Wednesday, March 22, 2017

රටේ අනාගතය කිසිවෙක් නොදනී...මේ මගේ රටයි!

සැබවින්ම මේ රටේ අනාගත සැළසුම් තිබෙනවා නම් ඒ මේ මොහොතේ තනි පුද්ගල හා පෞද්ගලික ආයතන වශයෙන්ම පමණක් බැව් සහතිකය. රටක් වශයෙන් තවම අපි අතීතයේය, වර්තමානයේ යම් යම් කාරණා අරඹයා තවමත් ඇත්තේ විචාර විවේචන හා හොස්ස පෙවීම් පමණකි. හැත්තෑ ගණන් වල අනාගතයක් දැකීමට ගොස් අසූ ගණන් වලද ඒ පසු පසම ගොස් ලැබුනේ සමූහ හෝ තනි වලවල් සෑයවල් වල උරුමයක් පමණි. මේ මොහොතේ රූපවාහිනිය ඉදිරියේ සිටිනා මට ජාතික නාළිකාවේ ජාතික සම්මානත්, මීට ටික වෙලාවකට පෙර බ්ලොග් සම්මාන උළෙලක් ඇසුරේ කතිකාවක්ද දක්නට ලැබිණි. ජාතික සම්මානයෙන් පෙනුනේ අතීත ක්‍රියා ඇගයුමකි. එතැනින් මා තවමත් දකින්නේ අතීතයක් පමණි. අතීතයෙන් පුද්ගලයන්ගෙන් ගත් උගත් පාඩම් මොනවාද? මහා ජාතිකත්ව කතා දමන මහා දේශපාලකයන් ජිල්බෝල ගසන නොකිය නොකළ වැඩකට නැති මතවාද වෙනුවෙන් රටක් ගිනි තියන්නට දහසක් ගෙනෙන රටක, අනාගතය ගැන දකින්නේ කව්ද? ඒ අතින් ඔය ජාතික සම්මාන පිටුපස ගොඩනැගුණු වටිනාකම් මහත් කොට හිතිය හැකි, එහෙත් එතනින් අනාගතයට පෙර ගමනක් නැත. බ්ලොග් අවකාශය ගැන කතාව වර්තමානයේ අතපය දිගහැරීමට නැගිටීමට දරන වෙරකි, පෙනුනේ එහෙමය. හැබැයි මේ සියල්ල අපට ගේන රූප මාධ්‍ය ආයතන නම් ආයතන ගොන්නට අයත් හා ජන ප්‍රසාදය රටේ ප්‍රසාදය මතම යැපෙන නිසා අන්‍ය කාටත් වඩා අනාගතය දකින බවනම් පෙනේ. ඔවුන්ව තේරිම ජනතාවට සල්ලි ලෙසින් එන්නේ එහෙමය(අපිව තේරුවොත් සල්ලි තමයි). තවත් ජන මාධ්‍ය නාළිකා තුළ මේ මොහොතේ යන්නේ කට වාචාල සූකර යන්ගේ දේශපාලන වන නොවන මුකරි කතාය. සේරම හිස් බවෙන් පිරී ඇත. පොදුවේ හිතෙන්නේ මෙහෙමය, වැඩි වයසේ හෝ වයසට වැඩියෙන් බරක් ඇද්දොත් හෝ තවත් හේතුන් මත ජාතික සම්මානයකට යා හැකි. බ්ලොගක් ලියාගෙන මගේ මතය හා ඔබේ මතය සමග ගනුදෙනුවෙන් පොඩි සන්තෝෂයක් ගත හැකි. නැත්නම් සූකර සැප මුකරි කමට කියා දේශපාලනයෙන් උපයා ගත හැකි. එහෙමත් නැත්නම් මාධ්‍යයෙන් ඕවා විචාරමින් ඇලුත් වැඩසටහනක් කළ හැකි. ඉන් එහාට මේ රටේ (කාළගුණය හැර )හෙට දවස ගැන අනාවැකි එන්නේ ජෝතිෂයෙන්ම පමණි. රටක් හැටියට අප යන්නේ කොහාටද? මේ නෞකාවේ සිටින අප දැන ගතම යුතු දේ එය නොවේද? නමුත් අපි තවමත් පහුකළ මාර්ගයේ ගමන් විස්තර මිස නැව ඇතුළේ විනෝදය මිස ගොඩබහින වරාය ගැන නිශ්චයක් නැත... අපි තවම නැවේ ගැස්සීමට ඔක්කාරය කරන ආධුනිකයන්ගේ තැනය. අපේ මැදි වයසේ දීවත් ඔක්කාරය නැවතී නැව දිශානු ගත කරගන්නට හැකි වේවායි සිතමින් මේ උත්ප්‍රාසජනක මොහොතේ මගේ කුටියට මම නික්මෙන්නම්, මිතුරනි මේ අපේ රටයි.

No comments: