ඕනෑම ගමනක ඉදිරියට යාමේදී කෙළින්
මාර්ගය සේම වමට දකුණට හරවන්නට සිදුවීම ස්වභාවයකි. කෙළින්ම පාරක වුව තැනකදී
මේ හැරවීම කරන්නට සිදුවන්නේ අවශ්‍ය ඉලක්කය පදනම් කර ගනිමිනි. රටක දේශපාලනයේ
වුව වමට දකුණට හැරෙවෙන්නට උවමනා අවස්ථා නැතිද? එකම පැත්තට පමණක් හරවා
යන්නට යන ගමනක් යැවෙන්නේ වමාවර්ථ හෝ දක්ෂිණාවර්ථ රවුමකම පමණකි. කෙසේ වෙතත්
දකුණට සිග්නල් දමා වමට හැරවීම කෙසේවෙතත් වමට සිග්නල් දමා දකුණට හැරවීම නම්
දේශපාලනයේ අපූරුවට සිද්දවේ. නමුත් සිදුවිය යුත්තේ අවැසි තැන වමටනම්
වමට හැරවීමත් දකුණට නම් දකුණට හැරවීමත් අවසන ඉලක්කය වෙත යාමත් නොවෙද?
ඉලක්කයකුත් නැතිව පසෙකට සිග්නල් දමමින් තවත් පසෙකට හරවමින් වෙට්ටු දමමින්
යන්න හදන ගමනේ අප රට බොහෝ කොට ගියේ වට රවුමකමය. රවුමේ රස්තියාදුවේදී
වාහනයේ හිද බෑන් චූන් ගැහීම රටේ ආවේණික ලක්ෂණයක් සේ වැඩුණු බව පෙනේ.
බෑන්චූන් එකෙන් ෆෝචූන් එකක් පැතූ බවද පෙනේ. ඉදහිට ගිය කෙළින් ගමන හැර වැඩි
වශයෙන් අප ගොස් ඇත්තේ වමට දකුණට හරවන්නට ගොස් ගැසූ රවුම් පමණි. අපේ
ප්‍රාර්ථනය නම් නිසි තැන නිසි විට වමට දකුණට හරවා මාර්ගය තෝරා ගනිමින්
නියමිත ඉලක්කය සාක්ෂාත් කරගන්නා රටකි. මේ සියල්ලට පළමුව රටකට ඉලක්කයක්
තිබිය යුතුය. ජනතාවට ඒ ගැන හැගීමක් තිබිය යුතුය. සියල්ල සරලත්වයත්
සංකීර්ණත්වයත් තුළ දෝලනය වන මෙවන් සමයක එවන් හැගීම් වැඩේවා!