකාවෙ වගේමයි. අනාගතේටත් ඒකමයි අපේ අනාහැනීම, මොකද රටට වඩා ජනතාවත් ඊට ඉස්සරහින් මාධ්‍ය වළල්ලත් තියෙනවනේ... අම්මා.. මාධ්‍ය තියනව කියන්නෙ තව මොනවද? ප්‍රශ්න උත්තර එච්චරයි. ආපහු ඔයා යමක් ඇහුවොත් මම උත්තර දෙනව.. යමක් වෙන්නම ඕන නෑනේ, අපේ බිස්නස් දුවනවනම්.. තේරුණාද... තේරුණා තේරුනා එච්චරයි.

Sunday, August 20, 2017

පිදුම!


හැබෑ වංකයන්
හැබෑ කුහකයන්
නොනිස්සන් කූනිස්සන්
කිසිදා නොපතන
හැබෑ අරුණෝදයක්
උදෙසා...ම'
හැබෑ ජයක්
උදෙසා ම.

Wednesday, August 16, 2017

පැතුම නොනසනු! සබඳ නැගිටිමු! (බිමට නැවෙන වී කරල්, තල්, පොල් සහ ක්‍රිකට් මැද... නැගිටිය යුතුම වේ...)

හිස් බිමට බරවෙන්නේ නිහතමානීකමටමද? තල් පොල් සේ කෙළින්ම ඉන්නේ ඍජු ගතියටමද? අප සමාජයේ මේ දෙකෙන්ම කෙරෙන්නේ බොරුවකි. පරදින්නෙ පාලක මණ්ඩලය හෝ ක්‍රීඩකයෝ දෙකොටසම නොවේ. හොඳ ‍යහපත් අවස්ථාවන්... ඒ ලෙසම බයාදු නිහතමානිත්වයත් උද්දච්ජ ඍජු කමත් බොහෝ කොට තනි පැවැත්ම ආත්මාර්ථය හා අවස්ථාවාදය උදෙසාමයි. එයින් ගිලිහෙන්නෙ රටක යහමගක අවස්ථාවන්. එනිසා පාට ආණ්ඩු වෙනස් කළ පමණින් හෝ තම ජාමය බේරා ගැනීමටම තල් පොල් හෝ ගොයම් සේ සිටීමෙන් ඵලක් වන්නේ අධමයින්ට පමණයි. අපමණට එකම චක්‍රය කැරකෙන්නේ එකම විදිහටමයි. අවංකව කල්පනා කරනා ඒ අනුව ක්‍රියා කරනා බහුතරයක් නොතැනෙන තාක් සමාජයේ රජ වන්නේ රැවටිලිකාර මායාවක් පමණමයි. එක් එක් උතුමාගේ මනදොළ සපිරෙන අවස්ථාවාදය පරාජය කළ හැක්කේ එක අවංක කැපවීමට ගොනුවීමෙන්ම පමණයි. පුහුණු කරුවන්ගෙන් හෝ ක්‍රීඩයන්ගේ තේරීම් මතම ජය නොලැබෙන අපේ ක්‍රිකට් සේම සමාජයද ජය ගන්නේ අපේ ක්‍රමයක් තුළ උපයන උපායන් ජය ගැන්වීමට එකමුතුව කැපවීමෙන්ම පමණයි, විශ්වාසයකින්ම පමණයි.
සැබෑ ප්‍රතිපදාවක නොපිහිටා හුදු විවේචනයන්ගෙන් තමන්ම කකුල් පටලවාගෙන ඇද වැටෙන මිනිස්සු නැගිටින්නේ කෙසේද? හේතු සාධක සොයා ගත් කල ඵලය නිර්මාණය කරන ඒ හේතුන් වෙනස් කරන නිර්මාපකයා වන්නට ඔබට මට නොහැකිද? වල්පල් ගල්මුල්, සල්මල් පොල්තෙල් කොටගෙන පන්සල් යා යුතු අවදිය නොවෙද මේ.. හේතූන් වෙනස් කරමු, එක්වෙමු.. රොක්වෙමු.. කාටවත් නොවෙයි, රටට අවස්ථාවක් දෙමු. එය අපේ පරම්පරාවේ අයගේ යුතුකමයි. හැබෑ ශක්තිය නම් එයය යනු මගේ විශ්වාසයයි.
වාද සුංවී පාද නැංවේවා, බේද භංග වී භාග පූර්ණ වේවා... පූර්ණ ලංකාවක් ...  පැතුම නොනසන්න! සබඳ නැගිටින්න!

Tuesday, August 15, 2017

1 1 9


වළා පටලය ඉරාපන්
හොරා ගත් රැස් මුදාපන්
අහසෙහිම බැඳ තබාපන්
හවස ඇප දී යවාපන්

Wednesday, August 9, 2017

කිරි කැකිරි සිරි (න ග රේ අ ග)


වැස්සේ රස්නෙට දහදිය දමලා
ගිනියම් සිත මට කරදර කරලා
ඇසිපිය මානේ අකුණක් ගැසුවා
ගිනියම් වූ මේ මිගෙල් මද්දහවලේ

කැමරා අත ඉස උඩින් කරකලා
මනුස්ස හොරකම් සෝදිසි කරලා
අන්තර්ජාතික සීල් ගසාලා
සෙල්ලම් බඩු බඩු බඩු බඩු සල්ලන් සෙල්ලන් නේ

පාට කූරු පැහැ හැමතැන උළලා
ගොඩනැගිල්ල මත රැජිණක් මවලා
දිරවා ගන්නට බැහැ මේ බොරු සඳ
කහට කෝප්පය වමනෙන් වළකාපන් මා

යාචකයන් නැති ගුවන් මගින් නැග
අහස අල්ලලා මුහුදු හුළං විඳ
මරණය පරදන අමර පුරේ සුව
පොළ වේ යට නොව දෙවියන් මෙහි වැඩ ඉන්නේ

අන්ත්‍රාවෙන් සංතුෂ්ඨිය දළුලා
මුහුණේ පපුවේ පුෂ්ප පිපීලා
රතුවන් කලුවන් තොල් අතරින් හෙට
විකිණෙන තනුවට සද්දෙනි ගීත ගැයෙන්නේ

Saturday, July 29, 2017

ලංකා රාණී... (මස විකුණා කටු කෑම ද? වහල් හිවල් ලු ද? ගැලවුම ද? විසඳුම ද? මැජික් ද?)


පිපෙන හිනැහෙන මලුත් විල මත
සමනලුත් නෙත්කළුද කළ සඳ
අහේනිය කටු පතොක් විසමය
කුකුල් කොටුවකි රටක අරුමය

නරිම වාදං ගෙල දමාගෙන
ඒ දමෙන් ගෙල සිර කරෝ ගෙන
අතින් අල්ලා දිවත් ඇදගෙන
හඬ තලන්නේ මරු විකාරෙන

පාට පාටින් කහට කර හිත
මැර වඩා දත දතට ඉල්ලන
ලුණු දමා ජීවිතය වේලන
කට්ට කරවල රට්ටු තැනුමය

උගුලකින් ගැලවෙනුද නොමදත්
අරගලය උරගලය පැටලෙත්
මුරගලද උරගලට අරගත්
ඇනගෙනම මැරෙනවා අදටත්

රත්තරං ටික කටේ ගාවා
බෙල්ලෙ ගලකුත් ගැටේ ලෑවා
ඉංගිරිසියෙන් පදේ කීවා
අනේ තේරුම් යයිද මේවා

කවද කොතැනද පටන් ගත් දේ
කොතැන කොයිබින් නිමා වෙන්නේ
කාට කාටද දෙහි කපන්නේ
කාව කාවද රජ කරන්නේ

ගණන් හදලා හිලුත් වහලා
බද්ද හා තව සද්ද කරලා
අයිතියත් තව පොදි ගසාලා
සැවොම තර වෙමු බඩ වඩාලා

මැති ඇමතිගේ බඩට පාරක්
තනාගෙන අපෙ බඩට පාරක්
පනින්නට තව රටෙන් පාරක්
හදාගත්තම පොරක් තෙවරක්

රටේ හැමටම තොත්තු දුන්නයි
කොත්තු හා කලු සල්ලි දුන්නයි
ඇදිවතත් අමතක කෙරෙව්වයි
ජීවිතේ උන් ඇන්ද වෙව්වයි

සාගරෙන් ගත හැකිය ලුණු කැට
ආදරෙන් ගත හැකිය හදවත
කාලයත් අවකාශයත් තුළ
විසඳුමට මං මිස මැජික් නැත

Sunday, July 16, 2017

දේශපාලනයය!

අකුරු වචනය
වචන අරුත්ය
අරුත් උගැන්මය
උගෙනුම මුදල්ය
මුදල් බඩගෝස්තරයය
බඩගෝස්තර පැවැත්මය
පැවැත්ම තෘප්තියය
තෘප්තිය සතුටය
සතුට හැඟීමය
හැඟීම දැනීමය
දැනීම ඇලීමය
ඇලීම බැඳීමය
බැඳීම රැඳීමය
රැඳීම එකතුවය
එකතුව රැසය
රැස රාශියය
රාශිය ගොඩය
ගොඩ බරය
බර ඉසිලීමය
ඉසිලීම දුකය
දුක ශෝකයය
ශෝකය වේදනාවය
වේදනාව කඳුළය
කඳුළ ලවණය
ලවණ ඛනිජය
ඛනිජ සම්පත්ය
සම්පත් ස්වභාවිකය
ස්වභාව සෝබාවය
සොබාව සුන්දරය
සුන්දර ලස්සනය
ලස්සන වචනය
වචන අකුරුය

Wednesday, June 28, 2017

කර හරිමි (මදහස)



සම්ප්‍රදාය පැටවූ ඉදිරි කදත්
විකල්පයෙන් බරවූ පසු කදත්
යා කොට උරෙහි වූ රිටත්
වැර යොදා ඔසවා දෑතින් ම
බිම තබා යමි මං තනියෙං ම

Friday, June 23, 2017

බ්ලොක් බස්ටර් (අ.... වි..චාරය)


ගහපල්ලා
මරපල්ලා
කුඩේ කුඩු
කරපල්ලා

තර්ජනේ
ගර්ජනේ
වර්ජනේ
මර්ධනේ

මාධ්‍ය වර්ධනේ
අපේ සංවර්ධනේ
මේක සටනක්
මාර සටනක්

ප්‍රශ්න වැඩිකරන උත්තර අඩුකරන
ඉරාගෙන මරාගෙන ප්‍රතිපත්ති රකින
මාර මිනිස්සුන්ගෙ මාර
හටනක්

අපිට ගහනවා
උන්ට ගහනවා
උන්ගෙ වර්ජනේ
අපේ වර්ජනේ

උඹව මරනවා
මාව මරණවා
ම...ර....ණ...වා...
මරණවා

ප්‍රශ්නෙ ඉතිරියි
අපි අහවරයි
ඒත්
ගහන්නම ඕනෑ

ආපිට ගහන්නත් ඕනෑ
කෑගහන්නත් ඕනෑ
ඔලු පලන්නත් ඕනෑ
එකෙක් හරි මැරෙන්නම ඕනෑ

ගේම එතනයි
ගේමට ගේම
කෑමට කෑම
අපි එදා ඉඳල බෙදාහදාගෙන කන ජාතියක්

ආයෙ මොටද ලජ්ජාවක්
කන්න, තව වපුරන්න
ප්‍රශ්න පැළවෙන්න ඕනෑ
මිනිස්සු කා කොටා ගෙන ගහ මරාගෙන මහමග මියැදෙන්න ඕනෑ

අතීතයෙ වුනෙත් එහෙමයි
අනාගතයෙ වෙන්න ඕනෙත් එහෙමයි
සුද්දගෙන් භීෂණයෙන් යුද්ධෙන් සුනාමියෙන් නායෙන් ගංවතුරෙන් අමාරුවෙන් බේරුණු මිනිස්සු
සාමාන්‍ය මිනිස්සු තව ලක්ෂයක් දෙකක් මැරෙන්න ඕනෑ

කොහොමහරි මැරෙන්නම ඕනෑ
ඉතිහාසය එහෙමයි
ආයෙත් ඒක නොකළොත් මේක....
නැගෙයිද ඉහළටම

ලක්ෂගාණක් නිරපරාදෙ මැරුණු
බුදුන් අනු බුදුන් වැඩිය රටේ ඒ සංස්කෘතිය
රැකපල්ලා....
රකිනු පිණිස මරපල්ලා

පුලුවන් තරම් ගහපල්ලා
අහවල් එක දිනපල්ලා
පොඩිවුන්ටත් ඒ උරුමය
මේ විදිහට දීපල්ලා

ඉතිහාසෙත් එහෙමයි
ගහපල්ලා
මරපල්ලා
අනාගතෙත් එහෙමයි

අපේ ලේ කැකෑරෙනවා
මේක කොහොම මරාගත්තු රටක්ද
මරාපල්ලා
ගහපල්ලා

කුඩු කරපල්ලා
ගිනි තියපල්ලා
වර්ජනේ
ගර්ජනේ

තර්ජනේ
මර්ධනේ
වර්ධනේ
කරපල්ලා

මේකයි විදිහ
තව අවුරුදු සීයක් දාහක්
ලෝකය පවතින තුරාවට බෙදි බෙදී මරාගනිල්ලා
හැකි දේ ඔපමණක් නම්....

තුන්සිය හැටපහටම දෙන්නම්
සදුදට ජාතිය
අගහරුවාදට ආගම
බදාදාට කුලමල

බ්‍රහස්පතින්දාට ධනය
සිකුරාදට බලය
සෙනසුරාදට හෙම්බිරිස්සාවට
ඉරිදට ජොලියට

ගහපල්ලා
මරපල්ලා
තර්ජනේ
වර්ජනේ

ගර්ජනේ
මර්ධනේ
වර්ධනේ කරපල්ලා
මේක ෆුල් එපිඩෙමික් රටක් ඕයි

රාමු කඩපල්ලා
හෙලුවෙන් නටපල්ලා
අපි හදනවා
අලුත්ම රටක්.... ඒක..

ඒක තමා මේක
තව අවුරුදු සීයකට ජයවේවා
ම්ත්‍රවරුන්ට
සහෝදරවරුන්ට

පාක්ෂිකයන්ට ජනතාවට
ඕවට අයිති නැති අය
බකං නිලන්න
බඩම උලන්න

මේ වගේ ඉන්න
අපි බලමු මේ....
බ්ලොක් බස්ටර්
හැමදාම??

Wednesday, June 21, 2017

කුණු වලට තවත් කණු එපා...(කණු තියමින් කුණු කෙරූ රටක අනාගතය වැළළේවි..සදහට)


කුණු ප්‍රශ්නය දිනක අපිව කුණු කරන ප්‍රධාන ප්‍රශ්නයක් බව අප කලින්ම දුටුවා, ලකුණු දමාගන්න මිසක් දහදිය  දානවට වැඩි කැමත්තක් නැති මිනිස්සු බහුතර බලය වූ විට තාක්ෂණය යොදාගෙන ගත හැකි ඵලදායීතාවයන් ගැන නිසි තක්සේරුවක්, වෙහෙසක් නැති කොට ඔච්චරයි.. තමන්ගෙ අභ්‍යන්තරය වගේම බාහිරත් ඉඳහිට අතුගාල කොහෙටහරි දානව විතරයි. හැබැයි සැබෑ කුණු ඉවත් කිරීමක්, ප්‍රතිචක්‍රීකරණයක් නෑ.. ඕනත් නෑ. කුණු කටුවෙක් කෑව ගමන් පරල වෙනව එච්චරයි. ඕක තමයි අපි කීවෙ ඇතුළෙ කුණු වලින් පටන්ගන්න කියල. නැත්නම් ගේ දොර, ඇළ දොළ, පාරතොට විතරක් නෙවෙයි, ලැබෙන අධ්‍යාපනය, සෞඛ්‍යය පවා කුණු වෙලාම යයි දේශපාලනේ ගානටම. ඔය දේවල් වලින් තියෙන නාස් කොටය නැති වුනොත් අලි, හරක්ට අපිම පුරුදු කළා වගේ අපේම කටින් රහට කුණු කන දවස වැඩි ඈතක නොවේ..අපි..දැනටමත් ඒක සිද්ද නොවෙනවමත් නොවෙයි තැන් තැන් වල! ඒත් ඉස්සරහට ඒක ...... සපුරා නැවැත්විය යුතුයි. ස්වභාවික පරිසරය වගේම සංස්කෘතික පරිසරය සුරැකීමට නිසිවිට බලැතිව කටයුතු නොකළොත් පණ පිටින් වැළලීම සරල සාමාන්‍ය සරල දෙයක් වේවි මතුවට. අපිට අවශ්‍ය එවැනි අනාගතයක්ද? තීරණය ඇත්තේ ඔබ අතෙයි.

Tuesday, June 6, 2017

ජීවිත සිරි පා


..................................................
වේගයෙන් දුවන්නෝ
ඉක්මණින් හති හලද්දී
ආවේගයෙන් දුවන්නෝ
පය පටලා ගනිද්දී
සෙමෙන් ඇවිද යන්නෝ
අබිබවා කෙනෙක්
වේගයෙන් ඇවිදිද්දී
අරමුණ නිමාව තෙක් ගමනයි
තරඟය නොවෙයි
සිහි ඇත්තෝ විඩා නිවා
මග නොරැඳී එන්නෝ
පහසුවෙන් කාලය ගෙවා
සසර කතර තරණ කෙරෙත්
ඒ අල්පයකි
සැබවි,
ජීවිතයම ගිරි සිරියකි
වාරු පිණිස සැරයටි නැති

Monday, June 5, 2017

කුමකටද?



නීතිය රකින්න අකුරට...
ජරාව නොකන්න කනඅය...
දේශපාලකයිනි, කරන්න තමපාලනය...
පරිපාලකයිනි, කරන්න නිසිපාලනය...
ගුරුවරු ගන්න උගන්නන්න...
ළමයිනි, හොඳින්ම උගන්න...
දෙමාපියනි, අවුරුද්දක් ළමයින්ටම දෙන්න...
තරුණයිනි, වැඩ කරන්න...
පාලකයිනි, වැඩ හදා දෙන්න...
සංකල්පකයින්ට නිදහස දෙන්න...
කලාකරුවනි, මුළා නොකරන්න...
මුදලාලිලා කඩකළු නොකරන්න...
පූජකයිනි, කාර්ය පමණක් කරන්න...
පූජ්‍යයයිනි, පූජා ලැබීමට සුදුස්සන් වන්න...
ක්‍රීඩකයිනි, රට වෙනුවෙන් නැගෙන්න...
වාචාලයනි, රට වෙනුවෙන් නිහඬවන්න...
නිහඬ දැනමුත්තනි, ජාතිය අමතන්න...
තව අවුරුද්දකට ඔහොම යන්න දෙන්න...
කළ යුතුදේ කරන්න...
හළ යුතුදේ හලන්න...
ඉඩ දිය යුතු දෙයට ඉඩ දෙන්න...
වරද්දන්නන් සිපිරිගෙට ලන්න...
යුක්තියට හරි තැන දෙන්න...
තවත් අවුරුද්දකට යන්න දෙන්න...
යුතුකමට මුල් තැන දෙන්න...
වගකීම ඔබ හැම ගන්න...

(බැරිද දෙන ඡන්දෙත් රට වෙනුවෙන්ම දීගන්න...)

Sunday, June 4, 2017

-සත්‍ය- වීරයා කාඩ්බෝඩ් නොවේ!



හේදිලා
හේදිලා
හේදිලා
තේරිලා
තේරිලා
මූසිලා
දිනෙක,
ඉතිරිවේවි
-සත්‍ය-
වීරයා
බොක්කෙ
දඩමස් නැති
හක්කෙ
බුදුරැස් නැති
සද්දෙ
වස් දොස් නැති
කකුල්
කොන්ද පණ ඇති
තව...
අකුරුත්
ගුරුත් මතකැති
කැතනැති!!!

(බලා සිටිමි, මුරුගසන් වැසි අස්සේ තෙමි,තෙමී..)

Tuesday, May 30, 2017

ඇස් දෙක පියාන නිදාගන්න! (with sweet dreams)


මෙය බියකරු සිහිනයකි.
සාතිශය ආශ්වාදජනකය.
හැබහින්ම ගොස් බලන්නට තරම් ආස හිතෙනවාය.
මන්ද මෙහෙම හීනයක් හැමදා පෙනෙන්නේ නැත.
ඒත් ඇහැරුණොත්!!
නින්දෙන්ම ඇවිද ගොස් හෝ සෙල්ලිපියක් සේ සමරු සේයාවක් ගත යුතුමය.
'නායා විත් වෝටර්‍ රිං'
"ක්ලික්"
කොටසක්ම වතුරෙන් වටවෙලාය.
තවත් අය යටවෙලාය.
නමුත් හීනෙට මිස හැබෑවට අපේ ඇස් ඇරෙන්නේ නැත.
ඒ උත්ප්‍රාසය, සංත්‍රාසය නිසාය.
තදින්ම සෙලවුණත් ඇස් ඇරගන්නටම බැරිය.
අම්මේ වතුර.. කියා කෑ ගැසූ විට අවසාන වශයෙන් ත්‍රිවිද හමුදාවෙන් හෝ කිසිවෙකු පැමිණ හිස අතගා යනු දැනෙන හෙයින් ඇස් අරින්නට හිතෙන්නේද නැත.
යුද්ධය නැමති වීරත්වය කිරුළු පළන් සිහිනයේදීවත් අප දෑස් නෑරියෙමු.
සුනාමි සිහිනයෙන් ඇස නොහැරුණු අපි ගංවතුරක් නිසා අවදිවිය යුතුද?
දෑස වසාගෙන ජීවත්වීම අපහසුද?
සැබවින්ම පහසුම ක්‍රමය එයම තමා.
එවිට පෙනෙන්නේ සිහින,  දකින්නේ සිහින පමණයි.
කොතරම් වේදනාකාරී වුවත් කොනිති පහරක් හෝ නොදැනෙන තරමේ මර නින්ද අති ආස්වාදනීයයි.
සදාකාලික නින්දට ප්‍රවිෂ්ඨය ලබන තෙක්ම මර නින්දෙන් ජීවත්වීම ජීවිතය දිගුකාලීන වීමට හේතුවෙයි.
එකිනෙකා කලබල වී අවදිවන්නට යන මොහොතේ අපි හිස අතගා ඔහු/ඇය ආපසු නිදිකරවමු.
රටක් හැටියට එකට බදා වැළඳගන මර නින්දේ පසුවීම තරම් සුවයක් තවත් කොයින්ද?
හිටිවනම නින්දෙන් අවදි වී පොඩි කලබලයක් ඇති කිරීම වෙනසකි, එය හොඳය.
එහෙත් දිගටම අවදියෙන් සිටීම ස්වස්ථතාවයට හොඳ නැත.
නින්දෙන් ගෙරවීම හෝ ගෙරවීමක් නොමැතිකම අයිතිවාසිකම් පිළිබඳ සිහිනයකට අගනා මාතෘකාවකි.
විවිධාකාර මාතෘකා පිළිබඳ සිහිනෙන් දෙඩවීමත්, නින්දෙන් ඇවිදීමත් අගනා අරගලයකි.
එලෙසම ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ලෙස ඕනෑම සිහිනයක් බලන්නට හෝ නොබලන්නට ඔබට අයිතියක් තිබිය යුතුය.
එනමුත් ඇස් ඇරීම තහනම්‍ ය.
එනිසා "ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ" යැයි කිසිවිට නොකියන්න.
කුමන හෝ දිනයක සදාකාලික නින්ද ඔබව අධිකතර ප්‍රේමයෙන් වැළඳගන්නා තෙක් දෑස් නම් නොමරින්න.
හොඳින් කලරින්න.
හෙට ගැන නොසිතා දෑස් පියා හොඳින් සැතපෙන්න.
රිසි සේ ජීවිතය විඳින්න.
ශ්‍රී ලංකා සංවර්ධනාත්මක නිදහස් චින්තනයේ එළඹෙන හැත්තෑවියට ආසිරි පතන්න.
ඒත් ඇස් අරින්න එපා!